කුල ගෙය – Episode 09

May 1, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

“ මට එහෙම එක පාරටම කුසුම්ව අමතක කරන්න බැහැ වැනේසා“ කන්දප්පා කීවේ වැනේසා ගේ මුහුණ දෙස එක එල්ලේ බලමිනි.

Continue Reading Below

“ ඒ ඇයි? මොකද්ද ඒ කැත ගෑනිගේ තියෙන විශේෂත්වය ?”

වැනේසා ඇසුවේ කෝපයෙනි. ලතා ගෘහයේ කොනක වවා තිබුන වැලක මල් පිපෙන්නේ රාත්රියේය. එහි සුවඳින් පරිසරය ආකූලය. මේ ගෘහය කොතරම් සනීප සුවදායක වුනත් කන්දප්පාට මෙය ආගන්තුක නිවසක් මෙන් අමුතුය. මෙය ඔහු විසින් ඉදිකළ නිවසක් වුන අතර සුන්දර විවාහයක සිහින අතරේ යොවුන් වියේ ඔහු විසින් බැංකු නයකින් ඉදි කළේය. ජුලියන් ඉපදීමට පෙර ඔවුන්ගේම ගෙදරකට යාමට වැනේසා සහ කන්දප්පා සිහින දුටුවාහ. මේ භූමිය මිලට ගත්තේ ජුලියන් ඉපදෙන්නට සිටි මුල් කාලයේය. නමුත් පසු කාලීනව මේ නිවස වැනේසා සහ දරු දෙදෙනාගේ පැවැත්ම වෙනුවෙන් අතහැරීමෙන් පසු රොෂාන් විසින් මුදල් යොදවා ඉතාම අලංකාර අංග එක් රැස් කර තිබුණි.

අතීතයේ කටු අකුල් හරහා සැරිසරමින් සිටි කන්දප්පා හිස එසවූයේ කෝපයෙනි. නමුත් තමාට දැනෙන කෝපය කවදාවත් බිරිඳ කෙරෙහි මුදා හැරීමට ඔහු සමත් වූයේ නැත. ස්වභාවයෙන් කාල වර්ණ හෙතෙම වැනේසා හමු වන විට කඩවසම් හමුදා නිලදරුවෙකි. එවකට සුන්දර වැනේසා ගේ අත ගැනීම ඔහුට හීනයක් විය. ඇගේ සුන්දරත්වය නිසා ඔහුගේ යහළුවන් තුඩගද නිතරම කවටකම් ආකාරයෙන් රැවූ දුන්නේ ඈ ගැනය. ඒ පිළිබඳව කන්දප්පා අතීතයේ බෙහෙවින්ම ආඩම්බර විය. ඔහු ඇයට සැලකුවේ දේවතාවියකට මෙන් ගර්වයෙනි.

අදටත් හමුදාවේ ඉහලම ශ්රේණියේ නිලධරයෙක් ලෙස හොඳ වැටුපකට සහ වාහන, සේවකයන් වැනි ප්රතිලාභ රැසකට උරුමකම් කීවත් මේ සියල්ල පිටුපස වැනේසා ගේ බලපෑමක් තිබුණෙන් ඔහු ඈ කෙරෙහි පුරුදු විනීත බවම රඳවාගෙන හිටියේය. අනික් අතින් රොෂාන් ගජසිංහ වැනි මිනිහෙක් උරණ වන ආකාරයට වැනේසාට සැලකීම සුදුසු නැත. ඔහු හෙමින් හෙමින් කාලය සමග මගහැර ගියේ මේ හේතු සියල්ල සලකාය.

බිරිඳ වෙන මිනිහෙක් ගෙදරටම ගෙන්වාගෙන තමා පාච්චල් කරන විට ඇතිවෙන හීනමානයෙන් පෙළෙමින් සිටින අතරතුර ඔහුගේ බලසේනාවක මියගිය සහෝදර නිලදරුවෙක්ගේ නිවසකට රාජකාරි කටයුත්තකට යාමේදීය කන්දප්පාට කුසුම් හමු වූයේ.

