කුල ගෙය – Episode 05

Apr 3, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

ගෙදර පැමිණි විගස ඇඟ හෝදාගත් රොෂාන් සැහැල්ලුවෙන් සිය කබඩ් එකෙන් වීදුරුවක් ගෙන විස්කි ෂොට් එකක් දමා ගත්තේය. ඔහු කවදත් ප්‍රිය කරන බීම විස්කි වුන අතර ඔහුගේ ප්‍රයෝජනයට එංගලන්තයෙන් ගෙන්වන මිල අධික විස්කි විශේෂයක් ඇතුළුව තවත් සුපිරි බීම වර්ග රාශියක් ඔහුගේ කබඩ් එකේ තිබුනේය. යහළුවන් ගෙන්වා ගැනීමට, නොයෙක් ආකාර දේශපාලනික සාකච්චා පැවැත්වීමට තුන් වන මහල සම්පූර්ණයෙන් වෙන් වුන අතර ගාමිණී හැර වෙන කිසිවෙක් කවදාකවත් මෙම මහලට එන්නේ නැත. ළමාතැනී පවා මෙහි ගියේ නැත. නමුත් ඔහු කවදාවත් වැනේසා මේ නිවසට ගෙන්වා ගත්තේද නැත.

Continue Reading Below

රොෂාන් හිඳගෙන සිටියේ ඔහුගේ උද්‍යානයෙන් එන මද සුළඟ හමන බැල්කනියේය. බැල්කනියට ඇතුල්වීමට හැකි වූයේ ඔහුගේ කාර්යාල කාමරය සහ පුස්තකාලය ලෙස භාවිතා කරන කොටස තුලිනි. පරම්පරා ගානකට අයත් වටිනා ඉංග්රීසි , සිංහල, සකු, මාගධ නොයෙක් පොත් රාශියක් එහි විය. විස්කි උගුරින් උගුර පහලට වැටෙද්දී ඔහුගේ හිතේ තිබුන අඳුර පහව ගියේය.

“පොඩි කෙල්ල. ලස්සනයි. මට හිරිහැරයක් නොකර හිටීවි. අම්මත් ආසයි වගේ. “ ඔහුට දැන් දැන් විවාහයේ හොඳ පැති පෙනේ. ඔහුගේ ගතට වෙහෙසය . නැත්නම් ඔහු වැනේසා හමු වී එන්නට තිබුණි. මෙවැනි වෙලාවට ඔහු බොහෝ විට කල්පනා කරන්නේ වැනේසා කුමක් කරනු ඇතිද යන්නයි.

වැනේසා ස්වභාවයෙන්ම ප්‍රියකරු ලඳකි. කාමය නමැති ඒ අමාව පොවමින් මිනිහෙක් සදහටම පිපාසයෙන් වේලවන්නට පුළුවන්කමක් ඇති ගැහැණියකි. ඔහුගේ නීත්‍යානුකූල භාර්යාව නොවීමේ වාසිය ලෙස ඔහු දුටුවේ ඔවුන්ගේ ආදරය කවදාවත් පරණ නොවීමයි.

ඔහුව තමා වෙත බැඳ තබා ගැනීමට හැමදාම අලුතින් යමක් සොයා ගැනීමට වැනේසා සමත් වූවාය. අනික් අතින් වැනේසා ඔහුගේ හොඳම මිතුරියයි.

“ බැන්දහම සමහරවිට මට ඉස්සර වගේ වැනේසා එක්ක හැම තැනම යන්න බැරි වේවි. හැබැයි මට ඇය ව නැති කරගෙන ජීවත් වෙන්න බැහැ ….. “ ඔහු කල්පනා කළේය. එමෙන්ම කන්දප්පා පවුලටද ඔහුගෙන් ලැබෙන පල ප්‍රයෝජන නැතිව ජීවත් විය නොහැකි බව ඔහු හොඳින්ම දැන සිටියේය.

වෙහෙස නිසා ඉක්මනින් නින්දට වැටුන රොෂාන් හොඳින් නිදා ගත්තේය.

