කුල ගෙය – Episode 06

Apr 10, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

“ එහෙම කොහොමද මයේ පුතේ? දෙන්නෙක් එක යහන් වුනාට පස්සේ ඉන්න ඕනේ එක කාමරේ” ළමාතැනී කීවේ බැගෑපත් හඬින්.

Continue Reading Below

“එහෙම නීතියක් නැහැනේ අම්මේ. අනික මගේ ඔෆිස් වැඩ , මීටින් හැම එකම තියෙන්නේ උඩ. මිනිස්සුන්ට පිටින් එන්න පුළුවන් නිසා අම්මටයි , දුවටයි පාඩුවේ ඉන්න පුළුවන් මගෙන් බාධාවක් නැතුව” කියමින්රොෂාන් අම්මාගේ ළඟ තිබුන පුටුවක වාඩි විය.

“ ඒ ළමයා අමනාප වෙයිද දන්නේ නැහැ. එහෙම හරි නැහැ නේද පුතේ?”

“ මොනවද හරි නැත්තේ අම්මා? මම රෑට නිදියන්න දෙවෙනි තට්ටුවට එන්නම් ඉඳහිට. හැමදාම එයාගේ කාමරේ ඉන්න ඕනේ කියල නැහැනේ. අම්මගේ කාමරේට එහා තියන ලොකු කාමරේ රුක්මට ලැහැස්ති කරන්න” රොෂාන් කීවේ අවසාන වශයෙනි.

ළමාතැනී සුසුමක් හෙළුවාය. රොෂාන් නැගිට පහලට ගියේ උදේ ආහාරය ගනු පිණිසය. ඔහු “ ගාමිණී “ කියා කෑගැසුවේ තමා මේ ගෙදර ස්වාමියා බව සියලුම දෙනාට පෙන්වීමට මෙනි.

උදෑසන ඔහු ව්යාපාරික ස්ථානය වෙත යා යුතුය. සවස තුනට අගමැති තුමා විසින් කර්මාන්ත නගා සිටවීමේ ව්යාපෘතියක් පිළිබඳව සාකච්චාවක් පවත්වන්නට නියමිතය. අගමැති ප්රේමදාස ගේ සමීපතමයෙක් වුන ඔහු සුචරිතය නිවසේ නිත්ය සාමාජිකයෙක් විය. රටේ කර්මාන්ත නගා සිටුවීම රොෂාන් ගජනායක ඉහලින්ම අගය කළ වැඩ පිළිවෙලකි. එයින් ඔහුටද විශාල ලාභ ලැබීමට මංපෙත් විවර වෙමින් පැවතින. පරම්පරාවෙන් ලද වතු ඉඩකඩම් වලට අමතරව ව්යාපාර වලට යාමට සුදුසුම අවස්තාව මෙය බව ඔහු පසක් කළේය.

අගෝස්තු මාසයට දින නියම වුන සිය මංගල්ලය ගැන ඔහුට වගේ වගක් නොවීය. තනිව ගොස් රුක්මා හමු වන මෙන් අම්මා නොයෙක් වර කන්නලවු කරන ලද නමුත් ඔහුගේ කාර්යබහුල බව නිසාම යන්නට නොහැකි විය. එදා උදෑසන ඔහුගේ තුන් වෙනි මහල අලුත් ජෝඩුවට සැකසීමේ විධිවිධාන ගැන මව විසින් සාකච්චා කරන ලදුව ඔහු විසින් කෝපයෙන් බැහැර කරන ලදී.

රුක්මා කැන්දාගෙන ආවද තුන් වන මහලේ ඔහුගේ පුද්ගලික ආගාර වල ඇය සමග පදිංචි වීම මගහැරීමට ඔහු සනිටුහන් කළේය. තමාට රිසි පරිදි ගෙදර සාමාජිකයන්ට කරදර නොකර ඕනෙම වෙලාවක පැමිණීමේ සහ පිටව යාමේ නිදහස තිබිය යුතු බව රොෂාන් විස්වාස කළේය. වැනේසා හමුවී ඕනෙම රාත්රියක පැමිණ තමාට සුපුරුදු ලෙසම නිදා ගත හැක. දෙවන මහලේ රුක්මා සමග පදිංචි වුවහොත් ඔහු එනතුරු පිබිදී සිටීම වැනි අනවශ්ය විකාර වැඩ වලට ඇය හුරු වනු ඇත.

