කුල ගෙය – Episode 03

Mar 20, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය...!“

“ ඒ දරුවා බලන්න එහෙනම් මේ සෙනසුරාදාම යමු පුතේ “ ළමාතැනී කීවේ උතුරා යන සතුටිනි.

Continue Reading Below

“හරිහමන් ගෑණියෙක් හම්බ වුන ගමන් ඔය හැම දේම අකා මකා යාවි.“ ඇය සිය සේවිකාව වූ ශීලාවතී සමග දස වෙනි වරටත් කීවාය.

“ කෙල්ලත් හැඩයි නේ අපේ හාමිනේ. පිනිජම්බු මලක් වගේ ඉද්දි සුදු අප්පෝ ඉබේම අර ලංසි නෝනා අතහරියි“ ශිලාටද රොෂාන් ඇගේම දරුවෙක් වැනිය. සිය ස්වාමි දියණියගේ දුක අසාගෙන සිට දැන් එය ඇගේද ගැටළුවක් වී හමාරය. කොයි එකටත් කියා ඔවුන් දෙදෙනා විසින් හොඳ වෙලාවකුත් බලවාගත්හ.

සම්බන්ධය දිගට තිබුනත් එය ගැටළුවක් නොවෙනු ඇතියි ළමාතැනී උදක්ම බලාපොරොත්තු වූවාය. තම මියගිය සැමියා මතක් කළ ඇගේ නෙතේ කඳුලක් නැගුණි. ජීවිතේ මුල් කාලයේ සහ වියපත් අවසන් කාලයේ හැර හැම දිනකම පාහේ ඔහුට අනියම් සම්බන්ධකම් වලින් අඩුවක් නොවිණි. මුලදී කනගාටු වුනත් පසුව ඇය නොදුටු නෙත්ව ජීවත් වන්නට හුරු වුණාය.

“ගෑනු ඉතින් ඉපදිලා ඉන්නේ උහුලන්න …“ ඕ සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත්තේ ඔහු අතින් ගැබිණි වුන ලාබාල දැරියක් සම්බන්ධ ගැටලුව සිහි වන විටය. වී බෙර තුනක කුඹුරක් ලියා දී ඇය ඉලන්දාරියෙක්ට පන්ගාර්තු කිරීමෙන් පසුව තමා ප්රශ්නය නිරාකරණය කළ අයුරු ඇයට සිහි වේ.

“මගේ දරුවට මේ හදිය කෙරුවා.. මුදලිතුමා මම මැරිලා නයෙක් පොළගෙක් වෙලා හරි දෂ්ට කොරනවා “ කියමින් කෙසඟ ගැමියෙක් වූ මේ දැරියගේ පියා පලි ගැසූ අයුරු ඇයට නැවත සිහි වේ.

ඒ අතර හිරිමල් වියේ සිටි තමාගේ හිත බැඳුන විදේශීය මිනිසා ඇයට මතක් වේ. ලංකාවට ඉංජිනේරුවෙක් ලෙසින් පාලමක් හැදීමට පැමිණි ඔහු ලයිට් හවුස් ක්ලබ් එකේදී තමා මුණගැසුන අයුරු ඇයට මතක් වේ. මනහර ජෑස් සංගීතයෙන් මුසපත්ව ඔහු සමග මුමුනමින් සිටිය තාරුණ්‍යයේ ඉමිහිරිතම දවස් ඇයට මෙනෙහි වේ. ඒ වන විටද දෙදරු මවක් වුන තමා ඔහු සමග එංගලන්තය බලා සියලු දේ හැර යන්නට හැකි නම් මැනවයි සිතු බව මතක් කර ලජ්ජා වූවාය. නමුත් මුදලි තුමාගෙන් කවදාවත් නොලද අගය කිරීම, ආදරය ඔහුගෙන් ලද ඒ කෙටි දවස් කීපය බඩේ සමනලුන් නටපු සුන්දර දින කීපය ගැන මතක් නොකර සිටීමට ඇයට නොහැකි විය.

