කුල ගෙය – Episode 21

Jul 24, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“
පළමු දිනයේ මංගල චාරිත්ර සමග රුක්මාගේ පියාගේ නිවසේ පැවතී උත්සවය ලඟම ඥාතීන් සඳහා පමණක් වෙන් වූවකි. නියම උත්සවය වූ දෙවැන්න රට තොට මිතුරන්, ඥාතීන් පිරිවරා ගෝල් ෆේස් හෝටලයේ පැවතියේ දෙවන දිනය. පිටට තට්ටු කිරීම්, හඳුන්වාදීම් , සිප ගැනීම් සාගරයක ගිලුන රුක්මා සහ රොෂාන් සිටියේ හෙම්බත් වී ගෙනය. නමුත් නිතරම සිනා මුසු මුවෙන් සිටීමට ඔවුන්ට සිදු විය.

Continue Reading Below

උත්සවය අවසානයේ රොෂාන්ගේ මිතුරන් වූ රටේ ප්රසිද්ධ ව්යාපාරිකයන්, දේශපාලකයන් වැනි සම්භාවනීය ප්රභූවරු මත් පැනින් ප්රීති වූවෝ රොෂාන් ඔසවා උඩ දමමින් නටන්නට පටන් ගත්හ. සාදය අවසන් වන විට හොඳටම හවස් වුන අතර ඥාතීන් සමග මනාල යුවල නැවත ගෙදරටම පැමිණියහ. වැඩි කතා බහක් නැතුව ඇඳුම් ලෙහා දමා ඇඟ සෝදා ගත් රුක්මා වේලාසන රාත්රී ආහාරය ගෙන නින්දට ගියාය. පෙරදා සිදුවුණ සිදුවීමෙන් හටගත් කනස්සල්ල නැවත වරක් දැනෙන්නට පටන් ගත්තේ ගෙදර හුරු පුරුදු පරිසරයට පැමිණි පසුය.

රුක්මා ඉතා ආසාවෙන් පිළියෙළ කරගත් අලංකාර රාත්රී ඇඳුම් සියල්ල සූට් කේසයේ තිබියදී පහසු කපු දල ගවොමක් ඇඳගෙන නින්දට ගියාය. හරියට පිරිමියෙක්ගේ මන බැඳීමට සූදානම් අලුත් මනාලියක් ලෙස නොව විවාහ වී වසර ගණනක් ගිය මැදි වියේ ගැහැණියක් මෙනි. තමා නොතකා බිරිඳ පාඩුවේ සිටීම රොෂාන්ගේ හිතට කනස්සල්ලක් දුන් නමුත් බිරිඳක් ලෙස තමා මංගල රාත්රියේ ඇයට කළ වරද ඔහුගේ හිතේ ලැගුම් ගත්තේය.

මේ ගැන අම්මාට නොකීම ගැන ඔහු නොයෙක් වර රුක්මාට හදවතින්ම ස්තුති කළ හෙයින් කට වසාගෙන ඔහු බැල්කනියට වී දුම් උගුරු විසිරුවමින් සිගරට් වැටියෙන් වැටිය දල්වාගත්තේය.

ඒ අතර විටින් විට වැනේසාට කතා කර සුවදුක් ඇසීමට සිත් වුවත් අදත් රුක්මා දුරකතනයට කන් යොමා සිටී නම් වෙන විනාසය ගැන සිතා ඔහු සිත මැඩ ගත්තේය. අනෙක් අතින් තමාගේ විශේෂ දවස අවුල් වෙන විදිහට වැනේසා සියදිවි නසා ගන්නට හැදීම ඔහුට පුදුමයකි. මෙය හදිස්ස්යෙන් සිදු වුන සිදුවීමක් නොවේ. මාස 3 ක් තිස්සේ ඔහු විවාහයට සූදානම් වන බව ඇය දැන සිටියාය.

“ ඒකත් මගේම අවාසනාව. ඊයෙම මේ වගේ නරක දෙයක් වුනානේ “ ඔහු තමාටම කියා ගත්තේය.