සැමියාගේ මරණයෙන් කුඩා දරුවෙක් සමග අසරණ වුන කුසුම්ට සැමියාගේ පැන්ෂන් මුදල ලබා ගැනීමට හැකි උපරිම උදවු කිරීම් කළේ කන්දප්පා විසිනි. කුසුම්ගේ අසරණකම දැක අවංක අනුකම්පාවෙන් ඇයට මුලින් උපකාර කළ කන්දප්පා මහත් සතුටක් ලැබුවේය. කුසුම් වැනේසා මෙන් සුන්දර ගැහැනියක් නොවේ. වැනේසා ට මෙන් යුරෝපයෙන් ගෙන එන ලද මහත් වටිනා ඇඳුම් පැළඳුම් නොමැත. නමුත් වැනේසා ඉදිරියේ බලු කුක්කෙක් වන තමා කුසුම් ඉදිරියේ සද්දන්ත හස්තියෙකි යන හැගීම ඔහුට ඇතිවේ. කාලය සමග ඔහු කුසුම්ගේ චාම් , ගෞරවය මුසු ආදරයට වසඟ විය. එවක් පටන් ඔහු වැනේසා ගෙන් ඉවත්ව ගියේය.

අති නවීන සිය නිවසේ ජීවිතයට වඩා කුසුම්ගේ කුඩා නිවසේ ජීවිතයට ඔහු පහුගිය වසර පහ ඇලුම් කරන්නට පටන් ගත්තේය. කුසුම් ගේ ආදර සත්කාර වලින් සුවය ලබමින් එහිම නිවාඩු ගත කළේය. ඔහුගේම ජාත දරුවන් වන ජුලියන් සහ ඩයනා ටත් වඩා ඔහුට සමීප වූයේ කුසුම්ගේ පියා නැති දරුවාය. පස් වසක් මේ අයුරින් ගෙවී ගිය පසුව ඔහුගේම ලෙයින් දරුවෙක් උපද්දවා ගැනීමට ඔවුන් දෙදෙනාගේ ආදරය මුදුන් පත් කරගැනීමට කුසුම්ට දැන් වුවමනා වී තිබුණි. ඒ ගැන තීරණයක් නොගත් කන්දප්පා සිටියේ වැනෙමිනි. දික්කසාද වීමට වැනේසා ගෙන් බාධාවක් නොවනු ඇතැයි සිතමින් සිටියද දැන් හදිස්සියේ වැනේසා එදා හවස ඔහුව ලතා ගෘහයට කැඳවාගෙන යද්දී ඔහු පුදුම විය.

හෙට දිනයේ තිබෙන ජුලියන්ගේ පිහිනුම් තරඟයට සහභාගී වීමට පැමිණි කන්දප්පා ජුලියන් සහ ඩයනා සමග සැන්දෑවේ විනෝද වූයේය. කුසුම්ගේ කුඩා පුතු බිනර සිංහලෙන් කතා කරන සාමන්ය පන්තික දරුවෙකි. බිනර බැලීමට තම දරුවන් දෙදෙනා වන ඩයනා සහ ජුලියන් කැටිව යාමට කන්දප්පා සිටියේ ආසාවෙනි. රාත්රියේ දරුවන් දෙදෙනා ආහාරයෙන් පසු උඩු මහළට යවා ඔහු සිය කාමරයට ආවේ නිදාගනු පිණිසය. නිවසේ ප්රධාන නිදන කාමරය වැනේසා භාවිතා කළාය. රොෂාන් මෙහි එන දිනවල ඔහු වැනේසා සමග එහි සැතපුනේය. කන්දප්පා සිය නිවසේම උද්යානය දෙසට පිටතින් ඇති ආගන්තුක කාමරයේ නිදාගත්තේය. ඔහු ගෙදර එන්නේ මාස කීපයකට වරක් බැවින් එය කොහෙත්ම ගැටළුවක් වුනේ නැත.

