කුල ගෙය – Episode 17

Jun 26, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

“නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං
දාවග්ගි චක්ක මසනීව සුදාරු නන්තං”

Continue Reading Below

රුක්මාගේ මාමා ගේ දුවලා වන ඊශා, චමරි සහ තවත් දැරියන් දෙදෙනෙක් විසින් ඉතා මියුරුව ජයමංගල ගාථා ගයයි. රුක්මා නිකටේ සහ නළලේ දහඩිය පිසදා ගත නොහැකි අපහසුව දරාගත්තාය. ජයමංගල ගාථා ඇහෙන හැමවිටම ඇගේ සිතේ සතුටක් දැනේ. මාල හත සහ ආභරන දමාගෙන ඊයේ රාත්රියේ සිට ඇඳුම් ඇඳීමේ වෙහෙස රුක්මාට අඩුවක් නැත. උදේ සියලුම ඇන්දවීම් අතරතුර කාටවත් රුක්මාට යමක් කන්න දෙන්න මතක් වුනේ නැත. කොහොමත් ආහාර නොගන්නා ඇය ඒ ගැන මතක් කලේද නැත. ජායතී භායි විසින් ඉතා කදිමට චාම්ව රුක්මා අන්දවා තිබුණි.

තමාගේ මගුල මෙන් උනන්දුවෙන් වටිනා ඇඳුම් පැළඳුම් පිළියෙළ කළ ළමාතැනීද කාටවත් දෙවෙනි නොවෙන්නට විරාජමානව සිටියාය. රෙජිනා ගේ සැමියා සේනාධීර උඩුවාවල ජනාධිපති JR ජයවර්ධන ගේ ළඟ ඥාතියෙකි. රෙජිනාගේ දරුවන් දෙදෙනා ටක්ෂිඩො සූට් ඇඳ ඉතා ලස්සනට පෝරුව දෙස බලා සිටියහ. රුක්මා ලඟම පෝරුවට නංවන ලද මාමා සමග ලාල් හිටගෙන සිටියේය. විවාහයට සාක්කි අත්සන් තැබීමට රොෂාන්ගේ පසින් JR ජයවර්ධන ජනපතිතුමාත් රුක්මාගේ පසින් දළදා මාලිගාවේ දියවඩන නිලමේ හීන් බණ්ඩා උඩුරාවණත් නියමිතව තිබුණි. මුළු විවාහයම අතිශය සාර සුභාවට පැවතිණි.

අෂ්ඨක කියන මහතා විසින් පෝරුවේ චාරිත්ර අවසන් කිරීමට අම්මට සුදු රෙදි දීමේ චාරිත්රය ගැන මද හැඳින්වීමක් කළේය. සුදු රෙදි කච්චි 7 ක් තෙමෙන්න දුවට කිරි දීමේ පව ගෙවීමට මනාලයා විසින් මවට සුදු රෙදි කච්චි 7 ක් ලබා දේ. මේවා චාරිත්ර වුවද ජීවිතේම උපන් දවසේම මියගිය අම්මාගේ චායාවක් වත් මතක නැති රුක්මාට මහා ගින්දරක් විය. නමුත් නාඩා සිටීමට ඈ දැඩි උත්සහයක් දැරුවාය. ඇය තවම පෝරුවේය. හැමෝගෙම නෙත් ඈ වෙත යොමුව ඇති බැවින් රොෂාන් මල් බොකේ එකින් වැසෙන්නට ඇති ඇගේ අත සෙමින් අල්ලා ගත්තේය.

ජීවිත කාලය පුරාම රුක්මාට කෙනෙහිලි කළ ශ්රීමතී ඉතා ගර්වයෙන් රෙදි කච්චි 7 හිසේ තබාගෙන ගියාය. සත්ය දන්නා උදවිය හිතෙන් හිනා වුන නමුත් එතන සිටි අමුත්තෝ කඳුළු සලමින් රෙදි පාර්සලය උස්සන් යන ශ්රීමතී දැක කුටු කුටු ගාමින් ප්රසංසා කළහ.