මෙය අවසන් වූයේ ඔහුගේ වීසා කැන්සල් වී වහාම ඔහුව රටින් පිටුවහල් කිරීමෙන් පසුව වුවත් ඇය ඒ ගැන සැමියාගෙන් ඇසුවේ වත් සැමියා ඇයට කිසිවක් කීවේ වත් නැත. එකම දේ එයින් පසු ඔහු ඈ කෙරේ මදක් මෘදු වීමයි.

අසාවෙන් ඉපිලෙමින් තමා විවාහයට සූදානම් වූ අයුරුත් ..ඒ විවාහයේ යුතුකම් වගකීම් මැද සතුටට තිබුන ස්ථානය කොතනද යන්නත් ඇයට මතක තිබුනේ නැත. දරුවන් ඉපදී කෙසේ හෝ ගත කළ ජීවිතය සර්ව සම්පූර්ණ බව ඇය සිතුවාය. ඇයට කිසිවෙක්ට චෝදනා කළ නොහැකි ජීවිතයක් තිබුණි. ෆොටෝ එකේ සිට විරාජමානව තෙදබල පතුරන සැමියෙක් අදත් සිටී. ඔහු නැති වුනා කියා ලොකු පාළුවක් ඇයට නොතිබුණි. ඇගේ එකම හීනය වූයේ පුංචි මුනුබුරෙක් හෝ මිනිබිරියකි. සිය දියණියට දරුවන් තුන් දෙනෙක් සිටිනා නමුත් ඇයට වඩාම වුවමනා කළේ දේපොළට සැබෑ හිමිකාරයෙකි. රුක්මා එයට වඩාම කැපෙන ලේලියයි. අගේ දෙමාපියෝ දෙපසින්ම වංශවතුන්ය.

ලාල් කළුආරච්චි ගේ නිවසද මේ වන විට සාමයක් පැතිරී තිබුන තැනකි. ඉක්මනින් රුක්මා ගෙන් නිදහස් වීම නිසා සැහැල්ලු වුන ශ්රීමතී මෙන්ම මෙතෙක් කලක් කාලකන්නි කෙල්ල යනුවෙන් හඳුන්වන රුක්මා දැන් තත්වයෙන්, ධනයෙන් තමාට වඩා ඉහලට යාම ගැන හටගත් ඉරිසියාව මුසු ගෞරවයකින් ශ්රීමතී ගේ හිත පිරුණි. ඒ නිසා මේ ටිකේ ඇය රුක්මා සමග ගනුදෙනු කළේ පරිස්සමෙනි.

රුක්මාගේ වෙන්න ඉන්න සැමියා රොෂාන් ගජනායක දේශපාලන සම්බන්ධකම් ඇති ඉහලම පුටු වලට පවා ඡන්දය වෙනුවෙන් ධනය සපයන රටේ නමගිය ව්‍යාපාරිකයෙකි. ඔහු දේශපාලනයට වුනත් සම්බන්ධ විය හැකිය. ඒ වන විට අගමැති ප්‍රේමදාස මහතා ඔහුට රටේ කර්මාන්ත නගා සිටවීමට වැඩපිළිවෙලක් ලබා දීමට එකඟ වී සිටි බව කනින් කොනින් ආරංචි වී තිබුණි.

මේ විවාහය ගැන තීන්දුවක් අරගෙනමය එදා ලාල් ගෙදර පැමිණියේ. රුක්මා ගේ කැමැත්ත ඇසීමට ලාල්ට මතක් වුනේ වත් නැති. ඔහු පහුවෙනිදා පාන්දර දුව ගෙන්වා තීරණය ගැන දැනුමත් කළා පමණකි.

දන්නා දවසේ පටන් රුක්මා ගේ ජීවිතය යහපත් නොවීය. ඇය කුඩා කළ බොහෝ වද වේදනා වින්දාය. ඇය බලාගත් මහලු සේවිකාව ඇයට ආදරය කළ බව ඇත්තකි. නමුත් අගේ මතකයද එන්නේ සෙමෙනි. පැහැදිලි නැත.

