කුල ගෙය – Episode 04

Mar 27, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය“

මගුල් ගමන ගැන රොෂාන් ගජනායකට කිසිඳු හදිස්සියක් හෝ ආශාවක් තිබුනේ නැත. ඔහු මේ වන විටත් ඇය විවාහ කර ගැනීමට තීරණය කර තිබුණේය. ඇත්තටම මනාලිය ගෙන එන්නේ අම්මාටය. අම්මා ඔහුගේ ජීවිතේ පළමුවන ගැහැනියයි. ඇයට ඇගේ දේපොළ, වංශය ඉදිරියට ගෙන යාමට මුනුබුරු, මිනිබිරියන් වුවමනාය. ඇයට සුරතල් කිරීමට වංශවත් රුධිරය වුවමනාය. තමා ඇයට අඩු නැතුව ඒ දේ ගෙනෙත් දීමට තීරණය කර ඇත.

Continue Reading Below

වැලිපැන්නේ ළමාතැනී මේ කසාදය ගැන ඇහුව වෙලේ සිට සිටියේ දැඩි ප්‍රීතියකිනි. වෙනදා තිබෙන කොන්ද අමාරු නොතකා ඕ ප්‍රීතියෙන් ඔබ මොබ ගියාය. මිදුලේ මල් පාත්ති අතර ඇවිද ඒවාට කතා කළාය.

“හැමදාම මටම මේවා බලන්න පුලුවනිද ? හෙට අනිද්දට උඹලට ගැලපෙන ලස්සන හාමු කෙනෙක් එනවා. එයාට ඕනේ විදිහට තමා ඊට පස්සේ වැඩ වෙන්න ඕනේ” ඕ සේවක රොත්තට වාගාඩම්බර කීවාය.

“අද කාලේ නෝනලාගේ පැෂන් වෙනස්නේ. උඹලට ඒ විදිහට හැදෙන්න වේවි. බේබි හාමු ගේන අලුත් හාමු පොඩි කෙල්ලෙක් ” ශීලාවතී ද සිය ස්වාමි දුවගේ හයිය අරගෙන හැමෝටම අවවාද කළාය.

සිය අනාගත ලේලියට සිය ලේලියට මගුල් මාලය ලෙස තම ආච්චම්මාට පරම්පරාවෙන් ලැබුන ඓතිහාසික මාලය පළඳන්නට ළමාතැනී සනිටුහන් කර ගත්තීය. ලේලිය බලන්න යන දවසට ගෙන යාමට පැජට් පාරේ මල් කඩේට තමා විසින්ම ගොස් විසාල මල් මිටිකට මුදල්ද බැන්දාය. එදාට තෑගී ලෙස ඒ නිවසට ගෙන යාමට කැවිලි / පෙවිලි හදවා විසාල කෙසෙල් කැනක් බා ගත්තීය.

“මේවා ඉතින් චාලිත්තර මිස කවුද ඔය හැටි කන්නේ ?” ශීලාවතී ගේ ප්රතිචාරය එය විය.

“උඹට පිස්සුද ශීලෝ? ඒ ගෙදර ලොකුම ළමයා තමයි රුක්මා හාමු. තව පුංචි ළමයි 4 ක් ඉන්නවා. ඒ ළමයි කාවි. “ කියමින් තව කොන්ඩ කැවුම් වලටත් පිටි දැම්මාය.

සෙනසුරාදා උදේ රොෂාන් ගජනායක සාමාන්‍ය ලෙස සැරසී එලියට බසින්නට හදන විට මගුල් ගෙදරකට යන්න මෙන් සැරසුන අම්මා දැක පුදුම විය.

“අනේ පුතේ… ඔය තාම ඇඳ ගත්තේ නැද්ද? නැකතට තව ටික වෙලාවයි තියෙන්නේ….ආ ජාසෝන් මේ කෙහෙල් ඇවරිය පොඩි වෙන්න දෙන්න එපා… ශීලෝ මල් පොකුර පරිස්සමෙන් දාපන් කාර් එකට…”

කාර් එකේ තිබුණ බඩු ගොඩ දකින රොෂාන්ට හිනා නොවී සිටිය නොහැකි විය.

“අම්මේ මම මෙහෙම යන්නම්…” කියා ඔහු සිනාසුනේය.

