කුල ගෙය – Episode 15

Jun 12, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

කෝපයෙන් වැනේසා දෙස නොබලා කාමරයෙන් පිට වී ප්රධාන දොර වෙත යන විට ඔවුන්ගේ රණ්ඩුව අසා සිටි ඩොරීන් දොර ළඟදී කපටි සිනාවකින් මුව සරසාගෙන රොශාන්ව නවතා ගත්තීය. රොෂාන් ගමනේ සැර බාල කර ඩොරීන් වෙත ගොස් කම්මුලට හාද්දක් දුන්නේය. සම්බන්ධය ඉවරද? ඉවරද ? යන බයෙන් ගැහෙමින් සිටි වැනේසා ඩොරීන් එතනට ඒම ගැන නොමදව හිතෙන් ස්තුති කළ අතර තමා සමග සම්බන්ධය අවසන් නම් රොෂාන් ඩොරීන් දැක නොනවතින බව පසක් කර ගත්තී මහත් සැහැල්ලුවට පත් වූවාය.

Continue Reading Below

ජර්මනිය ගැන සාමිචි කතාවේ යෙදීමෙන් ඉක්බිති ඩොරීන් විසින් රොෂාන්ට කෑමට උණුවෙන් බේක් කළ කස්ටඩ් කැරමල් කේක් එක සමග තේ අරගෙන ආලින්දයට එන පොරොන්දුව පිට ඉවත ගියාය. රොෂාන්ට වැනේසා ගැන මහත් දුකක් ඇතිවිය. ඇගේ සුදු පැහැති මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතු වී තිබුනේ බොහෝ වෙලාවක් කඳුළු සලන ලද නිසාය.

රොෂාන්ට පිටුපා ජනේලයෙන් එලිය බලාගෙන සිටින වැනේසා වෙත පිටුපසින් ගිය හෙතෙම උරහිස සිප ගත්තේය.

“ මට සමාවෙන්න වැනේසා. අපි මේක අමතක කරමු. ඔයා දන්නවනේ මම ඔයාට කොයි තරම් ආදරේද කියල “ කියමින් ඔහු ඇය කැටිව එළියේ වූ ලතා ගෘහයට ගියේය.

ඩොරීන් ඉතා රසවත් කේක් රොෂාන් වෙනුවෙන්ම හදා තිබුන හෙයින් රොෂාන් අතිශය සතුටට පත් විය.

“ මෙතනට වෙලා කැරකෙන්නේ නැතුව අම්මා යන්න. “ වැනේසා කෝපයෙන් තෙපලාය.

වෙනත් වෙලාවල ඩොරීන්ට සැරෙන් කතා කරන විට රොෂාන් වැනේසාට බනින නමුත් එදා කට පියාගෙන සිටීම හොඳ බව ඔහු සිතුවේය.

“ කාමරේ කතා කරනවට වඩා එළියේ කතා කරන එක හොඳයි. එතකොට වැනේසා ට කල්පනාවෙන් හැසිරෙන්න වෙනවා. කොහොම වුනත් කසාදයට කලින් ආයෙත් හම්බ වෙන්න නොලැබෙන නිසා අදම වැනේසාට ලබන සඳුදා ගෙන් පසු ජීවිතේ ගැන කතා කරන්න ඕනේ. ඒ ගැන අපැහැදිලිව වෙඩින් එක තියන එක හොඳ නැහැ “සිතු රොෂාන් වෙලාව බලා නැවත අසුනේ හරි බැරි ගැසුනේය.

කේක් කැබැල්ලක් රස විඳිමින් ඔහු නැවත කතාව පටන් ගැනීමට වැනේසා ගේ මුහුණ බැලුවේය. පෙර වුන අත්වරද ගැන පසුතැවෙමින් සිටි වැනේසා ඔහු වෙත කිසිවක් සිදු නොවුනා සේ හිනාවකින් සංග්රහ කළාය.

“ ඔයා දන්නවා මොනවා වුනත් මම හැමදාම ඔයාට ආදරෙයි කියල” කීවේය. ඔහු වැනේසා සමග සාමන්යයෙන් කතා කරන්නේ ඉංග්රීසි බසිනි.

පිළිතුරක් දෙනු වෙනුවට වැනේසා දුක්බර මුහුණ ඔහු වෙත රඳවා බලාගෙන සිටියාය.

