කුල ගෙය – Episode 20

Jul 17, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

“ රෙජී වැටුන මනුස්සයෙක් දැක්කහම එලව එලව පහර දෙන එක මනුස්සකමක්ද ?"

Continue Reading Below

වැනේසා ඇසුවේ බයට පත් දෙනෙත විශාල කරගෙනය.

“ එතකොට කසාද මිනිහා බල්ලෙක් වගේ පැත්තකට විසික් කරලා, ඒ මිනිහා හදපු ගෙදර කාමරේ ඇඳ උඩ වෙන මිනිහෙක් ගෙන්නාගෙන නිදියන එක මනුස්සකමක්ද වැනේසා?” ඔහු උත්තර දුන්නේ අතීතයේ වේදනාව නැවත වරක් තම ලයට තුරුළු කරගෙනය.

සිය නීතියානුකූල සැමියාගේ තත්වය වටහාගත් වැනේසා කට වසා ගත්තාය. ස්වභාවයෙන් කීකරු , ප්රියංකර තෙපුල් තෙපලන ගැහැනියක් වන වැනේසා පිරිමින්ගේ මන බඳින සහජ හැකියාවක් ඇත්තියකි. නමුත් එහි ඇත්තේ නියගලා මලක මෙන් හලාහල විසක් බව කන්දප්පා වටහා ගත්තේ කුසුම්ගේ කෝපයෙන් බනින , කල කෝලාහල කරන පෞර්ෂත්වය සමගය.

වැනේසා ගේ ලලනෝපචාර හැසිරීම් සහ භාවහාව ලීලා යනු වස මුසු සීනි නම් කුසුම්ගේ රණ්ඩු හැසිරීම් යනු ගුණදායක තිත්ත කරවිල මෙන් දැන් කන්දප්පාට පෙනේ. ඇගේ බැනුමක පවා ඇත්තේ ආටෝපයෙන් තොර අව්යාජ ස්ත්රීත්වයයි. ප්රේමය පිදු මිනිහා කෙරෙහි ඇති පක්ෂපාතීත්වයයි.

මුල් කාලයේ මේ දෙදෙනා අතර ඇති අවකල් සම්බන්ධය නතර කරන්නට තමා කොපමණ වෙහෙසක් ගත්තාද ? ඔහු නැවත ආවර්ජනය කළේ දුකෙනි. මදකට සන්සුන් වූ ඔහු හැගීම් මැඩගෙන අසුනට බර විය.

“මෙහෙමයි වැනේසා දැන් ඔය අතීතය කතා කරාට වැඩක් නැහැ. අපි වර්තමානයට මුහුණ දෙමු” ඔහු කීවේය.

“රොෂාන් කසාද බැන්දේ ඔයා නිසා “ වැනේසා තුරුම්පුව අනික් අතට ගසන්නට වූයේ කලබලය නිසාය.

මෙයට පිළිතුරු දීම වෙනුවට කන්දප්පා ගේ මුහුණෙන් මතු වූයේ පිළිකුල සමග හටගත් හිනාවකි. මේ මුග්ධ ස්ත්රිය බොරු කියන්නේ කොතරම් පහසුවෙන්ද ? ඔහු සිතුවේය.

“රොෂාන්ට ඔයාව කවදාවත් කසාද බඳින්න ඕනේ වුනේ නැහැ වැනේසා. එයාට ඔයා නිකන්ම නිකන් හොර ගෑනියෙක් විතරයි”

මේ කතාවට දණ්ඩෙන් පහර කන ලද සර්පයෙක් මෙන් වැනේසා කිපුනේ පිරිමි දෙදෙනක් අතරේ රැජිනක් ව සිටි තමා අද දෙදෙනාගෙන්ම ප්රතික්ෂේප වීම නිසා අභිමානයට වැදුන බරපතල පහරිනි.

“ එහෙම නම් රොෂාන් මට මේ දැන් කරන දේවල් කරනවද ? මේ දේවල් මන් වෙනුවෙන් කරන්න ඔයාට බැහැනේ ” වැනේසා ඇසුවේ තාමත් තමාගේ අගය ගැන කන්දප්පාට කිවීමට මෙනි.

