කුල ගෙය – Episode 02

Mar 13, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය...!“

“ඔවු මම දැන් නාකි වේගෙන එනවා. මගේ කොන්ඩේ ගස් කීපයක්ම සුදු වෙලා කියල බාබර් කපල දැම්ම කියල අර තක්කඩි ගාමිනියා දැන් දවස් දෙක තුනක්ම කීවා“

Continue Reading Below

රොෂාන් ගජනායකගේ මුවට මදහසක් නැගුණි. ඔහුගේ පුද්ගලික සේවක ගාමිණී ඔහුට සමීපය. නමුත් ඔවුන් දෙදෙනා සාම්ප්‍රදායික හාමු සහ සේවක සම්බන්ධයක් පමණක් පැවැත්වූහ. ඔවුන් දෙදෙනා එකිනෙකාට අතිශය හිතවත් අතර සමවයස්ක වූහ.

තව බීර විස්කි බෝතලයක් සහ සිගරට් පෙට්ටියක් ඇනවුම් කළ හෙතෙම මුහුද දෙසට වන්නට මේසයක් සූදානම් කර දෙන ලෙස ගල්කිස්ස මහ හෝටලයේ වේටරයන්ට දැනුම් දුන්නේය. ඔහු මෙහි පැමිණියේ හුදෙකලා වන්නටය. ඔහුගේ මිතුරන් එක් රැස් වෙන ක්ලබ් සියල්ලම ඔහු හිතාමතාම මගහැරියේය.

එදා උදෑසන ඔහුගේ 38 වන උපන්දිනය නිසා මහලු අම්මා ඔහුව කැඳවා කතා කිරීමට සිතුවාය.

“පුතේ මම තව වැඩි දවසක් ඉන්න එකක් නැහැ” ළමාතැනී ඔසරි පොට සිරුර වටා ඔතාගත්තාය. ඉක්බිති පුටුවකින් ඉඳගෙන සිය එකම පුතා ලඟින් ඉන්දවා ගත්තේය. රොෂාන් සිය මවගේ ප්‍රියතම දරුවා වුන අතර මවට බෙහෙවින්ම ඇලුම් කළේය.

“අම්මගේ හිතේ මොනවද තියෙන්නේ? මොනවා මට කියන්නද හදන්නේ ?” ඔහු ඇසුවේ සිනාසෙමිනි.

“ දැන් අපේ පවුලේ පුතාගේ වයස හැමෝටම මේ වෙද්දී ලොකු දරුවෝ ඉන්නවා. නමුත් පුතා අපි බලන කිසිම කසාදෙකට කැමති වෙන්නෙත් නැහැ. පුතා කෙනෙක් හොයා ගන්නෙත් නැහැ.”

“අම්මේ ඔය ප්‍රශ්නය හැර අම්මට වෙන ප්‍රශ්න ඇත්තෙම නැතිද ?” ඔහු සිනාසුනේය.

“ඔවු ..උඹට හැම වෙලේම මේවා විහිලු තමයි. අපේ පරම්පරාව සම්බන්ධ වෙන්නේ කීරවැල්ලේ පරම්පරාවට. උඹ දන්නවා අපි දළදා හාමුදුරුවන්ට අයිතිවාසිකම් කියන පවුලකින් පැවතෙන මිනිස්සු. මගෙන් උඹට ආවේ අපේ පරම්පරාගත නින්දගම්. තාත්තා ගජනායක මුදලි තුමාගේ පුතෙක්. ඉතින් මේ සේරම එක්ක උඹ හදන්නේ අපේ පරම්පරාවේ නම ගෙනියන්න කෙනෙක් නැති කරන්නද? “

රොෂාන් ගජනායක ගේ මුහුණෙන් මෙතෙක් වෙලා තිබුන විහිලු ස්වරූපය පහව ගියේය. මේ කතාව සත්‍යක් බව ඔහුට වැටහුණි.

“මේ සේරම මගේ වැරදි පුතා… මම තමා ගින්දරට පුළුන් ලං කරේ. අක්කට උගන්වන්න කියල ඔය හූනියම ගෙට දාගත්තේ මම. ඕකුන් උඹට රොඩී ලවා වශියක් කරවලා. නැත්නම් අර කෙල්ලගේ මොනවද තියෙන්නේ? ඔය හැටි වශී වෙන්න. දැන් මේ අපේ පරම්පරාවේ දේපොළ මීළඟට යන්නේ අර අවජාතකයෝ දෙන්නටද?“ මැහැල්ල කඳුළු සාරි පොටින් පිස දමා ගත්තීය.