ලාල් ද හිතේ බර සැහැල්ලු වීම නිසා නින්දට වැටුනත් මධ්‍යම රාත්‍රියේ අවධි වූයේ භයානක හීනයක් දැකීමෙනි. ඔහුගේ මියගිය පලවෙනි බිරිඳ…රුක්මාගේ මව… දුර ගමන් යන බසයක් වැනි යමකින් බැස ආවාය. ඇගේ බසය පැදවූයේ කළු වෙස්මූනකින් මුහුණ වසාසිටි මිනිහෙකි. ඇය එදා මෙන් තරුණව ඔහු ඉදිරියේ පෙනී සිටීම ගැන හීනෙන් ඔහුට ඇති වූයේ විමතියක් බව මතක තිබුණි. ඔහු ඉදිරියට සෙමෙන් සෙමින් පැමිණි ඇය අඩියක දුරක් තබා නතර වූවාය.

ලාල් ඇය අල්ලන්නට තනන විටම ඕ ඔහුගේ මුහුණට කෙළ ගැසුවාය. ඉක්බිති වහා තමා පැමිණි බසයට නැග යන්න ගියාය. බයෙන් ඇලලුන ඔහු නැගිට්ටේ දාඩිය දාගෙනය. ශ්රීමතී නැගිට වහා ඔහුට වතුර වීදුරුවක් දුන්නාය.

එලි වෙන තුරුම ඔහුට නින්ද ගියේ නැත. තමා දුවට යහපතක් කරන්නට උත්සහ දැරුවද කුමක් හෝ නරකක් වුනාද ? ඔහු නැවත නැවත කල්පනා කළේය. ජීවත් වන මිනිසුන් සමග කළහ කිරීමට, දුෂ්ටකම් කිරීමට බය නැති වුනත් ශ්රීමතී මියගිය අයට භය වූවාය. එබැවින් රුක්මාගේ මවට වචනයක් වත් නොකීමට ඇය පරිස්සම් වූවාය.

තමා බිරිඳගේ මරණයෙන් පසු දුව හදා වඩා ගැනීමට කටයුතු කළ අයුරු ඔහු නැවත නැවත මෙනෙහි කළේය. අවන්කවම ඔහුගේ හිතේ දුව කෙරෙහි වූයේ අප්රසාදයකි. ඇය කෙරෙහි ඔහුගේ දෙවෙනි බිරිඳගේ අකමැත්ත ගැන ඔහු බිරිඳ සමග පරල වුනේද නැත. ඇය හොස්ටල් දමා මාසික ගාස්තුව ගෙවා දැමීම පහසු විය. නිවාඩු මාසයේ අනික් ළමුන් ගෙදර එක්ක ආව නමුත් රුක්මාව ඔහු ගෙදර ගෙනාවේ කලාතුරකිනි. රුක්මාට කරන වියදම් ගැන ශ්රීමතී බැන්න වෙලාවක පමණක් ඔහු “ ඒ එයාගේ අම්මගේ දේපොලෙන් එන ආදායම්. ඔයාට අයිති මගේ දේවල් විතරයි. රුක්මා වෙනුවෙන් මම මගේ දේවල් වියදම් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාට ඒ ගැන හොයන්න දෙයක් නැහැ “ යයි කීවේය.

“අම්මගේ වතු යාය අනිවාරයෙන්ම කෙල්ලට ලියන්න ඕනේ. නැත්නම් මහ ගෑනි වලේ ඉඳල නැගිටලා මගේ පස්සෙන් ඒවි” ඔහු හීනයෙන් බියපත්ව තමාටම කියා ගත්තේය.

තාත්තා මේ අයුරින් පිබිදී මනෝ විකාර සිතමින් රාත්රියෙන් අඩක් නිදි වර්ජිත වුනත් රුක්මා මුළු රැයම නොනිදා සිටියාය.

ළඟ එන අලුත් ජීවිතය ගැන බයක් මෙන්ම තිගැස්මක් ඇති වූයේ රොෂාන්ට කොහෙත්ම තමා සමග කතා කිරීමට පවා අවැසි නැති බව ප්‍රත්‍යක්ෂ වීමෙනි. මේ විවාහය නොකර ඉන්න ක්‍රමයක් ඇතිද ඕ මුළු රාත්‍රියම කල්පනා කළාය. තාත්තාට මේ ගැන කියා සිටීම කොහෙත්ම නොකළ හැක්කකි. ඔහු සමග විවාහ නොවෙනවා නම් තමා කොහේ ඉන්නද? දැනටම තාත්තා ලොකු ගැටුම් වලට මැදිව සිටින බව ඇය දනී. පුදුමාකාර අසරණ බවක් ඇයට දැනුණි.