“ ශ්රීමතී නෝනා පිළිවෙලට මේ අහිංසක දරුවා හැදුවා. වෙන ගෑනියෙක් වුනා නම් මේ දරුවා ඉවරෙටම ඉවරයි. අද මේ වගේ වැදගත් කසාදයක් කරගත්තේ හොඳට හැදුව නිසානේ” දුර ඥාතීන් හැමෝම ශ්රීමතී ගැන කතා කළේ එසේය.

“වංග ගිරියේ තපස් රැක්මට නික්ම ගියේ අපේ බෝසතුන් – නැන්ඟ රථයත් අසුන් දෙන්නත් අතර මගදී පිනට දුන් “

අෂ්ටක කියන්නා අවසාන කවි කියමින් සුබ පතයි. දැන් ඉතින් මේ මිනිසා තමාගේය. රුක්මා සුසුමක් හෙළුවාය.

විවාහය ලියාපදිංචියෙන් පසුව දිවා බොජුන වන විට දැඩි අපහසුවක් සහ බඩගින්නක් රුක්මාට දැනෙමින් පැවතුනි. ජනාධිපති තුමා සහ ආර්යාව යන දෙදෙනාම ඇයට විවාහයෙන් පසු සුබ පතා පිටත්ව ගියහ. එලීනා ජයවර්ධන ආර්යාවගේ සුන්දර බව සහ චාම් කම රුක්මාගේ හිත බැඳ ගත් අතර ජේත්තුවට ඇඳගත් ළමාතැනී ආර්යාව යන තුරුම සාමිචි කතාවේ යෙදෙමින් ආර්යාව සමීපයේ සිටියාය. ශ්රීමතී ඒ වෙතට සංග්රහ කටයුතු හැර වෙන දේකට කිට්ටු වුනේ නැති. රුක්මා සහ රොෂාන් එදා රාත්රිය ගත කිරීමට කොලඹින් එලියට යාමට සූදානම් වුවත් මුලසිටම ළමාතැනී කීවේ පරම්පරා චාරිත්රයට අනුව ගෙදරට කැන්දාගෙන ආ යුතු බවය. රුක්මාද සිය අනාගත නිවස්නය වෙත යාමට ආශා කළාය.

රොෂාන්ගේ නිවසේ පහුවෙනිදා පවතින උත්සවයෙන් පසු ඔවුන් දෙදෙනා ඉතාලිය බලා යාමට සනිටුහන් කරගෙන සිටියහ. එහි ප්රනීත වසන්ත සමයේ යාමට ලැබීම රොෂාන්ට දැඩි සතුටක් විය. ඔහු සංචාරයට කොහොමත් ප්රියය. කොළඹ පුරාම මෙන්ම රටේද කතාබහ වන මේ මංගල්ලය ඉවරකර ඔවුන් කොහේ යනවාද යන්න බොහෝ දෙනෙක්ගේ විමසීමට ලක් වන මාතෘකාවකි. පසුගිය කාලයේ කෙළවරක් නොමැතිව වැඩ කටයුතු කිරීම නිසා ඔහු සිටියේ වෙහෙසින් පීඩිතව විවේකයක් ඇවැසි තත්වයකයි.

රොෂාන්ගේ නිවස විශාල බව දැන සිටියත් මල් වෙඩි හඬ මධ්යයේ හවස 5 ට පමණ එහි සම්ප්රාප්ත වන තුරු එහි විශාලත්වය ගැන ඇයට අවබෝධයක් නොවීය. රැජින පාරේ නිස්කලංකව පිහිටි මේ විසල් මැදුර අවට ඉඩම්ද රොෂාන්ට අයිති වූයෙන් මුළු ලේන් එකම ඔවුන්ගේ නිදගමක් බඳු විය. කොළඹ හදවත මධ්යයේ මෙවැනි ස්ථානයක් පැවතීම රුක්මාට අදහාගත නොහැකි විය. තුන් වන මහල ඔහු වෙත තබා ගැනීමට මුල සිටම සැලසුම් කළ රොෂාන් ගෙදර ඥාතීන් සිටින නිසා එදාට පමණක් රුක්මා තුන් වෙනි මහලට කැන්දාගෙන යාමට සිතුවේය. එබැවින් ඇගේ බඩු භාණ්ඩ වේලාසනම ගෙන්වා අම්මාගේ කාමරයට නුදුරු දෙවන මහලේ විශාල කාමරයක් පිළියෙළ කර තිබුණි.

