කුල ගෙය – Episode 10

May 8, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

ඊයේ දිනයේ රුක්මා සමග එලියට යාම සමග රොෂාන් විඩාවට පත්ව හොඳින් නිදා ගත්තේය. කන්දප්පා ගෙදර පැමිණීම සාමන්ය දෙයක් වුනත් හේතුවක් නොදැනම එදා රොෂාන්ගේ හිත මදක් පෑරී තිබුණි. බාගදා ඔහු ගෙදර පැමිණියාට තමා සමග සම්බන්ධයක් නැති බව වැනේසා සපත කර තිබියදීත් එදා රාත්රියේ ඔවුන් දෙදෙනා එකට කුමක් කලාද යන කුතුහලය ඔහුගේ මනසේ ලැගුම් ගත්තා විය යුතුය.. කන්දප්පා ගෙදර සිටින අනෙකුත් දින වලද වැනේසා ඇගේ කාමරයේ සිට රොෂාන් සමග දුරකතනයෙන් කතා කළාය. නමුත් එදා ඔවුන් දෙදෙනා රාත්රියේ කතා කරමින් සිටීම රොෂාන්ට තරමක් වේදනාකාරී විය.

Continue Reading Below

උදේම සූදානම් වී සින්දුවක් විසිල් කරමින් සාලයට පැමිණි හෙතෙම මේසයෙන් වාඩි වූයේය. ගාමිණීගේ විධානය මත වහාම වේටර ඇඳුම ඇඳගත් සේවකයා විසින් කිරිබත්, මාළු ඇඹුල්තියල්, ලුණුමිරිස් සහ හොඳ කෝලිකුට්ටු ඇවරියක් මේසයට ගෙන ආවේය. ප්රවේශමෙන් නැප්කින් එක ඔඩොක්කුවේ එලාගත් රොෂාන් හැඳි ගෑරුප්පු වලට අත නොතබා ෆින්ගර් බෝල් එකක් ගෙන එන මෙන් අන කළේය.

ඔහුගේ සිත මේ වන විට අද දවසේ ඇති වැදගත් ව්යාපාරික හමුවීම් ගැන යොමු වී තිබුණි. ඔහු විසින් ලංකාවට ගෙන්වා බෙදාහරින වතුර පොම්ප ග්රාමීයව මෙන්ම නාගරිකව වඩා වැඩි ජනප්රියත්වයක් ලබමින් පැවතුනි. එහි ජර්මන් නියෝජිතයෙක් හමු වීම අද උදෑසන යෙදී තිබුණි.

ඒ සමගම ලබන සතියේ රටින් පිට යාමට ටිකට් සූදානම්ද බැලීමට හෙතෙම ලේඛම් තුමියට උදේම කතා කිරීමට සනිටුහන් කළේය. ඔහු යාමට සූදානම් වම විට හැමදාම මෙන් ලස්සනට ඔසරිය ඇඳගත් ළමාතැනී එලියට ආවාය. අම්මාට වැඳ මුහුණ සිපගත් රොෂාන් පිටවන්නට හදන විට “ අනේ පුතා ඔයා යන්නේ රොස්මිඩ් ප්ලේස් වලින් නේද? ඔයා මේක දුවට ගිහින් දෙනවද ?” කියමින් පාර්සලයක් අතේ තැබුවාය.

ළමාතැනීට වුවමනා වුනේ ඉදිරි මාසය තුළ රොෂාන් සහ රුක්මා හැකි තරම් හමු වීමට ඉඩක් ලබා දීමයි. මේ භාණ්ඩ පාර්සලය ලබා දීමට රොෂාන්ගේ අමනාපයක්ද නොවීය. අනෙක් අතට රුක්මා හමු වී ඇයට අවැසි නම් වාහනයක් සහ රියකරුවෙක් මේ දවස් වල ගමන් බිමන් වෙනුවෙන් සූදානම් කළ යුතු බවද රොෂාන්ට මතක් වී තිබුණි.

රොස්මිඩ් පෙදෙසට ගිය හෙතෙම වාහනය ගේට්ටුව සමීපයේ නතර කර පාර්සලයද අතැතිව ගෙදරට ගියේය. ඔහු එන බව දන්වා තිබුනෙන් රුක්මා උයනට වී සිටියේ ඇගේ කුඩා නැගණිය ශාමා සමගිනි. අට හැවිරිදි ශ්යාමා හුරතල් දැරියකි. රොෂාන් විසින් දෙන ලද කැවිලි පාර්සලය “Thank you “ කියා අරගන්නා විට ඇගේ මුහුණේ මතු වුනේ සිනාවකි.

“ මට ඊයේ අමතක වුනා රුක්මා ..” ඔහු සිනාබරව පැවසීය.

