කුල ගෙය – Episode 19

Jul 10, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

දුරකථනය දමා ගසා යුගල යහන වෙත දිවගිය රොෂාන් තවදුරටත් කෑ ගැසීමට නොහැකි ලෙස රුක්මා කට තද කොට අල්ලා ගත්තේය.

Continue Reading Below

“ ශ් ..ශ්… “ කියමින් දෙතොල් අතරට ඇඟිලි තබා ඔහු කෑ නොගසන මෙන් රුක්මාට කන්නලවු කළේය. මේ අතර රුක්මා ගේ කෑ ගැසීම ඇසුන හෙයින් ළමාතැනී පැමිණ තුන් වන මහලේ රොෂාන්ගේ පුස්තකාලය සහ නිදන කොටසට යන ස්ථානයේ දොරට ගැසුවාය. නිවස්නයේ ඒ කොටස සදා තිබුනේ නිවසින් සම්පූර්ණයෙන්ම වෙන් වන පරිදිය. පරම්පරා ගානක් පරණ පිත්තල භාණ්ඩ මෙන්ම පෘතුගීසි සමයේ කැටයම් වලින් අනූන මහාර්ඝ ගෘහ භාණ්ඩ වල ගැටීමෙන් ළමාතැනීගේ හඬ බොල් වී ගියාක් වැන්න.

“ඔයා එලියට එන්න එපා “ කියමින් තවමත් වේදනාවෙන් ආකූල රුක්මා ඇඳ මත තැබූ රොෂාන් දොර වෙත ගියේය. ඉක්බිති අම්මාට එන්න බැරි වෙන විදිහට කුඩා ඉඩක් පමණක් දොර හැර “ ඇයි අම්මා ?” යයි ඇසුවේ අප්රසාදයෙනි.

“ දරුවා කෑ ගහනවා ඇහුණා පුතේ “

“ නැහැ..නැහැ මුකුත් නැහැ… අම්මා යන්න “ කියූ ඔහු වහාම කාමරයට ආවේ දොර තද කර වැසීමෙන් පසුය. තවමත් එලිය හරියට වැටී නැත. මනහර සිසිල් සුලඟ ගේ අවට හැමුව නමුත් කාමරේ දොර ජනෙල් තද කර තිබුන නිසා ඔවුන් වෙතට සුළඟක් ආවේ නැත.

රුක්මා විසින් නිදාගත් වියන් ඇඳ තවමත් ඒ අයුරින්ම තිබේ. රොෂාන් ඇගේ කම්පනය පහව යන තුරු ඉකි ගසන රුක්මා ගේ හිස අතගෑවේය. ඊයේ රාත්රියේ වැනේසා ගැන දුක් වුන ඔහුගේ හිත මංගල රාත්රියේ සැමියා නැතිව ගෙවා උදේ තමාගේ සංවාදය ඇසීම නිසා වේදනාවෙන් ගැහෙන රුක්මා වෙනුවෙන්ද නොමදව උණු වී ගියේය.

ඔහුට විශාලම බය වූයේ රුක්මා හදිස්සියේ හෝ සිදුවුණ දෙය අම්මාට හෙළි කළ හැකි වීමයි. එසේ නොකිරීමට ඇයට හේතුවක් නැත. එසේ නැතහොත් ඔහු වඩා බය වූයේ ඔහුගේ සංවාදයේ කවර කොටසක් රුක්මා ඇසුවාද යන කරුණයි. ඔහුට මහත් ලැජ්ජාවක් දැනුණි.

එමෙන්ම සතියකට ඉහතදී ලාල් විසින් රුක්මාගේ මවුට අයත් අක්කර 150ක “ඇටන්ගොල්ල” තේ වතු යාය රුක්මාට පවරා තිබුණි. රුක්මාට ඕවා ගැන දැනුමක් නැති හෙයින් රොෂාන් සිතා සිටියේ ඒ වතු යායේ තේ වලට අමතරව තව තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පටන් ගැනීමටයි. එමෙන්ම මුළු සබරගමුවටම අයත් තේ දළු එකතු කිරීමේ ඒකාධිකාරය අත්පත් කර ගැනීමයි. ගාමිණී අතුකෝරාල මහතා ඔහුගේ දේශපාලන හිතවතෙකි. සමන් දේවාලයේ බස්නායක නිලමේ ඔහුගේ හිතවත් මිත්රයෙකි. ඒ පලාතට ගොස් නොයෙක් දුරාචාරී වැඩ වල යෙදීම ඇතැම් විට රොෂාන් විසින් සිදු කරයි.