මිතුරන් ගෙන්වා දේශපාලන සාකච්චා පැවැත්වීම වැනි කටයුතු මුවාවෙන් ඔහු තුන් වෙනි මහල තමාගේ නිදහසේ තෝතැන්න ලෙස දිගටම තබා ගැනීමට අධිෂ්ටාන කළේය. ඒ ගැන වැනේසා සමග කිවීමෙන් පසු වැනේසා බෙහෙවින්ම සතුටට පත් වූවාය.

“ අනාත කෙල්ලට හරි තැන මුල ඉඳලම පෙන්වන්න ඕනේ. නැත්නම් කරේ නගින්න එනවා “ වැනේසා සිතුවාය.

එදා සවස අගමැතිතුමා සමග සාකච්චාවෙන් පසු කාර්යාලයට කතා කර සිය ලේඛම් තුමියට ලිවීමට අවැසි ලියුම් ගැන උපදෙස් දීමෙන් පසු කෙලින්ම ගෝල් ෆේස් හෝටලයට ගිය රොෂාන් මිතුරන් කීප දෙනෙක් සමග රාත්රී භෝජනය ගන්නා ලදී. ඔවුන් නැගිටින විට වෙලාව රාත්රී 10 ට කිට්ටු වුන අතර ගාලු පාර ඔස්සේ වැනේසා ගේ නිවස්නයට යාමට යන්නේ විනාඩි කීපයකි. තෙල් පටවාගත් ගොන් කරත්ත කීපයක් හැර ගාලු පාර පාලුවට තිබුනේය. හඬ නැගුන දවසක් බැවින් මුහුදේ අලංකාරය විඳීමට ඔහු රථය සෙමෙන් පදවන මෙන් රියදුරාට නියම කළේය.

උද්යානයට රිය ඇතුළු වන විට එහි වැඩ කරන මහලු සේවිකාව නැවත ඇඳුම් මාරු කරගෙන ඔහුට දොර හැරීමට ඉදිරියට ගියාය. ඔවුනට අනුව ඔවුන්ගේ නියම ස්වාමියා වූයේ රොෂාන් ගජනායකය. ඔවුන්ගේ වැටුප් සහ ආහාර ලැබෙන්නේ කාගේ සාක්කුවෙන්ද යන්න ඔවුන් නිවැරදිව දැන ගත්තාක් මෙනි.

“ නෝනා ඇතුලේ “ යනුවෙන් ආචාරශීලීව කියූ ඇය ඔහුගෙන් තේ හෝ බොන්න යමක් ඇවැසිද යයි ඇසුවේ එපා කීවොත් මැනවයි සිතමිනි. වෙහෙසකර දවස අවසානයේ ඇය නිදන්නට සූදානම් වුනා පමණකි.

“ එපා. මම කෙලින්ම යන්නම්. ගිහින් නිදාගන්න “

ඔහු කරුණාවෙන් සේවිකාවට කියා කෙලින්ම නීතියානුකූල භාර්යාව දකින්නට යන්නක් මෙන් කිසිඳු චකිතයකින් තොරව ඉදිරියට ගියේය. ජුලියන් සහ ඩයනා ජීවත්වුණ උඩුමහලේ කාමර වල ලයිට් එලි දැල්වී තිබුනත් අවේලාවේ රොෂාන් එන දිනවල ඔහු දැකීමට මේ ලමයි දෙදෙනා කොහෙත්ම ආවේ නැත. එසේ වුනේ වැනේසා විසින් දෙන ලද උපදෙසක් නිසා නොව කුඩා කල සිටම ගෙදර පරිසරයට අනුගත වීමක්ම විය.

