කුල ගෙය – Episode 14

Jun 5, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

සාමාන්යයෙන් පෙම්වතුන් යුවලක් හමු වීමෙන් පසු තමාගේ අතීතයේ පෙම් පුවත් එකිනෙකාට තෙපලා ගැනීම ස්වභාවයෙන් සිදු වේ. එමෙන්ම සාමන්යය තත්ත්ව යටතේ නම් එකිනෙකා පළමු හාදුව ලබා දීමට සහ ගැනීමට පුන පුනා බලා සිටිති. නමුත් රුක්මා සහ රොෂාන් විවාහ වෙන්නට සතියක් තබා හෝ අතීතයේ පෙම් පුවත් තබා කිසිදු පුද්ගලික එකිනෙකාට අනන්යය වූ දේවල් කතා කරගෙන සිටියේ නැත. ඔවුන් දෙදෙනා හමු වන කෙටි වෙලාවකට වුනත් ආගන්තුකයන් මෙන් බොහෝ විට විවාහයේ සැලසුම් කටයුත්තක් ගැන කතා කිරීම සිරිත විය.

Continue Reading Below

රොෂාන් රුක්මාගේ සහෝදරයන් තිදෙනා සහ සහෝදරිය සමග මිතුරු විය. හේ ඔවුන්ට නිතර රසකැවිලි ආදිය ගෙනත් දුන්නේය. කුඩා ශ්යාමා කෙරෙහි ඇලුම් කළ ඔහු තමාගේ දියණියක් වැනි ඇය වඩාගෙන උඩ දැම්මේය. පවුලේ දරුවෝ සියල්ලෝම සිය ලොකු අයියා වන පෙනුමින් අන්කල් කෙනෙක් වන රොෂාන් හට ගෞරවය මුසු කැමැත්තක් දැක්වූහ. රුක්මා වැලිපැන්නේ ළමාතැනී හට මහත් සේ ඇලුම් කළාය. ඇගේ හිතේද රොෂාන් කෙරෙහි ආදරයක් තිබුනේය. අනාගත සැමියා ලෙස ගෞරවයක් තිබුණේය. එමෙන්ම තමාව කුඩම්මා ගේ නරාවලෙන් ගොඩ ගැනීම ගැන ඔහුට මුලු හදවතින් ස්තුති කළාය.

රොෂාන් සමග ආදරණීය ලෙන්ගතු සම්බන්ධයක් හදා ගැනීමට රුක්මා පුල පුලා බලා සිටි නමුත් ළමා කල සිට ආදරණීය සම්බන්ධයක් ගැන වැටහීමක් නැති හෙයින් එසේ කරන්නේ කෙසේද යන්න රුක්මාට ගැටළුවක් විය. එදා හවස රොෂාන් ගේ ව්යාපාරික මිතුරන් හමු වීමට යන ගමන ගැන කල්පනා කරමින් රුක්මා සිටින අතරතුර වැනේසා රොෂාන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් උද්යානයටවී බලා සිටියාය. තමාගෙන් ගිලිහෙමින් යන ඔහුව දැඩිව රඳවා තබා ගැනීමේ අධිෂ්ටානයෙන් ඕ වඩා උපක්රමශීලී ලෙසින් හිතන්නට පටන් ගත්තාය.

හොඳින් නා කොණ්ඩය වේලා පිට දිගේ කඩා වැටෙන්නට සලස්වා කාමරයට ගොස් වඩා හොඳින් මුහුණ බලමින් මතු වෙමින් පවතින රැලි වැසීමට වත්සුණු තැවරුවාය. බර්ගර් ප්‍රජාවට පමණක් විශේෂ වූ සිරිත් විරිත් පැවතුන අතර මේවා රොෂාන් ගේ සිත වැනේසා කෙරෙහි තව තව ආශක්ත කරවීම හේතු වීය.