විවාහය අනිවාර්යයෙන්ම තව මසක් හෝ දෙකක් ඇතුලත සිදුවේ. උත්සවයට සූදානම් වෙන්නට තමාට ලොකු වෙහෙසක් දරන්නට වෙන බව ඇය දනී. මනමාලියක් වීමට රුක්මා තුළ වූයේ දැඩි ආශාවකි. නමුත් මංගල රාත්‍රියේ අර ගුප්ත මිනිසා සමග තනි වීම නම් ඇයට කොහෙත්ම දරා ගත නොහැකි විය. සැමියෙක් කියා ඇය බලාපොරොත්තු වුනේ ඇයට වඩා වසර කීපයක් වැඩිමාලු නංගිට ටියුෂන් දෙන්නට එන තරුණ විශ්ව විද්යාල ආචාර්ය වරයා වැන්නෙකි. කදිම ඉලන්දාරියෙක් වන ඔහු ඇතැම් විට රුක්මා සමග කතා කරයි. නංගිගේ පාඩම් වැඩ ගැන ඇයට උපදෙස් දේ. ඇතැම් විට ඔවුන් දෙදෙනා කියවන ලද පොත් ගැන පවා හුදු මිතුරන් මෙන් කතා කර ඇත.

එවැන්නෙක් සමග තමාගේ මුළු ජීවිත කතාවම කියන්නට රුක්මාට අවශ්ය වේ. ඇයට වුවමනා ගැහැණිය සහ මිනිසා ලෙස තනිවන පළමු රාත්රියේ ඇගේ ජීවිතේ අස්සක් මුල්ලක් නෑර ඔහුට හෙළි කරන්නටය. වෙන එකක් තබා ඇගේ හිතේ ලොකු භයක් තිබේ. එනම් ගෙදර පිරිතක් තිබුන දිනක ගමෙන් ආ ශ්රීමතී ගේ ඥාති ගැහැණියකගේ සැමියා නිදා සිටි තමාගේ කකුල් අතගාමින් සිටින විට හදිස්සියේ බය වී නින්දෙන් ඇහැරීම නමැති බිහිසුණු සිද්ධියයි. එය වන විට රුක්මාගේ වයස යන්තම් අවුරුදු 12 කි. මේ ගැන කාට හෝ කීවොත් මරණ බවට ඒ මාමා තර්ජනය කළා ඇයට මතකය. ඒ බිහිසුණු මතකය කියන්නට..කියා තමාව ආරක්ෂා කරගන්නට ඇයට නයිට් වරයෙක් ඕනෙය. නමුත් රොෂාන් ගජනායක කොහෙත්ම ඈ සමග සංවාදයක් පවත්වන්නට සමත් වේද?

මේකෙන් ගැලවීමට ක්‍රමයක් ඇයට හිතා ගත නොහැක. අර තරුණ විශ්ව විද්යාල ආචාර්ය වරයා සමග පැන යාමට තමාට නොහැකිද ?

ඒ මොන විකාර කතාවක්ද රුක්මා? උඹට පිස්සුද? ඒ මනුස්සයා හිතයි උඹට පිස්සු කියල. ඔහුගෙන් තමාට කවදාවත් විනීත ආචාරයක් හැර වෙනත් ඉඟියක් වත් ලැබී ඇත්දැයි එකින් එක මෙනෙහි කළ නමුත් එවැන්නක් සොයා ගැනීමට අපොහොසත් වීමෙන් රුක්මා බලවත් ලජ්ජාවකට පත් වූවාය.

එහෙනම් මම රටකට ගියොත්? ඒත් මම යන්නේ මොන වගේ දෙයක් කරන්නද? මේ කිසිවක් ගැන හිතා ගැනීමට ඇයට නොහැක. හොස්ටල් එකේ සිස්ටර්ස් ලා සමග අස්වාභාවික ලෙස බියගුළු කරන ලද දැඩි ළමා වියක් ගෙවූ රුක්මා පෞර්ශයෙන් දුබල කෙනෙකි. අලුතින් කිසිවක් කර ගැනීමට තමා අපොහොසත් බව ඇය තීරණය කළාය.