ඔවුන් දෙදෙනා හමු වූයේ සති දෙකකට පසුය. කාමරයේ උෂ්ණය අධික වූ නිසා ඔවුන් දෙදෙනා ජනේලය හැර දමන විට මධ්යම රාත්රියත් පසු වී තිබුණි.

රොෂාන් තවත් ගැහැනියකට නීතියෙන්ම අයිති වීමට ආසන්නයේ සිටියෙන් වැනේසා සිටියේ වැනෙන පහන් දැල්ලක් මෙන් චන්චලවය. ඔහුගේ පැමිණීම ඇගේ සිත පහන් කිරීමට සමත් විය. ඔහු සමග බැඳී දීර්ඝකාලීන සෙනෙහසට අමතරව තමාගේත් දරු දෙදෙනාගේත් අනාගතය ඔහු මත රැඳේ. හදිස්සියේ ආගන්තුක භාර්යාව ගේ පාශයේ වැටෙන ඔහු තමා අතහැර දැමුවොත්?

ඔහුගේ අනියම් භාර්යාව ලෙස සිටින තාක් කල් ඇයට මුහුණට මහත් ගෞරවයෙන් සලකන සමාජය ඇය පත්කරන තැන හිතීමට වත් නොහැකි තරම් බිහිසුණුය. දැනටත් ඔවුන් තමා ගේ පිටුපසට සිනා සෙන බව ඇය දනී. ගැහැණු ඇයට ඊර්ශයා කළේ ඇය පිරිමි දෙදෙන්කුගෙන්ම ලබන ආදරය සහ සැප සම්පත් නිසාය. බොහෝ දෙනෙක් තමාට වැනේසා විඳින සැප සම්පත් මිල මුදල් විඳින්නට නොලැබීමේ තරහව පිට කලේ ඇයට ද්වේශ කිරීමෙනි. වැනේසා මහා අපරාධකාරියක ලෙසත් තමන් ඉතාම සුචරිතවත් මිනිසුන් බවත් ඔවුහු පුන පුනා කියා ගත්ත. එමෙන්ම රොෂාන් ගජනායක වැනි ධනවතෙක් තමාගේ ජීවිතයට ඇතුල් නොවීමේ වේදනාවද ඔවුන්ට තදින්ම දැනුණි.

තමා දිගටම තුන් වන මහලේ සිටින බවත් භාර්යාව මව සමග දෙවන මහලට දමන බවත් රොෂාන් කීවේ සැහැල්ලුවෙනි. මේ පුවත සමග වැනේසා ඉමහත් ප්රීතියට පත් වූවාය. තමාට පස් පාගන්න බැරි වුන තැන රජවෙන්න යන රුක්මා කෙරෙහි වැනේසා තුළ ඇති වූයේ කිව නොහැකි තරම් කෝපයකි.

“ එයා ඔයාව බඳින්නේ ආදරේකට නෙවේ රොෂාන්. එයාට ඕනේ ඔයාගේ සල්ලි “

“ ඒ ළමයා අහිංසකයි. ඩයනාට වඩා චුට්ටක් ලොකුයි. එයාට යන එන මන් නැති නිසා තමයි කැමති වෙන්න ඇත්තේ. අනික තාත්තා එයාගෙන් කැමැත්තක් අහන්න නැතුව ඇති” රොෂාන් කීවේ රුක්මා සමග අමනාප වීමට ඔහුට කිසිම හේතුවක් නැති බැවිනි. ඔහු ඇයට අනුකම්පා කළේය.

මේ පිළිතුරෙන් වැනේසා උදහස් වුවත් ඒ බව රොෂාන්ට නොපෙන්වන්නට පරිස්සම් වූවාය. එබැවින් කතාව පරිස්සමෙන් වෙනතක යොමු කළේ ඊළඟට එන දිග සති අන්තයේ යන තැන ගැන ඇසීමෙනි.

