කුල ගෙය – Episode 18

Jul 3, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

රොෂාන්ගේ විවාහය දිනය වැනේසා ගේ ජීවිතයේ වේදනාත්මකම දිනයක් විය. වේදනාවට වඩා දුරකථන ඇමතුම් දීම මගින් අනික් විවාහ බිඳ දැමූ ආකාරයට බිඳ දැමීමට නොහැකි වීමේ පරාජය දැඩිව ඇගේ සිත වෙලා ගත්තේය. දුරකථන ඇමතුම අසා අනෙක් ගැහැනුන් මෙන් වෙන්ව යාමට හැකියාව තිබියදී මොන හේතුවකට රුක්මා නැවතුනාද? අනෙක් අතින් රොෂාන්ට වඩා වසර 20 ක් ලාබාල රුක්මා රොෂාන් සමග විවහා වෙන්නේ වෙන හේතුවකට නොවේ. ඔහුගේ මුදල් වලට ඇති කෑදර කම නිසාම බව වැනේසාට සහතිකය.

Continue Reading Below

වේදනාව නිසා උදෑසන සිය මිතුරිය වූ ග්රේස් බැලීමට ඇය ගියාය. ළමයි පාසල් යවා ගේ දොර අතුගා ඉවර වෙනවා සමගම වැනේසා පැමිණි නිසා ග්රේස් සිටියේ කුණු තැවරුණ ඇඳුමෙනි. කවදාවත් නැතුව නොදන්වා පැමිණෙන්නට කිසියම් හේතුවක් ඇතිබව දත් ග්රේස් කලබල වූවාය. දෙදෙනා තේ හදාගෙන සාලයට ගිය විගස ග්රේස් ගේ උකුලේ හිස තබාගත් වැනේසා කුඩා දරුවෙක් මෙන් වැළපුනාය.

“ හරි ඉතින් අපි නිකන් හිටියේ නැහැනේ. උපරිම උත්සහ කරානේ “ ග්රේස් කීවේ වැනේසාගේ හිසකෙස් අතරට ඇඟිලි තුඩු යවමිනි. ඇගේ ජීවිතයටම ඇය වැනේසා මේ තරම් අසරණ වී සිටිනු දැක නැත.

“ එක අතකට හොඳ වැඩේ. රෙජීට කරපු දේට “ යනුවෙන් හිත යටින් හිතු නමුත් ග්රේස් කටින් පිට කලේ නැත.

“අපි මොනවා කරත් එයා එක්ක ඒ ගෑනි හොදින් ඉන්නවා. දැන් දෙන්නා සමගියි. අද එයාගේ වෙඩින් එක . මම යන්න හීන දැක්ක තැනට වෙන ගෑනියෙක් යනවා “ කියමින් වැනේසා ඉකිබින්දාය.

“ ඒ වුනත් ඔයා මෙතන තත්වය ඕනෙවට වඩා හිතන එකයි ගැටලුව. රොෂාන් පෙරේදත් ඔයාව හම්බ වෙන්න ආව බව මට අම්මා කීවා “ යනුවෙන් සිය මිතුරිය අස්වසන්නට ග්රේස් උත්සහ දැරුවාය.

“අපි දැන් හිතන්න ඕනේ ඔය මගුල කඩන ක්රමයක්. ළමයෙක් හම්බ වුනොත් කීයටවත් ඔය ගෑනිව එලෝගන්න ලැබෙන්නේ නැහැ “ කඳුළු පිසදා ගත් වැනේසා පැවසුවාය. රොෂාන්ගේ විවාහ මගුල පැවැත්වෙන අද දිනම සැලසුමක් ක්රියාත්මක කරනවා නම් අපූරුය.

ඔවුන් දෙදෙනා සෑහෙන්න වෙලාවකින් පසු වෙන් වූයේ සැලසුම ක්රියාත්මක කරන ආකාරය ගැන හොඳ හැටි කතා කිරීමෙන් ඉක්බිතිවය. සිසිලියානා දැකීමට ගෙදරට එන්නට ගාමිණීට ඉඩ දීම වෙනුවෙන් ඔහු වැනේසාට බෙහෙවින්ම පක්ෂපාතී විය. ඒ නිසා මෙහිදී ගාමිණීගේ උපකාරය අත්යවශ්ය වේ. ඔහු රුක්මා සමග රොෂාන් බේද කරවීමට ඕනෙම දෙයක් කිරීමට පොළඹවා ගත හැකිය. එය ලොකු පහසුවකි.