“ඇත්ත කියපන්… ඔය කොල්ලයි කෙල්ලයි මගේ ලේ තියන මුනුබුරෝද ?”

මෙයින් කලබල වුන රොෂාන් “නැහැ අම්මා. එහෙම දෙයක් නැහැ. ඒ ළමයි දෙන්නට මම ආදරෙයි. ඒ වුනාට එයාල මගේ දරුවෝ නෙවේ. අම්ම දන්නේ නැද්ද ජුලියන් ඉපදුනේ මම එංගලතේ ඉද්දිනේ. ඩයනා එයාගේ තාත්තා වගේමයි. මම එහෙම මෝඩ වැඩක් කරේ නැහැ අම්මා“ කියමින් මව අස්වසන්නට වූයේය.

එදා ව්‍යාපාරික ස්ථානයට නොගිය ඔහු කල්පනා කළේ අම්මගේ වචන වල සත්‍ය තාවයයයි. ඔහුගෙන් පසු මේ දේවල් දෙන්නට කෙනෙක් නැති නම් ඔහු මේ කරන කිසිම දෙයකින් වැඩක් තිබේද ඔහු කල්පනා කළේය. රොෂාන් තවමත් විවාහයක් කරගත හැකි වයසේය. අම්මා කතා කරන වංශවත් පවුලකින් විවාහ වුන කල්හි නෑදෑයෝ ඔහුගේ සම්බන්ධයට අකුල් හෙලනු ඇත. විවාහ වෙනවා නම් සියල්ල අතහැර විවාහ විය යුතුද ඔහු කල්පනා කළේය. නමුත් ඔහුට ඔහුවම විශ්වාස නැත. වැනේසා කෙරෙහි තරම් කිසිම ගැහැනියක් කෙරේ ඔහුගේ හිත නැවුනේ නැත. වැනේසා අනියම් බිරිඳ ලෙස තබාගෙන සිටින අතරම විවාහය දරුවන් සහ දේපොළ වෙනුවෙන් පැවැත්විය හැකි ක්‍රමයක් ඇතිද ඔහු කල්පනා කිරීමට පටන් ගත්තේය.

මේ ගැන තීරනයකට එන්නට පහසු වෙනු පිණිසය ඔහු හුදෙකලාව මුහුද අද්දරට වී කල්පනාවට වැටුනේ. කළුවර කෙමෙන් කෙමෙන් ගොඩබිම සිප ගනිද්දී මුහුදු සුළඟ ඔහුගේ සිරුරේ දැවටේ. අන්තිම රක්ත වර්ණ විහිදන හිර ගිනි රතු බෝලයක් මෙන් අවරගිරෙන් වහ වහා පහලට ගමන් කරයි.

තමාගේ විද්‍යාලයේ වසර කීපයකින් තමාට වැඩිමල් දක්ෂ ක්‍රීඩකයෙක් වූ ලාල් කළුආරච්චි හදිස්සියේ පසුපස දොරෙන් හෝටලයට ඇතුළු වෙනු ඔහුට පෙනුනි. ලාල් තමාව නොදුටුවොත් මැනවයි සිතු නමුත් අවාසනාවට ඔහු ඈත තියාම හිනා වෙමින් රොෂාන් අසලට පැමිණියේය. ඔවුන් දෙදෙනා ලඟින් ඉඳගෙන ආගිය තිරතුරු කතා කරන්නට පටන් ගත්හ. ලාල්ද රොෂාන් මෙන්ම පැමිණ තිබුනේ ගැටළුවක් නිරාකරණය කරගනු පිණිසය.