එදා හවස කන්දප්පා ගේ පැමිණීම වෙනුවෙන් හැමදාම වගේ වැනේසා ඉතාම අලංකාරව සාලයට තේ ගෙන්වා තිබුණි. කේක්, බිස්කට් පිරුන බන්දේසි ඉතාම පිළිවෙලට නිල ඇඳුම ඇඳගත් සේවිකාව විසින් ගෙන එන අතරතුර වැනේසා හැමදාමෙන් ඉතා හිත මිත්ර බසින් ඔහුගේ විස්තර ඇසුවාය. ඔහු ගිය පසු මලාද කියා හෝ බැලීමට අමතක කළද ඔහු නිවසට එන හැම විටම ඉතාම ගෞරවයෙන් සැලකීම වැනේසාගේ සහජ සුරුබුහුටි කමකි. නමුත් මේ ව්යාජ හුරතලය දැන් දැන් කන්දප්පා දකින්නේ ඔහුට නියවන්නාක් මෙන් කෝපයෙනි. කුසුම්ගේ නිවසේ පුටුවේ වාඩි වී ඇගේ අතින් හැදෙන ඉඟුරු තේ එක බොන අතරතුර කුසුම් සමග සල්ලාපයේ යෙදීමේ චාම් ආදරනීයත්වය ඔහුගේ හද පතුලට දැනීම එයට හේතුව විය.

හවස තේ බීමෙන් පසු දරුවන් දෙදෙනා සහ කන්දප්පා අතරට පැමිණ බාධා නොකළ වැනේසා දරුවන් උඩු මහලට ගිය පසු සේවිකාවට කතා කළාය. රොෂාන් අද දිනයේ පළමු වරට රුක්මා හමුවී මගුල් මුදු ගැනීමට යන බව දැන සිටි වැනේසා සිටියේ දැඩි වේදනාවෙනි. දහවල අම්මා ඩොරීන් ගේ පැමිණීම නිසා ඇගේ වේදනාව මදක් සමනය විය. දරුවන් නින්දට ගිය හෙයින් මේ කන්දප්පා සමග කතා කිරීමට සුදුසුම වෙලාව යයි සිතුවාය.

“ බ්රිගේඩියර් සර් නිදාගන්න ගියාද?”

“ ඔවු මැඩම්… මේ දැන් ගියේ. කතා කරන්නද ? “ සේවිකාව ඇසුවේ මැඩගත් අමනාපයෙනි. තමාට තවමත් වැඩෙන් නිදහස් වී නිදාගැනීමට ඉඩක් නැතිවීම ඇගේ කෝපයට හේතු විය.

“ නැහැ ..නැහැ..උඹ නිදාගනින් සිසිලියානා” කියා ඕ වහාම සේවිකාව පිටමන් කර ඇඳුම් ඇඳගත්තාය. කන්දප්පා නිදා සිටි ආගන්තුක කාමරයට ගේ හරහා යා නොහැක. ඉදිරි දොරින් පිටවී ඇය ඉස්තෝප්පුව හරහා ඔහුගේ කාමරයේ දොරට සෙමින් තට්ටු කළාය.

“ රෙජී ..දොර අරින්න ..මම වැනේසා “ පහත් හඬින් මුමුණන විට ඔහු වහා නැගිට කමිසය ඇඳ ගත්තේය. වැනේසා සිතුවේ ඔහුගේ කාමරය තුලට ගොස් කතා කරනවා කියාය. නමුත් හැංගීමට කිසිවක් නැතත් ඈ සමග එක කාමරයේ තනි වීමට නොකමත්තෙන් මෙන් කන්දප්පා දොර වසා ඈ සමගම අසල වුන ලතා ගෘහයට ගියේය.

උඹ වෙනුවෙන් තවදුරටත් මගේ හිතේ ඉඩක් නැහැ..කියන පණිවිඩය නොසිතා හෝ කන්දප්පා ගේ හැසිරීමෙන් පිළිබිඹු වුන බව දැක දැකත් වැනේසා පසු බැසීමට සූදානම් නොවුණාය. කුසුම් ව අමතක කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඉක්බිති කන්දප්පා විසින් එසේ කළ නොහැකි බව කියද්දී වැනේසා කෝප වූයේ එබැවිනි.