“ බලමුකෝ … මේ දවස් වල සේරම වැඩ මගේ ඇඟ උඩට වැටිලා. අගමැති තුමා එක්ක වැඩ කරන එකත් එකම විදිහේ කෝච්චියකට අහු වුනා වගේ වැඩක්” මේ පිළිතුරෙන් ඇගේ මුහුණ පරවුණ බව දුටු හෙතෙම ඇගේ බඳ වටා අත යවා තමා වෙතට ඇද ගත්තේය.

“ මා නිතර හමු නොවුනත් මගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ” ඔහු ඇගේ උරහිස සිපගෙන පවසන ලදී.

“ දැන් ඉක්මනින් හැම දේම වෙනස් වේවි “ යනුවෙන් ඇය කීවේ දෙනෙතේ කඳුළු මෝදු කරගෙනය.

“ එහෙම වෙන්නේ නැහැ සීදේවි…. මගේ ජීවිතේ ආදරය ඔයා බව ඔයා දන්නවා. මේක වචන ඔප්පු කරන්න වෙලාවක් නෙවේ වැනේසා. මාව විස්වාස කරන්නේ නැතිද ?”

“ විස්වාස නැත්නම් මගේ මුළු ජීවිතේම හැම දෙයක්ම රොෂාන් වෙනුවෙන් කැප කරනවද ? කන්දප්පා මට මුකුත් නොකියන්නේ රොෂාන්ට බය නිසා. රොෂාන් මා ළඟ නැති දවසක ඔහු මීට වෙනස් විදිහට හැසිරෙයි. ඔහු ඇසුරු කරන ගැහැනියක් ඉන්නවා. ඔහු මට ආදරේ නැහැ.”

“ ඒ මනුස්සයාට වරදක් කියන්න බැහැ. ඔයා එක්ක තවමත් සමාජය ඉදිරියේ සැමියා විදිහට පෙනී ඉන්න එකම මදිද? රුක්මා මාව බඳිනවා කියල අහන ටිකට ඔයාට මෙච්චර දුකක් දැනෙනවා නම් නිකමට හිතන්න කන්දප්පා ගැන…..”

කන්දප්පා ගේ සමබන්ධය ආරංචි වුන විගසම හොඳටම තරහ ගෙන කටයුතු කළත් ජීවිතේ පළමු වතාවට ඔහුගේ තත්වය අවබෝධ කරගැනීමෙන් වැනේසා නිරුත්තර වූවාය. ඔහු තමා සමග විවාහ වූයේ අතිශය සතුටිනි. අවංක හිතෙනි. තමාද ඔහු හා විවාහ වූයේ රොෂාන් තමා අමතක කර රට යාමෙන් පසුය. නමුත් සිදු වූයේ කුමක්ද? නැවත හැරවිය නොහැකි ලෙස සියලුම දෙනාගේ ජීවිත කණපිට පෙරලී ඇත. ඒ විකුර්තිය ප්රකුර්ති කරවීමට බැරි තරම් බොහෝ දේ තමාට අහිමිව ඇත.

ලිඳේ වැටුන මිනිහා එහි කටින්ම ගොඩ ආ යුතු මෙන් රොෂාන් තදින් ඇද බැඳ තබාගනිමි යි වැනේසා දැඩි අදිටනට පැමිණියාය. රූපය ගැන වඩා සැලකිලිමත් වීමටත් , සුන්දරව ඇඳුම් පැළඳුම් කිරීමටත් , ගෙදර රොෂාන්ට වඩාම ප්රියකරු ස්ථානයක් බවට පත් කරන බවටත් ඕ සපත කළාය.