“ ඔයාට දරුවෝ ඉන්නවා. මට දරුවෝ නැහැ. මගේ ජීවිතේ මේ වෙද්දී ගොඩක් දේවල් මගහැරිලා. මගේ යාළුවො හැමෝටම ලොකු ළමයි ඉන්නවා. ඔයාට තේරෙනවා නේද?“

“ මා හිතුවා ඔයා කියපු විදිහට ජුලියන් සහ ඩයනාට ඔයා ඔයාගෙම ළමයිට වගේ ආදරෙයි කියල” වැනේසා කීවේ රොස් වෙමිනි.

“ ඇත්ත මා ඒ දරුවන්ට ආදරෙයි. දැන් පියෙක්ගෙන් විය යුතු ගොඩක් යුතුකම් කරන්නේ කන්දප්පා නෙවේ. මමයි. ඉස්සරහටත් මම ඒ දේවල් අඩුවක් නැතුව කරනවා. ඒ වගේම ඔයාටත්. අපි හමු වෙන වාර ගණන අඩු වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. මොනවා වුනත් මම ඔයා වෙනුවෙන් වෙන්න ඕනේ යුතුකම් අඩුවක් නැතුව කරනවා. මා මියගිය දවසක ඔයා අසරණ වෙන නිසා ඒ වෙනුවෙන් මම දැනටම නුවර එළියෙන් ඔයාට ගෙයක් අරගෙන දුන්නා. තව සල්ලි ඔයාගේ නමට පොතක තැම්පත් කරන්නම්. දැනට ඒ දේ නොකළේ ඔයාට සල්ලි වියදම් කිරීම ගැන පාලනයක් නැති නිසා. සල්ලි කොයි තරම් පොතක දැම්මත් ඔයා මාස දෙකෙන් ඒ සල්ලි ඉවර කරාවි.”

වැනේසා ඉල්ලන තරම් මුදල් දුන්නත් ඇගේ සහජ වියදම් කිරීමේ නැමියාව ගැන දන්නා රොෂාන් කෙදිනක වත් ඇයට බැංකු පොතක ලොකු මුදලක් දමා දෙන්නට නොසිතුවේය. ඇතැම් වෙලාවල වැනේසා මේ ගැන කළහ කළ නමුත් ඔහු හේතුවක් කීවේ නැත.

සාක්කුවට අත දැමු රොෂාන් මනාව දවටන ලද ස්වර්ණාභරණ පෙට්ටිය අතට ගත්තේය. එය අමතක නොවීම ගැන ඔහු සතුටු විය.

“ බලන්න..”.ඔහු එය ආදරයෙන් ඇගේ අත මත තබා හිනැහුනේය.

මෙවැනි ත්යාගයක් අපේක්ෂා නොකළ වැනේසා සතුටින් ඔද වැඩී ගියාය. ගාන්චුවේ වූ අකුරු දෙක දුටු ඇය වඩා සතුටු විය. එමෙන්ම මෙය සමුගැනීමේ ත්යාගයක් නොවේවා යයි හිතින් පැතුවාය. එය ඉතා වටිනා මැණික් ඔබ්බවන ලද අත් පළඳනාවකි. රොෂාන්ට ස්තුති කළ ඇය අතේ දමාගෙන එහි සුන්දරත්වය බැලුවාය.

අර තරම් දරුණු ලෙස දුරකථන ඇමතුමක් දී අපහාස කළද විවාහය බිඳ නොදැමීම ගැන රුක්මා කෙරෙහි වැනේසා ගේ සිතේ හටගත්තේ දැඩි වෛරයකි.

“මහා ලජ්ජා නැති ගෑනියෙක්. නැත්නම් දැන දැනම අනුන්ගේ මිනිස්සු පස්සේ එනවද ?” ඕ කෝපයෙන් සිතුවාය. රොෂාන් ගිය පසු ග්රේස් වෙත යාමට සහ හිතේ ඇති දුක් සංකා ඇයට කිවීමට වැනේසා සිතුවාය. හවස පහ පමණ වන විට රොෂාන් වැනේසා ගෙන් සමුගත්තේ ලබන සඳුදා ගෙන් පසු පිළිපැදිය යුතු අලුත් නීති ගැන ඇය දැනුමත් කිරීමට පසුය.