සිංහලයන් මෙන් ඔවුන් ඕනෙවට වඩා පරම්පරා කුල වල නම්බු ගැන නොසිතති. අද ගැන සිතා ජීවත් වෙන ඔවුනට ජීවිතය එකම රස ගුලාවකි. රසට ආහාර පිසීම, අලංකාරව ගේ දොර සැරසීම සහ හොඳින් විනෝද වීම ඔවුන්ගේ ජීවිතයම විය. විශේෂ රසවත් ආහාර වර්ග පිසීමේ ශූරියක් වූ වැනේසා ගේ අම්මා ඩොරීන් ඒ ආහාර හොඳින් පිසින හැටි වැනේසා හට පමණක් නොව ඇගේ ගෘහයේ උයන සේවිකාවටද හොඳින් කියා දුන්නාය. කලකට පසු රොෂාන්ගේ පැමිණීම නිසා හටගත් ආස්වාදයෙන් වැනේසා නොයෙක් ආහාර වර්ග සාදවා පිළියෙළ කර තිබුණි. පහුගිය කාලයේ වැඩ අධික නිසා වැනේසා හමු නොවූ රොෂාන් පුන පුනා බලා සිටියේ විවාහයට පෙර ඇය හමු වීමටයි.

රුක්මා දැන් ඔහුට දුරකතනයෙන් කතා කරයි. ඔහුද රුක්මාට දවසේ සැලසුම් ගැන කියයි. ඉතින් අද දවසේ හවස පුරාම රුක්මා ඇඳුම් පැළඳුම් ඇඳීමට ජායතී භායි සමග කාර්යබහුල වෙන වෙලාව වැනේසා හමු වීමට සුදුසුම වෙලාව බව රොෂාන් තීරණය කළේය. ඒ වෙලාවට කෝල් ඒමේ අවධානමක් නැති හෙයින් බොරු කීමට අවශ්යතාවක් නොමැත.

රුක්මා බඳින්නේ නිදහසේ ජීවත් වීමට කියා කොයි තරම් ගර්ජනා කර තිබුනත් හැම වංචනික සැමියෙක් මෙන්ම රොෂාන්ට නීත්යානුකූල බිරිඳ ලෙස රුක්මාට තරමක් බය වෙන්නට පටන් ගෙන තිබුණි. රුක්මා සැර පරුෂ කෙනෙක් නොවේ. කුඩා දරුවෙක් වැනිය. නමුත් ඇය මේ ගැන දැනගෙන හිත රිදවා ගැනීම රොෂාන් ප්රිය කළ දෙයක්ද නොවීය. රුක්මා කෙරේ වූ හැගීම් මොනවාද කියා කල්පනා නොකළ නමුත් හදවතට කෙසේ වෙතත් ජීවිතයට තමා සම්බන්ධ කරන පුරුක ලෙස හෙතෙම රුක්මාට ගරු කළේය.

දහවල් ආහාරය ගැනීමෙන් පසු කාර්යාලයට නොගිය රොෂාන් කාර්යාලයට යන ව්යාජයෙන් ගෙදරින් පිට වූයේය. ළමාතැනී දැනගත්තොත් නැවත රෝගී වන හෙයින් ඔහු රියදුරා ගෙදර තබා තනිවම පිටත් විය.

දහවල් එකට පමණ රොෂාන් ඇතුලට එන විට වැනේසා දුවගෙන ඇවිත් ඔහුව වැළඳ ගත්තාය. ඔහුගේ දහදිය සහ Hugo Boss සුවඳ විලවුන් එකට තැවරුණ ඔහුගේ සුවඳ මහත් ආශ්වාදයෙන් ආග්රහණය කළාය.

ඇයව ඉහලට ඔසවා දෙතොල් සිඹ ගත් රොෂාන් ආහාර මේසයට වාඩි වූයේ ඩයනා කැටිවය. ඔහු හෝ වැනේසා ආහාර නොගත් නමුත් ඔවුන් දෙදෙනාම ආහාර ගන්නා ඩයනා සමග කතා බහ කළහ. ජුලියන් පිහිනුම් පුහුණුවීම් වලට ගොස් තිබුණි. තෑගී බෝග අතටගත් ඩයනා ආහාරයෙන් පසු කාමරයට ගියේ තමාට හිසේ කැක්කුමක් ඇති බව කියමිනි.

