කුල ගෙය – Episode 16

Jun 19, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

හුලන් වදින්නට වාහනයේ කවුළු හැරගෙන රිය පදවාගෙන ආ රොෂාන් රොස්මිඩ් පෙදෙසට වැටෙන තැනදී රිය නතර කළේය. පාරම පාලුවට ගොසිනි.

Continue Reading Below

“ ඔයා සතුටින්ද ?” ඔහු ඇසීය.

“ ඔවු..ගොඩක් සතුටුයි” රුක්මා සිනාව සඟවා නොගෙන කීවාය. බොන ලද වයින් වීදුරුව නිසා රුක්මාද සිටියේ සාමන්යය බය ස්වභාවයෙන් නොවේ. ඇගේ උද්දාමය දිදුලන දෙනෙත නිසා රොෂාන්ට රහසක් නොවීය.

ඔවුන් දෙදෙනා පයින් ඇවිදගෙන ගේ වෙතට ගිය අතර ඒ වෙන විට ලාල් සහ ශ්රීමතී නිදන්නට ගොස් සිටියෙන් සේවකයෙක් පමණක් දොර ළඟ සිටියේය. සද්දය ඇසී ලාල් ඇඳෙන් නැගිට ඉදිරියට එන අතරතුර රොෂාන් පිටුපා ගෙට යන්නට සමුගත් රුක්මා ඉනෙන් ඇද ඇගේ දෙතොලට සැහැල්ලු හාද්දක් තැබුවේය. නිදිගැට කඩමින් එන ලාල් ඔවුන් දෙදෙනා දැක උගුර පාදන ලද අතර රුක්මා වහා ගෙට රිංගා ගත්තීය.

“ බෑනෝ ..දැන් ඉතින් ගෙදර පලයන් “ කියමින් ලාල් බමන මතින් සිටි සිය මිතුරා රොෂාන්ට කවටකම් කළේය.

“ ඔන්න දැන් මම උඹේ දුව ගෙනිච්ච විදිහටම ගෙනත් දුන්නා.. මගේ මාමන්ඩියේ” කියමින් ලාල් ගේ කරට අතදාගෙන රොශාන්ද හයියෙන් හිනා වුන අතර ළමයි ඇහැරෙන නිසා මෙසේ රාත්රියේ කෑ ගැසීම අයෝග්ය බව මෙනෙහි කළ රොෂාන් ඉක්මනින් ගෙදරින් පිට විය.

ගෙදර ගිය ඔහු ඇඳුම් ගලවා දමා නින්දට වැටුණේය. වයින් වීදුරුව නිසා නින්දට වැටුන රුක්මා උදේ නැගිටින විටම ඇයට මතක් වුනේ පෙර දින රාත්රියයි. හැමදේටම වඩා ජීවිතයේ තමා ලද පළමු හාදුවයි.

අංගෝ නැන්දා විසින් ගෙන එන ලද තලතෙල්, කිරි සහ බිත්තර මුසු පානය විසික් කිරීමට බැරි කමට රුක්මා පානය කළාය. ඇගේ හිස කෙස් වල තාමත් ජායතී විසින් ගාන ලද ග්රීස් තට්ටු පිටින් තිබේ. තමා උදේ ආහාරය ගැනීමට පෙර නාගත යුතුය. උදේනිස් කොන්ඩ කැවුම් වලට පිටි කොටන බව අන්ගෝ හාමි කීවාය. ජනේලයෙන් එලිය සහ අඹගස් දකින රුක්මා මේ නිවසේ තමා වසන අවසන් දවස අද බව මෙනෙහි කළාය. කොතරම් වේදනාබර මතක කැටි වුවත් ඇගේ සිතට දැනුණේ ශෝකයකි. සොයුරෝ හැර දමා යාම විශේෂයෙන් ඇයට සමීප වසන්ත සහ කුඩා ශ්යාමා දමා යාම වේදනාවකි. ඇගේ ඥාතීන් එකින් එකා ඒ වන විටද ඇදෙමින් සිටි අතර මනාලිය වන රුක්මා ගැන හැමෝම කතා කළහ. ඔවුහු ඇයට කෙළවරක් නැතුව හොඳ හිත සහ ආදරය පෙන්වූහ.

