කුල ගෙය – Episode 08

Apr 24, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

“ පුතාට හොඳටම මහන්සි පාටයි “

රොෂාන් ගෙට එන විටම ළමාතැනී පැවසුවේ උතුරා යන සෙනෙහසිනි. මහන්සිය නිසා මෙහෙමම ආහාර ගෙන උඩු මහලට යාමට සිතා රොෂාන් සාලයේ සෝෆාවක වාඩි විය.

Continue Reading Below

කෑම මේසයට දැමීමට ඇනවුම් කිරීමට ළමාතැනී මොහොතකට ඉවතට ගියාය. දෙදෙනා එකට ආහාර ගන්නේ සෑහෙන්න කාලයකට පසුය. රොෂාන් එන යන වෙලාවක් ගැන නිච්චියක් නැති හෙයින් ළමාතැනී බොහෝ දිනවල තනිවම ආහාර ගත්තේ වෙලාවට බෙහෙත් බීම සඳහාය.

රොෂාන් විසින් දවසම රුක්මා සමග ගත කිරීම නිසා ළමාතැනී ගේ සිත සතුටින් ඉපිලුනි.

“ ඔන්න අම්මා කෑගැහුවට මම නියම වෙලාවට වැඩේ හරියට කරා “ කියමින් රොෂාන් සිනාසුනේය. ඔහුට දැඩි ප්රීතියක් ඇතිවූයේ අම්මා කාලෙකින් ගොඩක් සතුටින් සිටි නිසාය.

රුක්මාට මගුල් මුද්දට අමතරව තවත් වටිනා දියමන්ති මුද්දක් අරගෙන දීම ගැන රොෂාන් වඩාම සතුටු විය. ඔහු කවදත් ගෑනුන් විෂයෙහි බෙහෙවින්ම තෑගීවන්ත පිරිමියෙකි. ලබන සතියේ වැනේසාටත් වටිනා අත් පළඳනාවක් අරගෙන දෙන්නට ඔහු සනිටුහන් කළේය. නේක වර්ණ මැණික් වලින් ඇය කැමති විදිහේ සරල බ්රේස්ලට් එකක් අරගෙන දිය යුතුය. රුක්මා සමග විවාහයට පෙර ඇයට එය තෑගී කිරීමට ඔහු අදහස් කළේය.

එහි කොනක R & W වශයෙන් තමන් දෙදෙනාගේ නම් දෙකට කැටයම් කිරීමට ඔහු අදහස් කළේය. වැනේසා පැහැයෙන් විදේශිකයෙක් මෙන් පැහැපත්ය. ඇයගේ ඉංග්රීසින් හා මිශ්ර ජාන නිසා පැවතුම්ද විදේශික පැවතුම් වලට දෙවෙනි නොවීය. ඇය අම්මා මෙන් අනාගතය ගැන කරදර වෙන කෙනෙක් නොවේ. වැනේසා දකින්නේ රසට කා, ලස්සනට ගෙදර තබාගෙන හැකි උපරිම සැපයෙන් අද දවස ගෙවීම ගැනයි. අනාගතය ගැන කරදර නොවන ඇගේ සමගමය ඔහුට සුන්දර හීනයක් මෙන් ප්රසන්න වූයේ එබැවිනි.

මගුල් ඇඳුම් තමාගේ ප්රමාණයට ගැලපෙන ලෙස මැස්සවීමට වරක් ඔහු පිටකොටුවට ගිය අතර ලබන සතියේ නැවත යාමට දින නියම වී තිබුණි. සියල්ල යහපත් ලෙස සිදුවීමේදී ඔහුට දැනුන ලොකුම ගැටලුව වූයේ වැනේසා හමු වීමට ඇති තරම් ඉඩක් නොලැබීමයි.

ඔහු විසින් වෙනස් නොවෙන බවට කොතෙක් ගිවිසගෙන සිටියත් විවාහයට පෙර සිටම රොෂාන් තමා හමුවට එන වාර ගණන අඩු බව වැනේසාට වැටහිණි. නමුත් ඔහු නොවරදවා තමාට ඇවැසි වියහියදම් එවනු ලබයි. මෙතෙක් ජීවත් වුනාද නැතිද කියා ගානක් නොවුන කන්දප්පා ගැන හදිස්සියේ වැනේසාට උනන්දුවක් ඇති විය. ඔහු කවදාවත් ඇය සමග රොෂාන් ගැන කියමින් කළහ කළේ නැත.