මේ නිවස්නයේ නීති රීති වලට අනුව එය එසේ සිදු විය යුතුව තිබුණි. අහිංසක ළමෝ දෙදෙනාද ලැබෙන තෑගී බෝග නිසා සිය ආත්මය විකිණීමේ කලාව කුඩා කල සිට මනාව ප්රගුණ කරමින් සිටියහ. වැනේසා ඕවා ගැන කල්පනා නොකළ අතර ඉන්ද්රියන් පිනවීම හැර ඔය වැනි මාතෘකා වැනේසාට ගෝචර නොවීය. ඩොරීන් ඇයට ඕවා ඉගැන්නුවේ නැති හෙයින් වැනේසාද ඩයනාට උගන්වන්නට හිතුවේ නැත. ඔය ටෙනිස් පාඩමක්, පියානා පාඩමක් උගන්වා ඉක්මනින් දියණිය කාට හෝ මුදලාලි කෙනෙක්ට විවහා කර දීම වැනේසා ගේ පැතුම විය. රොෂාන් නිසා ඒ පැතුම මහත් අසීරු නොවෙන බව වැනේසා දැන සිටියාය.

දිවා ආහාරයෙන් ඉක්බිති ගෙන ආ පාර්සල් රැස සමග රොෂාන් සහ රුක්මා නිදන කාමරයට වැදුණේ අපමණ නිදහසකිනි. කොතරම් කලක් එකිනෙකා නොදක වෙන් වී සිටියත් නැවත දකින විට ඔවුන් කවදාවත් නැති තරම් එකිනෙකාට පෙම් කළහ. රොෂාන් ඇඟ සෝදා දත් මැද ඉතා අලංකාර කිමෝනාවක් ඇඳගෙන කාමරයට එන විට වැනේසා වත් කරන ලද වයින් වීදුරු දෙකක් කාමරයේ සූදානම් කර තිබුණි. එළියේ උෂ්ණත්වය අධික වූයෙන් ඔහු වායු සමාන යන්ත්රය බිත්තියේ ස්විචය ඔබා ක්රියාත්මක කළේය. මේ වායු සමන යන්තර අද මෙන් දියුණු ඒවා නොවුන හෙයින් සූ සූ හඬක් මදක් හයියෙන් ඇසෙන්නට විය. ඔවුන් දෙදෙනා ඇඳෙහි වාඩි වී එකිනෙකාගේ අත අල්ලාගෙන විස්තර කතා කරන්නට පටන් ගති. ඔවුන් නොදුටු අතරතුර කළ කී දෑ නැවත කතා කිරීම මහත් ආස්වාද ජනක විය. රොෂාන් රට සිට පැමිණි විට ගෙන එන ත්යාග වලට වැනේසා කැමති වීම ඔහුගේ ලොකුම සතුටයි. ලබන සතියේ සිට මේවා තවත් ගැහැනියකට බෙදී යන බව වැනේසා මෙනෙහි කළේ සංවේගයෙනි. එමෙන්ම රුක්මා සමග ඇති සම්බන්දය කෙසේද කියා දැන ගැනීමට ඕ බලා සිටියාය. තමාගේ දුරකථන ඇමතුම නිසා ඔවුන් දෙදෙනා අතර ගැටුමක් හටගෙන ඇතිද යන්න වැනේසාට දැනගැනීමට ඇවැසි වුනත් රොෂාන් හිතා මතාම ඒ ගැන කතා කිරීම මගහැරියේය.