“ මොකද්ද?” රුක්මාද ඇසුවේ කෝල වෙමිනි.

“ ඔයාගේ ගමන් බිමන් වලට වාහනයක් සහ ඩ්රයිවර් කෙනෙක් ඕනෙද? “

“ නැහැ ..තාත්තාගේ කාර් එකෙන් යන්න පුළුවන් “ රුක්මා කීවේ සිනාසෙමිනි.

“ තාත්තා ගේ ගමන් වලට ඒක පාවිච්චි කරන නිසා ඔයාට ශ්රීමතී බනීවි කියල මට ඊයේ කල්පනා වුණා” රොෂාන් කීවේ සැබවින්ම තමාගේ බිරිඳ වෙන්නට පෙර සිටම දැන් ඇගේ ගෞරවය සහ වගකීම තමාගේ අතේ බව සිතමිනි.

දෙන්නට පිළිතුරක් නැතුව අසරණව රුක්මා ඔහු දෙස බැලුවාය.

“ තව ටික දවසයි…ඊට පස්සේ ඔයාට කාගේවත් කතා අහන්නේ නැතුව ඉන්න පුළුවන්.” කියමින් රොෂාන් රුක්මාගේ ළමා දෙනෙත වෙත එබී බැලුවේය. ඒ දෙනෙත් ආදරයෙන් බැබලෙමින් පැවතුණි.

“ ඔයාට මොනවා හරි කෙරෙන්න ඕනේ නම් මගේ ගෙදරට හරි ඔෆිස් එකට හරි ඕනෙම වෙලාවක කතා කරන්න කියන්නයි මම ආවේ. මම බිසී වුනත් මගේ වැඩකරන අයට මම කියලයි තියෙන්නේ. මෙන්න මගේ කාර්ඩ් එක” කියමින් ඔහු සිය නම, දුරකථන අංක රැගත් කාර්ඩ් පත ඇගේ අතේ තැබුවේය.

යන්නට පෙර නැවත හැරී බැලු රොෂාන් “රුක්මා ඕනෙම දෙයක් මගෙන් ඉල්ලන්න ලජ්ජා වෙන්න එපා” කියා ආයාසයෙන් සිනා සී යන්න ගියේය.

රුක්මා කෙරෙහි සෙනෙහෙවන්ත බව අවම වුනත් අනාගත භාර්යාව ලෙස ඔහුගේ සිතේ ඈ කෙරෙහි හටගත්තේ අපරිමිත වගකීමකි. ඔහු සාමාන්යයෙන් පිරිමියෙක් ලෙස තමා සමග ජීවත් වන කවුරු හෝ ගැහැණිය කෙරෙහි මහත් වගකීමෙන් වැඩ කළ පිරිමියෙකි.

රොෂාන් යාමෙන් පසු රුක්මා ප්රීතියෙන් ඔකඳ වී ගියාය. වයසින් වැඩි වුනත් ඔහු කොතරම් යහපත් පිරිමියෙක්ද? පියාගේ සෙනෙහස කවදාවත් නොලද ඇය තමාට වඩා වයසින් වසර 20 ක් වැඩිමල් රොෂාන් කෙරෙහි මහත් ප්රේමයක් හිතේ ඇතිකර ගන්නට මේ දින දෙකින් සමත් වූවාය. ඔහු තමා ගැන කොතරම් සිතනවාද? ආලය පෑම් වලින් තමා සතුටු නොකලත් ඔහු කොතරම් හොඳ කෙනෙක්ද?

පිටුපා යන රොෂාන් වෙත දුව ගොස් ඔහුගේ ගෙල බදාගන්නට රුක්මාට සිතුනි. නමුත් බියෙන් ලජ්ජාවෙන් මඩනා ලද ඇය එවැනි දේකට කිසිසේත්ම ඉදිරිපත් නොවුණාය.

“ රොෂාන් මොකද මේ හදිස්සියේ ආවේ “ ශ්රීමතී ඇසුවේ කුහුලිනි.

“ මේ කෑම පාර්සලේ අම්ම එවල” කෙටි උත්තරයකින් රුක්මා නැවතුනාය.

“ මොනවද කියෝ කියෝ හිටියේ ?” එවර ශ්රීමතී ඇසුවේ කෝපයෙනි.

“ මට වාහනේ ඕනේ නම් එවන්න ඇහුවා“ යයි රුක්මා කීවේ නොරිස්සුමෙනි. “ උඹට මොකද මගේ මනුස්සයා මොනවා මා එක්ක කතා කලත් ?” කියා අසන්නට සැබවින්ම ඇයට වුවමනා විය.

