කුල ගෙය – Episode 22

Jul 31, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

උද්යානයට වී දහවල ගැන මෙනෙහි කරමින් සිටි රොෂාන් සෙමෙන් සෙමින් ඈත කොනේ වූ වතුර මල වෙත ගියේ “ ඇත්තටම පිස්සන් කොටුවක් තමා “ යයි තමාටම කියමිනි. කෙසේ වෙතත් ඔහුගේ හිත රුක්මා සමග ඇති අනාගත සැලසුම් දෙදරා යතියි යන බයෙන් පීඩාවට ලක් විය. වැනේසා ඔහුගේ හොඳම යෙහෙළිය යයි ඔහු සැලකුවද නුදුරේදී සිදුවුන සිදුවීම නිසා රුක්මා ගැන ඇයට නොකීමට ඔහු බොහෝ පරිස්සම් විය.

Continue Reading Below

නමුත් විවාහයේ තත්වය සහ ඔවුන් දෙදෙනා මේ වන විට ලිංගික සම්බන්ධකම් පවත්වා ඇතිද යන කරුණ ගැන දැන ගැනීමට වැනේසා උත්සහ දැරුවාය.

“ එයා මා එක්ක තරහයි. කතා කරන්නේ නැහැ “ පමණක් පිළිතුරු දුන් ඔහු ඉක්මනින් වැනේසා ගේ නිවසින් පිටත් වන්නට විය. පිටත්ව යන්නට තනන රොෂාන් අල්ලාගෙන චාටු වදනින් සහ කඳුලින් හිත තෙත් කළ වැනේසා ඔහු සමග ලිංගික සම්බන්ධකමක් පවත්වා ගන්නට පොළඹවා ගත්තේ රුක්මා සමග සම්බන්ධ වීමට ඔහුට ආශාවක් ඇති නොවනු ඇතියි බලාපොරොත්තු වෙමිනි. පැය දෙකක් වැනේසා ගේ නිවසේ ගත කළ රොෂාන් පිට වූයේ කවුරුන් හෝ තමා මෙහි ගිය බව ගෙදරට කියනු ඇතියි බය වෙමිනි.

“ මගේ මුළු ජීවිතේම අවුල් ජාලාවක් වෙලා . වැනේසා මේ තරම් කාලයක් මා එක්ක සිටි බව ඇත්ත. නමුත් දැන් මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලිලා . ආරම්භයම මේ විදිහට අඳුරු වුන එක මහා අවාසනාවක් “ ඔහු කල්පනා කළේය. හැකි ඉක්මනින් දරු සුරතල් බැලීමට සිටි ඔහුට සිදු වූයේ මනාලිය සමග අමනාප වී දෙපැත්ත බලාගෙන ආගන්තුකයන් මෙන් සැතපීමටයි. වැනේසා ජීවිත හානියක් කර නොගෙන ඇගෙන් යම් පමණකට ඈත් වෙන්නේ කෙසේද ඔහු කල්පනා කළේය.

රොෂාන් ගැන නොසලකා සිටින බව පෙන්නුවත් රුක්මා සිටියේ ඔහු ගැන දැඩි සැකයකින් මෙන්ම විමසිල්ලෙනි. ඔහු කොහෙද කියා දහවල් ගාමිනීගෙන් ඇසු නමුත් සිය ස්වාමි දුව බව පවා නොතකා ගාමිණී විසින් ඉතාම අගෞරවනීය ලෙස ඇයට පිළිතුරු දී තිබුණි. වැනේසාට අතිශය පක්ෂපාත ගාමිණී හැම විටම රුක්මා පිළිකුල් කළ අතර ඉඩක් ලැබෙන හැම විටම අප්‍රසාදය දැනෙන්නට පවා සැලැස්සුවේය.

රාත්‍රියේ ඔහු කොහෙද කියා උඩු මහලේ සිට බැලුව රුක්මා ඔහු නොදැක වාහනය රථ ගාලේ තිබේද කියා පිරික්සන්නට සිතා හොර බැලලියක මෙන් පහලට ඇදුණාය. ළමාතැනී කාමරේ නිදි හෙයින් ඇයට නොඇසෙන්නට ඕ පතුල් පරිස්සමෙන් තබා බිම් මහළට පිවිසුණාය. වාහන 4 ක් නවතා ඇති අංගනයේ සියල්ලම අඩු නැතුව ඇති හෙයින් රොෂාන් ගෙදර සිටිතියි සිතු ඇය යලිත් උඩු මහළට නගින්නට හැදුවා පමණකි. පිටුපසින් පැමිණි රොෂාන් ඈව අල්ලා ගත්තේය.