“ ඕ… ඒ ඔයා හිතන හැටි. රොෂාන් කියන්නේ ලොකු ධනවතෙක්. ඔයාට ඔය දෙන සොච්චම එයාට ලොකු ගානක් නෙවෙයි වැනේසා. හැබැයි මම ඔයාට දුන්නේ මට මේ ලෝකේ තියන හැම දේම. මගේ බිරිඳ කම…. මගේ ආදරය …රොෂාන්ට වගේ සල්ලි නැතත් මට තියන හැම සතේටම අමතරව ඔයාට නය වෙලත් මම සල්ලි දුන්නා. ගෙවල් හැදුවා. ….. මගේ ගෞරවය නැතුව යද්දිත් මම මේ ගෙදරට ඇවිත් ලෝකේ ඉස්සරහ දරුවන්ගේ තාත්තා හැටියට මගේ යුතුකම් කලේ ඒ නිසා. මොනවා වුනත් මම ඔයාට කවදාවත් අතක් උස්සලා පාරක් වත් ගහල තියනවද? හැබැයි මුල් අවුරුදු පහ පුරාම මම අහුවෙන හැම වතාවකම ඔයා එක්ක රණ්ඩු කරා . මිනිහෙක්ට සීමාවක් තියනවා වැනේසා. මට දැන් ඔයා ඔහොම නෙවේ පාරේ හිටගෙන ඉන්න ගෑනියෙක් වුනත් ලොකු ගැටළුවක් නැහැ “

කතාවේ වේගය නිසා කන්දප්පා හයියෙන් හුස්ම ගත්තේය. ගෙවත්තේ කොනක කූඩු කර සිටින අල්ටේෂන් වර්ගයේ සුනඛයා කන්පොට ගැසුවේ කන්දප්පාගේ දුක් ගීයට තාලයක් අල්ලන්නාක් මෙනි.

අතීතයේද කන්දප්පා මේ ගැන කළහ කරන හැම වතාවකම වැනේසා කරබාගෙන සිටි නමුත් නැවත. නැවත ඒ වරදම කළාය.

“ රෙජී අනේ මාව දාල යන්න එපා. මම වෙනස් වෙන්න උත්සහ කරන්නම්. මට සමා වෙන්න “ වැනේසා තෙපළේ ඔහුගේ අනුකම්පාව ලබා ගැනීමටයි. ඔහුගේ දික්කසාදය කෙටි කලකට හෝ වලක්වා ගතහොත් කුසුම් නමැති දුප්පත් ගැහැණියට යම් මුදලක් මිට මොලවා ලේසියෙන් ඉවත් කළ හැකි බව වැනේසා සිතුවාය . මුදල් නම් ඉල්ලන තරමක් රොෂාන් ලබා දේ.

“නැහැ වැනේසා… ඔයාට වෙනස් වෙන්න අවුරුදු 12 ක් තිබ්බා. වෙනස් වෙන්න කියල මම ඉල්ලපු හැම ඉල්ලීමක්ම මඩේ දාල පෑගුවා ඔයා . මම ඔයාගේ වචන විස්වාස කරන්නේ නැහැ. රොෂාන් කසාද බැන්ද නිසා එයාව අතහැරලා දැන් වත් හොඳින් ඉඳීවි කියල මා විස්වාස කරා. නමුත් අද උදේ ගෙදර ආව නිසා තමයි මම දැනගත්තේ ඔයාගේ වෙනස් වීම හැමදාම වගේ තවත් එක බොරුවක් විතරයි වැනේසා “

“ ඇයි ඔයා එහෙම කියන්නේ ?” ඉතා අහිංසක ලෙස ඇසු අයුරු දුටු කෙනෙක් හිටියා නම් කන්දප්පාට බනින්නට පවා තිබුණි. නමුත් වසර ගණනක් නොකඩවා මේ අහිංසක බව ඉදිරියේ නැවත නැවත රැවටුන ඔහු තව දුරටත් ඇගේ වචන මායිම් කළේ නැත.

“ වාසනාවට මම ජුලියන් එක්ක කතා කළා. ඒ අනුව මට සිදු වුන දේ තේරුම් ගන්න අමාරු නැහැ. ඔයා මහා ලජ්ජා නැති ගෑනියෙක් වැනේසා. ඔයා කරපු වැඩේ මුල ඉඳල මම දන්නවා. රොෂාන්ට මම ඒ ගැන කීවොත් ඔයාට ලැබෙන මුදලුත් නැති වේවි ඉස්සරහට. මට ඒ දේ කරන්න තියන්න එපා වැනේසා. මා ළඟ සාක්කි තියනවා . ග්රේස් වගේම ඒ දොස්තර ගැනත්. රොෂාන් මෝඩයෙක් වුනාට මම මෝඩයෙක් නෙවේ. ඒ නිසා පරිස්සමෙන් ඉන්නවා”

“ දෙවියන්ගේ නමට රෙජී ඔයාට මොනවද වෙන්න ඕනේ?” වැනේසා කීවේ තැති ගැනීමෙන් සහ වේදනාවෙනි. එමෙන්ම තමා කළ දේ හෙළි වුනොත් රොෂාන් තමා සමග අමනාප වන බව දන්නා ඇගේ කොන්ද හරහා හිරියක් දුව ගියේය.