මම මහා කාලකන්නි කෙල්ලක්. අම්ම මැරුණා. තාත්තා මට කවදත් කැමති නැහැ. කුඩම්මා මට වෙනසකම්මයි දකින දවසේ ඉඳල කරේ. මගේ යාළුවො කොතරම් හොඳ වුනත් ඔවුන් දැන් ඔවුන්ගේ ජීවිත වල… මම අසරණ වෙලා කියා සිතමින්ම අවසානයේ මේ විවාහයට මුහුණ දෙන්නට තීරණය කළාය.

හේතුවක් නැතිවම ඇගේ දෙනෙතින් කඳුළු කඩා හැලෙන්නට විය. කොට්ටය තෙත් වෙන තුරුම පුංචි කාලයේ අනන්ත වාරයක් කළ අයුරින් රුක්මා නැවත වරක් හැඬුවාය. ඇගේ දුක කාටවත් දැනෙන්නට හඬන්න උරුමයක් නැති බව ඇය දන සිටියාය.

ශ්රීමතී කුඩා කළ ඇයට ගසා අඬනවා නම් කට වසාගන්න කියා තවත් ගැසුවාය. මෙයින් හටගත් පුරුද්දෙන් තව ගුටි කන්නට වෙනු ඇතැයි සිතා ඇය හැඬුවේ රහසිනි. හොස්ටල් එකේදී දෙවතාවක් සියදිවි නසා ගැනීමට සිතුවත් ජීවිතේ කුමක් හෝ ගැලවීමක් ඇති බව ඉඳුරා විස්වාස කළ ඇය එසේ නොකළාය. දැන් ඉතින් අලුත්ම වෙනසක්…… ඒකටත් මුහුණ දී බලනවා.

මේ අතර උදෑසනම රොෂාන් සමග කතා කළ ළමාතැනී හැකි ඉක්මනින් තිබෙන නැකත තෝරාගෙන විවාහයට දින නියම කරන ලෙස හඳහන් බලන තැනැත්තාට දැන්නුවාය. ඔවුන්ගේ බලවත් සතුටට රොෂාන්ගේ සහ රුක්මාගේ හඳහන් ඉහළින්ම ගැලපෙන බව සනාත විය. දරු සම්පත් 4 ක්ම ඇති බව ප්‍රීතියෙන් ඉපිලුන ළමාතැනී ශීලාට කීවාය. මුළු ගෙදරම මංගල ප්‍රීතියක් ඇති විය. රැජින පාරේ සිට රොස්මිඩ් පෙදෙසට වැඩි දුරක් නොමැත.

මේ පරම්පරාවේ සිටින එකම පිරිමි පුරුක සුදුසු උසස් කුලවත් තරුණියක් සමග විවහා වීම ළමාතැනී ගේ සිත සතුටින් පුරවාලූ නිසා ඈ වෙනදාට වඩා නිරෝගීව කඩිසරව සිටියාය. තම ලේලිය කිසිත් නොදන්නා ළදරුවෙක් වීම ඇගේ සතුටට හේතු විය. මීට පෙර කතා කළ බොහෝ මනමාලියෝ රොෂාන්ට ටික දිනකින්ම අකමැති වූයේ ඔහුගේ සහ වැනේසා ගේ සම්බන්ධය ගැන දැන සිටි නිසාය. තමාගේ විසාලම තරහකාරිය වන වැනේසා මෙයින් වැඩියෙන්ම පීඩාවට පත් වන බව ඇය දැනගෙන සිටියාය. මගුල කැඩීමට ඈ ඕනෙම පියවරක් ගනු ඇත. එබැවින් තමා කල්පනාකාරීව මෙවර හැසිරිය යුතු බව ඕ ප්රත්යක්ෂ කර ගත්තාය.

“ ළමයෙක් හම්බ වෙනකම් තමා බය ශීලෝ . එතකොට නම් ඉතින් පවුල කඩනවා බොරු” ඇය හැන්දෑවේ උද්යානයේ ඉඳගෙන සිටින අතරතුර ශීලාවතීට කීවාය.