“ මම රුක්මා …මම … ඔහු ඇගේ කනට කෙඳිරුවේ කෑ ගැසුවොත් ගෙදරම අවධි වන හෙයිනි”

“ ඔයා මොනවද පහළ කරන්නේ ?” ඔහු ඇසුවේ විමතියෙනි.

“ නැහැ. මම නිකමට ආවා “ කියමින් රුක්මා විලි වැදී ගියේ ඔහුව ගණන් නොගන්නා බව ඇඟවීම කෙසේ වෙතත් ඔහු ගැන ඔත්තු සෙවීම අතටම හසු වුන හෙයිනි. කාරනාව තේරුම් ගත් රොෂාන් හිනැහුනේය.

“ මාව ගණන් නොගෙන හිටියට මම නැතුව ඉන්නත් බැහැ නේද ? “ ඇසු ඔහු උද්‍යානයේ කොනක ඇති විසල් කිතුල් ගස යටට රුක්මා කැඳවාගෙන ගියේය. ගස යට සඳ එළියෙන් ආලෝකමත් වී තිබුන අතර මනාව කපන ලද තණකොළ බිස්ස සුන්දර දසුනක් විය. වේදනාත්මක දින කීපයකට පසුව දෙදෙනා සමගි වූවාක් මෙන් ඔවුනට දැනුණි. ගහක් කොලයක් සෙලවෙන පමණට හෝ හුළඟ නොහැමු ඒ රාත්‍රිය උණුසුම් නොවුයේ හාත්පස විශාල ගස් තිබුන නිසාය. පසළොස්වක පෝය හෙට හෙයින් සඳ පිඟන් මැටි බෝලයක් මෙන් දිස්නය දෙමින් පැවතුණි. ඔවුන් දෙදෙනා බන්කුවක ඉඳ අත්දෙක අල්ලාගෙන නිහඩවම සිටියහ.

“ දැන් මාත් එක්ක තරහා වෙලා හිටියා මදිද ? “ ඔහු ඈ වෙතට නැඹුරු විය.

“ මම ඔයා එක්ක තරහ නැහැ “ රුක්මා සුසුමක් හෙළුවේ “මම ඔයාට හැමදාම ආදරේ කරනවා” යන වාක්‍යය සිහි කරමිනි. ඒ කාලකන්නි සංවාදය මතක් වෙන හැම වතාවකම සිය හදවත හරහා වදින පිහි පාරක් මෙන් රුක්මා කම්පනයට පත් වූවාය.

“ මම ජීවිතේ කවදාවත් පිරිමියෙක්ට ආදරේ කරලා නැහැ. පළවෙනියටම ආදරේ කළ පිරිමියා වෙන ගෑනු කෙනෙක්ගේ බව දැනගත්තම ඇතිවෙන හැගීම මොකද්ද කියල ඔයාට තේරෙනවද ? “ රුක්මා සොවින් ඇසුවාය.

“ ඔයා ඉන්නේ වැරදි වැටහීමක රුක්මා. මම කතාව ඔයාට කීවේ නැහැනේ “

“ මට කනට ඇසුන දේවල් බොරු කියල කියන්නේ කොහොමද ? . මම දන්නේ නැහැ මට ඒවා අමතක කරන්න ලැබේවිද කියල “

උත්තුංග දේහධාරී මිනිසෙක් වූ රොෂාන් බෝනික්කෙක් වැනි රුක්මා ඔසවා සිය ඔඩොක්කුවේ තබා ගත්තේය. වැනේසා වාඩි කරගත් විට දැනෙන බර සමග රුක්මා පුළුන් රොදක් මෙන් සැහැල්ලු බව ඔහු මොහොතකට සිතුවේය. අනියම් බිරිඳ සහ බිරිඳ දෙදෙනා සන්සන්ධනය කිරීම ඉතා අයෝග්‍ය දෙයක් වුවත් ඔහුට මේ නරක පුරුද්දෙන් ගැලවීමට තවමත් නොහැකි වූයේ වැනේසා ඔහුගේ නියම භාර්යාව මෙන් හදවතේ ලැගුම් ගෙන සිටි නිසාවෙනි.