ලාල් කළුආරච්චි ද රොෂාන් මෙන්ම අගනුවරට අයත් දෙවන පරපුරේ රදලයෙකි. ධනවතෙකි. රොෂාන් එංගලන්තයේ සිටින කාලයේ ලාල්ගේ බිරිඳ මිය ගියේ දියණියකට උපත දීමත් සමගය. වසරකින් ඔහු නැවත වරක් විවහා විය. ඔහුගේ පළමු බිරිඳගේ දියණිය රුක්මා කල්යාණි යයි නම්ලද කුඩා ගැහැණු දැරිය රොෂාන් කුඩා කළ කීප වරක් දැක තිබුණි. ඇය ඉතා ලස්සන සුහුබුහුටි දැරියක් නිසා රොෂාන් ඇය වඩාගෙන සුරතල් කළේය. කාලය ගෙවී ගොස් ඇති අපූරුව… ඔහු “කොහොමද දැන් දුවට?” යයි ලාල් ගෙන් ඇසුවේය.

මේ ප්‍රශ්නය සමග ලාල් ගේ මුහුණ වෙනස් වනු දුටු රොෂාන් ප්‍රශ්නය ඇසීම ගැන කනගාටු විය.

“ඇත්තටම මචන් ප්‍රශ්නය රුක්මා තමයි. එයාගේ අම්ම මැරුණට පස්සේ මම දෙවෙනි වතාවට ශ්රීමතී බැඳගත්තානේ. එයාටත් දැන් පුතාල තුනක් සහ දුවක් ඉන්නවා. පලවෙනි දවසේ ඉඳලම ශ්රිමතීට රුක්මා පෙනෙන්න බැහැ. ඉතින් මම කාන්තා විද්යාලයේ නේවාසිකාගාරයේ දාල ඇය ගෙන් යම් සහනයක් ලැබුවා. නමුත් නිවාඩු මාස වල නිතරම පැමිණිලි වල කෙළවරක් නැහැ. ඇත්තටම මටත් රුක්මා දැනුණේ මේ සේරම කරදර වලට මුල කියලයි. එයාගේ අම්ම නැති වුනේ එයාගේ අවාසනාවට කියල කවුරුත් රුක්මාට ආස නැහැ. ඒත් දැන් සීනියර් විභාගය ඉවර නිසා තව දුරටත් රුක්මා හොස්ටල් එකේ තියන්න බැහැ. එයා ආසයි ලු සිස්ට කෙනෙක් වෙන්න. ඒත් පල්ලියෙන් සතුටුත් නැහැ එයාව ගන්න. ශ්රීමතී කියනවා කොහොම වත් රුක්මා ගෙදර ඉද්දි එයාට ගෙදර ඉන්න බැහැ කියල. මොන ක්‍රමයකින් හෝ එයාව එලියට දාන්න කියලයි ශ්රීමතී කියන්නේ. රුක්මා ගන්න නෑදෑයෝ වුනත් සතුටු නැහැ. මට කරන්න දෙයක් නැහැ. කොහොම වුනත් මම එයාගේ තාත්තා…. එයාට ආදරේ වුනත් නැතත් මොකද මම කපල මුහුදේ දාන්නද?“

සුසුමක් හෙලා ලාල් සිය කතාව ඉවර කළේය. රොෂාන් ගේ සිතේ ලාල් කෙරෙහි ඇති වූයේ මහත් දුකකි.

“රුක්මා දැන් හරි ලස්සනයි. හරියට සුජාතා වගේමයි. ඒත් ඇයගේ හිත කාටවත් යන්නෙත් නැහැ. එහෙම වත් වුනා නම් මට දීල දාල නිදහස් වෙන්න තිබුණා.”

මේ සමගම රොෂාන් ගේ මුවේ නැගුනේ අමුතුම මදහසකි. තමාගේ ගැලවීම ඇත්තේ ලාල්ගේ ගැලවීම සමගම නොවේද? ක්ෂණිකව නැගුන සිතුවිල්ලෙන් මත් වුන හෙතෙම ලාල් ලඟට ගොස් අත අල්ලා ගත්තේය.

“ මචන් උඹ දන්නවා මම වයස පැනපු මිනිහෙක් කියල. මම මේ කියන දේ අහපන් හොඳින්. උඹ රුක්මා මට බන්දලා දුන්නොත් මම ජීවිත කාලෙම ආදරෙන් සලකන්නම්” කියමින් මුහුණ බැලුවේ විමතියෙනි.

මේ නම් අපූරු යෝජනාවක් බව ලාල් ට එකවරම වැටහිණි. උදෙත් බිරිඳ තමා සමග කළහ කරගත් බව මතක් වුන ඔහු සිටියේ විසඳුමක් නැතුව රාත්‍රියේ කොහොමද නැවත ගෙදර යන්නේ කියන සිතුවිල්ලෙනි.