එදා හවස ග්රේස් වැනේසා දැකීමට හතට පමණ ගියේ අහම්බෙනි. ඒවනවිට දරුවන් දෙදෙනා කාමර වල සිටියෙන් මුළු ගේම නිශ්ශබ්ද විය. ග්රේස් පිළිගත් සිසිලියානා “ මගේ නෝනා අද හවසින්ම කාමරයට ගියා. ඔලුවේ කැක්කුමයි කියල. නෝනා කෙලින්ම යන්න “ කියා කීවේ ග්රේස් මේ නිවහනට ආගන්තුකයෙක් නොවූ නිසයි.

විනාඩි දෙකකින් “ සිසිලියානා මෙහෙ එන්න..අනේ මගේ යාළුවාට මොකද වෙලා “ කියමින් කෑගහන හඬක් නිදන කාමරයෙන් ඇසුනි.

කලබල වුන සිසිලියානා එතනට දිව යන විට වැනේසා උඩුබැලි අතට යහන මත වැතිරී සිටියාය . ඇයට වමනය ගොස් ඇති බව සහ දැඩි සැරක් කාමරයෙන් නික්මෙන බව සිසිලියානාට දැනුණි.

“ දෙවියනේ නෝනා ..නෝනා” කියමින් සිසිලියානා බෙරිහන් දෙන හඬට ජුලියන් සහ ඩයනා පහලට දුවගෙන ආහ.

“ කෑ ගහන්නේ නැතුව..ඉක්මනින් දුවල ඩ්රයිවර් එක්ක වරෙන් ‘ කියූ ග්රේස් වැනේසා ගේ මුහුණ පිසදමා ඇඳුම් හැදුවාය. මේසය මත ලියුමක් ඇතිබව දරුවනට පෙන්වා එහි දාතම රොෂාන්ට ලියවී ඇති බව පෙන්වා….මේ ගැන පියාට නොකියන මෙන් දරුවන් ගිවිස්වා ගත්තාය.

“ මේ අම්මා නිකන් කලබල වෙලා. රොෂාන් අන්කල් එක්ක පොඩි ප්රශ්නයක් වෙලා. ඔයාල මේ ගැන කියල තාත්තා කලබල කරන්න එපා.”

“ අම්මට මුකුත් නැහැ. මම දැන් එක්කන් යනවා රෝහලට. ඔය දෙන්න සිසිලියානා එක්ක ඉන්න “ කියමින් ලියුමද ගෙන වැනේසා වහා රියදුරු සහ ජුලියන් සමග රථයේ පටවාගෙන ඉවත ගියාය.

“ මම ඉක්මනින් ඇවිත් අම්මගේ තත්වය කියනවා “ කියමින් ඇය කඳුළු සලමින් සිටි ඩයනාගේ හිස නැවත වරක් පිරිමැද්දාය.

ඩයනා හැඬුවේ බය නිසාය. අම්මට මොකවත් වේවි කියන බය ඇයට දැනුණි.

“ I hate that woman” වශයෙන් ඇය සිය සොයුරාට කීවේ රොෂාන්ගේ බිරිඳ වෙන්න සිටින රුක්මාටය. මේ දිනවල ගෙදර මළගෙයක් මෙන් කඳුලින් බර වීමටත් සතුට නැතිව යාමටත්, ඔවුන්ගේ ආදරණීය රොෂාන් අන්කල් ඔවුන්ගෙන් දුරස් වීමටත් හේතුව ලෙස ඩයනා මුළු හදවතින්ම රුක්මාට වෛර කළාය. දැන් ඒ මදිවට අම්ම ඔවුන්ට නැති වෙන්නයි යන්නේ.

වැඩිමල් ජුලියන් සිය නිවසේ පවතින තත්වයෙන් වඩා ලැජ්ජාවට පත් වූයේ අම්මා ගැන වරදක් කිවීමට නොහැකි නිසා කට වසාගෙන සිටියේය. මේ අතර සිසිලියානා විසින් සිය පෙම්වතා ගාමිණීට දුරකතනයෙන් අමතා විස්තරය කියන විට රාත්රී අට වී තිබුණි.

ග්රේස් විසින් කලින් සූදානම් කරගත් ඇගේ මිතුරාගේ පුද්ගලික ඩිස්පැන්සරියට වැනේසා රැගෙන යන ලදී. ඔවුන් දෙදෙනා දහවල් ලොකු මුදලක් දෙන පොරොන්දුව පිට එහි ඔසු සංයෝග කරන ගැහැනියගෙන් මිය නොයා වමනේ යාමට ගත යුතු තරම් නිදි පෙති ලබා ගන්නා ලදී. ඇය විසින් ඒවා හවස 7.30 ට පමණ ගැනීමටත් . ඉන් පැය බාගයකට පසු මුකුත් නොදන්නාක් මෙන් ග්රේස් ගෙදර ඒමටත් දෙදෙනා කතිකා කරගෙන සිටියහ. වැනේසා ඇතුලත් කළ ඩිස්පැන්සරියේ නම සහ ලිපිනය ගාමිණීට දෙන ලෙස ග්රේස් විසින් සිසිලියානාට දෙන ලදී.

