කුල ගෙය – Episode 11

May 15, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

වැනේසා සිය කුඩා කල පටන් ඇසුරු කළ කලන මිතුරිය ග්රේස් වැළඳ ගත්තේ දැඩි උද්දාමයෙනි. ඔවුන් දෙදෙනා මුහුණ සිප ගත්තේ ළමා කාලයේ මෙන් හයියෙන් හිනා වෙමිනි.. කුඩා කල සිට තක්කඩිකම් එකට කිරීමේ සුරුබුහුටිකම මේ දෙදෙනාට නොමදව තිබේ. වැනේසා ගේ හොඳම මිතුරිය ලෙස රොෂාන් ගජසිංහ ගෙන් ඇයටද නොමද උදවු උපකාර තිබේ. තම කලන මිතුරිය වැනේසා රොෂාන් සමග බිඳෙනවා නම් එය ග්රේස් ට ලොකුම පාඩුවකි.

Continue Reading Below

“වාවු ඔයා හිතුවට වඩා හොඳට වැඩේ කරා “ කියමින් වැනේසා කොක්සන් දෙමින් අත්පුඩි තැලුවාය.

“ මේවා අපි දෙන්න පුරුදු වෙන්න කරන වැඩද වැනේසා? “ කොක්සන් දෙමින් නැවත වරක් වැනේසා සිපගත් ග්රේස්ට ද තමාගේ දුරකථන ඇමතුමේ වචන වල යෙදුන සුරුබුහුටි කම ගැන ආඩම්බර නොවී සිටිය නොහැකි විය.

මීට පෙරද රොෂාන් විවාහ වීමට ඇසුරු කරන ලද පෙම්වතියන් හට දුරකථන ඇමතුම් දී එම සම්බන්ධකම් කැඩීමේ වගකීම මොවුන් දෙදෙනා විසින් කිරීම නිසා ඔවුන් ගුප්ත අහන්කාරයක් භුක්ති වින්දාහ.

ඒ ගැහැණුන්ගේ පෞර්ශමත් වාග් විලාස වල පැවතුන දැඩි බව නිසා තර්ජන කිරීම අසීරු වුනත් රුක්මා වැනි අහිංසක දැරියක් ඉදිරියේ ග්රේස් ගේ හිත පසුබා ගියේ නැත. තම ලබැඳි මිතුරිය වැනේසාට වෙන හානිය වලක්වා ගැනීම ග්රේස් ගේ වගකීමක් විය. වැනේසා සමග හටගත් මිත්රත්වය නිසා ග්රේස් ද එක සිතින් රුක්මාට වෛර කළාය.

“ගෑනි නොගියොත් මොකද කරන්නේ ?” වැනේසා ඇසුවේ බියෙනි.

“ එහෙම වුනොත් අපි වෙන දෙයක් කරමු..කොහොම වුනත් තව මාසයක් තියනවා. බය වෙන්න එපා වැනේසා. දැන් බෝම්බේ පත්තු කරා. කසාද බැන්දත් ඕක වැඩි කාලයක් තියෙන්නේ නැහැ” ග්රේස් කීවේ අවන්කවමය.

“ කෙල්ල කොයි වගේද ? “ ග්රේස් ඇසුවේ තොරතුරු විපරම් කිරීමටය.

“ කලුයි. කෙට්ටුම කෙට්ටුයි හරියට මන්ද පෝෂණය වගේ. අනේ මන්දා රොෂාන් මොනවා දැකල මේ හිඟන ගෑනුන්ට කැමති වුනාද මන්දා “ කීවේ කෝපයෙනි.