“අනේ පුතේ දැන් අපි යන ගමන් පන්සලටත් ගිහින් ආශිර්වාද අරගෙන යන්නේ. අර කාමරේ මැදලා තියන සුදු අත්දිග කමිසේ අඳින්න”

“ගාමිණී උඹ හාමුට දුන්නේ නැද්ද මම ඊයේ කිවුව කමිසේ. බලපල්ලා උඹලා කොතෙක් හිටියත් මම නැත්නම් මොකුත්ම වෙන්නේ නැහැ.

අකමැත්තෙන් කමිසය මාරු කළද මල් ගෙනයාම ගැන රොෂාන් ගේ හිතේ හටගත්තේ නොමනාපයකි. වැනේසා ප්‍රිය කරන්නේ මෙවැනි මල් වලට නොවේ. ඇය ඒරන් ලිලී වලට ප්‍රිය කරන නිසා ඔහු මසකට වරක් මල් කරුවෙක් ලවා ඒරන් ලිලී විශාල ගණනක් නුවර එළියෙන් ගෙන ඒ. ඔහු විසින් ඇයට තෑගී දී ඇති නුවර එළියේ නිවාඩු නිවස වටේම ඒරන් ලිලී වවා ඇත. රොෂාන් සහ වැනේසා දරුවන් සමග විවාහක යුවලක් මෙන් එහි නිතර යයි. රාජකාරිය සමග තවත් කාර්ය බහුල වන කන්දප්පා කිසි විටෙක මේවා ගැන රොෂාන් සමග කතාවට ආවේ නැත. රටේ ජාතික කෝලාහල මුල් අදිමින් තිබුන අමුතුම නිහඩ කාලයක් නිසා හමුදා වල සිටි සීමිත සාමාජිකයන්ට රාජකාරි තිබුණි. ඉන් පසු මහා යුද්ධයක් එන බව ඔවුන් හීනෙකින් වත් නොසිතූහ.

අද දින උදයේ වැනේසා ගෙන් ලද දුරකථන ඇමතුම නිසා ඔහු මදක් වේදනාවෙන් සිටියේය.

වෙන අවස්ථා වල ඔහු වෙනත් ගැහැනුන් විනෝදය තකා ඇසුරු කිරීම වැනේසා එතරම් ගණන් ගත්තේ නැත. නමුත් මේ විවාහය ඇගේ හිතේ අකුණක් ගැහුවාක් වැනි හැගීමක් ඇති කළේය. පෙර රොෂාන් කොහි ගියත් නැවත තමා වෙත එන බව වැනේසා දැන සිටියාය. නමුත් දැන් එය වෙනත් අතකට පෙරලේ. කොහ්න්දෝ පැමිණි අනාත ගැහැනියක් දැන් රොෂාන්ගේ හිමිකම නීතිය සහ සමාජය ඉදිරියේ හිමි කරගෙන ඇත. ඔහු දැන් කොහේ ගියත් නවතින්න යන්නේ ඇගේ නිවසටයි.

රුක්මා ගේ ලාබාල බව සහ තමාගේ වයස සමග වැහැරුණ සිරුර පවා සන්සන්ධනය කළ වැනේසා විවාහය ගැන සැල වූ තැන පටන් සිටියේ වේදනාවෙනි. තමාව කෙල පිඩක් මෙන් නොසලකා හරි ළමාතැනී දැන් රුක්මා කර උඩ තබාගෙන නටන්නේ තමාට රිදවීමට යයි ඕ සිතුවාය.

“මගේ විවාහය..මගේ තරුණකම…මගේ හොඳ නම..සේරම කැප කළේ රොෂාන් වෙනුවෙන්. ඒ නිසා රොෂාන්ගේ අයිතිය තියෙන්නේ මට“ කියා සිතු ඇය රුක්මාට හෝ ළමාතැනීට කොහෙත්ම සමාවක් දුන්නේ නැත. ඇය එම නිසා රොෂාන් හැකි වෙර දරා තමා වෙතට නම්මව ගන්නට සනිටුහන් කළාය. එහි පලවෙනි පියවර ලෙස ඕ විවාහය ගැන සතුටු වෙන බව රොෂාන්ට කීවාය.

එයින් රොෂාන් වඩාත් ඇය ගැන පැහැදුනේය. “එයා මාව තේරුම් ගන්නවා…” කියා ඔහු ඈ කෙරෙහි තවත් ආදරයෙන් බැඳුනේය.