“මොකද්ද ඒ කැත ගෑනිගේ තියෙන විශේෂත්වය ?” කියන වචනය ඇසීමත් සමග කන්දප්පා ගේ කෝපය නිම් හිම් නැති විය. තමාගේ ජීවිතය වටිනාකමක් දෙන ලද ඒ අහිංසක ගැහැණියට කැතයි කියන වචනය යෙදීම ගැන කන්දප්පා සැබවින්ම උරණ වූවේය.

“ ගෑනියක් ලස්සන වෙන්නේ පෙනුමෙන් නෙවේ වැනේසා . ගතිගුණ වලින්. කොයිතරම් උඩින් ඔපදාගෙන හිටියත් චරිතය වැහිලා තියෙන්නේ කුණු ගඳ ගහන ජරා වැඩ වලින් නම් ඒ ගෑනිගේ වටිනාකමක් නැහැ” ඔහු කෝපයෙන් වුනත් සාවධානව එක වරම කීවේය.

කෙලින්ම වැදුන පහරින් තැති ගත් වැනේසා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.

“ හැටි වත්. කකුල් දෙක පැලිලා . අඳින හැටි හරිම ගොඩේ. ඔයා ඇත්තටම හැඩ රුවක් තිබෙන ගෑනියෙක් එක්ක යාලු වුනා නම් මට දුකක් නැහැ “ වැනේසා කීවේ නොසිතාම තම ගැන හටගත් අහංකාරය සහ කුසුම් කෙරෙහි හටගත් ඉරිසියාවෙනි.

“ දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ වැනේසා. මම හිටියේ තව ටිකක් කල්පනා කරලා ඔයාගෙන් අහන්න මම දික්කසාද වෙලා කුසුම්ව බඳින්න. මොකද ඇයට මා හැර වෙන පිරිමීයෙක් නැහැ. “

කන්දප්පා විසින් එල්ලය බලා ගසන ප්රහාර ගණන් නොගනිමින් වැනේසා වහාම ඔහු වෙත හැරුණාය. ඉක්බිති සිය අලංකාර ඩ්රෙසින් ගවුමේ රේන්දයෙන් වැසී ගිය රවුම් ඇත්දළ පැහැ පියයුරු හිතාමතාම කදප්පාට පෙනෙන පරිදි නැමුනාය.

“ ඔයා කොහොමද එහෙම කරන්නේ. ඔයා මගේ කසාද සැමියා රෙජී . අමතක කරන්න එපා දරුවෝ දෙන්නෙක් ඔයාට මෙතන ඉන්නවා.” කෝපයෙන් ඇගේ පැහැපත් කම්මුල පමණක් නොව කන්පෙති පවා රතු වී ගියේය.

“ ඔයාගේ ඔය ගොඩේ ගෑනිට කියන්න මා එක්ක නටන්න එන්න එපා කියල. ඉවර වෙන්නේ ගොඩක් නරක විදිහට “ කියමින් ඕ පුටුවෙන් නැග්ගේ කෝපයෙනි.

පාර හරස් කරගෙන සිටගත් කන්දප්පා “ එහෙම යන්නට බැහැ” කියමින් ඇගේ ඇඟිලි ඌයි ගාන්නට තරම් තදින් මිරිකමින් බලෙන්ම වාඩි කරවූයේය.

“ උඹ කුසුම්ට මොනවා කරන්නද ? උඹේ මිනිහාගේ ලොකුකම් වෙන කාට හෝ පෙන්වාපන්. මටයි මගේ අහින්සකීටයි පාඩුවේ ඉන්න දීල. මට නැතිවෙන්න දෙයක් නැහැ. තියෙන්නේ කුසුම් විතරයි. උඹවත් මරාගෙන මැරෙනවා…..” කියමින් ඇගේ දෙනෙතට එබුණේය.

ඔහුගේ කෝපය දුටු වැනේසා උපක්රමය වෙනස් කිරීමට සිතුවාය. විචක්ෂණ ගැහැනියක මෙන් ඔහුගේ අතේ එල්ලුන ඇය …” මට සමාවෙන්න රෙජී..වැරදිලා මට කියවුනේ. ඔයාට ඇති ආදරය නිසා මට ගොඩක් දුක හිතුණා” කියමින් දෙනෙත් කඳුලින් පුරවා ගත්තේ කඳුළු යනු ඕනෙම මොහොතක පිරිමින් මෙල්ල කිරීමට කදිම ආයුධයක් බව දැන සිටි හෙයිනි. මෙයින් කන්දප්පා ගේ රුදුරු බව අඩු විය. ඕ වහා හිටගෙන ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලයේ බලා දෑත උදුරාගෙන සිය ලය මත තබා තද කර ගත්තාය.