“කූඹි පාගන්න එපා පුතේ..උනුත් අපි වගේමයි. තමන් අකමැති දේවල් කාටවත් කරන්න එපා“ කියමින් මේ නූගත් ගැහැණිය රුක්මා හිංසා පීඩා කිරීමෙන් වලක්වා ගත්තීය. මේ හුරුව නිසා ඇය කවදාවත් හොස්ටල් එකේදී වත් කිසිම කෙනෙක්ට හිරිහැර කළේ නැත. අවුරුදු 6 දී සිට කන්‍යාරාමය හොස්ටල් එකේ හැදී වැඩීමෙන් ඇය ලැබුවේ මහත් පීඩිත ජීවිතයකි. මේ ආගමික පූජකාවියෝ බහුතරය ඉතාම සැර,පරුෂ, තද චරිත ඇත්තියෝ වූහ. ඉංග්රීසි සහ ප්‍රංශ දෙබසින්ම දැරියෝ කතා කළ යුතු වුන අතර මුළු ජීවිතයම දැඩි කාලසටහනකට අනුව හුරු කරවන ලදී. රුක්මා ඇතුළු ගැහැණු ළමයින් විනෝද වූයේ රහසිගත සෙල්ලම් වලිනි.

මේ නේවාසිකාගාරයට රෙදි ඇපිල්ලීමට එන මැහැල්ල කවි සින්දු දන්නා ගැහැනියකි. ඕ දැරියන් වටකරගෙන ගී ගැයූහ. රුක්මාට අවැසි වූයේ තමාද පූජකාවියක වීමටයි. නමුත් අධ්‍යාපනයෙන් පසු ඔවුන් ඇය ව ගෙදර යැවුවේ ඇගේ දෙමාපියන්ගේ ආගම ගැන කීමෙනි.

“එහෙනම් මරිය තුමිය සහ ජෝසප් තුමාගේ ආගම ගැන සලකලා කවුරුත් ජෙසුව ගණන් නොගෙන හිටියේ නැහැනේ” කියමින් ඕ තර්ක කළ නමුත් එය නීති වලට පටහැනි නිසා රුක්මාට පාසල ඉවර වුන විගස නේවාසිකාගාරයෙන් ගෙදර යන්නට සිදු විය. ඇය නැවත ගෙදර පැමින මසක් වන විටය මේ රොෂාන්ගේ යෝජනාව පැමිණියේ.

කුඩා කළ සිට තමා අයිති නැති තැනක ජීවත් වීමේ අමිහිරියාව හොඳින් දන්නා රුක්මා පැතුවේ මෙයින් මිදෙන ක්‍රමයකි. රැකියාවක් සොයා විදේශ රටකට යාම පවා ඇය සලකා බැලුවාය. ඒ අතර දවස පිරුණේ කුඩම්මා ගේ කෙනෙහිලි සමග නිසා ඇය වැඩිමනක් නංගිලා මල්ලිලා සමග ගත නොකර කාමරය තුලට වී ගත කළාය.

තමාට කිසිවෙක් ආදරය නොකරනවා යන හැගීමෙන් මඩන ලද ඇය මදක් හිතුවක්කාරය. මදක් දරදඬුය. නමුත් පියාගේ විවාහයේ දැන්වීම ඇසුන විට මුලින්ම අකමැත්තක් හිතට ආ නමුත් මේ අපායට වඩා ජීවිතය හොඳ වේවි යයි බලාපොරොත්තු තැබුවාය.

බඳින්න යන මිනිසා කවුද කියා මතකයක් නැති වුවත් ඔහු සෙනසුරාදා ඇය බැලීමට එන බව ඇසීම අගේ බලවත් සතුටට හේතු විය. ගෙදර හැමෝම කාල ඉතුරු වුනාම කන එකෙන් නිදහස් වීම, හැමෝම උත්සව වලට ගෙදරින් ගිහාම පොතක් කියවමින් කාමරයට වී සිටීමේ කාන්සියෙන් නිදහස් වීම, ඇය වඩාම ආදරය කරන පුංචි නංගිට යමක් අරගෙන දෙන්න මුදල් නැති වීමේ වේදනාවෙන් නිදහස් වීම ඇයට විවහා ජීවිතය විය. රොෂාන් ගජනායක තමාට කාරුණිකව සලකනු ඇතිද තමාට ආදරය කරනු ඇතිද ඈ උදක්ම බලාපොරොත්තු වූවාය. මුහුණ වත් දැක නැතත් ඇගේ හිතේ ඔහු ගැන හටගත්තේ පහන් හැගීමකි. ඔහු අගේ ගැලවුම් කරුවාය. ඔහු ඇගේ සදාකාලික ආදරයයි.