මගුල් බලන්නට යන දිනයේද ඇය උදේම ඔහුට කතා කර සුබ පැතුවාය.

“ඔයාට මගෙන් ලැබෙන ආදරේම ලැබෙන්න කියල මම පතනවා. මා ඔයාට තියන ආදරෙන් දැවිලා ඉන්නේ. ඔයා නැති ජීවිතයක් මට හිතා ගන්න බැහැ. මම පතන්නේ ඔයාගේ සතුට විතරයි රොෂාන් “ කියන විට ඇගේ කටහඬ ඉකියකට පෙරලුනේය. මේ නිසා රොෂාන් ගේ හිතද කම්පාවට පත් විය. තමාට විවාහ නොවී සිටිය නොහැකිද යයි යලිත් කල්පනා කළේය. ඒත් අම්මා ගැන හිතා හෙතෙම හිත දැඩි කරගත්තේය.

මොහොතකට වත් ඔහුට රුක්මා ගැන කල්පනා වුනේ නැත.

“ මොනවා වුනත් මම හැමදාම ඔයාට ආදරෙයි“ යන්න ඉංග්රීසි බසින් කියන විට ඔහුගේ දෙනෙත් ලාවට තෙත් වෙනු ඔහුට දැනුණි. වෙලාව ගත වෙලා හෙයින් අතට අහුවෙන ඇඳුමක් දාගෙන හෙතෙම එලියට ආවේ අම්මාගේ ගෝරනාඩුව අසාගෙනය.

මැද වයස ඉක්මවමින් සිටි රොෂාන් තනිකඩ ජීවිතය මහත් සතුටින් භුක්ති වින්ද කෙනෙකි. ඔහුගේ පෙළපතට වංශයට නොගැලපෙන වැනිසා විවාහ කර ගැනීම තරුණ කාලයේ වත් ඔහුට ඇවැසි නොවුනත් ඔහුගේ ජීවිතේ නොබිඳිය හැකි කොටසක් වූයේ ඇයයි. රුක්මා ගේ විවාහය නිසා ඔවුන් දෙදෙනා අතර ඇතිවන සම්බන්ධය ඔහුගේ හිත කොහෙත්ම සසල කළේ නැත. විවාහ වුන විගසම දරුවෙක් හදාගැනීම ඔහුගේ අහිප්රාය විය. ඒ ගැන ඔහු කොහෙත්ම රුක්මා සමග කතා කළ යුතු බවක් හිතුවේ වත් නැති. තමාට වඩා බෙහෙවින් ලාබාල ඇය සමග සාර්ථක අධ්‍යාත්මික සම්බන්ධයක් ගොඩ නගා ගත හැකි බව ඔහුට කොහෙත්ම වැටහුනේ නැත. ඇය යන එන මන් නැති අනාත දැරියකි. තමා යන එන තැන් හෝ ඇසුරු කරන කිසිවෙකු ගෙන් ඇයට වැඩක් නැත. නීත්යානුකූල විවාහය, දරුවෝ, නිවස සියල්ලම ඇයට හිමි වනු ඇත.

මේ සේරම ගැන ඔහු වැනේසා ට කෙටියෙන් පැහැදිලි කළේය. වැනේසා සහ ඔහු ජීවිතයේ විඳිය හැකි බොහෝ සැප සම්පත් වින්ද යුවලකි. කන්දප්පා නීත්යානුකූල සැමියා වුනත් ඔහු බොහෝ විට ගත කළේ ගෙදරින් පිටය. අනුකම්පා කළ යුතු තවත් සේවකයෙකු මෙන් ඔහු කන්දප්පා ගැන සිතුවේය. අප්පච්චි ගේ මරණය වෙන තෙක් ඔහු වැනේසා සමග වූ සමබන්ධය රහසක් ලෙස තබා ගත්තේය. ඉන් පසු ඔවුන් සමාජයේ විවාහක යුවලක් මෙන් හැසිරුණහ.