“ ඇයි අපිට වාහන නැහැ කියලද එයා හිතාන ඉන්නේ. ඔය ලොකුකම් තව ටික කාලෙකින් ඉබේම බහීවි “ කියමින් ශ්රීමතී ගෙට ගියේ රුක්මා කෙරෙහි ඉරිසියාවෙන් දැවෙමිනි.ශ්රීමතීගේ හැම වචනයකම වූයේ …මේකි ගිය උඩ යන සිතුවිල්ලයි. රුක්මාද දැන් ශ්රීමතී කෙරෙහි පෙර විරූ බියමුසු බව නොපෙන්වයි. අහන දේකට වුනත් පිළිතුරු දෙන්නේ තදින් සහ නොමද පිළිකුලෙනි.

පෙර රොෂාන් සමග මංගල රාත්රියේ තනි වීම ගැන බය වුනත් දැන් අනාගත සැමියා ලෙස රුක්මාගේ සිතේ ඔහු ගැන හටගත්තේ අසීමිත දයාවකි. ඔහුව ආදරෙන් බලාකියා ගන්නට ඕ තොමෝ සනිටුහන් කළාය.

මේ කල්පනා අතර මිදුලේ සක්මන් කරමින් රුක්මා සිටිද්දී “අක්කා කෝල් එකක්” කියමින් ශ්යාමා නැවත දුව ආවාය. රුක්මා යුහුසුළුව දෙපා ඉක්මන් කළේ මංගල සාරිය ගැන යමක් ඇසීමට ජායතී භායි විසින් කෝල් කරනවා ඇති යයි සිතමිනි. විවාහය යනු මංගල උත්සවයම කරගත් රුක්මා සෑහෙන උනන්දුවක් හැම දෙයක් කෙරෙහිම දැක්කුවාය. තමාගේ මිතුරියන් හැමෝම එන එදාට තමා ලස්සනට සිටිය යුතුය. පාසලේදී ඔවුන් විවාහ ගැන කතා කරන විට රුක්මා සිතුවේ විවාහය තමාට අකැප බවකි. කෙසේ නමුත් දෙමාපියන් සිටින වංශවත් මිතුරියන් තවම ගෙවල් වල සිටින අතර කාත් කවුරුත් නැති පූජකාවියක් වෙන්නට සිතු තමා ගේ ජීවිතය කොතරම් වෙනස් වී තිබේද?

එක මොහොතකින් කාත් කවුරුත් නැති , අසරණ රුක්මා…. හැමෝම කාලා අවසානයේ අනුන්ගේ ගෙදරක අපහාස විඳිමින් ඉඳුල් කන රුක්මා …. කුමාරිකාවක් වී තිබේ. ගජනායක වලවුවේ එකම ලේලිය වී තිබේ. දෙමාපියන් පැමිණ මැණිකක් මෙන් මහත් හරසරින් වඩම්මවා ගෙන යන කරඬුවක් වී තිබේ. ජනපතිතුමා පවා ගරුකරන රටේ නමගිය මිනිසෙකුගේ භාර්යාව වී තිබේ. යාන වාහන , සේවකයන් හැම දේටම වඩා ආදරණීය මවක් ලැබී තිබේ. මේ තරම් වෙනසක් නිමේෂයකින් සිදුවීමේ පුදුමය නිසා ඇගේ පපුව විශ්මයෙන් පැලී යනු ඇතියි සිතු රුක්මා ඒ ගැන කල්පනා කළේ නැත. මතක් වෙන හැම විටම “ මම මීට වඩා සන්සුන් වුන වෙලාවක ඒ ගැන හිතනවා “ කියමින් තමාගේ යසස ගැන නොසිතා සිටින්නට වෑයම් කළාය.

“ හෙලෝ ….” ඇය දුරකථන රිසිවරයට කීවේ ජායතී ගේ කැඩුන සිංහල උච්චාරණය බලාපොරොත්තුවෙනි. නමුත් ඉතා පැහැදිලි සුන්දර ලාලිත්යකින් ගැහැණු හඬින් අසුනේ ඉංග්රීසි වාක්යයකි.

“ රුක්මා කළුආරච්චි ඉන්නවද ?” නැලවිලි ස්වරය ඇසේ.

“ ඔවු..ඒ මම ..” රුක්මා පිළිතුරු දුන්නේ කවුද යයි මතක් කරමිනි.

“ ඕ… පොඩි දෙයක් ගැන මැඩම් දැනුමත් කරන්න හිතුවා….” කියමින් එහා පැත්තෙන් ගැහැණිය ඔලොක්කුවට සිනාසුනාය.

“ ඔයා කවුද ?” රුක්මා ඇසුවේ අනපේක්ෂිතවය. “

“ මම කවුද කියන එක එච්චර වැදගත් නැහැ මැඩම්. මම කියන දේ නම් ඔයාට ගොඩක්ම වැදගත් වේවි” නැවත හයියෙන් හිනාවකි.