වෙනම නාන කාමරයක්, බැල්කනි , ආදියෙන් සමන්විත එක අංශයක්ම රුක්මාගේ කටයුතු වෙනුවෙන් ඔහු වෙන් කරවා තිබුනේය. එහි වූ යහන කුඩා හෙයින් වෙනම විශාල වියන් ඇඳක් සූදානම් කර තිබුනේ රොෂාන් එහි සැතපෙන හෙයිනි. ගේ බැලීමට සෑහෙන්න වෙලාවක් ගත වන නිසාත් ගෙදර පිරිස සිටින නිසාත් ලජ්ජාවෙන් මුහුණ හකුලා ගත් රුක්මා ඉක්මනින් රොෂාන්ගේ මහළ තුලට වැදුනාය. ඇගේ ඇඳුම් ආයිත්තම් ඉවත් කිරීමට පැයක් පමණ වෙලා ගත වුන අතර කොන්ඩ කටු ගැලවීමෙන් ශීලාවතී වෙහෙසට පත් වූවාය. අවසානයේ නා ගැනීමන් පසු රාත්රී ආහාරය තුන් වල මහලේ බැල්කනියට දැමීමට ළමාතැනී නියෝග කළාය. රුක්මා නෑයන් සමග ආහාර ගැනීමට පහළ මේසයට ගෙන්වීම ඇයට රුචි නොවීය.

“ තවම පොඩි දරුවනේ. ඔන්න ඔහේ අද උඩම කයි.” කියමින් ඕ ඥාතීන් වෙත කරුණු දක්කුවාය.

රුක්මා දැඩි වෙහෙස නිසා ආහාර ගත්තේ ස්වල්පයකි. රොෂාන් බිත්තර 3 ක ඔම්ලට් එකක් ගෙන එන මෙන් ගාමිනී හට කීවේ කෙසේ හෝ එය වත් කවා ගැනීමේ චේතනාවෙනි.

“ රුක්මා ..ඔහොම කාල බැහැ. දැන් හෙට අනිද්දම ඔයා අම්ම කෙනෙක් වෙනවා. ඉතින් කන්න ඕනේ හොඳට. නැත්නම් ළමයි ලෙඩ වෙන්න පුළුවන්” රොෂාන් ඔම්ලට් එක කෑමට රුක්මා දිරි ගැන්නුවේය.

“ දැන්ම..ළමයි?” රුක්මා ඇසුවේ පුදුමයෙනි.

“ ඔවු රුක්මා. කල් ගෙවුවට වෙන දෙයක් නැහැනේ. කොහොමත් ඉතාලි යන්න කලින් අපි ඩොක්ට ගාවට යමු. මම හරි බයෙන් ඉන්නේ ඔයාගේ කෙට්ටුව නිසා” ඔහු කීවේ කල්පනාකාරීවයි.

රොෂාන්ට දැන්ම ළමයි ඕනේ නම් රුක්මාට ඒ ගැන හිතන්නට හෝ කතා කරන්නට දෙයක් නැත. ඇයට තීරණ ගැනීමේ බලයක් හෝ හැකියාවක් නැත. රුක්මාගේ දැක්මට අනුව රොෂාන් යනු තම ගැන සොයා බලන ආදරණීය සැමියෙකි. ඔහු යමක් කියනවා නම් එය ඉටු කිරීම තමාගේ වගකීමයි.