නාන කාමරයේ සුදුපාට පිඟන් ගඩොල් දෙස බලාගෙන සිහිල් ජලය සිය සිරුර හරහා යන විට හෙට සිට පටන් ගන්නා අලුත් ජීවිතය ගැන ඇයට නොසිතා සිටිය නොහැකි විය. සුදු සරම සහ කමිසය සහිත ආරිය සිංහල ඇඳුම අඳින රොෂාන් දැකීමට තමා ඔසරිය සහ චාම් ලෙස මාල හත දමාගෙන යන අයුරු ඇයට මැවී පෙනුනි. ඒ සමගම පළමු හාද්ද ගැන නැවත නැවත මෙනෙහි කරමින් රසවින්දාය. වැනේසා නමැති නොදන්නා ගැහැනියගේ නම විටින් විට ඇගේ මතකයට පැමිණි අතර හැම විටම එය අමතක කිරීමට රුක්මා උත්සහ කළාය.

උදෑසන ප්රමාද වී නැගිටගත් රොෂාන් නා පිරිසිදු වී ආහාර ගත්තේය. හෙට විවාහ උත්සවය හෙයින් අද දින කොහෙවත් නොයා පත්තර බලමින් ගෙදරට වී සිටීම ඔහුගේ සැලසුම විය. ඔහුගේ විවේකයට බාදා වූයේ විටින් විට දොර රෙදි දැමීම, කොහේ හෝ පිස දැමීම , කාර්පට් මාරු කිරීම වගේ වැඩකට සේවකයන්ට අන දෙන ළමාතැනී ගේ ගෝරනාඩු නිසාය. රොෂාන්ගේ පුද්ගලික සේවක ගාමිණී මේ විවාහය කොහෙත්ම රිස්සුවේ නැති වුනත් හැම වැඩටම ඔලුව දමා සිය පක්ෂපාතීත්වය පෙන්නුවේය.

මේ අතර ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි, රුක්මා බව වටහාගත් ඔහු “ Yes ,My love “ වශයෙන් උත්තර දුන්නේ පුදුම වෙමිනි. ඊයේ දින සිට ඔහු රුක්මාට හිතලාම ඇමතුවේ My Love ලෙසිනි. එය හදවතින් පැමිණි ආමන්ත්රණයකට වඩා බිරිඳ තනතුරේ වැඩ බලන්නියට කතා කරන පොදු ඇමතුමක් ලෙස ඔහුට දැනුණි.

“මගේ ජේෂ්ට විභාගයේ ප්රතිපල ආව. විශ්ව විද්යාලයට තේරිලා “ යන සතුටු දායක ආරංචිය රුක්මා විසින් ඔහුට දෙන ලදී.

රුක්මාගේ බලවත් සන්තාපයට මේ ලිපිය ආවේ හරියටම විවාහය හෙට වන දිනයේය. ඊට පෙර පැමිණියා නම් කොතරම් අපූරුද ඕ කණගාටු වූවාය.

“ මගේ සුබපැතුම්” කියන විට රොෂාන්ගේ මුහුණ අඳුරු වුන බව ඇය නොදුටුවේ දුරකතනයෙන් ඔහුව නොපෙනෙන නිසාය.

“ ඔයා විභාගය සමත් වුන එක හොඳයි. හැබැයි විශ්ව විද්යාලයේ යන්න බැහැනේ දැන්.” කියමින් ඔහු ඒ අදහස එක පයින්ම නිෂ්ප්රභා කළේය.

යුරෝපයේ විශ්ව විද්යාලයකින් උසස් අධ්යාපනය ලද ඔහු නිදහස් ජීවිතය දැක්කේය. වින්දේය. අද්යාපනය නිසා පුද්ගල චරිත, බුද්ධිය පුළුල් වන හැටි දුටුවේය. නමුත් බිරිඳ ලෙස තෝරා ගන්නා කූඩු කිකිලියට උසස් අධ්යාපනය අවැසි නැති බව ප්රත්යක්ෂ කළේය. හොඳින් ඉංග්රීසි හැසිරවීමේ හැකියාව, පියානෝ ගැසීමේ හැකියාව සහ ඉවීමේ හැකියාව රුක්මා වැනි රදල ගැහැනියකට ප්රමාණවත්ය.

