කුල ගෙය – Episode 07

Apr 17, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

කසාදය තීන්දු වී මාස දෙකක් ගත වී තිබුණි. ළමාතැනී ජයටම සූදානම් වීම් කළාය. ඇඳුම් තේරීම පිණිස සිය අනාගත ලේලිය දැකීමට ඇය කීප වරක්ම රොස්මිඩ් පෙදෙසේ රුක්මාගේ නිවසට ගියාය. ඇයට දෙන පරම්පරාගත රන් අභරණ වලට අමතරව තමාගේම ආකාරයට ලාබාල රුක්මා හැඩගස්වා ගැනීම ඇගේ එකම අභිප්රාය විය. තමාව හමු වීමට රොෂාන් ගජනායක කොයි මොහොතේ හෝ පැමිණේවි යයි බලාපොරොත්තු වුවද ඔහුගේ නොපැමිණීම රුක්මාගේ හිත දැඩි සන්තාපයට පත් කළේය.

Continue Reading Below

“ ඒ ළමයා බයෙන් ඉන්නේ දුව අකමැති වේවි කියා..ලැජ්ජාව නැති වුනාම ඉක්මනින්ම ඒවි”

කියමින් ළමාතැනී රුක්මා ගේ සැක දුරු කළාය. ඒ මදිවට රුක්මා බැලීමට එක දිනක් හෝ නොගිය රොෂාන් කෙරෙහි නොමදව අමනාප වුණාය.

ළමාතැනී ගේ සහ ශීලාවතී ගේ විස්තර වලට අනුව වයස වැඩි වුනත් රොෂාන් තරම් යහපත් මිනිහෙක් මෙලොව තව සිටියේ නැත. ඒ නිසා රුක්මා දැන් රොෂාන් දැකීමට සිටියේ දැඩි ආශාවෙනි. තව මසකින් සිදුවන තම විවාහය ගැන දැන් ඇයට ලොකු බයක් නැත. තමා යන්නේ වැලිපැන්නේ ළමාතැනී වැනි යහපත් මවක් වෙතය.

තමාට හදිස්සියේ උපන් යසස ඉදිරියේ ශ්රීමතී ගේ වෙස් පෙරලීම නම් පුදුම සහගත විහිලුව දෙස ඈ බලාසිටියේ උපේක්ශාවෙනි. වැලිපැන්නේ ලමාතැනී ඉදිරියේදී ශ්රීමතී තරම් යහපත් කුඩමමා කෙනෙක් සිටියේ නැත. මංගල ප්රීතිය කුඩා දරුවෝ සිවු දෙනාටද නොමදවම දැනුණි. රුක්මාගේ අර්ධ සොයුරන් අතරින් වැඩිමලා වූ වසන්ත දැන් පහළොස් හැවිරිදිය. රොෂාන් ගජසිංහ මගුල් ගමන එන විට කකුල් සේදීමේ වගකීම තමාට පැවරීම ගැන ඔහු සිටියේ සුළුපටු අහංකාරයෙන් නොවේ. එයට ත්යාග ලෙස ලැබෙන මුදුව ගැනද ඔහු සිය යහළුවන් හට පවසා තිබුණි.

ජායතී භායි විසින් ඉන්දියාවෙන් රුක්මා ගේ මගුල් සාරිය ගෙන්වන ලදී. හිස සිට පාදන්තරය දක්වා නොයෙක් රූප ශෝභා සත්කාර කරන මේ කාලය රුක්මාට ඉතා ප්රීතිමත් කාලයක් විය. ජීවිතේ පලවෙනි වතාවට ඇය හැමෝගෙම අවධානය ලබන කෙනා බවට පත් විය. හැමදාම වෙනස්කම් කළ ශ්රීමතී හදිස්සියේ යහපත් වීම ගැන කුස්සියේ වැඩ කරන අංගෝ හාමි අත් උදවුවට සිටින උදේනිස් හට කීවේ විහිලු ස්වරූපයෙනි.

“ශ්රීමතී හාමුත් කටුස්සෙක් වගේ බන්. ඉස්සර ලොකු බේබි බිත්තරයක් තම්බගෙන කෑවත් කුලේ කියල බනිනවා” කීවේ මුවේ මදහසකින් යුතුවය.

“ ඔවු මට මතකයි උඹ ලොකු බේබිට කන්න දෙන්නේ බිත්තරේ හදල බත් එක මැදට දාල හංගලා” උදේනිස් කීවේ අතීතය මතක් කරමිනි.