“කොහොමත් අපි වගේ සුදු වෙන්න බැහැනේ එයාලට. ඒ වුනත් කෙල්ල කැත එක හොඳ නැද්ද? රොෂාන් ඒ ගෑනිට කැමති නැතුවත් ඇති වැනේසා”

සිය රුව ගැන ආඩම්බර වුන වැනේසා නිතරම සිටියේ තමා ගැන අතිශය අහන්කාරයෙනි. ඇයට අනුව ගැහැණියකගේ වටිනාම දේ පෙනුමයි. තමාගේ පෙනුම රැක ගැනීමට බෙහෙවින්ම වෙහෙසුනේ සහ වියදම් කළේ එබැවිනි. එමෙන්ම කවර ගැහැනියක් දුටුවත් ඒ ගැහැණියගේ පෙනුම ගැන කියන්නට ඇදක් නම් අනිවාර්යයෙන්ම තිබුනේය. මේ ගතිය හොඳින් දන්නා ග්රේස් වැනේසා ගේ පෙනුම වර්ණනා කර ඇගෙන් බොහෝ මිල මුදල් උපකාර ලබා ගත්තාය. වසරකට දෙවරක් නුවර එළියේ තිබෙන වැනේසා ගේ නිවාඩු නිවසට පවා යාම ග්රේස් සහ පවුලේ උදවිය මහත් ස්තුතිපූර්වකව කළ දෙයකි. ඒ උපකාර වලට ප්රති උපකාර ලෙස මෙවැනි දේවලට ග්රේස්ව යොදා ගැනීම වැනේසා ගේ සිරිතයි.

දෙදෙනා එක්ව ඕපාදූප කතා කිරීමෙන් පැය බාගයක් ගෙවා දැමු ඉක්බිති වැනේසා ග්රේස් ගේ නිවසින් නික්මුණාය. රොෂාන් විසින් වැටුප් ගෙවා වැනේසා ගේ ගමන් බිමන් වලට යොදවන ලද රියදුරු විසින් පදවන ඇගේ උපන්දිනයට ගෙන ආ බෙන්ස් රථයේ නැගුනේ මහත් අහන්කාරයෙනි. පිටුපා යන තමාගේ සුන්දරත්වය ග්රේස් බලාගෙන සිටින බව ඇය දනී. ඇයට ඇතිවූයේ මහත් ගර්වයකි. රථයට නැගුන විගසම ඕ උදෑසන සහ පෙරදින රාත්රිය සිහිනයක් මෙන් ආස්වාදයෙන් මෙනෙහි කළාය.

උදෑසන වැනේසා පිබිදෙන විට ජනේලයෙන් වැටෙන හිර එළියෙන් එක වරටම ඇගේ දෙනෙත් නිලංකාර විය. ඇගේ කාමරයේ මෙවැනි විවුර්ත ජනේලයක් නැත. නමුත් වහාම සිහිය එලවාගත් ඇය තමා වැතිරී සිටින්නේ කන්දප්පා නිදා සිටි ආගන්තුක කාමරයේ බව වැටහුණි. ඔහුගේ ඇඳුම් පැළඳුම් සීරුවට පිළිවෙලට නවා ටවල් රැක් එක මතා දමා තිබුණි. හවස ජුලියන් සහ ඩයනා සමග පිහිනුම් තරඟයට යාමට පෙර උදෑසන ව්යායාම කිරීමට කන්දප්පා මුහුදු වෙරළට යන්නට ඇති බව ඇයට මෙනෙහි විය. විවාහ වුන මුල රොෂාන් එංගලන්තයේ සිටින කාලයේ ඔවුන් දෙදෙනා ජුලියන් ඉපදෙන්නට සිටියදී දිනපතා මුහුදු වෙරළේ ඇවිදින්නට ගිය හැටි ඇයට මතක් විය. රොෂාන් සමග මෙවැනි ගමන් යාම කොහෙත්ම කළ නොහැකි හෙයින් ඔවුන් දෙදෙනා වැඩිදුර සමාජ ආශ්රයට නොයා පුද්ගලික නිවාඩු නිකේතන වැනි ජන ශූන්ය ස්ථාන වලට ගියහ.ප්රසිද්ධියේ රොෂාන් ඇය සමග ගමන් බිමන් ගියද විවාහක සැමියෙක් මෙන් සෑම ස්ථානයකටම ගියේද නැත. මගුල් ගෙවල් වැනි ස්ථාන වලට මුල් වසර 5 ඇතුලත කන්දප්පා ගිය නමුත් ඔහු කෙමෙන් කෙමෙන් ඒවා මගහැරියේය. දැන් ඔවුන් දෙදෙනාගේ සම්බන්දයට වසර 13 කි.