ඒ අනුව විවාහයෙන් පසු රාත්රියේ රොෂාන්ට දුරකථන ඇමතුම් දීම වැනේසාට කළ නොහැකිය. ඔහුට හැකි විට ඔහු විසින් ඇයට ඇමතුම් ලබා දෙනු ඇති. කොහෙත්ම දවල් කාලයේ ගෙදරට කිසිම ඇමතුමක් නොදෙන මෙන් විශේෂයෙන්ම ඔහු ඉල්ලා සිටියේය. එමෙන්ම මින් පසු දිග නිවාඩු ගත කිරීමට යාම වැනේසා සමග සිදු නොවනු ඇති අතර රොෂාන් විසින් නිවාඩු වෙලාවට මෙහි පැමිණෙනු ඇත. සමාජයේ එළිපිට වැනේසා සමග ගමන් බිමන් යාම් මින් පසු සිදු නොවේ.

මේ සියලුම නීති නිසා වැනේසා මහත් පීඩාවට ලක් වූවාය. එමෙන්ම රුක්මා කෙරෙහි ඇති තරහව තවත් වගා දිගා කරගත්තාය. තමාට නොලැබුන බොහෝ දේ රොශාන්ගෙන් ලැබීමට වරම් ලබන ගැහැණිය කෙරෙහි ඇගේ සිතේ හටගත්තේ දැඩි ඉරිසියාවකි. ද්වේශයකි. කොහොම හරි විවාහය බිඳ දමනවා යන අදිටන ඇගේ සිතේ ඇතිවිය.

එක අතකින් තමා දැන් වයසට යමින් සිටී. දරුවන් උපන් පසු ලාබාල රුක්මා කෙරේ කොතරම් නැහැ කීවත් රොෂාන් බැඳීම වැළක්විය හැකිද ඕ කල්පනා කළාය. රොෂාන් ගිය පසුව එක තැනම පැය කීපයක්ම ඉඳිමින් තමාගේ අපැහැදිලි අනාගතය ගැන බියකරු සිතුවිලි වලින් හිත පුරවා ගැනීමට පටන් ගත්තීය. ඇය සිහි කල්පනාවට එන විට අඳුර හාත්පස වසාගෙන තිබුන අතර ඇය සොයා පැමිණි ඩොරීන් මදුරුවන් කන නිසා ගෙට යන මෙන් වැනේසාට කෑගැසුවාය.

වැනේසා බිහිසුණු අනාගතයක පෙර ලකුණු දකිමින් සිටින අතරතුර රොෂාන් නිවසට ගොස් හොඳින් සූදානම් වුයේය. ඔහු ඇඳ ගත්තේ කළු පාට අත් කොට උඩින් දමන ස්මාර්ට් ෂර්ට් එකක් සහ කොට්න් කලිසමකි. ඒවා යුරෝපයේ නිපදවා ඇති අනර්ඝ තත්වයේ ඇඳුම් විය. ඉක්බිති මනාව කොට කර දමන ලද යටි රැවුල අතගා කණ්ණාඩියේ පෙනෙන තවමත් කඩවසම් සිය රුව සමග සිනාසුනේය. ඔහුට මේ අවස්තාව ජීවිතේ කවදාවත් නොකරන ලද වැදගත් දෙයකි. තමාගේ අනාගත භාර්යාව සිය මිතුරන්ට පෙන්වීම ඔහුගේ ජීවිතයේ වැදගත්ම අවස්තාවක් වුන අතර රුක්මා ගැන සිය යාළුවන් කතාවෙන හැටි ගැන සිතු ඔහුට ආඩම්බර නොවී සිටිය නොහැකි විය.

ඇගේ අසාමන්ය යොවුන් බව මෙන්ම පවුල් පසුබිම කා අතරත් අවධානය යොමු කරවීමට හේතු වේ. පරම්පරාවෙන් මෙන්ම ව්යාපාර වලින්ද යහමින් සල්ලි හම්බ කළ තමාට ධනවත් බිරින්දකගෙන් ඇති ප්රයෝජනයට වඩා යොවුන් වංශවත් ගැහැනියක් සමග සමාජය ඉදිරියේ පෙනී සිටීමේදී වැඩි අවධානයක් යොමු වන බව ඔහු දනී. නිසි කල විවහා වුන ඔහුගේ මිතුරෝ දැන් පෙනුමෙන් පරිණතය. ඔවුන්ගේ භාර්යාවෝ දැන් වයසය. තමා ජීවිතය අලුතින් පටන් ගනිද්දී හැම දෙයක්ම ස්ථාවරය. තවමත් ගතේ සවිය ඇති ඔහු තරුණයෙක් මෙන් ජීවත් වේ. රුක්මා කෙරෙහි කායික ආකර්ෂණයක් නැති වුවද ඔහු රුක්මා සමග විවහා වීම ගැන බෙහෙවින්ම සතුටු විය. මිල මුදල් ඇති පිරිමියෙක් ලෙස තනිකඩ ජීවිතේ හොඳින් වින්ද තමා හට ගැහැනුන් විෂයෙහි ගැනීමට අලුත් සැපතක් නැත. මෙතෙක් කල් ගැහැණියක් ඔහුට නුදුන් එකම සැපත වූයේ දරුවෝය.