සතුටු දායක ආරංචිය සිය සැමියා වෙන්න සිටින ඔහු සමග බෙදාගත් ඇය කල්පනාවට වැටුණාය. තමාට වැඩිදුර ඉගෙන ගන්නට ලැබුන නම් කොතරම් අපූරුද? තාත්තා කියන්නේ චේ ගුවේරා කාරයන් සිටින තිප්පොළක් වන ලංකා විශ්ව විද්යාලය තමන්ගේ වැනි පවුල් පසුබිමක තරුණියකට නොගැලපෙන බවයි. අම්මගෙන් ලැබුන දේපොළ වල ආදායම් යොදවා හෝ රුක්මා විදේශ රටක යවා ඉගැන්වීමට ලාල් මොහොතකට වත් නොසිතුවේය. අධ්යාපනය තමාට අකැප බව රුක්මා සිතුවාය. ඒ ගැන කතා කිරීමෙන් වැඩක් නැත. හෙට සිට රොෂාන් ගජනායක ගේ ආදරණීය බිරිය වීමට එක සිතින්ම කැපවී සිටිය යුතුය.

වැනේසා ගේ හදිස්සි ආලය පෑම ගැන දෙගිඩියාවෙන් කන්දප්පා රාජකාරියට ගිය අතර විටින් විට කල්පනා කළේ තමාගේ අනාගතය කුමක් විය යුතුද කියාය. කුසුම් විවාහ කරගෙන ජීවිතය පිළිවෙල කර ගන්නවාද ? නැත්නම් මේ දෙබිඩි ජීවිතය ගෙවනවාද කියන ගැටලුව ඔහුගේ හිසට බර වැඩි විය. ඒ අතර වැනේසා තමාට මේ තරම් ආදරේ කිරීම ඔහුට ආශ්වාද ජනක වූවා මෙන්ම සැකයක් ජනිත කළේය. පූසා තමා විසින් අල්ලන ලද මීයා එකවර මරා නොදමයි. අඩපන කර ගෙනවිත් තබාගෙන මීයා සමග සෙල්ලම් කරයි. අවසානයේ ප්රතිපලය වන්නේ මීයා මරාගෙන කෑම වුවත් පූසා මීයා සමග සාර්ථකව ක්රීඩා කරයි. මරණ තුරුම පූසාගේ අරමුණ මීයා දනීද?

මේ අතර ඔහුට දැනගන්නට ලැබුනේ රොෂාන් ගජනායක විවාහ වෙන්නට නියමිත බවයි. එය දැනගැනීමෙන් පසු වැනේසා ගේ හදිස්සි ආලයට හේතුව ඔහුට වටහා ගැනීමට නොහැකි නොවීය.

“ එහෙනම් ගෑනි ගේ හුලන් බැස්සේ මේකයි “ ඔහු කල්පනා කළේ තෘප්තියෙනි. වැනේසා කෙරෙහි ඔහුගේ හිත වැඩිමනක් කලකිරුණේ කුසුම් හමුවීමෙන් පසුය. ඇය විසින් කැත ගෑනි ලෙස අමතන කුසුම්ගේ අහිංසක චාම් ජීවිතයේ බොරුව තිබුනේ නැති තරම්ය. ඕ උදාරය. සත්යවාදීය. වැනේසාට මෙන් ලස්සනට හැසිරෙන්නටත් පිරිමියෙක්ගේ මන බැඳ ගන්නටත් ඇයට ලොකු හැකියාවක් නැති වුනත් කුසුම්ගේ අව්යාජ බව ඔහුට ජීවත් වීමට ආත්ම ශක්තියක් ගෙන දුන්නේය.