“ මොකද්ද ?” රුක්මා ඇසුවේ බියෙන් තැති ගෙනය.

“ මම මේ කියන්නේ ඔයාගෙම හොඳට මැඩම්. ඔයා දැන් ලොකු ලොකු හීන අතරේ ඇත්තේ නේද? රොෂාන් ගජනායක බඳින නිසා ? ඔයාට වැදගත් දෙයක් තියනවා කියන්න” රුක්මා බියෙන් නිරුත්තරව අසා සිටියාය.

“ ඔයා බඳින්නේ අනුන්ගේ මිනිහෙක්ව. රොෂාන් ඔයාව බඳින්නේ ආදරේකට නෙවේ රුක්මා. ඔය හීනෙන් ඇහැරෙන්න. රොෂාන් ආදරේ ගැහැනියක් ඉන්නවා ..එයා ඇත්තටම ආදරේ ඒ ගැහැණියට. එයාගේ නම වැනේසා. ඕනේ කෙනෙක්ගෙන් අහල බලන්න. රොෂාන් ප්රසිධ්ධියේ මයි එයාව ඇසුරු කරන්නේ. “ ආගන්තුක ගැහැණිය මොහොතකට නැවතේ.

“ බොරු කියන්න එපා … “ කඳුළු පිරුන දෙනෙතින් රුක්මාට කෑගැහුනි.

“ බොරු..බොරු…. ඔයා ඉතින් දිරච්ච ලනු කන්න ඕනේ නම් කන්න. හැබැයි ඔයාට කවදාවත් ආදරයක් නම් ලබන්න වෙන්නේ නැහැ… ඕ…. රොෂාන්ගේ සල්ලි වලට කෑදර ඔයාට මොන ආදරයක්ද ඉතින්… “ ඔලොක්කුවට නැවත සිනා සේ….

බයපත් වුන රුක්මා ෆෝන් එක දමා ගසා උඩු මහලට දිව ගියාය. කම්පනයට මුනින් අතට වැටුන ඇය සිදු වූයේ කුමක්ද යන්න කල්පනා කරන්නට පටන් ගත්තාය.

“ මේක එකත් එකටම බොරුවක් වෙන්න ඕනේ. සමහර විට කුඩම්මා කවුරු හරි දාල කතා කරවනවද දන්නේ නැහැ “ රුක්මා මුලින්ම සිතුවාය. නමුත් දෙවනුව මේ මගුල තීන්දු වුන ආකාරය ගැන ඇයට හටගත්තේ දැඩි කුකුසකි. ඇගේ හොඳම මිතුරියද වටින් ගොඩින් සැක පහල කර තිබුණි. නිරෝගී පිරිමියෙක් නම් රොෂාන් මේ තරම් කාලයක් විවාහ නොවී සිටියේ කුමන කරුණක් නිසාද ? යයි ඇගේ මිතුරිය ඇසුවාය. දැකල වත් නැතුව මගුල් කතා කරේ කෙසේද කියා ඇසුවාය. මේ ගැන මුලින්ම රුක්මා සිතුවේ තුෂාරිහට රොෂාන් වැනි වැදගත් මිනිහෙක් සමග විවාහ වීමට නොහැකි නිසා ඉරිසියාවට පල කළ මතයක් බවය. දැන් නම් ඒ ගැනද සැක උපදී. රොෂාන් කොයිම මොහොතක වත් තමා කෙරෙහි විශේෂ ආදරයක් , ආශාවක් නොදක්කුව බව ඕ සංවේගයෙන් මෙනෙහි කළාය.

“ මොකද්ද ඒ කියපු ගෑනිගේ නම? ආ… මොකද්ද? වැනේසා…ඔවු වැනේසා “ ඇය වහාම නම පොතක ලියා ගත්තේ තමාට අමතක වේ යයි සිතමිනි. මේ ගැන සොයා බැලිය යුතුය. වසන්තට විස්තරය කියා රහසින් හොයා බලන්නට සනිටුහන් කළාය.

නමුත් දින දෙක තුනක් යන විට මංගල්ලයේ වැඩ සමග රුක්මාට මේ ෆෝන් කෝල් එක අමතක වී ගියෙන් ඕ ඒ ගැන පසෙන් පන්නන අදහස නතර කළාය. එක අතකට එය සත්යය නම් තමා කුමක් කරන්නද යන කල්පනාව ඇයට ඇතිවිය. තමාට යන එන මන් නැත. ශ්රිමතීගේ ගෙදර විවාහ නොවී ජීවත් වනවාට වඩා වැලිපන්නේ ළමාතැනී වැනි මවක් ළඟ මැරුණත් සැපය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article