ඇයට අද දිනය වැනි දිනක ළමයි කියන මාතෘකාව ඔලුවට ආවේ වත් නැත. ඇගේ සිත වැඩ කළේ අද රාත්රිය ගැනය. එම අත්දැකීම ගැන හැම ගැහැණු ළමයෙක්ගේම මෙන් ඇගේ සිතේද වූයේ බයකි. විවාහ වුන ලොකු අක්කලා විසින් සැමියන් ගැන සහ ඒ දිනය ගැන කියූ කතා ඇගේ සිත අරක්ගෙන තිබුණි. හැමෝම කියූ කතාවේ සාරාංශය වූයේ පිරිමි නම්මා ගැනීමට ලිංගිකත්වය හේතු වන බව සහ බිරිඳගේ පාරිශුධ්ධත්වය පවුලේම උදවිය බලාපොරොත්තු වන බව පමණි. ඇගේ එක අක්කා කෙනෙක් ගෙවුවේ දැඩි දුක්ඛිත විවාහ දිවියකි. එයට හේතුව ඇයට විවාහ වන දවසේ කන්යා පටලය ඔප්පු කිරීමට නොහැකි වුන නිසා බව හැමෝම කීහ. ඔවුන් සැබවින්ම ඇයට දොස් කිවීය. ඒ අක්කා නම් දිවුරා කීවේ තමා එවැනි සම්බන්ධයක් පෙර සිට නොපැවැත්වූ බවයි.

ඇත්ත නැත්ත කෙසේ වෙතත් රුක්මා නම් මහත්සේ බය වූවාය. හදිස්සියේ තමාට පිරිසිඳුකම ඔප්පු කරන්නට නොහැකි වුනොත්. තමා පොතකින් කියවූ ආකාරයට එය පිහිටා නැති 30% ට තමා අයිති නම්? රොෂාන් කුමක් කියනු ඇතිද? නැවත තමා ශ්රිමතීගේ නිවසට පිටත් කරනු ඇතිද? එවිට තමා කුමක් කරන්නද ? ඕ කල්පනාවේ බර වෙමින් අල පෙත්තක් සෙමින් සැපුවාය.

ආහාරයෙන් පසු දත් මැදගත් රුක්මා නැවත වරක් ඇඟ සෝදා කොණ්ඩය හොඳින් පීරා විදාගෙන සුවඳ පැන් වත්කරගෙන පළමු රාත්රියේදී ඇඳීමට මසන ලද සුන්දර ඇඳුම ඇඟ ලා ගත්තීය. ඇය සැරසී යහනට එන විට පොතක් කියවමින් රොෂාන් වියන් වලින් යුතු විශාල යුගල යහනේ කොනක වාඩි වී සිටියේය.

මෙවිටම ගාමිණී පැමිණ දොරට තට්ටු කළ හෙයින් රොෂාන් ඔහු දැකීමට ඉවත ගිය අතර රුක්මා ඔහු නැවත පැමිණෙන තුරු බලා සිටියාය. ගාමිණී පිටත් වුන පසු රොෂාන් කාරයට පැමිණියද ඔහුගේ මුහුණේ කිසියම් සඟවන්නට වෙර දරන පීඩනයක් ඇති බව රුක්මාට නිකමට සිතුනි.

ඇඳ මත වාදී වී දිගු කෙහෙ රැලි අතර ඇඟිලි යවමින් සිටින රුක්මා දෙස බැලු හෙතෙම …

“ ළමයව කොණ්ඩෙට වැහිලා. පේන්නේ කොණ්ඩයක් විතරයි.ඔයාව පේන්නේ නැහැ” කියමින් ආයාසයෙන් සිනා සුනේය.

මේ විහිලුවට රුක්මා මද සිනාවෙන් ඔහු දෙස බලා සිටියාය.

“ කමක් නැහැ අපි ඉක්මනින් කොන්ඩේ කපනවනේ ..” කියූ ඔහු ඇයගේ නළලට හාද්දක් දී ලඟින් වාඩි විය.