ඔහු ඉතා පරිස්සමෙන් දයාවෙන් සහ ආදරයකින් රුක්මාගේ බිලිඳු දෙතොලට හාද්දක් දුන්නේය. මදුරුවන් ඔබ මොබ සැරිසරන හෙයින් ඔවුන් දෙදෙනා ගෙට යන විට රාත්‍රී එකට ආසන්න වී තිබුණි. දින ගණනක් පැවතී විරසකය සම්පූර්ණයෙන්ම සන්සිඳුනේ නැති වුනත් යම් මට්ටමකට යහපත් අතට හැරී තිබුණි.

සිකුරාදා හවස රොෂාන් විසින් සති දෙකකට දෙදෙනා ඉතාලි යන ගමන ගැන වැනේසාට කිවුවේය. තමා එන තුරු කලින් වතාවේ මෙන් මෝඩ වැඩ නොකර හොඳින් සිටිනා මෙන් ඉල්ලා සිටි ඔහු වෙනත් මාස වලට වියදමට දෙන මුදල මෙන් දෙගුණයක් මුදල් දුන්නේ ෂොපින් කිරීම මගින් ඇගේ පාළුව දුරු කර ගැනීමටයි. සියදිවි නසා ගැනීම නම් සැලසුම නිසා රොෂාන් බය වී ඇති බව වටහාගත් වැනේසා මහත් සතුටට පත් වූවාය.

රොෂාන් විවාහයට එකඟ වන විට සිතුවේ රුක්මා නිකන්ම නිකන් නාමික භාර්යාවක් ලෙස දරුවන් හදා ගැනීම වෙනුවෙන් විවහා වන නිසා තමාගේ ජීවිතේ ලොකු වෙනසක් විය යුතු නැති බවයි. නමුත් පසුගිය මාස කීපය තුළ ඔවුන් දෙදෙනා එකිනෙකා සැමියා සහ බිරිඳ ලෙස සමීප වීම සහ මිතුරන්ගෙන් ලද උණුසුම් පැසසුම් සමග රුක්මා යනු නැති කරගැනීමට ලෝබ හිතෙන වටිනා දෙයක් බවට හෙමින් පත් වෙමින් යන බව හෙතෙම ප්‍රත්‍යක්ෂ කළේය.

රුක්මාගේ හිස ප්‍රථම වතාවට සිය පපුවට තුරුල් කරගත් ඔහු ඇගේ නළල සිඹ සුබ රාත්‍රියක් පවසා නින්දට ගියේ දියණියක් ගැන කරුණාවෙන් සිතන පියෙක් මෙන් දයාවෙනි. රුක්මාද ජීවිතේ ප්‍රථම වතාවට පියාගෙන් නොලද උණුසුම රෝශාන්ගෙන් ලබමින් සැනසිල්ලේ නින්දට ගියාය. රොෂාන් විසින් ඇගේ හිත හැදී සූදානම් වන තුරු කායික සම්බන්ධකම් පැවැත්වීමට නොයාම රුක්මාගේ සිතට සැනසිල්ලක් ගෙන දුන්නේය. අනික් අතින් තමාව වුවමනා නැත්තේ මන්ද යන කරුණ ඇගේ ස්ත්‍රීත්වය පෑරුවේය. වැනේසා සහ රොෂාන් අතර ඇති සම්බන්ධය ගැන සිතමින් ඕ නිතරම කම්පා වූවාය.

ගාමිණී විසින් පාන්දර හය වන විට තේ ගෙනත් තිබුනේ සාමන්යෙන් රොෂාන් උදේ ඇවිදින්නට එලියට යන හෙයිනි. රොෂාන් තේ බන්දේසිය අඩක් ඇරී දොරින් අතට ගෙන ඔහුගේ පුස්තකාලයේ සොඵාව සමීපයේ වූ කනප්පුව මත තබා දොර ලොක් කළේය. බැල්කනියේ මේසය වෙතට තේ බන්දේසිය ගෙන ආ ඔහු තාමත් නිදා සිටින රුක්මා වෙතට ගොස් හාද්දකින් සංග්‍රහ කොට ඇහැරවා ගත්තේය.

