කුල ගෙය – Episode 12

May 22, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

සිය පුතුගේ චායාව දැකීම සමග ළමාතැනී ගේ මුහුණ සතුටු සිනාවකින් වක් විය. රොෂාන් වහා පැමිණ අම්මාගේ නිදහස් අත අල්ලා ගත්තේ පුටුවක ඉඳගෙන සිටින රුක්මාගේ හිසට ඉහලින් නැවෙමිනි. ඉක්බිති ඔහු අම්මාගේ නළලට හාද්දක් දුන්නේය.

Continue Reading Below

“ අම්මට කොහොමද දැන්?” ඔහු ඇසුවේ රුක්මා දෙසත් බලමිනි.

“ මට පොඩි පපුවේ ගැස්මක් ආවා පුතේ . මේ දරුවා නිකන් බය වෙලා “ ඇය කීවේ රුක්මා පෙන්වමිනි.

“ බය වෙන්න දෙයක් නැහැ රුක්මා හාර්ට් ඇටැක් එකක් නෙවේ. පොඩ්ඩක් මේ ප්රෙෂර් එක නැගල” කියමින් රොෂාන් අනෙක් අසුනේ වාඩි විය.

මද වෙලාවක් ළමාතැනී ගේ රෝගය ගැන කතා කරමින් සිටි රොෂාන් “ ඩොක්ට කියනවා අම්මව තව පැය දෙකක් තබාගෙන මොනිටර් කරන්න ඕනේ කියල. පරක්කු වෙන නිසා මම හිතුවේ රුක්මා ගෙදර බස්සවලා එන්න. නැත්නම් හරි නැහැනේ “ කීවේය.

“ඔවු පුතේ මේ දරුවා රෑට කොහෙවත් යන දරුවෙක් නෙවේනේ. දැනටම ශ්රීමතී නෝනා බය වෙලා ඇති”

“මම ඔයාගේ ඩ්රයිවර් එක්ක යන්නම්. ඔයා අම්මා එක්ක ඉන්න. රුක්මා කීවේ ළමාතැනී හැර යාමට දැඩි අපහසුවකිනි.

“අම්මට ඇති ලෙඩක් නැහැ රුක්මා. මේ රෑ කරුවලේ මම කොහොමද ඔයාව පිට මිනිහෙක් එක්ක යවන්නේ? අනික මම ඉක්මනින් එනවා අම්මා ගෙදර ගෙනියන්න “ රොෂාන් සැරෙන් කීවේය.

ළමාතැනී බිම බලාගෙන සිනාසුනාය.

දස වෙනි වරටත් ළමාතැනී සිපගෙන රුක්මා පිටත් වූයේ වේදනාවෙනි. අද මෙන් විවාහ වී කැන්දන් යාමට පෙර සැමියාගේ ගෙදරට යාම ලමිස්සියන්ට තහනම් හෙයින් රුක්මා හෙට හෝ අනිද්දා ළමාතැනී නොදකිනු ඇත.

“මම ගෙදර ගිහින් හෙට උදේම දුවට කතා කරන්නම් “ කියමින් ඈ රුක්මාට සමු දුන්නාය. රෝහල රොස්මිඩ් පෙදෙසට ඉතා ලඟින් පිහිටියෙන් රියකරුවා නවතා රොෂාන් යතුර ගෙන රියදුරු අසුනට ගොඩ වූයේය. රුක්මා ඉදිරි අසුනින් වාඩි වූයේ ජීවිතේ පලවෙනි වතාවටය. ඇය වෙත ඔහු නැවෙන විට කුමකට නැවෙනවාද බයෙන් රුක්මා ඈත් වූවාය.

“ඔයාගේ බෙල්ට් එක “ කියමින් ඔහු ආරක්ෂිත පටිය පරිස්සමෙන් ඇයගේ සිරුර හරහා ගෙන සීට් එකට සම්බන්ධ කළේය. විවාහයට සති තුනක් තරම් ආසන්නයේ සිටියද තම බිරිඳ වෙන්න සිටින තැනැත්තිය තමා නැමුනාට බයෙන් පස්සට වීම රොෂාන්ට විහිළුවක් විය.