“රුක්මා මම පුංචි කාලේ වඩාගෙන හිටලා තියනවා. ඒ වුනත් දැන් රුක්මා ලොකු ගෑනියක්. මට වඩා අවුරුදු වැඩිම වුනොත් 18 ක් බාල ඇති. අපේ ආච්චම්මා සීයට වඩා 20 ක් බාලයි. නමුත් ඒ දෙන්න කොච්චර හොඳින් හිටියද? අපේ අම්මට කීවොත් මේ ගැන ගොඩක් සතුටු වෙයි. අපේ අම්මා රුක්මා ආදරෙන් බලා ගනීවි. මට නීත්‍යානුකූල වෙනත් විවාහයක් හෝ ළමයි නැහැ. ඉතින් හැම දෙයක්ම ලැබෙන්නේ රුක්මාට“ ඔහු මේ සියල්ලම තද බල නිවැරදි ඉංග්රීසි බසින් කියාගෙන ගියේ තම යෝජනාවට ලාල් අකමැති වේ යයි බියෙනි.

මිතුරන් දෙදෙනා වෙන් වුනේ හිතේ හටගත් නිදහස් සිතුවිල්ලෙනි. ලාල් සැනසුනේ රුපියලක වත් දෑවැද්දක් නොදී ඉතාම ඉහළ වංශවත් පවුලකට රුක්මා විවාහ කර දීමේ ගෞරවය සහ නිදහස දරාගෙනය. හැකි ඉක්මනින් මේ ගැටලුවෙන් නිදහස් විය හැකියි වගේම තමා රුක්මාට නොසලකා හිටියා කියා ලෝකයේ කාටවත් ඇඟිල්ල දිගු කිරීමටද නොහැක.

රොෂාන් ගජනායකට නම් රුක්මා අවශ්‍යතාවයට නියම ලෙසම සරිලන බිරිඳකි. ඇය පෙනුමෙන් සුන්දරය, ලාබාලය, අසරණය, එමෙන්ම අම්මා කැමති වෙන අන්දමේ පවුල් පසුබිමකට අයත්ය. තමා ගෙවන ජීවිතේ ගැන ඇඟිල්ලක් නොගසා රුක්මා පාඩුවේ ජීවත් වනු ඇත. අනික් අතින් එය රුක්මාට කරන මහත්ම උපකාරයකි. ඒ පැත්ත ගැනද සිතා ඔහු තමාගේ යහපත්කම ගැන ආඩම්බර විය. ඔහු විසින් උදවු කරන ළමා මඩමේ ගැහැණු දැරියෝ ඔහුට මතක් විය. වංශය නොවෙන්න රුක්මා ඒ තරම්ම අහිංසක, අසරණ දැරියකි.

හැම දේටම වඩා හෙට මේ පුවත ගැන කියූ විට අම්මා කොතෙක් සතුටු වේද ඔහු කල්පනා කළේය. රොෂාන් ගෙදර එන විට රාත්රී එකොළහත් පසු වී තිබුන අතර ගාමිණී ඔහුට ඇඳුම් ඇඳගනීමට උපකාර කර රාත්රියට බොන විශේෂ ඖෂධීය තේ කෝප්පයක් ඔහුගේ පුද්ගලික ආගාර ඇති තුන් වන මහළට රැගෙන ආවෙය.

කවුරුත් කතා කළාද මම නැති අතරේ ? රොෂාන් ගජනායක ගාමිනීගෙන් විමසුවේය.

“නැහැ…සර්..ඔවු ආ… අගමැති තුමාගේ ලේඛම්තුමා කතා කරා . හෙට උදේ 8 ට කතා කරන්නම් කීවා.“

“හොඳයි..දැන් උඹ පලයන් ගාමිණී. රෑ වෙලා“ ඔහු කීවේ සිනාසෙමින්.

වැනේසා ගේ සහ ලොකු හාමු ගේ සම්බන්ධය ගැන හොඳින් දන්නා ගාමිණී සිතුවේ අද කාලයකට පසු ඇයව හමුවී ඇති බවයි. ඒ නිසා ඔහු මෙතරම් ප්‍රීතියෙන් සිටින බව විස්වාස කළේය.

කුල ගෙය – පසුගිය කොටසට

Share Now

Related Article