“ගෑනුත් ජීවිත කාලෙම ඇසුරු කරත් තේරුම් ගන්න බැරි එවුන්. මේ රුක්මා ඔහොම මෝඩ වැඩක් කරා නම් මට ඒක පොඩ්ඩක් වත් තේරුම් ගන්න තිබුණා. හැබැයි වැනේසා ඒ වගේ බොළඳ කෙනෙක් නෙවේ. වැනේසා ළමයි දෙන්නෙක් ඉන්න අම්මෙක්. අනික එයා තාම කන්දප්පා ගේ නීත්යානුකූල බිරිඳ. එහෙවු එකේ මේ විදිහට මැරෙන්න ගිය එක නම් හරිම පුදුමයි. පෙරේදාත් මමම ගිහින් බේස්ලට් එකත් දීල හැම දේම කතා කරලා ඇවිත් තිබෙද්දී.

දැන් කොහොම වුනත් වෙච්ච දේ වුණා. දැන් ඉතින් ඉස්සරහ ගැන බලන්න ඕනේ “ ඔහු කල්පනා කළේය. බදාදා දිනය විවේක ගැනීමට වෙන් කළ රොෂාන් බ්රහස්පතින්දා සහ සිකුරාදා ව්යාපාරයේ වැඩ සමග කාර්ය බහුල විය. රුක්මා ඔහු සමග තුන් වන මහලේ එතෙක් සිටි අතර සිකුරාදා වන විට ගෙදර රැදී සිටි රෙජිනාද දරුවන් සහ සැමියා සමග පිට විය. ගෙදර යම් නිස්කලංක බවකට පත් වෙන්නට ආසන්න වී තිබුණු අතර සෙනසුරාදා රොෂාන් සහ රුක්මා උදේ වරුවේ රොස්මිඩ් පෙදෙසේ පිහිටි ලාල් ගේ නිවසට නෑගම් යාමටත් ඉක්බිති හවස ඉතාලිය බලා ගුවන් යානයට නැගීමටත් සැලසුම් කර තිබුණි.

රුක්මා සහ රොෂාන් අතර ඇතිවූ විරසකය නිසා ඔවුන් දෙදෙනා ආගන්තුකයන් ඉදිරියේ ව්යාජ සුහද බවකින් හැසිරුනද එකිනෙකා තනිව සිටිනා විට බොහෝ දුරස්ථ බවක් දැනෙමින් පැවතුනි. තමාට නිසි ලෙස පැහැදිලි කිරීමක් සහ සමාව ගැනීමකින් තොරව ඔහු වෙත සිය ආදරය දැක්වීමට රුක්මා කොහෙත්ම අපේක්ෂා නොකළාය. රාත්රියේ ආහාර ගැනීම ළමාතැනී සහ පවුලේ උදවිය සමග එකට ගත් නමුත් ඔවුන් දෙදෙනා තුන් වන මහළට පැමිණි විගසම රුක්මා කිසිවකට ප්රතිචාර නොදක්වයි. රොෂාන් මේ ගැන බෙහෙවින්ම බය වූයේය. හෙට අනිද්දා වන විට හරි යාවි යයි උදක්ම විස්වාස කළ නමුත් සිකුරාදා රාත්රියේද රොෂාන් විසින් සුහද වෙන්නට දරන උත්සාහයන් රුක්මා විසින් ඉතාම සීතල ලෙසින් නොසලකා හැරියාය.

ඔවුන් දෙදෙනා වියන් යුගල යහන මත හාන්සි වී සිටි අතර පිටස්තරයන් දෙදෙනක් මෙන් ඈතට වී සිටියහ.

“ ඔයාට නම් ගෙදර ඉන්න එක කම්මැලි වෙන්න ඇති නේද? මට නම් හුස්ම ගන්න වත් වෙලාවක් නැතුව ගියා “ රොෂාන් කීවේ සැහැල්ලුවෙනි.