රාත්රී සමාජ ශාලා වල එදාම දකින ගැහැනුන් වෙරි මතින් මත්ව ඇතැම් විට ඔහු සමග තානායම් වල නැවතී ඇත. රුක්මා ගේ බොළඳ ලැජ්ජාව ඔහුට එක අතකින් වෙනසක් මෙන්ම සතුටක් ගෙන ආවේය.

මද දුරක් දෙදෙනා කතා නැතුව ගමන් කළහ. රොෂාන්ට උදේ ලැබුන ඇමතුම ගැන කියන්නද නොකියන්නද රුක්මා කල්පනා කළාය. එයින් අත් වන ප්රතිපලය ගැන ඇයට වැටහීමක් නොවීය. කොහොමත් බයගුලු රුක්මා ඒ ගැන රොෂාන්ට නොකීමට සිතුවාය.

“ඔයා මොනවද කල්පනා කරන්නේ?” වාහනය මග නතර කළ රොෂාන් ඇසුවේය. අඳුරේ ගාලු පාරේ ඔවුන් දෙදෙනා මෙසේ එක ලඟට වී සිටීම රුක්මාට ගැස්මක් ගෙන ආවේය.

“මම…නැහැ..නැහැ මුකුත් නැහැ….අම්මා ගැන මම බයෙන් ඉන්නේ .. “

“බය වෙන්න දෙයක් නැහැ… අම්මා හොඳින්. මම ඩොක්ට එක්ක කතා කරා” කියමින් රොෂාන් ඇය අස්වැසුවේය. ඉක්බිති ඇගේ ඔඩොක්කුවේ එකකට එකක් තදින් ගුලිවී තිබෙන අත්ල ගෙන අල්ලා ගත්තේය.

කුඩා කල පටන් කන්යාරාමයක උගත් රුක්මා සිය සොයුරන් හැර කිසිම පිරිමියෙක්ගේ අතක් අල්ලා නැත.

“ඇයි ඔයා වෙවුලන්නේ ?” රොෂාන් පුදුමයෙන් ඇසීය.

“නැහැ නැහැ… තරහා වෙන්න එපා ..මම කවදාවත් පිරිමි කෙනෙක් එක්ක මෙච්චර සමීප වෙලා නැහැ” රුක්මා ඉංග්රීසි බසින් කීවාය.

“ඩාලින් මම ඔයාව කලබල කළා නේද? මට සමාවෙන්න” කියමින් රොෂාන් ඇගේ අත නැවත පරිස්සමෙන් ඔඩොක්කුව මත තැබුවේය.

“අනිද්දා මම බිස්නස් වැඩකට ජර්මනි යනවා. ඊට පෙර මම හිතුවේ ඔයාව මගේ යෙහෙළියකට හඳුන්වලා දෙන්න. මම එනකම් ඊළඟ සතිය එයා හම්බ වෙන්න හැමදාම උදේ යන්න රුක්මා. එයාට Finishing School එකක් තියනවා.“

“ඒ ඇයි?” රුක්මා ඇසුවේ කලබල වෙමිනි.

“විවාහය තියෙන්නේ ලබන 27 වෙනිදනේ. ඊට කලින් සිකුරාදා මම හිතුවේ ඔයා එක්ක ඩිනර් එකකට යන්න. මගේ ව්යාපාරික මිතුරෝ හැමෝටම ඔයාව පෙන්වන්න ඕනේ විවාහයට කලින්. මොකද අපේ වෙඩින් එකේ ෆොටෝ හැම පත්තරේකම පල වෙනවා. ඉතින් ඊට කලින් ඔයාව මගේ සර්කල් එකට හඳුන්වලා දෙන්න ඕනේ”

“මේ යාලුවා හම්බ වෙන්නේ ඇයි? “ රුක්මාට තවම මුල මැද අග නොතේරේ.