වහා නැගිට සිය ඇඳුම් ඇඟලා ගත් වැනේසා සිය ඇතුල් ගෙයි නිදන කාමරයට රිංගා ගත්තේ ලජ්ජාවෙන් මෙනි. ගෙදර මෙහෙ කරන ගැහැණිය දුටුවොත් යන බය ඇයට ඇති විය. කන්දප්පා නීත්යානුකූල සැමියා වුනත් රොෂාන් මෙය දැනගැනීම ගැන ඇගේ සිතේ සතුටක් නොවීය. ඉක්බිති සිය යහනේ රැලි ගසා බෙඩ් ශීට් විසිරුවා දැම්මේ තමා රාත්රියේ එහි නිදා ගත් බව සේවිකාවට කාමරේ අතුගාන්නට ආ විට දැනෙනු පිණිසය.

ඉක්බිති වහාම මුහුණ සෝදා සුන්දර නමුත් පරණ ගවොමකින් සැරසුන වැනේසා ඉතා සරුවට උදේ ආහාරය ව්යායාම කර පැමිණි කන්දප්පා සහ දරු දෙදෙනා සමග ගන්නා ලදී. විහිළුවෙන් තහළුවෙන් සිටි මේ පවුල නොදන්නා කෙනෙක් දුටුවා නම් බොහෝ සතුටු වනු ඇත. සතුටින් සිටිනා පවුලක් සෙනසුරාදා උදෑසන හැමෝම එකතු වෙලා ආහාර ගැනීම කොතරම් නම් සුන්දරද?

එක මිනිහෙක් ඉවත හුළඟින් ගසාගෙන යන විට යන්තම් ලනුවක් දමා නැවත ගැට ගසාගනීමේ තෘප්තියෙන් මුසපත් වුන වැනේසා, දරුවන් සහ සැමියා පිහිනුම් තරඟයට යවා දොළහ වන විට සිය රථයෙන් ග්රේස් සොයා ගියේ රොෂාන් ගේ විවාහය හැකි තරම් වෙර යොදා නතර කරන චේතනාවෙනි.

එයද සාර්ථක වීමේ තෘප්තියෙන් ඕ ගෙදර පැමිණි වහාම තේ එකක් ගෙනෙන මෙන් සේවිකාවට අන කර ජනේලයක් සමීපයේ වාඩි වූවාය. අද දවස අතිශය සාර්ථක දවසකි. මේ වෙලේ රොෂාන් කුමක් කරනු ඇතිද ඇගේ සිත කල්පනාවෙන් බර විනි. එබැවින් ගාමිණීට කතා කර තමා ඇටවූ උගුලේ සාර්ථකත්වය මැන බැලීමට පසුබිම සකසා ගත යුතුය.

එබැවින් ඇය රොෂාන් ගේ දුරකථන අංකය එබුවේ හවස ඔහු ගෙදර නැති බව ටක්කෙටම දැනගෙනය. මේ වෙලාවේ ගාමිණී කිසියම් කටයුත්තකට ටවුමට ගොස් සිටියේය.

රොෂාන් ගේ තුන් වන මහලේ දොර රෙදි අලුතින් මාරු කිරීමට ටේලර් ලා පැමිණ සිටි අතර ළමාතැනී සිටියේද තුන් වන මහලේය. ෆෝන් එක වෙනදා ඔසවන්නේ ගාමිණී හෙයින් වැනේසා කිසිඳු චකිතයක් නැතුව “ හෙලෝ ගාමිණී… ඔයා හොඳින් නේද? කොහොමද ඔය පැත්තේ විස්තර ?” කියා නැලවිලිදායක සිංහල උච්චාරණයෙන් අසා සිටියාය.

වැනේසා ගේ කටහඬ හඳුනාගත් ළමාතැනී ගේ කෝපය නිම් හිම් නැති විය.