වැනේසා ගේ භය වටහාගත් කන්දප්පා තමාගේ ඉල්ලීම ලබා ගැනීමට සුදුසු මොහොත මෙය බව සිතුවේය.

“මට කරදරයක් නැතුව දික්කසාදය ඕනේ වැනේසා . ඔයාව උසාවි ගෙනියලා , දෙන්නා නයි වගේ කාගෙන දරුවන්ගේ මූනේ දැලි ගාන්න ඕනේ නැහැ. මට එහෙම පුළුවන් වුනත් මම එදත් හිතුවේ දරුවන්ට මානසික හිරිහැර අවම වෙන්න ගැටළු විසඳන්න. අද හිතන්නෙත් ඒ විදිහයි “

ඔහු කියද්දී වැනේසා නිසොල්මනේ අසා සිටියාය. ඇයට කතා කරන්නට මොහොතක් නිහඩව සිටි කන්දප්පා ඇය කතා නොකරන හෙයින් ඉතුරු ටික කියන්නට පටන් ගත්තේය.

“මම දික්කසාද නඩුව දාන්න ලෝයර් කෙනෙක් හමු වුණා. මම දමන්නම්. ඔයා එකඟ වෙන්න ඕනේ”

“ඔයා කොහොමද මාව අතහැරලා යන්නේ ?” වැනේසා ඇසුවේ දැඩි දුබල සරෙකිනි.

“මාත් මනුස්සයෙක් වැනේසා මටත් වැටිලා ඉන්න තැනක් ඕනේ. මටත් පවුලක් ඕනේ. මටත් ආදරේ කරන්න ගෑනියෙක් ඕනේ. මටත් ජීවිතයක් ඕනේ. මේ නාඩගම අවුරුදු 12 ක් නැටුවා . දැන් ඇති.” ඔහු කෝපයෙන් සුදුමැලි විය.

“තමුසේ මේක නොකරොත්..මම කරන හැටි දන්නවා. ඒ වගේම රොෂාන් දැනගනීවි තමුසේගේ නාඩගම “ කියමින් ඔහු ගෙරෙවුවේය.

අනුකම්පාවෙන් තව දුරටත් ඔහුව නම්මවා ගත නොහැකි බව තේරුම් ගත් වැනේසා

“ ඔයාට ඕනේ ඒක නම්, ඒක කරන්න රෙජී. ඔයාට ගෙදර ඕනේ නම් ඒකත් ගන්න. මට සල්ලි මුකුත්ම එපා. ඔයාගේ දරුවන්ට ඔයාගෙන් යුතුකමක් ඇති කියා හිතනවා නම් ඒවා කරන්න. …” සංවේගයෙන් තෙපලාය.
“ මගේ දරුවන්ට යුතුකම් කරන එක මම නතර කරලා නැහැ. හැබැයි ඔයා රොෂාන්ගේ සල්ලි පෙන්නලා මගේ දරුවෝ දෙන්න ඉස්සරහ මාව නීචයෙක් කරලා දැම්මා. ඒ වුනත් මම දිගටම මගේ දරුවන්ට ආදරේ කරා. ඒ නිසයි හැම Parent meeting එකටම ඔයා එක්ක ආවේ. හැම තරඟයටම ආවේ. රොෂාන්ගේ සල්ලි වලට හැමදේම කරන්න බැහැ වැනේසා. මගේ දරුවෝ ලොකු වුනාම තේරුම් ගනීවි” ඔහු සුසුමක් හෙළුවේ ආවේගයට වඩා දුකෙනි.

“රෙජී ඔය ගෑනි එලවපු දවසක ඔයාට ඕනේ වෙලාවක මගේ ගෙදර දොර ඇරිලා තියෙන්නේ.” වැනේසා තෙපලාය.

කන්දප්පා ගේ මුහුණේ හිනාවක් නැගුණි.

“ කුසුම් එහෙම මාව එලවන්නේ නැහැ වැනේසා . එලෙවුවත් මම නැවත ඔයා ලඟට එන්නේ නැහැ. මොකද පහුගිය අවුරුදු 12 ම ඔයා මාව එලෙවුවේ නැති වුනාට මාව අර බල්ලාගේ තත්වයෙනුත් පහලට දාලනේ තිබ්බේ “ කියමින් ඔහු බල්ලා වෙතට අත දිගු කළේය.