මුල් යුගයේ වැනේසා සහ රොෂාන් අතර සම්බන්ධය කන්දප්පාගේ ආදරය සහ සිත බෙහෙවින්ම සසල කළේය. හැමෝම ඒ ගැන ඕපදූප කතා කරද්දී කන්දප්පා සිතුවේ රොෂාන් සහ වැනේසා හුදු මිතුරන් පමණක් බවයි. ඔහු ඒ නිසා ඒ ගැන අමනාප නොවුණේය. පසුව බිරිඳ මේ සම්බන්ධයෙන් මුදවා ගන්නට ඔහු උත්සහ දැරුවේය.

නමුත් රොෂාන්ගේ ධනය සහ බලය සමග අති අහන්කාරයක් හිතට ගත් වැනේසා ඔහුගේ කතා කනකට ගත්තේ නැත. රොෂාන් යනු රදලයෙක් වුවත් ඉතා ප්රියමනාප පැවතුම් ඇති කෙනෙකි. ඔහු කවදාවත් කන්දප්පාට අගෞරව නොකළේය. ඔහුගේ හමුදා නිලය බලාගෙන ඉද්දි ඉහල ගියේ රොෂාන්ගේ බලපෑම් මත බව ඔහු දැන සිටියේය. ඩයනා ගේ උපත වෙන තුරු කන්දප්පා විස්වාස කළේ රොෂාන් ඉක්මනින් විවාහ වුන පසු තමාගේ ජීවිතය නැවත පුරුදු තත්වයට පත් වනු ඇති බවයි. ස්වභාවයෙන් සාමකාමී මිනිසෙක් වූ හෙතෙම රොෂාන් විවාහ නොවෙන බව සැක හැර දැන ගැනීමෙන් පසු හෙමින් හෙමින් ගෙදරින් ඉවත් විය. ඒ ඉවත්වීම වැනේසාට දැනුනේ නැත. නමුත් ඔවුන් දෙදෙනා හොඳ මිතුරෝ වූහ.

ළමයින්ගේ වැදගත් යමක් තිබෙන හැම විටම කන්දප්පා ගෙදර ආවේය. දරුවන්ට උපකාර අවැසි විට කළේය. ඔවුන්ද වඩාම ගණන් ගත්තේ දුප්පත් නාමික පියා වන තමා නොව බලවත් පියා වූ රොෂාන් හෙයින් ඔහු කාලය සමග වැන්දඹුවක් සමග සමබන්ධයක් පැවැත්වීය. මේ ගැන දැනගත් වැනේසා කෝප වී එම වැන්දඹුවට බැනීමට යාමට සූදානම් වුවත් මැදහත් සිතින් යුතු රොෂාන් එය වලක්වාගත්තේය. කන්දප්පා ගේ කුරුළු කූඩුව බිඳ දැමීම ගැන රොෂාන් ගේ හිතේ වරදකාරී හැගීමක් විය. එබැවින් ඔහු නිරන්තරවම කන්දප්පාට උපකාර කරන්නට විය.

ලතා ගෘහයේ වාඩි වී ගෙදර හදන ලද ජින්ජ බියර් වීදුරුවක් තොල ගාමින් සිටි වැනේසා සිටියේ පාලුවෙන් මෙන්ම සංවේගයෙනි. ඇය බැලීමට මහලු ඩොරීන් පැමිණියේ රොෂාන්ගේ මගුල ගැන දැනගෙනය.

“ මම ඔයාට ඔය ටික කීවා” කියමින් ඩොරීන් වැනේසා දෙස රවා බැලුවාය.

“ නැහැ අම්මා… එයා වෙනස් වෙන්නේ නැහැ කියල මට විශ්වාසයි. දැනටත් නිතර නාවට අවශ්ය සල්ලි ඔක්කොම ඩ්රයිවර් අතේ එවනවා “

“ ඒක නම් ලොකුම දෙයක් වැනේසා… එකක් කියන්නම්. රොෂාන් එක්ක රණ්ඩු වෙලා මේ ලැබෙන දේවල් නැති කර ගන්න එපා…හෙමින් ඔහුව පොළඹවාගන්න…. සම්බන්ධය නිසා ඔයාට ලොකු හානියක් වුන බව මාත් ඊළඟ සැරේ රොෂාන්ට කියන්නම්”

“ අම්මා පණ්ඩිතකම් කියන්න යන්න ඕනේ නැහැ..මම ඒක බලාගන්නම්” වැනේසා කීවේ කෝපයෙනි.

“ මා අද රෑට රොෂාන් කැමතිම ලම්ප්රයිස් හදනවා..ජින්ජබියර් එක්කම..ඒවා කන්න එන්න කියල කෝල් කරන්න” ඩොරීන් කීවේ කපටි හිනාවක් නගාගෙනය.