“ උඹ තාමත් මොනවද කතා කරන්නේ? අද උඹේ චක් ගෝලයා ගෙදර නැහැ. ලජ්ජා නැති අවලම් බැල්ලි. මගේ කොල්ලව නැති කරලා දාන්න ආව හැතිරි. උඹට සහ ගහනවා…. තව මාසෙකින් මගේ කොල්ලා බඳිනවා. දැන් වත් ඔය වේසකම් නවත්වාපන් “ කියමින් යටි ගිරියෙන් බෙරිහන් දුන්නාය.

අවසානයේ පපුව අල්ලාගෙන පුටුවකට වැටුනේ පැමිණ සිටි ටේලර් වරුන් මවිතයට පත් කරමිනි. ශීලාවතී විසින් වත්තන් කරගෙන පහළ ගිය ළමාතැනී පුපුවේ අසාමන්ය ගැස්ම ඉවසිය නොහැකිව සේවකයන් විසින් වෛද්ය වරයා වෙත රැගෙන යන ලදී. රොෂාන් වහාම කාර්යාලයේ සිට රෝහලට පැමිණ සුළු රුධිර පීඩනය ඉහළ යාමක් බව දැනගෙන සැනසුම් සුසුමක් හෙලන ලදී.

කොතරම් වෛර කළද ළමාතැනී හට බය වුන වැනේසා මුළු හවසම කල්පනා කළේ රොෂාන් වෙත කුමන බොරුවක් කියන්නද කියාය. කොයි මොහොතේ හෝ ඔහු තමා අමතා සිදුවීම විමසා සිටිනු ඇත. මේ වෙලේ කාර්යාලයට කතා නොකර ගෙදරට කතා කළේ ඇයිද ඔහු අසනු ඇත. ගාමිණී සමග කතා කළා කීවොත් ගාමිණී සමග ඇති ගනුදෙනු හෙළිදරවු වීමෙන් සිදුවන්නේ මහා විනාසයකි. එබැවින් දැන්ම ඒ සඳහා බොරුවක් ගොතා ගත යුතුය. හොඳම දේ ඇමතුවේ තම නොවෙන බවත් තමා කන්දප්පා සහ දරුවන් සමග පිහිනුම් තරඟයට ගිය බවත් දැන්වීමයි. එවිට ළමාතැනී නිකරුනේ කලබල වුනා කියා රොෂාන් ගෙන් බැනුම් අසනු ඇත.

සැබවින්ම රෝහලට දිවූ රොෂාන් ගේ සිතේ ඇතිවූයේ බයකි. ඔහු සිය මවට බෙහෙවින්ම ඇලුම් කෙළේය. සිදු වූ සිදුවීම දැනගැනීමෙන් ඉක්බිති ඔහුගේ හිතේ වැනේසා කෙරෙහි හටගත්තේ කෝපයකි. මම ඔෆිස් ඉන්න වෙලාවට මොන මගුලට කතා කරලා අම්මව ලෙඩ කරාද කියා ඔහුට නොරිස්සුමක් ඇති විය.

තමාගේ විවාහ ජීවිතේ ගැන අම්මා බෙහෙවින් බියෙන් සිටින බව ඔහු දනී. මේ ගැන වැනේසා සමග සාකච්චා කළ යුතුය. නමුත් කන්දප්පා යන්නේ හෙට බව ඔහු දනී. එමෙන්ම වැලිපන්නේ ළමාතැනී අසනීප වුන බව දැනගත් රුක්මා වහාම රොස්මිඩ් පෙදෙසින් පිටත් වූයේ අම්මාට අවශ්ය දේවල් සම්පාදනය කිරීමටයි. සිය මව කවදාවත් නුදුටු ඇය මේ වන විටම රොෂාන්ගේ අම්මා සමග දැඩි ආදරයක් ඇතිකරගෙන තිබුණාය. දෙදෙනාම දවසට දෙවරක් පමණ දුරකතනයෙන් කතා කිරීම ඒ වනවිට සිරිතක් වී තිබුනේය.