දින 5 ක් පමණ රාජකාරි පිටින් දමා කුසුම්ගේ නිවසට නොයා කන්දප්පා සිටියේ තමා අතින් වුන වරද නිසා ඇගේ මුහුණ දැකීමට අසීරු නිසාය. එමෙන්ම දික්කසාදය පතන ඇයට ස්ථිර තීරණයක් නොගෙන කුමක් කියන්නද කන්දප්පා ලතවුණේය. රොෂාන්ගේ විවාහය පිලිබඳ පුවත හවස කන වැකීමෙන් ඉක්බිති ඔහු මහත් සතුටට සහ සහනයට පත් විය. නිලධාරි නිවස්නය වෙත ගිය හෙතෙම ගෙදර යාමට බඩු සූදානම් කරන ලෙස බඩීට දන්වා සිගරට්ටුවක් දල්වා ගත්තේය.

වැසි බර දිනක් වූ එදා හවස හුළඟ ප්රනීත ලෙස හැමීය.

“ එහෙනම් ගෑනිගේ ලීලේ නිකන්ම බොරුවක්. රොෂාන් යන නිසා මාව නැවත උගුලේ දමා ගන්න කළ මායමක් මිස වෙන දෙයක් නොවේ. එයා ආයෙත් මට කරන්නේ ඕකමයි. මේ ගෑනිගේ උගුල් වල වැටෙන්න මම මෙතරම් මෝඩයෙක් වුනේ කොහොමද ?” ඔහු තමාටම කියාගත්තේය.

“අවුරුදු 7 ක් තිස්සේ කසාද මිනිහා වුන මාව නොමරා මැරුවා. මාව බල්ලෙක් ගානට මගේ ගේ ඇතුලෙදීම ඇදලා දැම්මා. මම ඒ අපායෙන් ගැලවුනේ කුසුම් නිසා.” අවුරුදු 5 ක් සැකයකින් තොරව ඇදී ආ ඒ විශ්වාසවන්ත ආදරය ඔහු යලි යලි මෙනෙහි කළේ ප්රේමයෙනි. කවර කාලයක් රාජකාරියට වෙන් වී සිටියත් ඔහුට කවදාවත් කුසුම් ගැන සැක හිතුනේ නැත.

යාලුවන් ඉදිරියේ පෙන්වීමට වැනේසා වැනි රූමතියක් සරණ කර ගත්තාට වඩා කුසුම් වැනි චාම් ගැහැනියක් මුලින්ම විවහා කරගත්තා නම් තමා මේ වන විට ජීවන මගේ කොතරම් වාසනාවන්තයෙක්ද? නමුත් රොෂාන් නිසා සිය වුර්තිය ඉහල යාම සහ මූල්යමය වාසි ගැන නොමදව සතුටු වුන ඔහුට ඒ දේවල් මේ වෙලේ මතකයට ආවේ නැත. තමාගේ වාසියට කට පියාගන්නා වංකකම සහ රොෂාන්ගේ තත්වය නිසා ඇතිවුන බය මේ ලෙසින් වැනේසා දුර්ගතිය කරා ගහගෙන යන්නට සැලැස්වූ බව කන්දප්පා මෙනෙහි කරේ නැත. සිදුවුණ සියලුම දුර්භාගයයේ වගකීම වැනේසා වෙතට පවරා තමා නිර්දෝෂී වීම ඔහුට පහසුවකි. අන්තිමට වැනේසා ගැහැණියකි. සියලු වරද ගැහැණුන් දැරිය යුතුය.

“ ඔවු දැන් මගේ වාරය.. ඒ අහින්සකීට ජීවිතයක් දෙන්න ඕනේ. ඉහළ නිලධාරියෙක් වන මගේ තත්වය රොෂාන් ගජනායක ඉදිරියේ ඉන්න වැනේසාට නොපෙනුනාට කුසුමට මාව රජෙක් වගේ. මම මැරුනොත් මගේ පැන්ෂන් එක යන්න ඕනේ කුසුම්ට මිස ජීවිතකාලේම මට ද්රෝහී වුන වැනේසා ට නෙවෙයි” ඔහු සිතුවිලි දාමයෙන් බිඳුනේ හමුදා ඇඳුම් ඇඳගත් බඩී පැමිණ යාමට සියල්ල සූදානම් බව දැන්වීමෙනි.