“ ඔයා ඉස්කෝලෙන් හොඳ ශික්ෂණයක් , අචාරදර්ම උගත් බව මම දන්නවා. නමුත් දැන් ඔයා මගේ බිරිඳ වෙන්න යන නිසා සමාජ ආචාර ධර්ම ගැන නැවත ඔයාට මතක් කරලා දෙන්න ඕනේ ..ඒ එක්කම හෙට අපි දෙන්නම යමු එයාව හම්බ වෙන්න. ඔයාට ගැලපෙන ඇඳුම් , පාට, ආභරණ , රූපලාවන්ය බඩු හැමදේම ගැන මම අදහසක් ගන්න ඕනේ එයාගෙන්. ලංකාවේ නැති ඒවා මට ලබන සතියේ එද්දී ජර්මනියෙන් ගන්න පුළුවන්.ඔයාට ෂොපින් කරන්න මම වෙනම දවසක් නිදහස් කර ගත්තා “ ඔහු ඉංග්රීසි බසින් කීවේ ඇය වෙනුවෙන් වෙලාව වෙන් කිරීම ගැන සතුටු වෙමිනි.

“එහෙනම් හෙට උදේ නවය වෙද්දී ඔයා ලැස්ති වෙලා ඉන්න. මමත් උදේ වරුව නිදහස් කර ගත්තා. “ ඔහු නැවත වාහනය පන ගැන්වීය.

නිවසට යන විට ලාල් සහ ශ්රීමතී දෙදෙනාම ඉස්සරහ වාඩි වී සිටියහ. විවාහයට පෙර ළමාතැනී ගේ අස්සේ රිංගන්නට යාම නිසා රුක්මාගේ අගය පහළ දමා ගන්න බව කියමින් ශ්රීමතී සිටියේ දෙහි කපමිනි.

නමුත් රොෂාන් ගේ සමීපයෙන් එන රුක්මා දුටු වහාම ශ්රීමතී ගේ කෝපය හිරු දුටු පිනි බින්දු මෙන් පහව ගොස් මුවට ඉතා ප්රසන්න හිනාවක් නැගුණි.

“ආන්ටිට කොහොමද ?” ඕ දුර තියාම රොෂාන් ගෙන් ඇසුවාය.

“අම්මාට ඇති ලෙඩක් නැහැ බොරුවට කලබල වෙලා. මම මේ ආවේ රුක්මා බස්සවලා අම්මව ගෙදර එක්කන් යන්න. “ රොෂාන් ලාල් ට කීවේ අතට අත දෙමිනි. රටේ දේශපාලනය ගැන වචන කීපයක් හුවමාරු කරගත් රොෂාන් පිට වූයේ ගේ ඇතුලට යාමට කළ ආරාධනාව සුහදව ප්රතික්ෂේප කරමිනි. රුක්මා ඉක්මනින් උඩු මහළට ගියේ ඇඟ සෝදා ගනීමටයි.

පහුවෙනිදා උදේ නවය වන විට රුක්මා සහ රොෂාන් ගෙදරින් පිට විය. ඔහු ගියේ ඔහුගේ මිතුරියක් වන හංවැල්ල මහත්මිය හමු වීමටයි. ඉතා ප්රසන්න ගැහැනියක් වුන ඇය වෙත තමාගේ අනාගත භාර්යාව ලෙසින් රුක්මා හඳුන්වා දුන් රොෂාන් ඔවුන් දෙදෙනාට අදාළ කටයුතු කරගැනීමට නිදහස ලබා දී උද්යානයට ගියේය.

හංවැල්ල මහත්මියගේ Finishing School එක පවතින්නේ බබලපිටියේ වුවත් රොෂාන්ට කරන විශේෂ ගෞරවයක් ලෙස රුක්මා ගේ තත්වය මැන බලා ගැනීමට නිවසටම ගෙන්වා ගන්නා ලදී. එදා සිට සතියක් විශේෂ පුද්ගලික පන්ති කීපයක් පැවැත්වීමට ඔහු මේ වන විටම මුදල් ගෙවා තිබුණි.

පොතක් සහ මිනුම් පටියක් අතට ගත හංවැල්ල මහත්මිය රුක්මාගේ ශරීරය මැන බැලුවාය. එකින් එක නොයෙක් කරුණු ඈ පොතක සටහන් කලාය. පැයකට පසු රෝශාන්ද කැඳවා ඇගේ නිර්දේශ ලියන ලද කොලයක් රොෂාන්ගේ අත තබා විලාසිතා ගැන විස්තර එකින් එක වචන ගිල ගැනීමට මෙන් අසා සිටින රොෂාන් හට කීවාය. ඇගේ කැටලොග් එකක තිබුන ඇඳුම් මෝස්තර රොෂාන්ට පෙන්වා එම කැටලොග් එක ඔහුට යලි දෙන පොරොන්දුව පිට ලබා දුන්නාය.