“ ඇඟේ කටුවයි හමයි විතරනේ උදේනිසෝ. අම්මත් නැති ළමයා. මස් මාළු කන්න හොරයි . කන එකම දේ බිත්තරේ නේ. “ අංගෝ හාමි කීවේ කරුණාවෙනි.

“ අනේ අපේ ලොකු බේබිට දැන් වත් හොඳක් වුනා අන්තිමේ. ඔය බඳින්න ඉන්න මහත්තයා ලොකු කෙරුමෙක් කියන්නේ. මහත්තයාගේ ඩයිවර් අපේ ඩයිවර් එක්ක කියල.”

“අනේ වෙන ලොකුකම් නැතත් ..ඒ සර්ගේ අම්මගේ කරුණාවන්ත කම දැක්කේ නැද්ද? ජීවිත කාලෙම අනුන්ගේ ගෙදරක ඉඳුල් පිඩි කකා හිටපු අපේ ලොකු බේබිට කොයි තරම් දෙයක්ද?”

“ මම කියන්නම් දවසක ලාල් හාමුට වැටෙන්න වෙන්නෙත් රුක්මා බේබි ළඟ තමා. ශ්රීමතී හාමුගේ ළමයිනුත් එයයි වගේ තමයි”

“ එදාට උඹල අපි මෙහෙ නැති වෙයි බන්. මටත් මේ සුමේ එපා වෙලා. කොයි එක කරත් වැරදිනේ. මම ඉක්මනින් ගමට යනවා. කොස් ගෙඩියක් තමබ්න් කෑවත් නම්බුයි මීට වඩා “

කියමින් අන්ගොහාමි කතාව ඉවර කළේ හැමදාම මෙන් තමාගේ බැරිකම් ගැන කියවමිනි.

රුක්මා සමග මේ ගෙදර ආදරෙන් සිටි එකම පිරිස වන සේවක පිරිසට ඕ බෙහෙවින්ම ඇලුම් කලාය. විවාහයෙන් පසු රොෂාන් සතුටු කරවාගෙන අංගෝ නැන්දා තමාගේ නිවසට ගෙන යාමට රුක්මා සිටියේ හීන දකිමිනි. නමුත් රොෂාන් දෙමසක් ගත වීත් තවම ඈ දකින්නට පැමිණියේ නැත. අවසානයේ සියලු වැඩ නිමවී තිබියදී මගුල් මුදුව හැදීම සඳහා හෙට්ටිවීදියට යාමට ළමාතැනී ගේ තර්ජන වලින් බයපත් වුන රොෂාන් පැමිණියේය.

අම්මා ගෙදර දමා තනිවම රුක්මා ගේ නිවසට යාමට පාරට බට ඔහු අලුත් ජීවිතය ගැන පළමු වතාවට හිතන්නට පටන් ගත්තේය. හැම දෙයක්ම හොඳ අයුරින් ඉටු වීම ගැන රොෂාන්ගේ සිතේ වූයේ නොමද සතුටකි. අම්මා දැනටම රුක්මා සමග ආදරෙනි. තමාට ලැබෙන වාසි ගැන සලකා විවාහයට කැමති වුවත් විවාහය ගැන රොෂාන් ගේ හිතේ වූයේ චකිතයකි.

ඔහු රුක්මා ගේ ගෙදරට ගිය විගස නිවසේ ලාල් නොසිටි හෙයින් ශ්රීමතී විසින් මහත් හරසරින් ගෙට කැඳවාගෙන යන ලදී. ඉක්බිති ඔහුට බීමට තැඹිලි ගෙඩියක් ගෙන එන මෙන් සේවකයෙක් අනවා ඕ රොෂාන් ලඟින් වාඩි වූවාය

“ රුක්මා රොෂාන් ඒවි කියල හිතුවේ නැහැ . ඒ නිසා ගෙදරට ඇඳගෙන ඉන්න ඇඳුම් පිටින් හිටියේ. ලජ්ජාවට ගෙට දිවුවා ඇඳුමක් ඇඳගෙන එන්න “ කියමින් ශ්රීමතී සිනාසුණාය.

විදුලි පවන් පතින් සිසිල් වුන විසිත්ත කාමරයේද රොෂාන්ට දැනුණේ උණුසුමකි. එබැවින් ඔහු ලේන්සු පටින් සිය නළල සහ පෑදෙමින් තිබුන තට්ටය පිස දැමුවේය.

“ රුක්මාට කියන්න ..මම ආවේ මගුල් මුදු තෝරන්න යන්නත් එක්ක කියල. ඒකටත් එක්කම ගැලපෙන ඇඳුමක් ඇඳගෙන එන්න කියන්න” රොෂාන් කීවේ ඔරලෝසුව දෙස බලමිනි.

