කුල ගෙය – Episode 13

May 29, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

කන්දප්පාගේ ආගමනයත් ,අම්මාගේ රෝගය නිසා රොෂාන් කාර්යබහුල වීමත් පසුදින රුක්මා සමග හංවැල්ල මහත්මිය දැකීමට යාමත් හවස් වරුවේ වැඩ අධික වීමත් නිසා දවස් 5 ක් මුළුල්ලේ වැනේසා සමග කතා කිරීමට රොෂාන්ට නොහැකි විය. වසර 13ක් මුළුල්ලේ තිබෙන දැඩි සමීප සම්බන්ධයක් නිසා එය එතරම් ලොකු අඩුවක් ලෙසද නොදැනුනේය. රොෂාන් විසින් කාර්යබහුල කාල වල කොහොමත් නිතර ඇමතුම් දෙන්නේ නැත. වෙනදාට මෙය සාමන්ය දෙයක් වුනත් මෙවර නම් වැනේසා මහත්සේ කෝප වූවාය. නමුත් කෝපය ඇතිවූයේ රොෂාන් සමග නොවේ. තමා හට දුරකතනයෙන් අසැබි වදනින් බැන වැදුන ළමාතැනී සහ රොෂාන් උදුරන්නට පැමිණි රුක්මා කෙරෙහි ඇගේ පිළිකුල යොමු විය.

Continue Reading Below

රාත්රී 9 ට කාමරයේ දුරකතනය නාද වන විට රොෂාන් බව සැකහැර දැනගෙන වැනේසා සන්සුන් වීමට දැඩි උත්සහයක් දරමින් පිළිතුරු දුන්නාය.

“හලෝ ඩාලින්” ඇය ඉතාම සතුටු දායක ස්වරයකින් ඇමතුවාය.

“ඔයා හොඳින් නේද ?” රෝශාන්ද උතුරා යන ආදරයෙන් අසා සිටියේය.

කතාව ටිකෙන් ටික ඉදිරියට යන විට අම්මාට කතා කරේ මන්ද යයි රොෂාන් විමසන ලදී.

“ කවදාද? “ ඕ ඉතා අහිංසකව ඇසුවාය.

“ පෙරේදා.. ඔයා අම්මට කතා කරේ නැහැ ?”

“ කීයටද ?” රොෂාන් තමාගේ වචනයට නැවෙන බව දැන වඩා පුදුමයෙන් අහිංසකව කීවාය. බොරු ඇත්ත මෙන් මූණ දෙස බලාගෙන කීමේ සහජ සුරුබුහුටි කමක් වැනේසා හට දෙවියන් දී තිබුණි. එබැවින් කන්දප්පා හෝ රොෂාන් කෙදිනක වත් ඇගේ වචන අවිස්වාස කරේ නැත.

“ නැහැ..රොෂාන් ඔයාට අමතකද එදා මම ජුලියන්ගේ පිහිනුම් තරගයට ගියා. කන්දප්පා ගෙදර ආවේ ඒ වෙනුවෙන් නේ. ඊට කලින් දවසේ රෑ කන්දප්පා ගේ දික්කසාදය ගැන කතා කරන්න ඕනේ කියල කීවා. ඉතින් මට ඔහු එක්ක ඒ ගැනත් කතා කරන්න වුණා” කීවේ රොෂාන්ට එදා රාත්රියේ කන්දප්පා සමග කුමක් කලේද යයි සැකයක් ඇති නොවනු පිණිසය.

“ ඔයා මට කීවේ නැහැනේ..කන්දප්පා දික්කසාදයක් ඉල්ලුවා කියල” රොෂාන් සතුටින් තෙපළේය. වැනේසා මේ විවාහයෙන් නිදහස් වේ නම් එය ඔහුට ලොකු සතුටකි. අනෙක් අතින් එය කන්දප්පා ගේ වුවමනාවට සිදුවීම කියලා වත් කරගන්න බැරි දෙයකි.

“ ඉතින් ඔයා මොකද කීවේ “ රොෂාන් ඇසුවේ ඇගේ ප්රතිචාරය දැනගැනීමටයි.

“ ආ..එයා ඉතින් හිටියත් නැතත් එකයි නිසා මා කීවා ඕනේ වෙලාවක නඩුවක් දාන්න මම දෙන්නම් කියල.” ඉතාම නොසැලකිල්ලෙන් උදාසීනව කීවාය.