වයින් මතින් මදක් රත් වන විට ඔවුන් දෙදෙනා ආදරය බෙදාගන්නට පටන් ගත් අතර රොෂාන්ට දැනුණේ කාලයක් අනුන්ගේ තැන් වල සිට තමාගේ නිවසට පැමිණි මිනිහෙක්ට ඇතිවන සතුටුදායක සහනයයි. වැනේසා කොයිම මොහොතක වත් වචනයක් වත් රොෂාන් කෝප ගැන්වීමට නොකරන්නට පරිස්සම් වුන ගැහැණියකි. ඇගේ සමාගමය සතුට මිස අන් කිසිවක් නොවීය. අනික වැනේසා රුක්මා මෙන් නුපුරුදු කුලෑටි ගැහැණු දරුවෙක් නොවේ. රුක්මා හැදුන වැඩුන පරිසරයට අනුව ඇය පිරිමියෙක් මුල් තැන ගන්නා තුරු සිටියා මිස කවදාවත් වැනේසා මෙන් මුල් අඩිය නොතැබුවාය.

“ කොහොමද ඔයා ගෙදරින් ආවේ? අම්මා බැන්නේ නැද්ද?”

“ නැහැ.මම ඔෆිස් යන අතරේ තමයි ආවේ. අම්මා හිතන්න ඇති මම ඔෆිස් ගියා කියල” ඔහු සිනා සෙමින් කීවේය.

“ හොඳ වෙලාවට අද රුක්මා හවස එලියට යන්න ඇඳුම් අඳිනවා. හවස එයා බිසී නිසා මට කෝල් කරන්නේ නැහැ “ යනුවෙන් වැඩිදුරටත් කීවේය. නමුත් නොසිතුව ලෙස මේ කතාව වැනේසා ගේ කෝපය අවුස්සන්නට හේතු විය.

“එයා එක්ක කොහෙද යන්නේ?” ඕ ඇසුවේ තදිනි. හරියට අනියම් භාර්යාව සමග එලියට යාම ගැන නීත්යානුකූල භාර්යාව කිපෙන්නාක් මෙන් කෝපයෙනි.

“ අද තමා පලවෙනි පාරට එයාව මගේ යාළුවන් අතරට ගෙනියන්නේ. ඉතින් එයා ජායතී භායි එක්ක ඇඳුම් අඳිනවා” රොෂාන් කීවේ රුක්මා ගේ බොළඳ වැඩ ගැන මතක් කරමිනි. ඔහුගේ දෙනෙත් සිනාවෙන් බර විය.

“මොකටද එයාව ගෙනියන්නේ? එයා මොකටද ඔයාට ඔෆිස් එකට කෝල් කරන්නේ? ඔය දෙන්නා හොඳින් ඉන්නවා. මම තමා අන්තිමට රැවටුනේ” කියමින් වැනේසා දෙනෙත් වල කඳුළු පුරවා ගත්තාය.

වැනේසාට විවාහයෙන් පසු ජීවිතේ ගෙවෙන පිළිවෙල ගැන කතා කිරීමට හිතාගෙන සිටි හෙයින් මේ සුදුසුම මොහොත ලෙස සලකා රොෂාන් වැනේසා සිය තුරුල්ලට ගත්තේය. එක අතකින් ඇගේ කඳුළු පිසදා කම්මුලට සහ ගෙල හාදු වර්ෂාවකින් නැහැවූ ඔහු ඇය ඇඳේ පසෙකින් හාන්සි කරවාගෙන කතා කරන්නට පටන් ගත්තේය. වැනේසා ඔහුගේ ඇඟට කකුලක් දමාගෙන පැත්තකට හැරී නිදහස් අතින් ඔහුගේ බාහු යුග්මය වැළඳ ගත්තාය.

“වැනේසා මම දන්නවා ඔයා හේතුවක් නැතුව තරහා වෙන්නේ ඇයි කියල මේ දවස් වල..මම දන්නවා ඔයාට මේ දේ අලුත් වගේම අමාරුයි කියල..ඒ වුනත් අපිට මේකට හැඩ ගැහෙන්න වෙනවා වැනේසා. මම ඔයා මට තිබ්බ විස්වාසය කවදාවත් කඩල නැහැ. කඩන්නේත් නැහැ. අපි දෙන්නට කසාද බඳින්න බැරි වුණා. ඒක ලොකු වරදක් …….

ඔහුගේ කතාව අතරට මැදින් පැනගත් වැනේසා…” ඒක හරිම ලොකු වරදක් රොෂාන් “ කියමින් සුසුම් හෙළුවාය.