“ ළමයි හම්බ වුනාම පිරිමි ගෑනුන්ට ආණ්ඩු මට්ටු වෙනවා අපේ හාමිනේ. හැබැයි ඉතින් රොෂාන් බේබි වයස වැඩි නිසා රුක්මා හාමු බය කර ගනීද දන්නේ නැහැ. අර ලංසි නෝනත් එක විදිහක්නේ “

“ ඔවු ශීලෝ… කසාදෙට කලින් ආයෙට් ගිහින් උඹ බුලත් තියල බලහන් . මොනා හරි උන් මේකට කවල නම් අයින් කරවන්න ඕනේ. කොහෙද අපේ එකා ඒකටම වහ වැටිලා ඉන්නවා මිස මම කියන දෙයක් කනකට ගන්නේ නැහැනේ.”

“ රොෂාන් බේබි මාසෙට බර ගානක් වියදම් කොරනවලු උන්ට… උන්නේ මිනිහා රොෂාන් හාමු ගෙදර එද්දී පස්සේ දොරින් බැහැල යනවලු. මට කීවේ ඩයිවර කොලුවා. “ ශීලා කීවේ වටපිට බලා රහසිනි.

“ හම්බු කොරාගෙන කන සාස්තරණේ ශීලෝ. නැත්තන් ඉතින් කවද අහපු කුනුහරපද මේවා? තුක් විතරක්. මට ඔකිගේ අම්මට දෙකක් කියාගන්න බැරුව මම ඉන්නේ. ඕකුන් ගෙට දාගත්තේ මමනේ. බර්නි හාමුට උයන්න පිහන්න, ඔය රෙදි මහන්න ඕවා උගන්වන්න කියල මමනේ ඕකුන්ව ගෙට රිංගවා ගත්තේ “

ශීලාවතී ඊළඟ සතියේ සාස්තරයක් ලැබීමට ගියාය. එහි කියූ පරිදි ඉනාවක් කැවී ඇත. ඉනාව අයින් කරවීමට යමක් රොෂාන්ට කැවීමට නොහැකි නිසා ඉරි පැන්නුමක් පැන්නවීමට විධි විධාන දෙදෙනා විසින් යොදවන ලදී.

රොෂාන් උදේ පිබිදී තුන් වෙනි මහල පසුකොට දෙවෙනි මහලට එන විට පාගන්නට දෙවෙනි මහලේ කාර්පට් එකක් යට ඉරි පැන්නුම ස්ථාන ගත කරන ලදී. නිසි වෙලාවට රොෂාන් පෑගීමෙන් පසු ඩ්රයිවර් කොලුවා ලවා ගලන වතුරකට එසැනින් විසික් කළ නමුත් වැඩේ හරි ගියේ නැත. නැවත සාස්තරය බැලු විට පෙනී ගියේ ළමාතැනී ගේ සැලසුම කලින්ම ඉව කළ ගාමිණී විසින් සිය හාම්පුතා පැනීමට පෙර ඔහුගේ දඩෝරි බලු තඩියා කොකෝ ඊට පෙර පන්නා ඇති බවයි.

රොෂාන් ගේ පුද්ගලික සේවකයා වුන ගාමිණී සේවකන් අතර රජතුමා මෙන් හැසිරුණේය. එමෙන්ම වැනේසා කෙරෙහි අධික භක්තියක් ඔහුට තිබුනේ වැනේසා ගේ සේවිකාවක් ගාමිණී සමග අනියම් සම්බන්ධයක් ඇති නිසා යයි හැමෝම විස්වාස කළහ. සිය ස්වාමියාගේ සතුට වෙනුවෙන් ඔහු වැනේසාට කොන්දේසි විරහිතවම පක්ෂපාත විය.

“ ලොකු හාමු මේ ගෙදර විස්වාස කරන්නේ මාව විතරයි” යන්න නිතරම ඔහුගේ මුවින් පිට විය.

ළමාතැනී මුල් කල ඔහුට ප්රිය කළ නමුත් ඔහුට ඇති තැන සහ ඔහු විසින් වැනේසා කෙරෙහි දක්වන පක්ෂපාතීත්වය නිසා වෛර කළාය. නමුත් ඔහු සේවයෙන් ඉවත් කරවීමට ළමාතැනීට වත් නොහැකි වීම ගැන ගාමිණි සිටියේ ආඩම්බරයෙනි.

“ නාකි ගෑනි හෙට අනිද්දට මැරෙනතුරු ඔහේ උඩුබුරපුදෙන් .” ඔහු මූනට ළමාතැනීට ගරු කළත් මුළු හදින්ම ඇයට අප්රිය කළේය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article