සත්යය නොදත් රොෂාන් බෙහෙවින්ම සතුටු විය. ඔහු තමාගේ බොරුව පිළිගත් බව හොඳින් තේරුම් ගත් වැනේසා අඳුරේ රිසිවරයට මද සිනා පෑවාය.

ඉක්බිති ඔහුගේ ජර්මන් ගමන සහ ඔහු එන විට ඇයට ගෙන ආ යුතු දේවල් ගැන කතාව යොමු විය. Sothys බ්රෑන්ඩ් එකෙන් මේකප් උපකරණ අලුතින් ගෙන එන මෙන් ඕ ඉල්ලා සිටියාය. ඒවා ගෙනාවේ මාස දෙකකට පමණ පෙර නිසා මෙතරම් ඉක්මනින් ඉවර වූයේ මන්ද යයි රොෂාන්ට ඇසීමට සිත් වුවත් ඔහු ඇසුවේ නැත. තව ඇය අඳින වර්ගයේ මිල අධික විශේෂ යට ඇඳුම් , සුවඳ විලවුන් ආදී ලොකු ලිස්ට් එකක් ලැබුණි. මේ හැම එකින්ම තව එකක් ගැනීමට රොෂාන් සනිටුහන් කළේ රුක්මා වෙනුවෙනි. දෙදෙනාගේ සමේ වර්ණ වෙනස් නිසා වැනේසා ගේ වර්ණ රුක්මාට ගැලපුනේ නැත. හංවැල්ල මහත්මියගෙන් රුක්මාට ගැලපෙන හැම වර්ණයම ඔහු හොඳින් දැන ගත්තේ මේ නිසාය.

ඔවුන් දෙදෙනා පැයක් පමණ එකිනෙකා සමග කතා කරමින් සිට නින්දට යාමට සුබ රාත්රියක් පැතුවේ ඔහුට හෙට උදේ පාන්දර 4 පමණ වන විට ගුවන් තොටට යාමට සිදු වන නිසාත් ඔහු අධිකව වෙහෙසට පත්ව තිබුන නිසාත්ය.

මේ අතර කන්දප්පා නැවත තමා වෙත ගැනීම සහ රොෂාන් ට කියූ බොරුව ඔහු විශ්වාස කිරීමේ තෘප්තියෙන් වැනේසා නින්දට වැටුනාය. ඇය හැම අතින්ම පරාජය භාර ගැනීමට අකමැති ජයග්රාහී ගැහැණියකි.

ඊළඟ සතිය රොෂාන් ලංකාවේ නැති නිසා රුක්මා සිටියේ තරමක් අසහනයෙනි. ඔහු තමා සමග ආලවන්තකම් නොපෑනමුත් අනාගත භාරකරුවා සහ තමාට මේ සා වටිනාකමක් දුන් මිනිසා ලෙස රොෂාන්ට බෙහෙවින්ම ඇලුම් කළාය. ඔහු ලංකාවේ නැති විට තමා අසරණ බව ඇයට දැනුණි. ඔහු නැති අතර යමක් වීමට අවැසි නම් නොපමාව අමතන ලෙස රොෂාන්ගේ ප්රධාන සේවකයන් හට භාර කර තිබුණි. වැනේසා කොයිම මොහොතක වත් රොෂාන්ගේ කාර්යාලයට කැඳවා නැති වුනත් විවාහයට පෙර සිටම නීත්යානුකූල භාර්යාව ලෙස එහි ඕනෙම වෙලාවක යාමේ හිමිකම රුක්මා හට රොෂාන් විසින් පවරා තිබුණි. එහි සිටි සියලුම සේවකයෝ රුක්මා හට මහත්සේ ගරු සැලකිලි දැක්වූහ.

හංවැල්ල මහත්මියගේ නිවසට යාම් ඊම නිසා රුක්මා මේ සතියේ බෙහෙවින්ම කාර්යබහුල වූවාය. විවාහයේ වැඩ ඒ අතර බෙහෙවින්ම යෙදී තිබුණි. රොෂාන් වාහනය සහ රියදුරා යොදවා තිබුනේ බොහෝ දුර සිතලාය. සැබවින්ම ඒ නිසා රුක්මාට මහත් පහසුවක් දැනුණි. අර නිර්නාමික ඇමතුම රුක්මාගේ සිතට වරෙන් වර පැමිණේ. එය සත්යක්ද යයි ඇගේ සිත වේදනාවෙන් බර වේ.