රොෂාන් ශ්රීමතී ට නැන්දම්මා කියන්නට මැලි වූයේ ශිමතී තමාට සමවයස්ක නිසාය. නම කියා කතා කිරීමද දැන් හැදුන නෑකමට අනුව අශෝභන හෙයින් ඔහු ආමන්ත්රනයකින් තොරව නිකන්ම ඇයට කතා කළේය.

“ඉක්මනින් මම රුක්මා එවන්නම් රොෂාන්ට වැඩ ඇති… “ කියමින් ඕ පුටුවෙන් නැගිට්ටාය.

හෙමින් හෙමින් පහළට බසින විට රුක්මාගේ පපුව තුරඟ තරඟයක අවසන් මිනිත්තු කීපයේ මෙන් ගැහෙමින් පැවතින. නමුත් ඕ මතුපිටින් සන්සුන් බවක් පෙන්වාගෙන සිටියාය.

සිනා සෙමින් පහළට පැමිණි රුක්මා චකිතයෙන් රොෂාන්ට ඈතින් වූ අසුනක හිඳ ගත්තාය. ගැහැනුන් ඉදිරියේ පුරුදුකාරයෙක් වූ රෝශාන්ටද යම් මට්ටමකට ඇගේ කුලෑටි බව සහ නුපුරුදු බව බලපෑම නිසා ඔහුද මදක් පසුබා ගියේය. අනික් අතින් ඇය ඔහුගේ අනාගත භාර්යාවයි. ඔහු මදක් වෙලා ඈ දෙස බලාගෙන සිටියේය.

රුක්මා ගේ චවි වර්ණය තලෙලුය නමුත් ඇයගේ අතිශය සිහින් ළදරු කය නිසා ගැහැනියක් ලෙස නොව බාලවයස් දැරියක් ලෙස පෙනුනි. ඇය ඇඳ සිටි කෙටි ගවොම එතරම් අලංකාර නැත. විවාහයෙන් පසු ඇයටත් වැනේසාට වගේම ලස්සන ඇඳුම් ගෙනත් දිය යුතු බව රොෂාන් සනිටුහන් කළේය. ලෝකයට පේන්න සියලුම උත්සව ආදියට අරගෙන යන ඇය සුන්දරව සිටීම තමාට මහත් ආඩම්බරයකි. බාගදා තමා ක්රියාකාරී දේශපාලනයට එකතු වනු ඇත. ඉතින් ලස්සන, කුලවත්, අහිංසක භාර්යාවක් ඔහුට ප්රයෝජනවත් නැතිද?

“ රුක්මා … අපි අද මගුල් මුදු තෝරන්න යන්න කියලයි මම ආවේ. ඔයාට වෙන මොනවා හරි උත්සවයට ලැස්ති කර ගන්න ඕනේ නම් ඒකත් අදම කරගමු. “ ඔහු කාරුණිකව රුක්මාට පැවසීය.

එදා උදේ වරුවේ සිට රාත්රී හත වෙනතුරුම ඔවුන් දෙදෙනා විවාහ උත්සවයේ තෝරා ගත යුතු දේවල් ගැන යුහුසුළු විය. දෙවතාවක් නැවතී සිසිල් බීම සහ දවල් ආහාරය ගැනීමටද ඔවුන්ට ඉඩ ලැබුණි. මේ හැම විටකම රුක්මා ලජ්ජාවෙන් ඔහුගෙන් මුහුණ සඟවමින් කුඩා බළල් පැටියෙක් මෙන් බිම බලමින් සිටියාය. කතා කරන විටද ඔවුන් කතා කළේ උත්සවය සහ එහි කටයුතු ගැන පමණකි.

රුක්මාගේ කන්යාමය ලැජ්ජාව යනු වෙනත් පිරිමියෙක්ගේ අත පවා නෙත වුවත් නොගැටීමේ ලකුණු බව දත් රොෂාන් බෙහෙවින්ම සතුටු වූයේය. දුරාචාරයේ යෙදෙන බොහෝ පිරිමි මෙන් රෝශාන්ද විවාහයට සෙවුවේ ලඳ බොළඳ කන්යාවකි. තමාට අනියම් බිරිඳක් සිටින අතර ඔහු රුක්මාගෙන් බලාපොරොත්තු වූයේ තම මව මෙන් නිවසේ සිට තමාගේ රුධිරය දරා ගැනීමයි. තමාගේ වස්තුව , ජීවිතය අනාගතයට දායාද කිරීමේ ක්රියාවලියේ වටිනාම මෙවලම ලෙස ඔහු රුක්මාව දුටුවේය.