විවාහයෙන් ලද දේපොළ ගැන ඒ අයුරින් බලාපොරොත්තු තැබුවත් දැන් ඒවා රුක්මාට අයිති නිසා ඇය තමා හැර දමා ගියත් නිදහසේ ජීවත් විය හැකිය. නැවත ශ්රීමතී ගේ නිවසට යාමට හේතුවක් නැත. ඒ මදිවට චේ ගුවේරා කාරයන්ගේ තිප්පොල වන පේරාදෙණිය විශ්ව විද්යාලයට ඇය තේරී තිබීම රොෂාන්ගේ ඇහැට කට්ටක් අනින්නාක් මෙන් වේදනාවක් ගෙනාවේය.

එබැවින් රුක්මා කෝප කර ගැනීමේ භයානක කමද රොෂාන්ට නොපෙනුනා නොවේ. නමුත් රුක්මා ඒ ගැන හිතුවේ වත් නැති. ඈ සිටියේ වේදනාවෙන් පියවි සිහියට නොපැමිණය. හැම දේටම වඩා රුක්මාට තමා කළ අකටයුතුකම ඔහුට හොඳින් පෙනී ගියෙන් ඔහු කීකරු බල්ලෙක් මෙන් නිවට ලෙස හැසිරෙමින් චාටුවෙන් රුක්මාගේ අනුකම්පාව දිනා ගැනීමට පටන් ගත්තේය.

ඉකිබිඳිමින් සිටින රුක්මා වටේ අත දමා ඔහු බැලුවේ රුක්මා කෝපයෙන්ද කියාය. රුක්මා අත ගසා දැමුවේ නැත. එවැනි වැඩ කිරීමේ හැකියාවක් රුක්මාට තිබුනේ නැත. විනාඩි 30 ක් ඇතුලත දෙවෙනි දිනයට අන්දවන කටයුතු වෙනුවෙන් ජායතී භායි එන හෙයින් ඔවුන් දෙදෙනා උඩු මහලට ගෙන්වාගෙන තේ පානය කළහ. කෙසේ හෝ සිදු වුන දෙය අම්මාට නොකීමට ඔහු රුක්මාව පොරොන්දු කරවා ගත්තේ මුළු කතාවම ඇයට පසුව කියන බවත් සත්යය රුක්මා හිතන දෙයින් සෑහෙන්න වෙනස් බවත් රුක්මාට ගිවිසීමෙනි.

ඔහු ඇගේ දෙතොල් සිපීමට උත්සහ දැරූ අතර රුක්මා ප්රතිචාරයක් නොදක්වා නිසොල්මන්ව සිටියෙන් ඔහු ඇය බෝනික්කෙක් මෙන් ඔසවා ඔඩොක්කුවේ තබාගෙන හාද්දක් දුන්නේය.

ජායතී කාමරයට පැමිණෙන විට රොෂාන් පහළ මාලයට ගිය අතර ගාමිණී හමුවී එදාට නියමිත වැඩ කීපයක් ගැන උපදෙස් දුන්නේය. රුක්මා ඇඳුම් අඳින විට විටින් විට පැමිණි ළමාතැනී රුක්මාගේ හිස අතගා ආදර වදන් තෙපලාය. රුක්මා ඇඳුම් ඇඳගත් විගසම ඇය කිරිබත් සහ මාළු ඇඹුල්තියල් පිඟානකට බෙදාගෙන ඇවිත් ඇඳුම් වල නොගෑවෙන පරිදි රුක්මාට කටවල් කීපයක් කැවුවාය. රෙජිනා විසින් ගෙනත් තබා තිබු රෙදි කඩ ගැන වචනයක් වත් ළමාතැනී ගෙන් පිට නොවීම ගැන රුක්මා සිටියේ විමතියෙනි.