දික්කසාද වීමේ තීරණය පහසුවෙන් ගත් ඔහු කුසුම් සමග විවහා වී නැවත ජීවිතය අලුතින් පටන් ගැනීමට සිතුවේය. ජුලියන් සහ ඩයනා ඔහුට සමීප නොවුනා මෙන්ම ඔහුද ඔවුන් දෙදෙනාට දැන් දුරස්තය. එයට හේතු වූයේ බිනර සමග ඇති සම්බන්ධය සහ දරුවන් විසින් කන්දප්පා ගණන් නොගැනීම නිසාය. ජුලියන් සහ ඩයනා දෙන්නා දැන් ලොකුයි. තව නොබෝ දිනකින් කඩවසම් ජුලියන් විදේශ ගත වනු ඇත. ඩෙන්මාර්කයේ වෙසෙන වැනේසා ගේ සොයුරා රොමාරියෝ එහි එන මෙන් ජුලියන් හට ඇවිටිලි කරයි. ජුලියන් කන්දප්පා මෙන් උසය. කඩවසම්ය. නමුත් ඔහුගේ මුහුණ වැඩි මනක් සමාන වන්නේ රොමාරියෝ ගේ මුහුණටය.

ඩයනා හැදෙන්නේ මවගේම තාලයට යයි ඔහු නොයෙක් වර ඩයනාට දොස් නගා ඇත. සැබවින්ම ඇය ගරු කළේ භාණ්ඩ වලට මිස මිනිස් සම්බන්ධතා වලට නොවේ. ඔහු සහ ඩයනා අතර ලොකු බැඳීමක් නැතත් ඇය ඉක්මනින් රොෂාන්ගේ පිහිටෙන් ධනවතෙක් සමග විවාහ වනු ඇතියි කන්දප්පා බලාපොරොත්තු විය. එවිට ඔහු නිදහස් වේ.

ඔහුගේ ජාත දරුවා නොවන බිනර විවාහයෙන් පසු තමාගේ නමට කුලවද්දවා ගත යුතුය. තවමත් තිස් හැවිරිදි කුසුම් සමග තව දරුවෙක් හැදීම අපහසු නැත. රොෂාන්ට පින් සිදු වන්නට ඔහුගේ ජාත දරුවන් වෙනුවෙන් ඔහුට සතයක් වත් වෙන් කරන්නට සිදු නොවේ. ඒ අතින් ඔහුට කුසුම් විවාහ කර ගැනීමට බාධාවක් නැත. ඔහු විසින් ඉඩමක් මිලටගෙන ඉදි කරන ලද නිවස මුල් කාලයේම වැනේසා ගේ නමට ලිවුවේ කන්දප්පා රජයේ නිලධාරියෙක් බැවිනි. රොෂාන් විසින් සෑහෙන වියාදමක් කර අලුත්වැඩියා කරන ලද තමාගේ හීන කැටිවුන ඒ නිවාස එහෙම්ම වැනේසා හට දීමට ඔහු තීරණය කළේය.

“මගේ ජීවිතේම ඒ ගෙදර ඇතුලේ මට නැති වුන එකේ තව මොකටද ඒ ගෙදර? මගේ ගෙදර තමා කුසුම් ඉන්න තැන.” ඔහු සතුටින් සිතුවේය. කුසුම්ද, ඉඩම් දේපොළ ගැන මරාගෙන මැරෙන අන්දමේ ගැහැනියක් නොවේ. ඇයට ඇගේ නිවාස තිබේ. කලින් මියගිය සැමියාගේ පැන්ෂන් පත තිබේ. ඒ ඇයට ප්රමාණවත්ය. යටත් ප්රිසෙයින් කුසුම් කන්දප්පා ගේ වැටුප පවා දැන සිටියේ නැත.

අනාගතය ගැන සුබ සිහින දකිමින් සිටි කන්දප්පා ගෙදර එන තුරු බිනර සහ කුසුම් ඉස්සරහට වී බලාගෙන සිටියහ. ඔහු වාහනයෙන් බහින විටම “ යේ… යේ…”කියමින් බිනර ඉදිරියට දුවගෙන ආවේය. කුඩා බිනර ඔසවා හාද්දක් දුන් කන්දප්පා කුසුම් වෙතට සිනාවක් පෑවේය. ඒ සිනාව ඔහුගේ තීරණය ගැන කුසුම්ට දැන්වීමක් විය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article