රොස්මිඩ් පෙදෙසේ තිබුන රුක්මා ගේ නිවස්නයට රොෂාන් ගජනායක සහ වැලිපැන්නේ ළමාතැනී පැමිණෙන විට දහවල් එකොළහට ආසන්න වී පැවතුනි. ශ්රීමතී සහ ලාල් විසින් දොරකඩදී සාදරයෙන් පිළිගන්නා ලදුව ඔවුන් අමුත්තන්ගේ කාමරයට කැන්දාගෙන එන ලදී. සියලු දෙනාම දන්නා හඳුනන අය හෙයින් පිළිසඳර කතාවේ යෙදිනි. සාමාන්‍ය මගුල් තුලා වල කෙරෙනවා මෙන් මනාලියගේ දෑවැද්ද ගැන වචනයක් වත් නාහන ලැබීම ශ්රීමතීගේ දැඩි සතුටට හේතු විය.

රුක්මාගේ මවට උරුම උන පාරම්පරික වතුයාය දැනට ආදායම් ලබන්නේ පියා විසිනි. එය රුක්මාගේ නමට ලියා දීමට ඔහු අදහස් කරගෙන සිටියේය.

“අපිට ඕනේ හොඳට හැදිච්ච කෙල්ලෙක් විතරයි “ කියමින් ළමාතැනී හිනාවක් පෑවාය.

“අනේ ඉතින් අම්මා මැරිච්ච දවසේ ඉඳල මම ඇහේ දාල පියවල වගේ හදාගත්තු කෙල්ල ආන්ටි” කියමින් ශ්රීමතී කතාවට එක් වූවාය. සත්‍ය ගැන හොඳින් දන්නා රොෂාන් කට කොනට හිනාවක් නැගුවේය.

ටික වෙලවකින් ශ්රීමතී විසින් බලෙන්ම වාගේ කාමරයෙන් තල්ලු කරගෙන ආවේ ඔසරියකින් සැරසුන රුක්මාය. ඕ ළමාතැනී සමග සිනා සී රොෂාන් දෙස හොරෙන් බැලුවාය. ඇය දෙස බැලු රොෂාන් වටිනා ඔසරියෙන් වැසී ගිය කෙට්ටු නමුත් සුන්දර සිරුර නිසා ඇය කෙරෙහි අනුකම්පාවෙන් බර වූවේය. රුක්මාගේ මුළු සිරුර පුරාම පැවතුනේ නොඉඳුල් ළමා බවකි. ළමා වියෙන් තවමත් හරි හැටියට යොවුන් බවට නොපැමිණි බවට දෙස් දෙන දෙනෙත විවුර්ත වී තිබුනේය.

රොෂාන් ගජනායක ගැන ඇය සිතා සිටියේ දක්ෂ කඩවසම් තරුණයෙක් ලෙසය. නමුත් ඔහු සිය පියාට වඩා වසර 5 ක් පමණක් ලාබාල තරුණ විය ඉක්මවූවෙක් බව දැකීම සමග ඇගේ සිතේ හටගත්තේ නොසතුටකි. කඩවසම් වුනත් රොෂාන් ගේ තට්ටය පෑදීමේ සලකුණු හිසේ අඩු නැත. ඔහු දැනටම මදක් තරබාරුය. ඔහුගේ මුහුනේද තමා නිසා හටගත් හෝ සතුටක් නැත. මුහුණ පුරා තිබුනේ බැරෑරුම් බව මුසු වුන කණස්සල්ලකි. මොකක් හෝ වරදක ඉවක් රුක්මාට නොදැනුනා නොවේ.

ළමාතැනී කීප වරක්ම රුක්මා අතගා හුරතල් කිරීම රුක්මාගේ හිතට මහත් සහනයක් දුන් ක්‍රියාවක් විය. කිසිම වැඩිහිටි ගැහැනියකගෙන් ආදරය නොලද ඇය වැඩිමහල් කාන්තාවන් දුටු මතින් ප්‍රේමයෙන් බැඳීම ස්වභාවය විය. හොස්ටල් එකේ රෙදි අපුල්ලන මැහැල්ල, වැඩිය සැර නොකරන ක්රිස්ටීන් සිස්ටර්, නංගිලා මල්ලිලා එක්ක හවසට කඩචෝරු කන්න යන බේගිරියේ හුන් කාන්තාව මේ හැමෝම කෙරෙහි ඇය සිත තුල වූයේ තෙත් බවකි. ළමා වියේ ආදරය් නොලද බොහෝ දෙනෙක් වැඩිහිටි වීමෙන් පසු පවා නොලැබුන ප්‍රේමය හොයති. මෙවැනි පරිසරයක ඕ දුටුමතින් ළමාතැනී සමග ප්‍රේමයෙන් බැඳුණාය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article