වැරදිලා හෝ එය පරීක්ෂා කර සියලු ඥාතීන් ඉදිරියේ කිසිඳු වරදක් නොකළ තමා සිය ඥාති සොයුරිය මෙන් ලජ්ජාවට පත් වෙතියි ඕ බොහෝ බයෙන් සිටියාය. උදේ පාන්දර රෙජිනා ඒ ගැන කලහයක් පටන් ගන්නට සූදානම්ව තිබුනත් මල්ලිව තරහා ගස්සන්න එපා යයි ඇගේ සැමියා සේනාධීර උඩුවාවල දැඩිව අවවාද කර තිබුණි. මේ හොඳ දවසේ අම්මා සමග රණ්ඩුවක් ඇල්ලීම යනු සාමකාමී මිනිසෙක් වූ සේනාධීර අකමැතිම දෙයකි.

“ ඔවු මෙතන මගේ පලවෙනි දවසේ රෙදි බලන්න රෙදි නැන්දලා, අහල ගම් හතක නෑදෑයෝ කාමරේට එද්දී ඔයා සද්ද නැතුව හිටියා . දැන් මෙතන අර අනාත කෙල්ල ගේ බලන්න දෙන්නේ නැහැ.” කෝපයෙන් තෙපලාය.

“ එතකොට මම රොෂාන් වගේ වයසක නෙවේනේ හිටියේ රෙජිනා. මට ඒ වගේ හැකියාවක් තිබ්බේ නැහැ, වලවුවේ චාරිත්ර වලට පිටින් යන්න. මට තේරෙනවා ඒ වුන දේ වැරදියි කියල” ඔහු සුසුමක් හෙළුවේ මගුල් දිනයේ උදේ පාන්දර බිරිඳ එවන් තත්වයකට පත් වීමට ඉඩ දීම ගැන වසර 18 කට පසුවද කනගාටු වෙමිනි.

“අනික අපි දෙන්නා රොෂාන් සහ රුක්මා තරම් වත් එකිනෙකා දැනගෙන හිටියේ නැහැ ඒ වෙද්දී. මගුල් දවසට කලින් දැක්කේ එකම සැරයයි. “ රෙජිනා කීවේ සිය යෞවනයේ නැවත නොඑන්නටම හැරදා ගිය ඒ සුන්දර දිනය සිහි කරමිනි.

ඔවුන් දෙදෙනා වයස පරතරය වූයේ වසර 5 කි . රෙජිනාගේ වයස එවකට 19 ක් වුන අතර සේනාධීර 24 හැවිරිදි විය. රොෂාන් සහ රුක්මා මෙන් ඔවුනොවුන් අතර බයක් නොව ජීවිතේ මුල් සමයේ හටගන්නා දැඩි ආශාවන් සහ ආදරය ඔවුන්ගේ ජීවිතය පටන් ගැන්මේ සිටම තිබුණි.

“ඉතින් ඔයා අකමැත්තක් පෙන්නුවෙත් නැහැනේ “ සේනාධීර ඇසුවේ ඔවුන් දෙදෙනාට එහා කුඩා ඇඳේ සුවෙන් නිදන බාල දියණිය නිර්මා දෙස බලමිනි.

“ ඔවු. හැදිච්ච ගෑනියෙක් බව නොපෙන්වා ඉන්න මට හේතුවක් තිබ්බේ නැහැ “ රෙජිනා සිය පාරිශුධ්ධත්වය ගැන අහංකාරයෙන් කීවාය.

“ ඔයා දැන් හිතන්න ඕනේ එන කාලේ ගැනයි… අපේ දුලගේ කාලේ වෙද්දී ඔය ප්රාතමික චාරිත්ර අතුගෑවිලා යන්න ඕනේ රෙජිනා”

සේනාධීර ඇගේ මුහුණ දෙස බලා නැවත සුසුමක් හෙළුවේ ඔහු එංගලන්තයේ ඉගෙන ගන්නා සමයේ එකට ජීවත් වුන ලිස්බත් මෙනෙහි කිරීමෙනි.