මේ ගැන සිතමින් රොස්මිඩ් පෙදෙසින් රුක්මා ගැනීමට ගිය ඔහු සාලයේ ටික වෙලාවක් ලාල් සමග කතා කරමින් වාඩි වී සිටියේ රුක්මා එන තුරුය. ජීවිතේ කවදාවත් ඇඳුම් පැළඳුම් වලට වෙලාවක් වැය නොකළ රුක්මා ජායතී භායි සමග පුරා පැය 2 ක් තිස්සේ ඇඳුම් අඳිමින් කල් ගත කළාය.

මුලින්ම පැමිණියේ ජායතී භායි වුන අතර ලාල් ස්තුති කර ඇයව ගේට්ටුව දක්වා කැඳවාගෙන යාමට රොෂාන්ගෙන් වෙන් විය. ගෙදර පිටුපස සිට එහෙ මෙහෙ යන සේවකයන්ගේ හඬ ඇසේ. කැවිලි , පෙවිලි හැදීම් දැන්ම පටන් ගෙන ඇති හෙයින් ගෙවල් දෙකේම මේ ආකාරයේ වෙනසක් නොවීය. හැමෝම කාර්යබහුලව කෑ කෝ ගසමින් මොකක් හෝ වැඩක නිරත වේ. දහවල් ඔහු පිට වන විට නිදා සිටී ළමාතැනී හවස නාන කාමර වල ආලේප කළ පාට නොගැලපෙන බව කියමින් ගාමිණීට ගෝරනාඩු කරනු මතක් වුන රොෂාන් මංගල ප්රීතිය ඇඟටම දැනීමෙන් සිනාසුනේය.

විශාල සෝඵාවක් ඔසවාගෙන යමින් සිටි වසන්ත සහ තව සේවකයෙක් දෙස බැලු ශ්රීමතී “පුතා ඕක අයියා ගිහාම දාන්න. දැන් උඩට ගිහින් අක්කිව එක්කන් එන්න “ යයි කීවාය.

සොඵාව පසෙකින් තැබූ වසන්ත විගසින් උඩට දිවුවේ රුක්මා කැඳවාගෙන ඒමටය.

රුක්මා සෙමෙන් තරප්පුව බැස එන දෙස රොෂාන් ඇසිපිය නොහෙලා බලාගෙන සිටියේය. ජායතී විසින් තමා ගෙනා ඇඳුම් ආයිත්තම් ඉතාම අලංකාර ලෙස රුක්මාට අන්දවා ඇති බවත් මිතුරන් ඉදිරියේ තමාට ලජ්ජා වීමට කිසිවක් නැති බවත් තේරුම් ගත් රොෂාන් සතුටින් සිනාසුනේය.

“ඔයාට කොහොමද රුක්මා ?” ඔහු ඇසුවේ දැඩි ප්රීතියකිනි.

“ මම හොඳින්..ඔයාට ස්තුතියි” ඉංග්රීසි බසින්ම ඔහුට පිළිතුරු දුන් ඇය තමා තුල ජීවත් වෙන්නේ තමා නොව ගජනායක මහත්මිය බව වටහා ගත්තාය.

මෙතක් කල් පිළිකුල් කළ දියණිය කෙරෙහි ලාල්ගේ සිතේද හටගත්තේ ආඩම්බරයකි. රොෂාන් සීරුවෙන් වාහනේ දොර හැර රුක්මා නැගුනු පසු දොර වසා දැමුවේය.

“ සීට් බෙල්ට් එක දාගන්න රුක්මා. නැත්නම් ඔයා අදත් බයවෙලා අහකට වෙයි” ඔහු විසිළු ස්වරූපයෙන් රුක්මාට තෙපළේය.

ඔවුන් දෙදෙනා ගොල්ෆ් ක්ලබ් එක වෙත යන විය යාන්තම් හයයි හතළිස්පහ වී තිබුනා පමණි. කලින් වෙන් කළ මේසයේ වාඩි වුන රොෂාන් වෙතට හැමදාම ඔහු හොඳින් හඳුනන වේටර කොලුවා දිව ආවේ සිනාසෙමිනි. අනේක ආකාර ගැහැණු සමග එන ඔහු අද එන්නේ භාර්යාව සමග බව ඇසීමෙන් ක්ලබ් එකේ ඔහුව ඔහුව හොඳින් දන්නා සේවකයන් හැමෝම විශේෂයෙන් ප්රීති විය.