රොෂාන් සහ රුක්මා ආහාරයෙන් පසු සාමිචි කතාවට සම්බන්ද වන විටම ගාමිණී පැමිණ දොරට තට්ටු කළේ මේ නරක ආරංචිය සමගය. එයින් කියවුනේ “ වැනේසා නෝනා නිදි පෙති ගොඩක් බීල අන්තිමයි ඇයට “ කියාය.

රොෂාන් යා යුතු වුනත් ඥාතීන් ගෙදර සිටින අද වැනි දවසක අම්මා කලබල කරගත නොහැකි බැවින් රුක්මා රවටා සොරෙන් ගෙදරින් පැන්නේ වාහනය අරගෙන මග සිටින මෙන් ගාමිණීට දැන්වීමෙන් පසුය.

වැනේසාගේ සහ ග්රේස් ගේ සැලසුම අකුරටම ක්රියාත්මක වෙමින් පැවතුනි. දෙදෙනා එකට ගෙවන පලවෙනි රාත්රියේම රොෂාන් එලියට ගැනීමට තරම් හැකියාවක් තමාට ඇති බව වැනේසා උදක්ම ආඩම්බරයෙන් මෙනෙහි කළාය.

රොෂාන් උමතුවෙන් මෙන් පුද්ගලික ඩිස්පැන්සරියට ගොඩ වන විට නහයෙන් කටින් බට ගසන ලද වැනේසා දෙනෙත් පියාගෙන සිටියාය. සේලයින් නාලයක් ඇගේ එක අතක ගසා තිබුණි. සමීපයේ ග්රේස් ඇගේ යහන මත හිස ගසාගෙන සිටියේ රොෂාන් එන හඬ නෑසුනාක් මෙනි.

“ මොකද වුනේ? දැන් කොහොමද ?” ඔහු එකවර ඇසීය.

“සද්ද කරන්න එපා රොෂාන්. වැනේසා දැන් සුව වේගෙන එන බව වෛද්ය වරයා මට කීවා.“

“ මොකද වුනේ ග්රේස් ?”

“ මම දන්නේ නැහැ රොෂාන්. මම අද හවස නිකමට එහෙ ගියා. හොඳ වෙලාවට ගියේ. ඒ වෙද්දීත් වැනේසා මොනවා හරි බීල ..මම හිතන්නේ නිදි පෙති. කවුරුත් දැකල නැහැ. මම නොගියා නම් හෙට එළිවෙලා තමා අර මෝඩ ගෑනි දකින්නේ “

“ මෙහෙම කරගන්න හේතුවක් එයාට තිබ්බේ නැහැ : රොෂාන් කීවේ කෝපයෙනි

“ ග්රේස් නිහඩවම ඔහුට ලිපිය අතේ ගුලි කළාය.” මේක රොෂාන්ගේ නම ලියල මෙසේ උඩ තිබ්බා. පිට කෙනෙක්ට අහුවෙන්න කලින් මම බෑග් එකේ දාගත්ත රොෂාන්ගේ අතටම දෙන්න “

ඉක්බිති තමාගේ දරුවන්ගෙදර නිසා ඉක්මනින් යා යුතු බව දන්වා “ එහෙනම් රොෂාන් වැනේසා ට සිහිය එනකම් ඉන්න” කියමින් ග්රේස් ඉක්මනින් සමු ගත්තාය.

වැනේසා ගේ තත්වය තවමත් නිශ්චිත නැති හෙයින් රොෂාන්ට එතන රැඳෙන ලෙස වෛද්ය වරයා නියම කළේය. තරුණ වෛද්ය වරයා ග්රේස් ගේ මිතුරෙක් බව රොෂාන් සැක කළේ නැත. එබැවින් අම්මට අහු වූනොත් වෙන ගැටලුව ගැන සිතමින්ම ඔහු වැනේසා ගේ ඇඳ ළඟ පුටුවේ රැය පහන් කළේය.

ලිපියේ ලියා තිබුනේ “ ඔයා සදහටම නැතුව මට ජීවත් වෙන්න බැහැ. මම යන්න යනවා. ඔයාට සුබපතනවා. මම හැමදාම ඔයාට ආදරෙයි “ යන වාක්යය කීපය පමණි. රොෂාන්ට වැනේසා ගැන මහත් දුකක් මෙන්ම ප්රේමයක් හටගත්තේය. ඇය හැරදමා විවාහයක් කරගැනීම ගැන ප්රථම වතාවට ඔහු තමාටම බැන වැදුනේය. කුමක් වුනත් මින් පසු ඇයගේ හිත නොරිදවන්නට ඔහු සනිටුහන් කළේය.