“ඔයාගේ වැනේසා බලන්න ගියාද? “ යන ප්රශ්නය අසන්නට සිත් වුන නමුත් “ ඔවු නේද?” යනුවෙන් පහත් ස්වරයකින් රුක්මා තෙපලය.

දහවල රොෂාන් මතක් වන හැම විටම ඔහුත් වැනේසාත් ආදර සුව විඳිමින් සිටිනු ඇති බව මෙනෙහි කළ ඇය දැඩි කලකිරීමට සහ අප්රසාදයට පත් වූවාය.

ඇය තනි වුන විට ඔහුට අසන දෙයකට කෙටි පිළිතුරක් දුන්නා හැර කිසිම ප්රතිචාරයක් නොදැක්කුවාය. රොෂාන් බය වූයේ තමා දහවල වැනේසා බැලීමට ඇගේ ගෙදරට ගොඩ වැදුන බව කවුරුන් හෝ ඇයට කියා ඇති බව සැක කිරීමෙනි. ඔහුගේ හැම ක්රියාවකම රුක්මා ගැන බයක් දැවටෙන්නට පටන් ගත්තේ ඉබේමය.

“හෙට අපි උදේම අම්මලාගේ දිහා යමු. හවස ෆ්ලයිට් එක ..ඉතාලියට ගිහින් අපි දෙන්නට හැම දේම නිවිසැනසිල්ලේ කතා කරන්න පුළුවන්” කියමින් ඔහු රුක්මාගේ සිහින් අතක් අල්ලා ගත් නමුත් …….

“ අවාසනාව කියන්නේ නිදිමත හරිම තදයි” කියා ඉංග්රීසි බසින් තෙපලු රුක්මා ඉක්මනින් අනික් පැත්තට හැරී පොරෝනාවෙන් සිරුරම වසා ගත්තාය. ඇය අල්ලන්නට මෙන් ඉස්සරහට නැමුන රොෂාන් ලජ්ජාවෙන් අත ආපසු ගත්තේය. රුක්මා සිටියේ බලවත් කම්පනයකිනි. තමාට කළ වංචාව ගැන අතිශය හිත් වේදනාවෙනි. ඇය මේ ගැන හගිස්සවමින් රොෂාන් සමග දබර කර ගත්තා නම් රොෂාන්ට ඒ ගැන කනගාටුවක් හට නොගන්නට තිබුණි. නමුත් රුක්මාගේ සම්පූර්ණ ඉවත්වීම සහ නොසලකා හැරීම ඔහුගේ මනස ඔද්දල් කළේය.

බැල්කනියට ගිය ඔහු සුසුමක් හෙලා සිගරට්ටුවක් දල්වා ගත්තේ වැනේසා හමු වීමට දහවල් ගිය සැටි මෙනෙහි කරමිනි. “ අන්තෝ ජටා . බහි ජටා ඇතුලත් ගැටළු…පිටත් ගැටළු “ යයි සිතු ඔහු ඇවිදීමට පහළ උද්යානය වෙත ගියේය.

දහවල සියලු වැඩ මධ්යයේ ඔහු කෙසේ හෝ විනාඩි තිහක කාලයක් සඳහා වැනේසා ගේ නිවස වෙත ගියේය. අවේලාවේ ඔහුව බලාපොරොත්තු නොවුන වැනේසා සිටියේ සංවේගයෙනි. සඳුදා කන්දප්පා විසින් දික්කසාදය වෙනුවෙන් දෙන ලද අවසාන නිවේදනය සහ තර්ජනය සමග ඇය සිටියේ මහත් පීඩාවෙනි. රොෂාන් ගේ විවාහය මදිවට කන්දප්පා ගේ දික්කසාදය ඇයට තදින්ම දැනුණි. එමෙන්ම තමාගේ ව්යාජ ආලය සහ රොෂාන්ගේ මංගල රාත්රිය කඩාකප්පල් කිරීම සම්බන්ධ සැලසුම එලි වී තිබුනෙන් ඇගේ ලැජ්ජාව සහ බිය සිය ගුණයකින් වැඩි වී තිබුණි.