“ හාමිනේ කලබල වුනේ අර බැල්ලි ගේ කටහඬ ඇහුන නිසා “ ශීලාවතී ඩයිවර් කොලුවාට කීවේ කිසිවක් නොසිතාය.

“ ඔය ගාමිනියා තමා ඕකි එක්ක මුකුළු කරන්නේ “ ඔහු කීවේ කෝපයෙනි.

“ වෙලාවකට බය හිතෙනවා අලුත් හාමු ගෙදර එන්න ඉද්දි..ඕකා කෑමකට වත් මොනාහරි දැම්මොත් එහෙම “ ඩයිවර් පවා ගාමිණීව මහත්සේ අප්රිය කරේ ඔහුගේ පවතින අධික ආඩම්බරය නිසාය. සේවකයන් හැමෝම ඉදිරියේ රජතුමා මෙන් හැසිරුණ ගාමිණී කාගේත් නොමද අප්රසාදයට ලක් වුන කෙනෙකි.

ළමාතැනී සමග යහන සමීපයේ වාඩි වුන රුක්මා ගේ දෙනෙතින් නොනවත්වාකඳුලු ගලන්නට පටන් ගත්තීය. නිහඬව හඬන ඇගේ මුවෙන් වචනයක් පිට නොවුනද කඳුළු වැලමිටි දිගේ බේරී බිමට වැටෙනු බලාසිටි ළමාතැනී අතිශය සංවේදී වූවාය. ඇගේ දරුවන් දෙදෙනාගෙන් රොෂාන් කොහොමත් ඇයට ඇති ආදරය නිතර නොපෙන්වයි. රෙජිනා කොහෙත්ම ළමාතැනී සමග හිතවත් නැත. අම්මා මල්ලිට වැඩියෙන් ආදරෙයි කියන පදනම යටතේ ඉඩක් ලැබෙන හැම විටම රෙජිනා ළමාතැනීට ඇනුම්පද කියයි. එම කතාවේ අසත්යයක් නැති බව දන්නා ළමාතැනී කරබා ගෙන සිටීම සිරිතකි. නමුත් රෙජිනා සිය බාල සහෝදරයාට බෙහෙවින්ම ආදරේ හොඳ සොයුරියකි.

“ ඇයි දරුවෝ මෙහෙම අඬන්නේ ? මට මුකුත් වුනේ නැහැනේ. “ළමාතැනී රුක්මා අස්වසන්නට පැවසුවාය. වැනේසා ගැන වචනයක් හෝ රුක්මාට ඇහෙන්නට නොකියන මෙන් ඕ සේවකයන්ට විධාන කර තිබුණි. ඇයට දන්වා තිබුනේ මගුල් ගෙදර වැඩට සූදානම් වීම නිසා අවිවේකයට ළමාතැනීට රුධිර පීඩනය වැළඳුන බවයි.

“ මගේ අම්මත් මාව දාල ගියා ඉපදුන දවසෙම… අනේ අම්මා මාව දාල යන්න එපා ..” යනුවෙන් වෙවුලමින් පැවසු රුක්මා ඇඳේ මෙට්ටය මත හිස ඔබාගෙන ඉකි ගසන්නට වූවාය. එක අතක සේලයින් ගසා සිටියද නිදහස් අතින් රුක්මාගේ හිස අතගාන ළමාතැනී ගේ දෙනෙත් කඳුලින් පිරී ගියේය.

“ මම කවදා හරි යනවා මයේ පුතේ. ඊට කලින් මගේ කොල්ලට වහලයක් හදල දීල මම යන්නේ. මයේ දුව බය වෙන්න එපා. මම දැන්ම යන්නේ නැහැ “ කියමින් ළමාතැනී රුක්මා අස්වැසුවාය.

මේ හදිස්සියේ කාමරයට කඩා වැදුන රොෂාන් දුටු දසුනින් ත්රස්ත වූයේ එකවරම නතර වූයේය. ඔහුගේ මුවට සැනසිලිදායක සිනාවක් නැගුණි.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article