රෝගීව සිටින ළමාතැනීට මේ ගැන කීම අනුවණ කමකි. ඕ එයින් නැවත ලෙඩ වන්නට පුළුවන. ළමාතැනීට සීයට පන්සීයක් විශ්වාස වුවද ඒ කතා කලේ වැනේසා කියා රොෂාන් සිතුවේ නැත. ගාමිනීගෙන් ඇසු කළ ඔහු කීවේ තමාගේ කලින් යෙහෙළියකට මේ ගෙදර අංකය දී ඇති බවත් තමාට එයින් ඇය අන්දහිට කතා කළ බවත්ය.

“ තමුසේ මීට පස්සේ එක එක්කෙනාට මගේ private line එක දීල අතට අහුවෙන්න එපා “ කියූ රොෂාන් එය එතනින් අමතක කර දැමුවේය.

රොෂාන්ගේ මීට පෙර පෙම්වතියෝ කඩන ලද්දේද මේ අයුරින්ම ග්රේස් විසිනි. අදාළ ගැහැනුන් රුක්මා මෙන් අසරණ දැරියන් නොවුන හෙයින් ඔවුන් වහාම මේ කතාව සොයා බලා සත්යය බව දැන රෝශාන්ගෙන් ඉවත් විය. නමුත් කිසිවෙක් මේ දුරකථන ඇමතුම් ගැන රොෂාන්ට කීවේ නැත.

හවස වන විට විඩාව නිසාම රුක්මා නින්දට වැටේ. මගුල් සාරි, ආයිත්තම් හැම දේම මේ වන විටද ඕනෙවට වඩා සූදානම් වී තිබුණි. දෙවන මනාලියන් ලෙස අඳින ඇගේ ඥාති සොයුරියෝ දෙදෙනාගේ fit on එක යෙදී තිබුනේ රොෂාන් පැමිණියාට පසුවය.

රොෂාන් විසින් කාර්යාලයේ අමතක කර දමා ගිය හංවැල්ල මහත්මියගේ catalogue එකක් ගැනීමට සිකුරාදා හවස රුක්මාට ඔහුගේ කාර්යාලයට යාමට සිදු විය. ඔහුගේ ලේඛම් තුමියට දන්වා රුක්මා එහි ගියේ රොෂාන්ගේ රියදුරා සමගිනි. එදා උදේ වැනේසා වෙනුවෙන් සාදවන ලද බේස්ලට් එක කාර්යාලයට ගෙනත් දී තිබුනේ රන් කරුවා විසිනි. එය භාරගත් ඔහුගේ ලේඛම් තුමිය විසින් එය රොෂාන් ගේ වැඩ කරන මේසය මත පරිස්සමට තබා තිබුණේය.

දෙවිටක් නොසිතා රොෂාන්ගේ කාර්යාලය ඇතුලට රුක්මා ගියේ කැටලොග් එක සොයාගැනීමටයි. හංවැල්ල මහත්මියගේ ඉගැන්වීම් සඳහා අවශ්ය කැටලොග් එක රොෂාන් විසින් අමතක වී කාර්යාලයේ දමා ගොස් තිබුණේය. ඇයට එය ගෙනගොස් දීම තමාගේ වගකීම මෙන්ම රොෂාන්ගේ ගෞරවය රැකීමට හේතු වන බව රුක්මා සිතුවාය.

කාර්යාල මේසය මත වූ මුතුකරුපන් චෙට්ටියාර් නම ගැසූ පෙට්ටිය දුටු රුක්මා ප්රීතියෙන් ඉපිල ගියේ ඔවුන් දෙදෙනාගේ මගුල් මුදු සහ ඔහු තාමාට හදන්නට දුන් දියමන්ති මුද්ද ලැබී ඇති බව සිතමිනි. මගුල් මුදු සහ ඇගේ මුද්ද ඒ වන විට ළමාතැනී ගේ අතට ලැබී තිබුන බව රුක්මාට කවුරුත් කීවේ නැත. එය පෙන්වා රුක්මා පුදුම කරවීමට ළමාතැනී සිතාගෙන සිටියාය.