දේපොළ, සමාජය, කන්යාභාවය වැනි දේට ලන්සු තබා වලවූ දෙකක් අතර ගිවිසුමක් ලෙස හටගත් රෙජිනාගේ විවාහයෙන් ඔහුට දරුවන් උපන්නේය. දශක දෙකක් ගෙවී ගියද නිදහස් ප්රේමයේ මිහිර වරින් වර ඔහුගේ සිතට ඉව අල්ලයි. ලිස්බත් යනු අහස මෙන් නිදහසයි. ඇගේ පසෙකින් ඔහු Dee ගංගාවේ මිටියාවතේ හාන්සි වී කොතෙක් නම් කලාව. සාහිත්යය, දර්ශනය ගැන කතා කරන්නට ඇතිද?

ආදරය යනු ගිමන නිවන පවනක් මිස ජීවන විඩාව තව වැඩි කරන සන්නාහයක් නොවේ. කොතරම් හයිය සන්නාහයක් වුවද පැය 24ම පැළඳ සිටීම වේදනාවක් මිස සතුටක් නොවේ. සේනාධීරගේ කල්පනාකාරී දෙනෙත් දෙස බලන රෙජිනා හැමදාම මෙන් බැල්ම තේරුම් ගත නොහැකිව “ ඔයා මොනවද කල්පනා කරන්නේ ?” ඇසුවේය.

“ මොනවද කල්පනා කරන්නේ “ ඔහු ඔහුටම මුමුනමින් අරුත් විරහිත සිනාවක් පෑවේය. ජීවිතේ ගැන හැම දෙයක්ම පොදුවේ කතා කළ හැකි මිත්රත්වයක් ඇති සහකාරකමක් ඔහු පැතුවත් රෙජිනාට ආලය , විවාහයට පෙර ආලය ගැන නැවත මතක් කිරීම වැනි ගැඹුරු සිතුවිල්ලක් ග්රහණය කර ගත නොහැකිය. ලිස්බත් ගැන කල්පනා කල බව කීවා නම් තරහ වී දවස් 10 ක් වත් ඔහු සමග කතා නොකර සිටීමට කරුණු යෙදේ.

සිය මස්සිනා වුන රොෂාන් ලඟින් ඇසුරු කළ සේනාධීර ඔහුගේ සහ වැනේසා ගේ සම්බන්ධය හොඳින් දැන සිටියෙන් සිය මස්සිනා ගැන අවන්කවම දුක් විය. රෝශාන්ද වැනේසා ගේ අඩුව සමග ජීවිත කාලෙම ජීවත් වනු ඇතියි ඔහු බලාපොරොත්තු විය. රොෂාන් යනු ගැහැනුන් ඇසුරට ලොල් වුන මිනිහෙක් වුවද දක්ෂ ව්යාපාරිකයෙකි. ඉදිරියට යාමේ ආශාවෙන් මඩනා ලද මිනිසෙකි.

ඔහුගේ රුධිරයට නෑකම් ඇති රෙජිනාද දැඩි කාම ආශාවක් ඇති ගැහැණියකි. සේනාධීර ගේ අනුබල දීම මත ඕ සතුටින් සැමියා සමග දිවි ගෙවයි. නමුත් පරිසරයට නිරාවරණය නොවීම නිසා දෝ රෙජිනා කුහක ගති ඇති ගැහැණියකි. ඇය නිතරම කළහ කළේ ළමාතැනී සමගය. සේනාධීර ගේ මව සමගත් සොයුරියන් සමගත් වැඩි හිතවත් කමක් රෙජිනාට තිබුනේ නැත.

කොළඹ කාන්තා විද්යාලයෙන් උගත් රෙජිනා ගේ දොර වැඩ, ඉවුම් පිහුම්, අමුත්තන්ට සංග්රහ කිරීම් ආදියට ශූර ගැහැණියකි. සේනාධීර විසින් ඇයට වුවමනා ලෙස දරුවන් හදාගෙන ජීවත් වීමට නිදහස දී තිබුණි.

සිතුවිලි දැහැනින් මිදුන ඔහු සිය දරුවන්ගෙන් වඩාම ප්රේමයට බඳුන් වුන බාල දියණිය 12 හැවිරිදි නිර්මා දෙස බැලුවේ ආදරෙනි.. මෙකල මෙන් පියවරු දරුවන් වඩාගෙන සුරතල් කිරීම , නැහැවීම, කැවීම සුලභව නොවුන සමයක් වුවද මුදු මොලොක් හදවතක් ඇති සේනාධීර බිරිඳ විසින් හදවතේ නොපුරවන අඩුව පිරවීමට මෙන් නිර්මාට ඇලුම් කළේය.