ජීවිත කාලයම පසුපසින් ගොස් නොලැබුන ආදරය හදිස්සියේ අතහැර දමා වසර 5 කට පසු නැවත ලැබීම නිසා සතුටු විය යුතුද , දුක් විය යුතුද නොදත් කන්දප්පා ගලක් මෙන් නොසෙල්වී සිටියේය.

“ ඕ රෙජී ඔයාගේ ඒ ගැහැණු කෙනාට සලකන්න. ඕනෙම මුදලක් දෙන්න. හැබැයි මාවයි දරුවෝ දෙන්නයි දාල යන්න එපා.” කියමින් වැනේසා කන්දප්පා ගේ බෙල්ල බදාගෙන වැළපුනාය. වසර ගණනකට පෙර යටපත් කරගත් ලාලසාව වැනේසා විසින් අතගාන ලද ගෙලෙන් පටන් ගෙන සිරුර පුරාම දිව ගියේය. ඒ විනාඩි කීපය කල්පයක් මෙන් අතීතයේ සුවඳ සමග මුසුව කන්දප්පාගේ සිරුරම අකර්මණ්ය කළේය.

ඇය ගැන කම්පාවෙන් කන්දප්පා ලක්ෂ වන වාරයටත් ඇගේ භාවහාව ලීලාවන්ට අවනතව ඇය පසුපසින් ඔහුගේ කාමරය කරා ගියේය. නිවසේ ගෘහපතියා නැති අතර ගෙදරට එන අනියම් සැමියා මෙන් ඔහු වැනේසා සමග වසර පහකට පසු ආදරය බෙදා ගත්තේ නිවසේ ආගන්තුක කාමරයේය. ඔවුන් දෙදෙනා වෙනුවෙන් ඉදිකළ ප්රධාන නිදන කාමරය දැන් රොෂාන් සහ වැනේසා වෙනුවෙන් වෙන් වී ඇත.

වැනේසා මහන්සිය නිසා ඔහු සමීපයේ හෙමින් හුස්ම ගනිමින් නිදා සිටින අතරතුර කන්දප්පා තමාගේ තත්වයේ හාස්ය ජනක බව නැවත වතාවක් ප්රත්යක්ෂ කර ගනිමින් සිටියේය. ඒ අතරම තමාගේ සැබෑ බිරිඳ, පෙම්වතිය වන කුසුම් හට ද්රෝහී වුනාක් මෙන් ඔහුගේ හදවත ලජ්ජාවෙන් බර විය. ඇයට පවසා පැමිණියේ පුතාගේ පිහිනුම් තරඟයට එන බවය. දැන් සිදු වූයේ හීනෙකින් වත් හිතු දෙයක් නොවේ. තාමත් තමා වැනේසා කෙරෙහි ප්රේම කරන බව කන්දප්පා මෙනෙහි කළේ පුදුමයෙනි. දැන් ඔහු කුසුම්ට කුමක් කියන්නද? දික්කසාදය ගැන ඇසීමට ඇය පුල පුලා බලා සිටී.

ප්රවේශමෙන් වැනේසා ගේ නග්න සුන්දර සිරුර දෙස බලා සිටි කන්දප්පා පොරවන ශීට් එක ගෙන ඇගේ සිරුර වසා දැමුවේය. ඔහුද ඇගේ ලඟින්ම ඇලවිණි. උදේ පිබිදෙන දරුවන් තමන් දෙදෙනා එක කාමරයේ සිටිනු දකිනවිට කුමක් සිතනු ඇතිද කන්දප්පා කල්පනා කළේය. ඒ ඔහුගේ නිවසයි. ඔහුගේ විවාහක භාර්යාවයි. ඔහුගේම දරුවෝය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article