වැලිපැන්නේ ළමාතැනී ගේ දුව එනම් රොෂාන්ගේ අක්කාට උගන්වන්නට එහි ගිය විට ඩොරීන් ගේ දොර ශ්රී විභූතිය දැක සසල වී ගියාය. අනේ ඇගේ දුවට මේ ගෙදර අයිති කරන්න ඇතිනම් කොතරම් අපූරුද නිතරම කල්පනා කලාය. සැලසුම් කර රොෂාන් සහ වැනේසා එකට කරවීමට නොයෙක් වර ඩොරීන් උත්සහ දැරුවාය. වැනේසා සමග සම්බන්ධය පටන් ගැනීමෙන් පසු රෝශාන්ගෙන් මිල මුදල් , තෑගී බෝග අඩු නැතුව ලද කෙනෙකි ඩොරීන්. එබැවින් මේ සම්බන්ධය හැකි හැම අයුරින්ම ඇයට වාසි දායක විය.

වැනේසා අම්මගේ මේ කෛරාටික ගති වලට කැමති නැති වුනත් ඇය විසින් දෙන අවවාද ප්රායෝගික බව හදවතින්ම පිළිගත්තාය. නමුත් පිළිගන්නා බව නොපෙන්නුවාය.

“මට අද රොෂාන්ට එන්න කියන්න විදිහක් නැහැ. මොකද අද කන්දප්පා ගෙදර එන බව දන්වලා තියනවා” වැනේසා කීවේ සුසුමක් හෙළමිනි.

ඔහුගේ තියන හොර සම්බන්ධය ගැන අද කතා කරන්න ඕනේ. කවදාවත් නැතිව දැන් කන්දප්පා මා ගණන් ගන්නේ නැහැ. ඉස්සර මගේ පස්සෙන් ඉන්දිකට්ට වගේ ආවත් දැන් දැන් ඔහු මා මගහරිනවා …ඕ සංවේගයෙන් සිතුවාය.

“ඔය ගෑනි ආරංචි විදිහට මිනිහා මැරිච්ච මහා කැත ගෑනියෙක්… කන්දප්පා එහෙම පිටින්ම වශී වෙලා. බඩී කියන විදිහට හෙට අනිද්දට කන්දප්පා දික්කසාද වෙලා එහෙ නවතින්න යන්න වුනත් බැරි නැහැ “ වැනේසා කීවේ මවට පමණක් ඇසෙන්නට හඬ පහත් කරමිනි.

“ ඔය සිංහල මිනිස්සු ගුරුකම් කරනවා. ඔයා දන්නේ නැද්ද? රොෂාන්ට වුනත් මට හිතෙන්නේ ඔයාගෙන් අයින් වෙන්න ගුරුකමක් කරලා. නැත්නම් කවුද හිතුවේ රොෂාන් බඳීවි කියල” ඩොරීන් කීවේ අමනාපයෙනි.

“ රොෂාන් බඳින්නේ ඒ අනාත කෙල්ලට ආදරෙන් නෙවේ අම්මා… නාකි ගෑනිගේ කරච්චලයෙන් මිදෙන්න. අනික එයාට ළමයි ඕනේ. ලඟදි දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් තියනවා එයාට “ වැනේසා කවදාවත් නොදුටු රුක්මා කෙරෙහි ඇතිකරගෙන තිබුනේ දැඩි වෛරයකි.

“මට ඔය වයසක ගෑනිව මරන්න හිතෙනවා…” කීවේ “bloody old woman” කියන වචනය දැඩිව උච්චාරණය කරමිනි. මේ කියන මොහොතේ ඇගේ දෙනෙතේ දිදුලන වෛරයේ ගින්නෙන් ළමාතැනීව දවා හළු කරන්නට තිබුණි.

තමා පත්ව ඇති තත්වයේ අනතුර තමාට හැර වෙන කාටවත් නොපෙනේ යයි වැනේසා සිතුවාය. විවාහක සැමියා..කාලෙකට පෙර ඉමහත් ප්රේමයෙන් තමා විවාහ කරගත් මිනිහා සමග වූ සමබන්දය තමාට නොදැනීම විනාස වී ගොසිනි. ඔහු දැන් වෙනත් ගැහැණියකට පෙම් කරයි. තමා රොෂාන් සමග සම්බන්ධයක් පවත්වන අතරේදී වත් කන්දප්පා ප්රතික්ෂේප නොකළ බව ඈ මෙනෙහි කළේ සංවේගයෙනි. ඔහුට ඇවැසි විටක ඕ කායික ඇසුර ඔහුට ලබා දුන්නාය. ඔහු හමුදා සේවයෙන් මෙතෙක් වේගයෙන් ඉහළට ගියේ තමා නිසාය. එමෙන්ම ගෙදරදොර වියදම් කවදාවත් කන්දප්පාට බරක් නොවුනේ තමා නිසා බව ඇය දනී.