එබැවින් ඕ වහාම පෙට්ටිය විවුර්ත කළේ තමාගේ මගුල් මුද්ද දැකීමේ ප්රීතියෙනි. නමුත් එය මුද්දක් නොවේ අලංකාර අත් පළඳනාවකි. බාගදා රොෂාන්ට තමාව පුදුම කරවීමට හෝ ඊළඟ මස එන තමාගේ උපන් දිනයට තෑග්ගක් ලෙස දීමට අවැසි වී ඇතියි රුක්මා සිතුවාය. ලංව පරීක්ෂා කිරීමේදී එම අලංකාර අත් පළඳනාවේ ගාන්චුවේ W & R ලෙස පැහැදිලිව කොටා තිබුණි. තමාට දෙන එකක් නම් R&R ලෙස කොටා තිබිය යුතුය. ඒ සමගම දුරකථන ඇමතුමෙන් ලද ගැහැනියගේ නම වැනේසා බව රුක්මා සිහි කළේ නොමද ශෝකයෙනි.

“එහෙනම් ඒක ඇත්තක් “ සිතමින් ඕ වහාම විචක්ෂන ගැහැනියක මෙන් අත් පළඳනාව පෙට්ටියටම දමා වහාම කැටලොග් එකත් ගෙන පිට වූවාය. එළියේ සිටින ලේඛම් තුමිය ඉදිරියේ තමාගේ දෙනෙත් වල කඳුළු ඇති බව නොපෙනෙන්නට ව්යාජ සිනාවක් මවාගෙන වහාම වාහනේ පිටුපස අසුනේ හරි බැරි ගැසුණාය.

හංවැල්ල මහත්මිය හමුවී වහාම ගෙදර පැමිණි ඇය උඩුමහලට ගියේ මේ ගැන කල්පනා කිරීමටයි. රුක්මා ගේ හිත ශෝකයෙන් බර විය. ඔහුට පෙර සම්බන්ධකම් තිබීම ඇයට ගැටළුවක් නොවේ නමුත් මේ අත් පළඳනාව කියාපාන්නේ කුමක්ද ඔවුන් තවමත් පෙම්වතුන් බව නොවේද ? විවාහය ඉදිරියේ වත් වෙන් වීමට අදහසක් නැති බව නොවේද? මේ තත්වය හමුවේ තම ජීවිතය කුමක් වනු ඇතිද රුක්මා නොදත්තීය.

මේ කතාව සිය පියා නොදැන ඉන්නට හේතුවක් නැත. ඔහුට මේ ගැන කීමෙන් සෙතක් නොවන බව රුක්මා සිතුවාය. විවාහය නැවත්වීමට ක්රමයක් ඇතිදැයි කල්පනා කළ නමුත් එකක් හෝ ඇගේ හිතට ආවේ නැත. ළමාතැනී ගේ රෝගය නිසා ඇයසමග මේ ගැන කතා කළ නොහැක.

හිතේ ප්රියක් නැති වුවද ඕ පසුදාද හංවැල්ල මහත්මියගේ පන්තියට ගියාය. විවාහ උත්සවයේ වැඩට සූදානම් වූවාය. නොසලකා හැර හැදෙන බොහෝ ළමයින් මෙන් රුක්මා ආහාර ගැනීම කළේ බොහෝ අඩුවෙනි. මේ හිතේ වේදනාව නිසා දවස් දෙකක් එක දිගට ආහාර නොගත් ඇය අවසාන සිහි සුන්වී වැටුණාය. රොෂාන් රට සිට ඈ බැලීමට පැමිණියේ රෝහලටයි.

විවාහයේ වැඩ නිසා ඇතිවුන වෙහෙස නිසා මෙන්ම නිසි ලෙස ආහාර නොගැනීම නිසා කලන්තයක් හැර වෙන යමක් නැති බව කී වෛද්ය වරයා රුක්මාට සේලයින් දී ආහාර රුචිය වැඩි වීමට බෙහෙත් නියම කළේය.

විවාහය ආසන්නයේ ආහාර වර්ජනය කිරීම ගැන ශ්රීමතී සිටියේ රුක්මාට හැකි උපරිම වැර යොදා බනිමිනි. රුක්මාගේ හිතුවාකර කම සහ ඇට්ටරකම ලෙස ශ්රීමතී අර්ථ දැක්කුවාය. තමා නැති අතර ශ්රීමතී රුක්මාගේ හිත රිදවා ඇතැයි සිතු රොෂාන් ශ්රීමතී සමග කෝප විය.

“ තව සති දෙකයි නේ. මට ඒ සති දෙක වත් මේ ගෑනිගේ ගෙදර ඔයාව තියන්න හිතෙන්නේ නැහැ රුක්මා “ ඔහු කෝපයෙන් රුක්මා සමග කීවේය.