තවමත් ළමා වියේ අගිස්සේ සිටින රුක්මා සමග ගනුදෙනු කිරීම කුඩා දරුවෙක් සමග හැසිරීම මෙන් ඔහුට ප්‍රිය ජනක විය. ප්‍රශ්නය නිරාකරණය වෙමින් පවතින හෙයින් ඔහු පහුගිය දින සියල්ලම අමතක කර ඇයගේ අත අල්ලාගෙන බැල්කනිය වෙත ගියේය. ඇයගේ තේ කෝප්පය හදා ලඟට තැබූ ඔහු තමාටද තේ එකක් හදා ගත්තේය. තේ බීමෙන් පසු ඔහු ඇවිදින්නට යන හෙයින් රුක්මාද කැටිව යාම ඔහුගේ අපේක්ෂාව විය.

ඇගේ ඇඳුම් වලින් විශාල කොටසක් ගෙන අවුත් දෙවන මහලේ කාමරයක අසුරා තිබුන නමුත් ඇය සැලසුම් කළ පරිදි දෙවන මහළට යැවීම අනතුරුදායක හෙයින් ඔහු ඈ සමග පහළට ගොස් රටින් ගෙන එන ලද අලංකාර ව්‍යායාම ඇඳුම් සහ සපත්තු තෝරා ගත්තේය. තමාව ඇඳ උඩ ඉන්දවා කුඩා දරුවෙක්ට මෙන් ඔහු අතින්ම සපත්තු දම්මවීම ගැන රුක්මා බලවත් සතුටට පත් වූවාය. වන්චනිකයා වුවද මුළු ජීවිතේම තමාට මෙතරම් හුරතලයකින්, සැලකිල්ලකින් සැලකු එකම ප්‍රාණියා රොෂාන් නොවේද? ඔහුගේ දුබලකම මැඩ ගෙන නැවත වරක් ඇගේ සිතේ නැගුනේ ප්‍රේමයකි.

කන්දප්පා එදාම කුසුම්ගේ ගෙදර ගියේ ඉතාම සතුටිනි. මෙතෙක් කලක් දික්කසාදය ගැන අකමැති වුන වැනේසා එක වරම කැමති කරගන්නට ලැබුනේ එදා උදේ ඔහු එහි ගිය බැවිනි. අම්මා මියෙතියි ඩයනා සහ ජුලියන් බය වී සිටියහ. ග්‍රේස් ගේ හැසිරීම සහ මෙඩිකල්සෙන්ටර් එකේ වෛද්‍ය වරයා දුටු විගසම මෙය රොෂාන්ගේ අවධානය දිනා ගැනීමට නටන ලද නාඩගමක් බව ඔහුට වැටහුණි. මේ වෛද්‍ය වරයා ග්‍රේස් ගේ ඥාතියෙකි. ඕනෙම රාත්‍රියක ඔවුන්ට රෝගයක් හැදුන විගස ඔවුන් යන්නේ ඔහු වෙතට බව රොෂාන් නොදන්නා නමුත් ජුලියන් හොඳින් දනී.

“ Don’t worry. This is just a drama “ කියමින් ඔහු බයෙන් ඉන්න 12 හැවිරිදි නංගිව සැනසුවේය. මේ අතර කන්දප්පා අනපේක්ෂිත ලෙස ගෙදර පැමිණීම කුඩා ඩයනා ගේ සිතට මහත් අස්වැසිල්ලක් විය. කුඩා දරුවන් සාමන්‍යයෙන් කරදරයක් වෙන විට දෙමාපියන්ට වඩා වෙනත් ආරක්ෂාවක් නොදකිති. එවන් වෙලාවට දෙමාපියන් දකීමම ඔවුන්ට ප්‍රමාණවත්ය. රොෂාන් අනියම් සැමියා ලෙස ගෙදර ගෙන්වා ගැනීම නිසා කන්දප්පා දරුවන්ගෙන් දුරස් වුන අතර රෝශාන්ද මුදල් සහ බඩු භාණ්ඩ ඕනෙවටත් වඩා දුන් නමුත් ළමයින් දෙදෙනා සමග වෙන් කරන කාලය ඉතාම අඩු විය. ඔහු සමග ඉඳහිට යන ගමනකදී පවා අම්මා සමග ඔහු පෙම් සුව විඳින අතරතුර දරුවන් දෙදෙනා හුදෙකලාව කෙලි සෙල්ලම් කළෝය. කුඩා කල සිට මෙය මේ නිවසේ සිරිත විය.