මුතුකරුපන් චෙට්ටියාර් ජුවලර්ස් වෙතට ඔවුන්ගේ මංගල මුදුව හැදීමට භාර දුන්නේ පවුලේම ස්වර්ණාභරණ හැදීම ඔවුන් විසින් කරන බැවිණි. රොෂාන්ගේ ප්රියම්භිකාව ලෙස ඉමහත් ගරුසරුව ඇතුලට කැන්දාගෙන ගිය ඔවුහු සිසිල් බීමකින් පවා සංග්රහ කරමින් ඇයට විශාල පොත් ගොඩක් ගෙනවිත් එකින් එක පෙන්වූහ.

අවසානයේ සාම්ප්රධායික මහත මගුල් මුදු ජෝඩුවක් දෙදෙනාටම සැදීමට භාරදුන් රොෂාන් රුක්මා වෙනුවෙන් දියමන්තියක් අල්ලන ලද ඉතාම වටිනා මුදුවක්ද ඇණවුම් කළේය. කවදාවත් අත්යවශ්ය දේවල් හැර ස්වකැමැත්තෙන් පියා විසින් කිසිවක් අරගෙන නොදුන් හෙයින් රුක්මා සතුටට ගොළු වූවාය. ගෙදර සිටින නොවැදගත්ම සාමාජිකයා වුන තමාට හදිස්සියේ වටිනා දියමන්ති මුදු, ස්වර්ණාභරණ ලැබීම ඇයට හීනයක්ම විය.

හවස රුක්මා ගෙදර බස්වා රොෂාන් කීවේ ඇය විසින් තෝරණ ලද සපත්තු කුට්ටම කෙරෙහි තමා එතරම් මනාප නැති බවයි. එය ලැබෙන තුරු ලබන සතියේ එංගලන්තයට යන විට ගැලපෙන සපත්තු යුගලක් තිබේද කියා බැලීමේ වගකීම රොෂාන් දරන්නට පොරොන්දු විය. රුක්මාගේ මල්ලි ලවා කොලයක් සහ පැන්සලයක් ගෙන්වාගත් රොෂාන් සාලයේ බිම එය තමා රුක්මාට කකුල තබන්න කියා ඉල්ලා සිටියේය.

ලජ්ජාවෙන් කකුල කොලය මත තැබූ විට ඔහු පැන්සලයෙන් වැනේසාගේ කකුලේ වටයට සෙරෙප්පු ගෙනා පුරුද්දට කකුල හොඳින් ඇඳ ගත්තේය. ඉක්බිති එය සාක්කුවට පරිස්සමෙන් නවා දමාගත් ඔහු රාත්රී ආහාරයට මෙහි නතර වීම නොමනා යයි සිතු නිසා රොස්මිඩ් පෙදෙසේ නිවසින් පිට විය. පිට වන විට ඔහුට හාද්දක් දීමට රුක්මා ප්රිය කළ නමුත් ඇය ඒ සිතුවිල්ල නිසා වහා ලජ්ජාවට පත් වූවාය.

මේ දවස රුක්මා සහ රොෂාන් ජීවිතේ පලවෙනි වතාවට අඹු සැමියන් ලෙසින් සහයෝගයෙන් කටයුතු කළ ප්රථම දවස හෙයින් ඇගේ සිත ඔහු කෙරෙහි ප්රේමයෙන් බැදී ගියේය. කවදාවත් නැතුව තමාට ලැබුන අවධානය නිසාම ඕ තොමෝ ප්රීතියෙන් කුල්මත් වීගෙන සිටිනමුත් ඒ සතුට පෙන්වීමට මැලි වූවාය.

තමාගේ සෙරප්පු යුගලට ඔහු අකමැති වීම නිසා ඒ ගැන කොතරම් කරදර වුනාද? ඔහුගේ යහපත් බවට එයම සාක්කියක් නොවේද? තම පියා නම් කවදාවත් කුඩම්මාට එවැනි අවධානයක් දෙනු ඇය දැක නැත. මේ සතුටුදායක සිතුවිලිද සමග රුක්මා උඩුමහලට ගියේ නිදාගැනීමටය.

“ අන්න අරයා අදත් කන්නේ නැතුව නිදියන්න හදන්නේ..අන්ගොහාමි ගිහින් නිදියන්න කලින් මොනා හරි වද කරලා කන්න දීපන්. නැත්නම් කටු ගොඩ දකිද්දී මිනිස්සු මටයි බනින්නේ “ කියමින් ශිමතී ගෙරෙවුවාය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article