Jane Austion ගේ පොත් වලින් ආදරය සහ විවාහය දුටු ඇය එමාගේ අක්කාගේ විවාහ ජීවිතය හිතෙන මවා ගත්තාය. දරු පැටවුන් කීප දෙනෙක්.

“ Love…. I feel…. I feel… you don’t look good “ කියා මිහිරි ලෙස තමා ඔහුට අමතන අයුරු ඕ මනසින් දුටුවාය.

“ My love ..I am all right. You always bother too much about me …Please take a rest” කියා ඔහු තමා සනසවනු ඇති බව ප්රතිරාවය කලාය.

ආදරය ගැන සහ ලිංගිකත්වය ගැන හොස්ටල් එකේ රෙදි හෝදන මැහැල්ල කියූ විහිලු කුණු කතා සහ වික්ටෝරියානු යුගයේ ලියවුන පොත් හැර වෙන කිසිඳු අත්දැකීමක් ඇයට නොවීය. ලිංගිකත්වය යනු ඔහු තමා වෙත තිලින කරන ආරක්ෂාව, ආදරය වෙනුවෙන් තමා විසින් ඔහුට ඉටු කර ගැනීමට දෙන දෙයක් යයි රුක්මා උදක්ම අපේක්ෂා කලාය. සෙනසුරාදා පැමිණෙන ඔහු තමාට අකමැති වෙන්නටද ඉඩ ඇති බව හදිස්සියේ සිහි විය. තමාගේ සිරුර ඉතා සිහින් බව ඕ විස්වාස කළාය. එබැවින් ඔහු එන්න තිබෙන මේ දවස් ටිකේ හැකි තරම් ආහාර ගෙන සිරුර මහත් කර ගත යුතුය යන අදිටනට පැමිණියාය. පියා ඇයට ඇඳුම් මැසීමට ටේලර් කෙනෙක් ගෙන්වන ලදී. ඔහු විසින් අලුත්ම විලාසිතා වලට කඩිමුඩියේ හැට්ට දෙකක් මසන ලදී. විවාහය තීන්දු වුන පසු ඇගේ ඇඳුම් ආයිත්තම් ගෙන්වීමට කොළබ විශේෂ ඇඳුම් ශිල්පියෙක් යොදා ගැනීමට ඔහු තීරණය කළේය. ජායති භායි නමැති ඉන්දියානු කාන්තාව විසින් බම්බලපිටියේ පවත්වන රූපලාවන්යාගරය වෙත කැන්දාගෙන යාමට රියදුරාට පවරන ලදී.

තමා සිය සැමියාගේ පලවෙනි විවාහයෙන් උපන් අම්මා නැති දියණියට වෙනස් කමක් නොකර ආදරයෙන් හදා ගත් අභීෂ්ට කුඩම්මා ලෙස වැලිපැන්නේ කුමාරිහාමි ඉස්සරහ පෙනී සිටීමේ වුවමනාව ශ්රීමතී ගේ හිතේ හටගත්තේය.

“අපරාදේ මෙයා උනන්දුවක් වුනා නම් මේ කාලකන්නි කෙල්ලට නෙවේ ..මගේ පොඩි නංගි දේවිකාට මේක කතා කරන්න තිබුණා. ඒ දෙන්නා වයසිනුත් මෙච්චර ලොකු පරතරයක්“ නැහැ කියමින් ඕ ලාල්ට විටෙක බැන වැදුනාය.

“ කොහෙද ඉතින් මොනවා වුනත් මෙයාගේ කාලක්රියා දැකල ආපහු ගෙදර එවුවොත් නම් මම මෙහාට ගන්නේ නැහැ “ කියමින් රුක්මාට බැන වැදුනාය.

ඒ වුනත් ශ්රීමතී වහාම සෙනසුරාදා එන මගුල් ගමනට ඇවැසි ආහාර, පාන, කැවිලි, පෙවිලි හැදීමේ යුහුසුළු වූවාය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article