“ දැන් අපිට අතීතෙට ගිහින් ඒ වරද හදන්න බැහැ. කරන්න තියන එකම දේ හොඳ විදිහට වර්තමානයට මුහුණ දෙන එකයි. මගේ අම්මා වයසයි. ඔයා අම්මෙක් නිසා ඔයාට තේරෙනවා ඇති එයාගේ හිතුවිලි. තාත්තා මැරෙනකම් ඔයා නොබැඳ හිටියා නම් මට තිබුනා අම්මව කැමති කරවා ගන්න එහෙනම් එයා ඔයාටත් රුක්මාට වගේම ආදරේ වෙනවා. මගේ අම්මා එක්ක ඔයා තරහ නොවෙනවා නම් මට ඒක ලොකු සහනයක් වැනේසා. ජීවිතේ මම වැඩියෙන්ම ආදරේ කරන ගෑනු දෙන්නා එකිනෙකාට වෛර කරනවා කියල මතක් වෙන එක මහා කම්පනයක්…..

“රොෂාන්..ඔයා මට ඉන්න කියල රට ගියේ නැහැ. එහෙම ගියා නම් මම ඉන්නවා. අඩුම ගානේ ඔයා එවපු ලියුම් දෙකේ වුනත් තිබ්බේ සාමන්ය යාලුවෙක් වගේ නිකන් තොරතුරු විතරයි.” වැනේසා කෝපයෙන් තෙපලාය. විවාහයෙන් පසු කන්දප්පා ගේ හිත රිදවා රොෂාන් සමග සම්බන්ධ වීම ඇගේ තීරණයක් වුනත් ඒ ගැන ඕ නොමදව රොෂාන්ට දොස් නැගුවාය.

“ මම ඔයාව කවදාවත් රවට්ටලා නැහැ “ ඔහු කීවේ නැගෙන කෝපයෙනි.

“බර්ගර් ගෑනු කෙනෙක් බඳින එක කෙසේ වෙතත් ළමයි ඉන්න අම්මෙක් බඳින එක මට කරන්න බැරි බව මම මුලින්ම ඔයාට කීවා. අනික වැනේසා රුක්මා කසාද බිරිඳ වුනාට මම ආදරේ ඔයාට . ඔයාට ඒ දේ මදිද ?”

“ ඔයා ළමයි ඕනේ. කසාදෙ නමටයි කීවට දැන්ම ඒ ගෑනි ඔෆිස් එකට කෝල් කරන්න අරගෙන. ඒ මදිවට ඔයාගේ යාළුවො මුණගැහෙන්න ගෙනියනවා.” වැනේසා කීවේ දැඩි කෝපයෙනි.

“ ඔවු..ඔවු ..ඔවු…. රුක්මා එහෙම කරනවා.” ඔහු කෝපයෙන් කෑ ගැසුවේය.

“මොකද මගේ කසාද ගෑනි වෙන්න ඉන්න නිසා. මගේ ලමයි වදන අම්මා නිසා. ඒ ගෑනිට වෙන මිනිහෙක් නැති නිසා. “ තමා අදහස් නොකළ දෙයක් කියවුන හෙයින් රොෂාන් වහාම කට වසා ගත්තේය.

“ හා…… දැන් රුක්මාගේ පතිවත ලොකු වුනාද? එතකොට මගේ කසාදය කැඩුනේ ඔයා නිසා නෙවේද රොෂාන්?” වැනේසා කෝපයෙන් වයින් වීදුරුව බිම ගැසුවාය.

මද වෙලාවක් නිහඩව සිටි රොෂාන් කෝපය පාලනය කර ගත්තේය. ඉක්බිති මුළු හවසම වැනේසා ගේ නිවසේ සිටීමට හිතාගෙන පැමිණියත් පැයක් යන්නට පෙර වහාම ඇඳුම් ඇඳ ගත්තේ වැනේසා තමාගේ කෝපය ගැන පසුතැවෙමින් සිටියදීය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article