මේ සියලු වාසි ලබාගන්නා අතරේ වෙනත් ගැහැණියක් සමග සම්බන්ධයක් ඇතිකර ගැනීම ගැන වඩා වැනේසා කෝප වූයේ වෙනත් ගැහැනියක් සමග ප්රේමයෙන් බැඳුන නිසාය. අද කන්දප්පා පැමිණීමෙන් පසු හැකි හැම උපක්රමයම යොදා ඔහුව නැවතත් තමාගේ පාශයට ගැනීමට සහ සම්බන්ධය බිඳ දැමීමට ඕ සනිටුහන් කළාය.

එතකොට අර රොෂාන් බඳින කාලකන්නි අනාත ගෑණි?

“ ඒක පස්සේ බලාගමුකෝ. මේක කඩල ඉවර වෙලා… එතකොට දෙන්නම ආයෙත් මගේ ළඟ. තමා විසින් සෙනෙහස් කරන ලද පිරිමින් දෙදෙනාම නැවත තමා වෙතටම ගැනීමට ජින්ජර් බියර් වීදුරුවේ අන්තිම බින්දුව බොන අතර ප්රමුදිත සිතින් වැනේසා කල්පනා කළාය.

මේ අතර ගෙදරට පැමිණ ඇඟ සෝදා තැම්පත් වීමෙන් පසු රාත්රියේ රොෂාන්ට හදිස්සියේ සිතක් පහළ වූයේ වැනේසා ට කතා කිරීමටයි.

මේ මොහොතේ ඇය කුමක් කරනු ඇතිද? ඇත්දළ පැහැ මුහුණ නරක් කරගෙන මේ වනවිට ඇය කාමරයේ සිටිනු ඇත. ඇගේ ආගාරයේ සුදු සේද තිර සහ සුවඳ ඉටිපන්දමෙන් වැසුන සුවඳ රොෂාන්ගේ සිතට දැනේ. මේ වෙලේ ඇයට කතා කරන්නට ඔහුට සිත් වේ.

ට්රින් ට්රින්…… මේ අවේලාවේ දුරකථනය නාද වීම ගැන පුදුම වූ සේවිකාව ඉස්සුවේ පිළිතුරක් දීමටයි.

රොෂාන්ගේ කටහඬ හඳුනාගත් ඇය “ වැනේසා නෝනා මහත්තයා එක්ක කතාවක…මම කතා කරන්නද? “ ඇසුවාය..

“ මහත්තයා…” යන වචනය ප්රතිරාව වීමත් සමගම කන්දප්පා හදිස්සියේ පැමිණියේ ඇයිද යන සිතුවිල්ල ඔහුට ඇතිවිය. ඒ සමගම ළමයිගේ වැඩකට ඔහු එන්න නියමිත වුවත් සාමන්යයෙන් ඔවුන් දෙදෙනා මේ වගේ අවේලාවක කතා බහ කරන්නේ නැත.

“ නැහැ ..නැහැ ..මා නිකන් කතා කරේ…. නෝනට කියන්න මම ලබන සතියේ කතා කරන්නම් “ කියමින් ඔහු දුරකථනය විසන්ධි කළේය.

වැනේසා සහ කන්දප්පා දැන් වසර 5 කින් පමණ කායික ඇසුරේ යෙදී නැත. ඔවුන් දෙදෙනා යහළුවන් මෙන් කටයුතු කිරීම ආරම්භ කළේ කන්දප්පා විසිනි. මෙය රොෂාන්ගේ හිතට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේය. තමා විසින් ගෙවා තබා ගන්නා තව සේවකයෙක් මෙන් වුවත් කන්දප්පා කෙරෙහි ඔහු තරමක් බියමුසු විය.

“ඒ දෙන්න සැමියා සහ බිරිඳ..මම පිට මිනිහෙක් විතරයි. ඒ දෙන්න මොනවා කරහම මට මොකද ? “ රොෂාන් කල්පනා කළේ සංවේගයෙනි.

“ ඔවු..මම දැන් පවුල් වෙන්න යන එකේ එයා එයාගේ පවුල ගැන හිතනවා නම් වරදක් නැහැ.” එහෙත් නින්ද යන තුරුම රොෂාන් කල්පනා කළේ වැනේසා සහ කන්දප්පා කුමක් කරනු ඇතිද කියාය. රුක්මා එක මොහොතක වත් ඔහුගේ සිතට පැමිණියේ නැත.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article