කන්දප්පා ගේ දික්කසාදය ගැන තීරණය ඇය විසින් ජුලියන්ට කියන ලද්දේ ජුලියන් ලවා හෝ එය වෙනස් කරවා ගැනීමේ අදිටනිනි.

“ ඩඩා අන්න අර කුසුම් කියන ගෑනි එක්ක මගුල් කන්නයි යන්නේ . අපිව දාල ගෙදරින් යනවලු “ ඇය කීවේ එදා පාසල් නොයා දනුෂ්ක සමග පාඩම් කරන්නට යන්නට උදේ ආහාර මේසය මතට වී ආහාර ගන්නා ජුලියන්ටයි. ජුලියන්ගේ විභාගය ළඟ නිසා මේ ගැන දරුවනට නොකියන මෙන් කන්දප්පා ඉල්ලා තිබුණේය. ඔහු කොහොමත් ගෙදර එන්නේ මාසෙකට සැරයක් නිසා ළමයින්ට එය ලොකුවට නොදැනෙන බව කන්දප්පා වැනේසා හට කියා තිබුණි. නමුත් වැනේසා ට අවශ්ය වූයේ ජුලියන් කියන දේ කන්දප්පා අසන හෙයින් ඔහු ලවා තීරණය වෙනස් කරවීමටයි.

“ මට ඔහු ගැන සතුටුයි “ කිසිවක් ගණන් නොගන්නා විලාසයෙන් ජුලියන් කීවේය. දහසය හැවිරිදි ඔහු අතිශය උස කඩවසම් තරුණයෙකි.

“ ඔයාට එයා ගැන සතුටුයි? : වැනේසා පුදුමයෙන් ඇසුවාය.

“ ඔවු” ඔහුද නොපැකිල පිළිතුරු දුන්නේය.

“ මමී ඒ ගැන දුකෙන් ඉන්නේ කියල ඔයාට පේනවනේ. ඉතින් ඔයාට මමී දුක් වෙන එක ගැන වත් දුක නැතිද ?”

“ මමී දුක් වෙන්නේ ඩඩා යන නිසා නෙවේ. මමී දුක් වෙන්නේ පැරදුන නිසා . ඔයාට මේ ලෝකේ ආදරේ කරන්න පුළුවන් තමන්ටම විතරයි අම්මා. ඔයා තමන්ට හැර වෙන කාටවත් ආදරේ කෙනෙක් නෙවෙයි “ ඔහු සාන්තව කියාගෙන ගියේය.

“ දැන් උඹත් මටද බනින්නේ ? කට වහපන් ජුලියන් ” වැනේසා කෝපයෙන් බුරා හැලුනාය.

“ ඔයාට මම තවත් බය නැහැ අම්මා.. පුළුවන් දෙයක් කරන්න. අම්මෙක් කියන්නේ ඔයා වගේ කෙනෙක් නෙවේ. මට ඔයාව පිළිකුල් “ ඔහුද දැඩිව ඇය දෙස බැලු හෙයින් ඕ පසුබා ගියාය.

“ උඹ ඔය කියන්නේ රොෂාන් අන්කල් ගැන නම්..උඹල හැමෝම වෙනුවෙන් තමා මම රෝශාන්ව මගේ ජීවිතේට ගත්තේ. උඹගේ හිඟන තාත්තාට කරන්න බැරි ගොඩක් දේවල් මා නිසා උඹලට ලැබුණා” ඕ බුරා හැලුනාය.

“ ඔවු …ඒ නිසා අපිට තව ගොඩක් දේවල් නැති වුණා. අපිට ලැබුනේ අපි ඉල්ලුව දේවල් නෙවේ. මට ඕවා කියල තවත් වචන නාස්ති කරන්න ඕනේ නැහැ අම්මා. තාත්තාට පාඩුවේ යන්න දෙන්න. දැන් වත් තාත්තා ට ජීවිතයක් දෙන්න “ ඔහු කෝපයෙන් නැගී සිටියේය.