“ බොහොම ස්තුතියි හංවැල්ල මහත්මිය. මම මේක ප්රින්ට් අවුට් අරගෙන අද හවසම ඩ්රයිවර් අතේ එවන්නම් “ ඔහු පොරොන්දු විය.

හංවැල්ල මහත්මියගේ නිර්දේශය වූයේ රුක්මාගේ කොණ්ඩය කොටට කැපිය යුතු බවයි. විවාහයේදී උඩරට ක්රමයට අඳින බැවින් කොණ්ඩය තිබිය යුතු බව රුක්මා මතක් කළාය. රුක්මා ඇගේ කළු දිග කොණ්ඩයට බෙහෙවින්ම කැමතිය. නමුත් තමාගේ සිරුර තව දුරටත් තමාට අයිති නැති දෙයක් මෙන් රොෂාන් හිමිකම පවරාගෙන සිටී. ඔහුට වුවමනා රටට පෙන්වීමට ලස්සන බිරිඳකි.

රොෂාන් කොන්ඩ විලාසිතා කැටලොග් එක අතට අරගෙන Jane Fonda නිළියගේ කොන්ඩ විලාසිතාවක් තෝරා ගත්තේය.

“මේක බලන්න රුක්මා.. එයාගේ මූණත් ඔයාගේ වගේ. ඔය දිග කොන්ඩේ කැපුවොත් ඔයාගේ මූනටත් එළියක් එනවා “ කීවේ ඇගේ මුහුණ නැවත වරක් අධ්යනය කරමිනි.

රුක්මාගේ මුහුණ සුන්දර වුවද දෙනෙත් අසාමාන්ය ලෙස කණගාටුදායක බව රොෂාන් මෙනෙහි කළේ සංවේගයෙනි. ඇගේ සමත් එතරම් දිදුලන්නේ නැත. දිනපතා මුහුණ දෙන මානසික ගැටළු මෙයට හේතු බව රොෂාන් සිතුවේය. රට සිට ඇඳුම් ආයිත්තම් වලට අමතරව හොඳ මල්ටි විටමීනයක් ගෙන ඒමට ඔහු සනිටුහන් කළේය.

මග එන අතරතුර ඔවුන් දෙදෙනා කතා කළේ විවාහ උත්සවයෙන් පසු ඇගේ කොන්ඩ විලාසිතාව වෙනස් කිරීමටයි. මේ සියලුම සැලකිලි , පෙනුම ගැන සැලකිලිමත්වීම සියල්ලම රුක්මා දුටුවේ ආදරයේ සංඛේත ලෙසය. නමුත් රොෂාන් ආදරයට වඩා තමාගේ බිරිඳ තනතුරේ වැඩ බලන තැනැත්තිය ලෙස ඈ ගැන සැලකිලිමත් වන බව මොහොතකට වත් රුක්මාට සැක නොසිතුනි. උදේ වරුවම රුක්මා සමග ගතකළ රොෂාන් අම්මා දැකීමට විවාහයට පෙර රුක්මා ගෙදර එක්කන් යාම නොසුදුසු හෙයින් නැවත වරක් ගෙදර ගෙනගොස් ඇරලියේය. තමා හෙට රට යන හෙයින් දිනපතා හංවැල්ල මහත්මිය හමුවීමට යාම සඳහා තමාගේ වාහනය සහ රියදුරා නිසි වෙලාවට ගෙදරට එවීමට ඔහු පොරොන්දු විය.

හවස් වරුවේ කාර්යාලයේ තමා නැති සතියට විය යුතු දේවල් සියල්ලම සංවිධානය කළ රොෂාන් ගෙදර ආවේ රාත්රී 9 ත් පහු වෙලාය. ලේඛම් තුමිය විසින් ෆයිල් එකක දමා දෙන ලද ඔහුගේ සියලු ලියවිලි රථයේ පිටුපස අසුනේ තබා තිබුණි. ඇඟ සෝදා ආහාර ගැනීමෙන් ඉක්බිති හෙතෙම දින දෙකකට පසු වැනේසා ඇමතුවේ තමා හෙට යන බව ඇයට මතක් කිරීම පිණිසය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article