ගෙදර නොයා රොෂාන් එදා රාත්රිය වැනේසා ගේ නිවසේ පහන් කළ අතර දින දෙකකින් කන්දප්පා ජුලියන්ගේ කොන්සට් එක වෙනුවෙන් පැමිණීමට නියමිත බවත් දැන ගන්නා ලදී. එමෙන්ම මාසයේ වියදම පිණිස මුදල් රියදුරු අතේ වැනේසා ට එදා සවසට එවීමට ඔහු පොරොන්දු විය. තරුණ නිලියක් ආරම්භ කළ සැලුන් එක බම්බලපිටියේ තිබුන අතර එහි යාමට අමතර මුදලක් වැනේසාගේ මාසික දීමනාවට එකතු කිරීමට රොෂාන් පොරොන්දු විය. සේවක වැටුප්, ගෙදර වියදම්, ළමයින්ගේ වියදම් සියල්ලම අත දිගහැර වියදම් කළේ රොෂාන් විසිනි. වැනේසා ඇඳුම් පැළඳුම් සහ රූපලාවන්ය වෙනුවෙන්ද සැලකිය යුතු මුදලක් වෙන් කලාය.

ඊට අමතරව රොෂාන් විදේශ වල සිට එන සැම විටම වැනේසා වෙනුවෙන් ඉතා අලංකාර ඇඳුම් ගෙන ආවේය. රූපලාවන්ය නිෂ්පාදන ගෙන ආවේය. ඔහු ඇයට බෙහෙවින්ම ඇලුම් කෙළ්ය.

වැනේසා සමග සති දෙකකට පසු හමු වීමේ ප්රීතිය සමග රොෂාන් ගෙදර යන විට ළමාතැනී හිටියේ තරහෙන් පුපුරමිනි. ඔහු සාලයේ සිටි ඇය නොතකා උඩුමහලට නගින විට “ පුතා ඔහොම නවතින්න “ යනුවෙන් තදින් කතා කළාය.

“ ඇයි අම්මා? “ ඔහු ඇසුවේ විමතියෙනි. මෙය මෙසේ සිදු වුන පලවෙනි වර නොවේ.

“ පුතා ඊයේ රෑ හිටියේ කොහෙද කියල මම දන්නවා.” කීවේ කෝපයෙනි.

“‘ ඉතින් අම්මේ මොකද්ද ප්රශ්නය ? ඔහු ඇසුවේ අතේ වූ රොලෙක්ස් ඔරලෝසුව දෙස බලමිනි ඔහු දැනටම ප්රමාදය. බැංකුවට ගොස් කිරීමට කටයුතු රැසක් තිබේ.

“ උඹ දැන් හෙට අනිද්දට කසාද බඳින්න ඉන්න මිනිහෙක්. අර පිනි ජම්බු මලක් වගේ කෙල්ලෙක් ගේන්න කට උඩ තියාගෙන වේස ගෙවල් අස්සේ රිංගන්න ලජ්ජා නැතිද ?” ඈ කීවේ සේවකයන් නැති බව සැකහැර දැනගෙනය.

“ අම්මේ මගේ වැඩ මම බලාගන්නම්. අම්මා මා ගැන කරදර වෙන්න එපා “ යයි කෝපයෙන් කීවේය.

“ පුතේ ඕනේ දෙයක් කරන විදිහක් තියනවා. ඔය ගෙරිකුන බෙල්ලේ එල්ලගෙන කන්න ඕනේ නැහැ. උඹේ තාත්තා කවදාවත් ගෙරිමස් ගෙදරට ගෙනාවේ නැහැ. යන තැනක කාල ආවා විතරයි .” කියමින් රෝස්ව අසුනින් නැගිට්ටාය.

“ දෙවියන්ගේ නමට උඹ මේ කසාදෙත් නතර කරොත් මම නැහැ කියල හිතා ගනින්” කියමින් කාමරයට ගියේ එළිපිට හඬන්නට නොහැකි හෙයිනි.

“ එහෙන් මගේ ගෑනි..මේ පැත්තෙන් අම්මා…මේ දෙන්නම දෙපැත්තට වෙලා මාව ඉරනවා. මදි හරියට දැන් තවත් ගෑනියෙක් මැදට එන්න හදන්නේ. වෙලාවක හිතෙනවා මුන් සේරම අතහැරලා දාල කොහේ හරි යන්න “ සිතමින් රොෂාන් අසල වූ කනප්පුවකට පයින් පහරක් එල්ල කරන ලදී.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article