රාත්රී දෙක පමණ වන විට නින්දෙන් පිබිදී “ මම මේ කොහෙද ඉන්නේ ?” ආදී වශයෙන් දක්ෂ රංගනයක යෙදීමට වැනේසා සමත් වූයෙන් රොෂාන් මෙය සැලසුමක් බව මොහොතකට වත් සැක නොකළේය. ඇය නොමැරී ජීවත් වීම ඔහුට විසල් සහනයක් වුනාක් මෙන්ම තමා ඇයට කොතරම් ආදරේද යන්න අහිමි වෙන තත්පරයේ වටහා ගත්තේය.

තමාට ඇති අධික ආදරය නිසා මේ ගැහැණිය සියදිවි නසාගත්තා යන සිතුවිල්ල ඔහුට පහසුවෙන් බැහැර කළ නොහැකි විය.

උදෑසන වන විට වැනේසා ලඟට සිසිලියානා ගෙන්වා ගැනීමෙන් පසු රොෂාන් නිවැසියන් පිබිදීමට පෙර ගෙට රිංගා ගත්තේ පිටුපස කුඩා ගේට්ටුවෙනි. ඉක්බිති රෝහලේ සිට පැමිණ ඇඳුම් උනා අලුතින් නාගෙන සරමක් සහ කමිසයක් දමා ගත්තේ රාත්රියේම එහි සිටි බව හැඟවීමටය.

රෝහලේ සිටි වැනේසා දැන් නීති රීති වලංගු නොවන බැවින් හිතා මතාම උදේ හය වන විට වෙලාව ගැන හැගීමක් නොමැති දුබල බව හඟවමින් ඔහුට දුරකතනයෙන් අමතුවාය්. ඔහුද එයට පිළිතුරු දුන්නේ රුක්මා තාමත් සැප නින්දේ පසු වන බැවිනි. මේ දුරකථන ඇමතුම රුක්මාට ඇසෙතියි ඕ උදක්ම බලාපොරොත්තු වුන හෙයින් හිතා මතාම ඇමතුම බොහෝ වෙලාවක් ගත්තාය.

රුක්මා කෑ ගසාගෙන ඇඳට වැටෙනු රොෂාන්ට මෙන්ම එහා කොනේ සිටි වැනේසාටද ඇසුනෙන් ඇගේ මුහුණ ප්රීතියෙන් විකසිත වී ගියේය. රොෂාන් වහාම දුරකථනය දමා රුක්මා නිදා සිටි දෙසට දිවුවේය.

ළමයින් පාසලට යවා ග්රේස් වැනේසා බැලීමට පැමිණියාය. තමාගේ සැලසුම වැඩ කිරීමේ ප්රීතිය සමග එකිනෙකා වැළඳගත් ඔවුන් දෙදෙනා සරුවට උදේ ආහාරය ලබා ගත්තේ මිතුරු වෛද්ය වරයා කාමරයටම ගෙන්වා ගැනීමෙනි.

ගාමිණීට කෝල් කර තමන් දෙදෙනා රෝහලෙන් පිට වන බව දන්වා ග්රේස් වැනේසා කැටිව එලියට ආවාය.p>

“ ගෑනි තනියම ගෙදර දාල රොෂාන් මුළු රෑම මගේ ළඟ හිටියා. උදේ කතා කරද්දී ගෑනිට ඇහුනා කියල මට හොඳටම විශ්වාසයි. “ වැනේසා කීවේ සතුටින් ඉපිලෙමිනි.

“අද රොෂාන්ගේ හෝම් කමින් එක නේද?“

“බලමුකෝ හෝම් කමින්ද…ගොයින් ද කියල. අද නම් වැඩේ හරියටම හරි ගියා කියල මට දැනෙනවා “ වැනේසා සතුටින් කීවාය.

ඔවුන් නිවසට යන විට බලාපොරොත්තු නොවූ ලෙස කන්දප්පා පැමිණ ඇති බව දුටු වැනේසා නිරුත්තර වූවාය. ඔහු නොදන්වා නොපැමිණේ. එහෙත් දැන් ඊයේ රාත්රියේ ගෙදර නොසිටීම ගැන ඔහුට කුමක් කියන්නද ? වැනේසා ගේ ලය ගිඩි ගිඩි ගාමින් ගැහෙන්නට විය. නමුත් හිනා මූණක් මවාගෙන ඇය ඉදිරියට ගියාය.

“ හෙලෝ රෙජී..කොයි තරම් සතුටක්ද ඔයා ආව එක ?” කියන විට ඔහු නිරුත්තරව රවාගෙන සිටියේය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article