ඇයට පාසල් අධ්යාපනයෙන් පසු තමා උගත් සහ ජීවත් වුන ආදරයේ පුරවරය Aberdeen shire කරා යැවීමට සනිටුහන් කළේය. බොහෝ විට ඇයද විදේශිකයෙක් සමග ප්රේමයෙන් බැඳුනොත් එයට විරුද්ධ නොවීමට දැන් සිටම සිතුවේය. “වලවුවක හැංගී ඉඩ කඩම් ටිකක් සහ පරණ ගෙවල් ටිකක් රකින්න මගේ දුව ජීවිත කාලෙටම බිලි දෙන්න මම ලැහැස්ති නැහැ. ඔහු ප්රීතියෙන් සිතුවේය. ලෝකේ ලොකුයි. එයා මනුස්සයෙක් ලෙස එයාගේ පාර හොයා ගනීවි.

“ඔයා දැන් ගිහින් අම්මට උදවු ඕනෙද බලන්න “ වටින් ගොඩින් නැගෙන එලිය සමග ඔහු රෙජිනාට කීවේය.

තමා යනු පන ඇති මිනිසෙක් ලෙසට කොහෙත්ම වැඩ කිරීමට නොහැකි රූකඩයක් වුවද ළමාතැනී තමාට දක්වන ආදරය දැක දැක වැනේසා ගැන අසා සිත රිදවීමට රුක්මාට සිතුනේ නැත. තව ස්වල්ප මොහොතකින් ඔවුන් දෙදෙනා චායාරූප ගැනීමෙන් පසු දෙවන දිනය විශාල උත්සවය සඳහා ගෝල් ෆේස් හෝටලය කරා නික්මේ.

හිතේ කොතරම් වේදනාවක් දැනුනත් අමුත්තන්ට සීලාචාර ලෙස සිනා සීමේ සහ අත දීමේ වගකීම හිතට ගත් රුක්මා විචක්ෂන ගැහැණියක මෙන් නැගී සිටියාය. රොෂාන්ගේ අත අල්ලාගෙන තවමත් කන්යාවක් ලෙස වුනත් රතු පැහැ ඔසරියෙන් සැරසී ඕ සිනාමුසු මුහුණින් නිවසින් නික්මුණාය.

මොකක් හෝ නරකක් වී ඇතිද සිතමින් ගෝල් ෆේස් හෝටලයට පැමිණියද මනාල පාර්ශවය විසින් බෙර ගසා මහත් හරසරින් පිළිගැනීම නිසා ලාල් සහ ශ්රීමතී දැඩි උද්දාමයට පත් විය. මනාල යුවලගේ අසුනේ ඉඳගත් රොෂාන් සිය මිතුරන් එකින් එකා භාර්යාවන් සමග ඇදෙන විට සිටියේ ප්රීතියෙනි. හැම දේම ඔහුට වුවමනා ලෙස කරගැනීමට ලැබීම කදිමය.

වසන්ත විටින් විට පැමිණ අක්කා අල්ලා බැලුවේ ඈ හොඳින් දන්නා හෙයින්, කිසියම් දුකක් අක්කාගේ හිනාවට යටින් තිබෙන බවට ඉව වැටුන හෙයිනි. කිසිවක් නොදත් ශ්යාමා තට්ටු ගවුමක් ඇඳ සුරංගනාවියක් මෙන් පැමිණ රොෂාන් ගේ ඇඟේ ගෑවෙන්නට විය. ඔහු ඇය උකුලේ තබා ගත්තේය. ඉක්බිති ඕ අක්කාගේ අලංකාර ආයිත්තම් එකින් එක අතගා මදක් කම්මැලි කමින් ඔඩොක්කුවෙන් බැස ගියාය.

“ අපි ශාමව අපේ දිහා ගේමුද ? “ රොෂාන් ඇසුවේ සිනාසෙමිනි.

“ කුඩම්මා ආදරේම නංගිට. එයා කැමති වෙන්නේ නැහැ “ රුක්මා පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article