“මට මේ ගෙදර ඉන්න එකත් දැන් තිත්ත වෙලා “ වැනේසා විසින් බාහුවෙන් අල්ලා ගන්නා ලද නමුත් අත ගසා දැමු ජුලියන් ඉවත ගියේය. දනුෂ්කගේ නිවසට යාම වෙනුවට මුහුදු වෙරළට ගිය ඔහු සිය අස්වාභාවික ගෘහ ජීවිතේ ගැන කල්පනාවට වැටුණේය. කුඩා කල සිටම මේ ගෙදර දෙමහල්ලන් අතර රණ්ඩු දබර ඇති නොවුනත් ඔවුන් අතර තිබුන නොසතුට සහ සැඟවුන අප්රසාදය නිරන්තරවම බිත්ති හතර වටකරගෙන තිබුණි. කන්දප්පා පියෙක් ලෙස කෙදිනක වත් දරුවෝ ඉදිරියේ වැනේසා සමග කළහ කළේ නැත. රොෂාන් විදේශ ගත වුන මාස 6 ක පමණ කාලයක් යාන්තමට ජුලියන්ගේ මතක පටයට පැමිණේ.

ඒ මාස 6 ඔවුන් තිදෙනා පුදුමාකාර සමගියකින් සිටි බව ඔහුට මතකය. ඒ කාලය ඇතුලත ඩයනා පිළිසිඳ ගත්තාය. ඉන් පසු මාස 6 කින් රොෂාන් නැවත ජීවිතයට සම්ප්රාප්ත වුන අතර පුරුදු ලෙසම අසමගිය , අඳුර ගෙදර අරක්ගත් බව ඔහුට මතකය.

ඩයනා හට වයස තුන පමණ වන විට කන්දප්පා වැනේසා සමග වූ සියලුම සම්බන්ධකම් ස්වේච්චාවෙන්ම කඩා බිඳ දමා හමුදා නිවස්නයේ වැඩි කලක් ගෙවන්නට පටන් ගත්තේය. සිය පවුල යලි කිසිදා එක් කළ නොහැකි අයුරින් බිදී තිබේ. දැන් පියාගේ නුදුරු වියෝවත් සමග එය තහවුරු වේ. ඔහුගේ දෙනෙතින් හේතුවක් නැතුවම කඳුළු ගලා හැලුන අතර නංගි අම්මා සමග තනි වෙනු ඇති බව ඔහුගේ හිතට රිදුම් දුන්නේය. විභාගය ඉවර වුන විගස මාමා වෙතට යාම තුලින් තමාට මේ කටුක පරිසරයෙන් නිදහස් විය හැකි බව ඔහු සිතුවේය.

ජුලියන් සමග ඇතිවූ අනපේක්ෂිත රණ්ඩුව නිසා වේදනාවට පත් වැනේසා මුළු උදේ වරුවම වැළපුනාය. එමෙන්ම රොෂාන් නිසා ඔවුනට ලැබුන සුවපහසු ජීවිතය ගැන ජුලියන් සතුටින් සිටින බව වැනේසා සිතු නමුත් ‘ You are a disgusting mother “ කියා ජුලියන් විසින් බැන වැදීම මත වැනේසා මහත් කම්පනයට පත් විය.

“ මම හැම දේම කළේ මුන් වෙනුවෙන් හැබැයි දැන් සේරටම මාව තමා වැරදි කාරය වෙලා තියෙන්නේ “ කියා සිතු ඇය ජුලියන් වරදකරුවා බව ඒකමතිකව තීරණය කළාය. ඇගේ හර්දය නම් දෙවොලේ සැම විටම විනිශ්යකරුවාද , පැමිණිලිකරුවාද යන දෙදෙනාම වූයේ ඇය වුන අතර හැම විටම තමා නිදොස් කොට නිදහස් කිරීමේ ගතියක් ඇයට තිබුණි.