“ සර් .. අද මොනවද ?” අසමින් ඔහු මෙනු පත ඔහු වෙත දිගු කළේය. රුක්මා වෙතට හැරුන රොෂාන් “ ඩාලින් මොනවද ඔයාට ?” යයි ඉංග්රීසි බසින් ඇසුවේ රුක්මා පහසුවට පත් කරවනු පිණිසය.

වයින් වල ගුණය ගැන කවදාවත් වයින් නොබිවූ රුක්මාගෙන් ඇසීම විකාරයක් හෙයින් කෙලින්ම ඔහුගේ විදේශීය මිතුරියන්ට ගන්නා Domaine Leroy’s වර්ගයේ රතු වයින් බෝතලයක් ඇනවුම් කළ හෙතම වෙටරයා ගිය පසු රවුම් මේසය හරහා අත දිගු කර රුක්මා ගේ අත් දෙක අල්ලා ගත්තේය.

එදා රුක්මාගේ ජීවිතේ අමතක නොවන දිනයකි. සාක්කුවෙන් ගන්නා ලද ඔහු විසින් හදවන ලද සියමන්ති මුදුව ඇගේ වම් අතේ ඇඟිල්ලේ දැමු ඔහු රුක්මාගේ අතට හාද්දක් දුන්නේය. ඔවුන් දෙදෙනා යාළුවන් ගැන සහ විවාහයේ වැඩ ගැන කතා කරමින් සිටියහ.

වයින් ස්වල්පයක් රුක්මා හිස් කරන අතරතුර වයින් වීදුරු දෙකක් බීමෙන් රොෂාන් මදක් ප්රමුදිත විය. අට කිට්ටු වන විට ඔහුගේ මිතුරෝ එකා දෙන්නා එන්නට පටන් ගත්හ. ඔවුන් එකිනෙකා පැමිණ රොෂාන්ගේ පිටට තට්ටු කරන්නත් රුක්මාට අතට අත දෙන්නත් පටන් ගත්හ. මුළු පරිසරයම ප්රීති සයුරේ ගිලුනේය. බෙන්ස්, ජගුවර් හා නානාවිධ මිල අධික වාහන පිරෙන්නට පටන් ගත්තේය. තමාට ජීවිත කාලයටම මේ සා අවධානයක් ලැබීමේ සතුට සහ ගර්වය සමගින් තමා තවදුරටත් කාගේත් අපහාසයට බඳුන් වන රුක්මා කළුආරච්චි නොව ගජනායක මහත්මිය බව අවබෝධ කරගත්තීය. එයින් ඇගේ සිතේ මහත් ආත්ම විශ්වාසයක් ඇතිවිය.

රොෂාන්ගේ එක මිතුරෙක් ඇයට Mrs Gajasinghe ලෙස කතා කළ අතර …. “නොට් යෙට් මෙන්. ටූ ඩේස් මෝ” ..කියමින් බමන මතින් මත් වුන රොෂාන් රුක්මාගේ කරට අත දාගෙන ඇයගේ කනට සහ ගෙලට සිය පළමු හාද්ද දුන්නේය.

ඔවුන් දෙදෙනා පිටත් වන විට රාත්රී 12 පසුවී තිබුන අතර රොෂාන් සෑහෙන්න පමණ විස්කි සහ වයින් ඒ වන විටද තොල ගා තිබුනෙන් ඔහුගේ සාමන්ය තද ස්වරූපය ඉවත්ව ගොස් හාස්යජනක , සැහැල්ලු බවක් මතුවී තිබුණි.

හැම දෙනා විසින්ම ලස්සන කෙල්ල, හොඳ කෙල්ල ආදී වශයෙන් බිරිඳ ගැන ඔහුට කියූ අතර රහසින් ඇගේ තරුණකම අරභයා අසැබි විහිලු කළ හෙයින් ඔහු වඩා ප්රීතිමත්ව සිටියේය. සමාජ කවය විසින් ඉතා හොඳින් රුක්මා පිළිගන්නා ලදී. ඔවුන් හැමෝටම ඇය හඳුන්වාදීමේ ප්රීතිය ඔහුට හොඳින් දැනුණි.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article