“ ඇයි ඔයා එහෙම කියන්නේ රෙජී ? හරිම අසාධාරණ කතාවක් ඒක” කියමින් ඔහු ළඟ පුටුවට පැමිණි වැනේසා ඔහුගේ අත අල්ලා ගත්තීය. ගිය සතියේ සිදු වුන දෙයින් බයට පත් කන්දප්පා වහාම ඇගේ අත ගසා දමා ඈත තිබෙන අසුනක් වෙතට ගියේය. දෙවතාවක් කුසුමට ද්රෝහී වීම කන්දප්පාට නොරිසි විය. අනික දැන් ඇතිවී තිබෙන තත්වය දික්කසාදය ලදා ගැනීමට හොඳම අවස්ථාවකි. එය නිකන් මග හරිය යුතු නැත.

“එහෙනම් මම දික්කසාදයට ලබන සතියේ අත්සන් තියනවා. ඔයාට නොතේසි ලැබේවි. කලබල නොකර අත්සන් කරලා බාර ගන්න . නැත්නම් වැනේසා ඔයා ඊයේ ග්රේස් එක්ක එකතු වෙලා කරපු ජරා වැඩේ මම රොෂාන්ට කියනවා. “ වැනේසා ඔහු දෙස බයෙන් බලාගෙන සිටියාය.

මේ අයුරින් ඔවුන්ගේ කතාව යන අතරතුර, අම්මා ගෙදර පැමිණීමෙන් පසු මෙය සුපුරුදු නාට්යය දර්ශන වලින් එකක් බව වටහා ගත් වැඩිමහල් ජුලියන් ගෙයින් පිට වුනේය. යන්නට පළමු ඔහු වැනේසා සහ ග්රේස් ගේ නාඩගම ගැන පියාට පවසා තිබුණි. ඔහු කිවූ කරුණු සහ නොකිවූ කරුණු එකට ගොනු කොට කන්දප්පා හරියටම හිස්තැන් සම්පූර්ණ කරගෙන සිදු වුන දෙය ගැන පහසුවෙන් චිත්රයක් මවා ගත්තේය.

ජුලියන්ට සැබවින්ම වැඩිමහල් දරුවා ලෙස සිය මවට කොතෙක් ආදරේ නමුත් හටගත්තේ දැඩි කලකිරීමකි. ඔහුගේ හොඳම යහළුවෝ ඔහුගේ අම්මාගේ අනියම් සම්බන්ධය ගැන ඉඟියකින් හෝ ඔහුට අවමන් නොකලද ඔවුන් ඒ ගැන දන්නා බව ජුලියන් දනී. ඔහුගේ හොඳම මිතුරා දනුෂ්ක පාසලේ දක්ෂ ශිෂ්යයෙකි. දනුෂ්කගේ නිවසට නිතර යන එන ජුලියන් අම්මා වරු ලෙස දනුෂ්කගේ අම්මා හිතේ ඇඳ ගත්තේය. දනුෂ්කගේ අම්මා වැනේසා මෙන් සුන්දර නැත. ඇය රූපය ගැන ලොකු සැලකිල්ලක් නොදැක්කුවත් වයසට කැපෙන ලෙස ලස්සනය. නමුත් මහතය. තමාගේ අම්මා මෙන් සැලුන් එක සහ ලස්සනට සැරසීම ජීවිතය කරගත් ගැහැනියක් නොවේ ඒ අම්මා.

ජුලියන් ගෙදර ගෙවන ජීවිතය ගැන දන්නා දනුෂ්කගේ අම්මා ඇතැම් දිනවල ජුලියන් දනුෂ්ක සහ මල්ලිලා සමග එහි නතර කර ගනී. දනුෂ්කගේ මල්ලිලාට ඒ අම්මා කවන පොවන හැටි , තාත්තා සමග කවටකම් කරමින් සිනාසෙන හැටි දකින ජුලියන් ඇතැම් විට කම්පාවට පත් වේ. එබැවින් ඔහු තීරණය කලේ උසස් පෙළ ඉවර වුන විගස මාමා වෙසෙන නවසීලන්තය කරා යාමටය.

එදත් පාඩම් වැඩ කිරීම පසෙක තබා අම්මා නිදි පෙති බීම ගැන ලජ්ජාවෙන් ඔහු කන්දප්පා සමග වචන කීපයක් කතා කර ගෙදරින් පිට වුනේ දනුෂ්කගේ ගෙදර යාමටයි.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article