“ මට දුක කියන දේ හොඳට හුරුයි ..පොඩි කාලේ ඉඳන්ම “ රුක්මා කීවේ දෙනෙතින් බේරෙන කඳුළු කොපුල් හරහා නිදහසේ ගලා යන විටදීය . ඇය වැලපුනේ ශ්රීමතී නිසා නොවේ රොෂාන් විසින් කළ මහා බොරුව මෙනෙහි වීමෙනි.

“ ඔයා අද හවස වෙනකම් මෙතනට වෙලා විවේකෙන් ඉන්න රුක්මා. මම ගෙදර ගිහින් ටිකක් විවේක අරගෙන ඔෆිස් ගිහින් හවස එන්නම් ඔයාව ගෙනියන්න “ ඔහු අනුකම්පාවෙන් ඇගේ සිහින් දුබල අත ගෙන සිපගත්තේය. ඉක්බිති ඇගේ මුහුණට වැටුන හිසකෙස් කඳුළු සමග ඇලී තිබුනෙන් ඒවා පරිස්සමෙන් ඉවත් කොට පිටුපසට ගෙනාවේය. ඔහුට සමු දෙන විට රුක්මා නැවත ඔහු කෙරේ සෙනෙහසින් බැදී සිටියාය. තමාට ජීවිතේ ප්රථම වතාවට ලැබුණ ආදරය, සැලකිල්ල , සෙනෙහස දෙන මිනිසා වෙන් කිරීමට ඇයට සිත නොදේ.

“ මම ආදරේ කරද්දී එයා වෙනස් වෙයි . මම එයාට කල් දෙනවා “ කියමින් හිත හදා ගත් නමුත් සුන්දර අත් පළඳනාව සමග ඔහු ළඟදීම ඈ හමුවීමට යන බවද නිල නොලත් භාර්යාව වන ඇය සමග ඇති සම්බන්ධය කෙබඳුද යන ප්රශ්නය නිතරම ඇගේ සිතට නැගුණි.

මතක් වෙන හැම විටම එය මගහැරීමට ඕ අසාර්ථක උත්සාහයක යෙදුණාය.

හවස රුක්මා ගෙදර කැඳවාගෙන ගිය රොෂාන් ඇයට ගෙන එන ලද භාණ්ඩ වලින් කොටසක් පමණක් ගෙන ආවේය. වැනේසාට ගෙන ආ භාණ්ඩ වෙනම අසුරා තබන ලද්දේ බෙස්ලට් එක සමගම ඇය විවාහයට පෙර කෙසේ හෝ හමු වී දවස් බාගයක් ගෙවීමේ අදිටනෙනි.

“ මේවා ඔක්කොම ඔයාට මෙහෙට ගෙනත් වැඩක් නැහැනේ. තව සති දෙකකින් කොහොමත් ඔයා එහෙ එන නිසා “ කියමින් ඔහු රියදුරා විසින් සාලයේ තබන ලද භාණ්ඩ උඩු මහලේ රුක්මාගේ කාමරයට ගෙන යන මෙන් අන කළේය. කුඩා ළමයින්ට ගෙන එන රසකැවිලි සියල්ලම බෙදා දුන් රොෂාන් පිට වූයේ හොඳින් කන ලෙස සහ විටමින් නොවරදවා බොන ලෙස රුක්මාට කීප වරක් කීමෙන් අනතුරුවය.

විවාහයට දින දෙකකට පෙර රාත්රියේ ප්රථම වතාවට Golf Club එකට රුක්මා කැටිව ගොස් සිය ව්යාපාරික මිතුරන්ට ඇය හඳුන්වාදීම ඔහුගේ සැලසුම විය. මේ ගැන ලාල්ද අනුමැතිය පල කළේය. හංවැල්ල මහත්මිය පවසා තිබුනේ රුක්මාගේ සමාජ චාරිත්ර ගැන දැනුම ඉතා ඉහළ බවයි. එබැවින් ලොකු දෙයක් තමාට හැදීමට නොමැති බව පවසා තිබීම රොෂාන්ට ලොකුම සතුටක් විය.

ලබන සතියේ දිනක වැනේසා හමු වීමට විධි විධාන යොදා ගැනීමට සිතු රොෂාන් රුක්මාගේ ලඳ බොළඳ කම ගැන බෙහෙවින්ම සතුටු විය. වෙනත් ගැහැණියක් වුනා නම් තමාට මේ සා නිදහසක් භුක්ති විඳින්නට නොලැබේ. රුක්මාගේ අහිංසක පැවතුම් කෙරෙහි ඔහු බෙහෙවින්ම ආකර්ශනය විය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article