සාමාන්‍යයෙන් පවුලක වඩා අවධානය ලබන පිරිස වන්නේ දරුවන් වන නමුත් මේ පවුලේ දරුවන් අභිභවා වැනේසා නිරන්තරවම සියලුම අවධානය උදුරා ගත්තීය. මුල් යුගයේ වැනේසා ගැන කල්පනාවෙන් සිටි කන්දප්පා දරුවන් නොසලකා ඇය තමා වෙතට නම්මවා ගැනීමේ ක්‍රියාවේ යුහුසුළු විය. වැනේසා හදා ගනිමි කියන අදහස අතහැරීමෙන් පසු ඔහු හිතා මතාම ගෙදරින් පිටවී කල් ගත කළේය. මසකට වරක් හෝ දින දෙකකට එනවා නම් තමා එන බව සතියක් වත් කලින් දැන්වීමට ඔහු පුරුදු වූයේ අප්‍රසන්න සිදුවීම් වලක්වා ගැනීමටයි.

එවක් පටන් දරුවන්ගේ ජීවිත වලට පියාගේ ඇසුර ලැබුනේ ඉතාම සීමිත ලෙසය. වැනේසා නිරන්තරවම රොෂාන්ගේ මන බැඳීමට රූපය වඩා ගැනීම , ඔහු සතුටු ආකාරයට හැසිරීම , ඇඳුම් ආයිත්තම් ගැනීම වැනි ක්‍රියා වලට යුහුසුළු වූයෙන් ළමයින් දෙදෙනා හැදුනේ සෑහෙන්න වැඩිහිටි අවධානයෙන් තොරවය. ව්‍යාපාර සමග කාර්ය බහුල රොෂාන් ඔවුන්ගේ අවශ්‍යතා ඉතා නිර්ලෝභීව ඉටු කළ නමුත් ඔවුන් සමග එකට කාලය ගෙවීමක් කොහෙත්ම කළේ නැත. ඔවුන් ඔහු ගෙදර සිටිනවා නම් ඉතා ගර්වයෙන් , ආචාරශීලීව අම්මාට සහ ඔහුට බාධා නොවෙන්නට කාමරයට වී පොතක් පතක් බැලීම ඔවුන්ගේ සිරිතකි. රොෂාන්ට බාධා වෙන්නට ආහාර ගන්නා වෙලාවල හැර අනික් වෙලාවල පහලට පැමිණීම වැනේසා විසින් තහනම් කර දමා තිබුනේය.

 

බය වැඩි කමට එදා උදේ කන්දප්පා දුටු විගසම “ තාත්තේ අම්මා මැරෙන්න යනවා “ කියමින් ඩයනා හඬා වැටුණාය. සිදු වුන දෙය ගැන තමාගේ මතය හොරෙන් පියාට කියූ ජුලියන් නංගිව අස්වසන මෙන් ඉල්ලා සිටියේය. රොෂාන් කෙරෙහි දරුවන් දෙදෙනා තුළ කොහෙත්ම අමනාපයක් තිබ්බේද නැත. ඒ වෙනුවට ව්‍යාජ රංගනයක් කිරීමෙන් රොෂාන් බිය වද්දවා ඔහුගේ ජීවිතය කඩාකප්පල් කිරීම ගැන ජුලියන් අම්මා සමග අමනාප විය.

“ ජරා වැඩනේ තාත්තේ. ඒ මනුස්සයා ගෙන් සල්ලි ගන්න එකේ ඉවරයක් නැහැ. දැන් වත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ “ කියමින් ඔහු වැනේසාට දොස් පැවරුවේය.

“ එයා හදන්න පුළුවන් ගෑනියෙක් නෙවේ පුතා. මම ඔයා ඉස්සර අහද්දී මොකුත් නොකීවේ ලොකු වෙලාම තේරුම් යනකම් “ කදප්පා පිළිතුරු දුන්නේ වැනේසා බය ගැන්වීමට තුරුම්පුවක් ලැබීමේ නොමද සතුටිනි.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article