ඒ අතර හදිස්සියේ රෝශාන්ද කඩා වැදුනේ ඇගේ සුව දුක් බැලීමටයි. විවාහයෙන් පසුව ඇය හමු වීම අවම කරන බවට පවසා තිබුනත් දැන් දැන් වෙන දේවල් සමග රොෂාන්ට එසේ කිරීමට නොහැකිය.

ළඟදී කරගත් දේ නිසා වැනේසා හට තදින් වචනයක් හෝ නොකීමට ඔහු සනිටුහන් කළේය.

රොෂාන් දැකීම නිසා ජුලියන් ඇතිකළ වේදනාව දුරු වන තුරුම ඕ රොෂාන් බදාගෙන හඬා වැටුණාය. ඇගේ කඳුළු ඔහුගේ සුදු කමිසය තෙමාගෙන පහළට ගැලුවේය.

“ මොකද්ද වුනේ සීදේවි ? “ අසමින් ඔහු ඇගේ බඳ වටා අත දමා වැළඳගෙන එක අතකින් කෙහෙ රැලි අතරට ඇඟිලි තුඩු යැවුවේය. මේ වන විට වැනේසා නමැති ආඩම්බර ඇයට හදවතින්ම ප්රේම කළ එකම මිනිසා වූයේ රොෂාන් පමණකි. ඇගේ ජීවිතේ නොබිඳිය හැකි අංග දෙක වුන කන්දප්පා සහ ජුලියන් යන දෙදෙනාම ඇගෙන් වියෝ වී සිටී.

“ කන්දප්පා ගියාට මට කමක් නැහැ. ඒත් මගේ පුතා ඒ නිසා මට වෛර කරනවා “ ඕ හඬමින් රොෂාන්ට තෙපලාය.

ඇගේ ජීවිතේ අද තිබෙන ගැටලු වලට තමා හේතුවක් හෙයින් ඔහුගේ හිතේ ඇති වුනේද වරදකාරී හැගීමකි.

“කොහොමත් දරුවෝ ලොකු වෙද්දී අපෙන් වෙන් වෙනවා වැනේසා “ ඇය සනසවනු පිණිස ඔහු කීවේය.

“ නැහැ. මගේ පුතා මාව පිළිකුල් කරනවා. නමුත් ඔයාට ආදරය කරනවා. ඔයා එක්ක කිසිම තරහක් නැහැ “ වහාම කීවේ අනාගතයේ රොෂාන් වෙතින් ලැබිය යුතු දෙයක් වෙත්නම් එය ජුලියන්ට නොලැබී යනු ඇතියි ඇගේ මොලයට ක්ෂණික සිතුවිල්ලක් ඇතිවුන බැවිනි.

“ සමහර වෙලාවට අපි අදහස් නොකරන දේවල් කියනවා වැනේසා. ඒවා අපි කියන්නේ ආවේගය නිසා . මගේ ගෙදර ජීවිතෙත් එකම පිස්සන් කොටුවක් “ කියමින් හේ පහත් කරගත් හිසෙන් යුතුව සුසුමක් හෙළුවේ රුක්මා සිහි වීමෙනි.

අහම්බෙන් ඇසුණු සතුටු දායක වාක්යය සමග වැනේසාගේ දුක හිරු දුටු පිනිබිඳු මෙන් අතුරුදහන් වුයෙන් ඒ ගැන තව තොරතුරු දැන ගැනීමට වැනේසා යුහුසුළු වූවාය.

“ පිස්සන් කොටුවක් කීවේ ?” කියමින් ඇය රොෂාන් ගේ අතක් අල්ලාගෙන ඔහු වෙත නැඹුරු වූයේ රුක්මා ළඟදී දික්කසාදයක් ඉල්ලනු ඇතිද යන දෙගිඩියාවෙනි.ඒ සමග ඇගේ මුහුණේ සුන්දර සිනාවක් මතු විය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article