“ රුක්මා මට ඔෆිස් එකේ හදිස්සි වැඩකට යන්න ඕනේ වෙනවා දැන්. අම්මා උඩට එන්නේ නැහැනේ රෑ. ඔයා මම ගිහින් එනකම් නැගිටලා ඉන්න එපා නිදාගන්න “ යයි කීවේය.

සිදුවෙන්නේ කුමක්ද වටහා ගැනීමටත් පෙර රොෂාන් විසින් නැවත ඈ වෙත ලංවී රහසක් කියන්නාක් මෙන් කනට කෙදිරුවේය.

“අම්මට උදේට වත් කියන්න එපා මම එලියට ගියා කියල. මම ඉක්මනින් එනවා. අපි දෙන්න දැන් වෙනම පවුලක්නේ අපි දෙන්නගේ රහස් අපි දෙන්නා වෙන තියාගමු“ ඔහු චාටුවෙන් කියාගෙන යයි.

“ එතකොට අපි …….?” රුක්මා වචන ගිලගනිමින් සිය අලුත් ඇඳුම් දෙස බැලුවාය.

ඇය වෙත නැඹුරු වුන ඔහු “ රුක්මා අද ඔයාට ගොඩක් මහන්සියි. ඔයා නිදාගෙන විවේක ගන්න. අපි ලබන සතියේ රට යනවා. එතකොට අපි දෙන්න විතරනේ”

“ එතකොට හෙට මොනවද කියන්නේ ?” කියමින් රුක්මා අපහසුවෙන් මේසය මත වූ සුදු රෙදි කඩ වෙත ඇඟිල්ල දිගු කළාය.

“ඕක උස්සන් ආවේ රෙජිනා නේද? මම එයාට හොඳට කියන්නම් මගේ පවුලේ දේවල් හොයන්න එපා කියල. ඔන්න ඔය මගුල විසික් කරලා දාන්න “ කියමින් රුක්මාගේ උරහිස මිතුරු ලීලාවෙන් ස්පර්ශ කළේය.

ඉක්බිති ඇඳුම් අඳින කොටසට ගිය ඔහු අතට අහුවෙන ඇඳුමක් දමාගෙන තුන් වන මහලේ සිට ප්රවේශමෙන් පහලට බැස පිටුපස ඔහුගේ ප්රයෝජනයට පාවිච්චි කළ සැඟවුන කුඩා කවුළුවක් වැනි ගේට්ටු පාලුවෙන් පිටත් විය.

වාහනය මග නවතාගෙන සිටි ගාමිණී වෙතට ගිය හෙතෙම ගෙදර කාටවත් නොදැනෙන්නට පිට විය. රොෂාන් එන තුරු අවදි වී සිටින්නට සිතා සිටි රුක්මා වෙහෙස නිසාම නින්දට වැටුණාය. නැවත ඇය අවධි වන විට පහුවදා උදෑසන එලිය වටින් ගොඩින් වැටෙමින් පැවතුණි.

කාමරයට එහා පැසේජයෙන් රොෂාන්ගේ හඬ ඇසේ. සෙමින් පිබිදුන රුක්මා ඒ වෙතට ගියේ ඔහුට කුමක් විනිද ඇසීමටයි. තමා ඔහුගේ පැමිණීම නොදැන නිදා සිටීම ගැන සමාව අයැදීම පිණිසයි.

“ මොනවා වුනත් මම ඔයාට හැමදාම ආදරේ කරනවා. ඒක විශ්වාස කරන්න “ කියන හඬ ඇසීම සමග රුක්මා ගල් වී ගියාය. ඔහු අමතන්නේ දුරකථනයෙනි. එහෙනම් ඔහු ඊයේ ගියේ ව්යාපාරයේ වැඩකට නොවේ. මංගල රාත්රියේ ඔහු ගොස් ඇත්තේ අර නිර්නාමික ඇමතුමෙන් කියූ ආදරවන්තිය බැලීමටයි. කෑ ගසාගෙන ඇඳ වෙත දිවූ ඇය මුහුණ අත් දෙකින් වසාගෙන ඇඳ මත පෙරලුනාය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article