කුල ගෙය – Episode 01

Mar 6, 2020

“තලා පෙලා අත්තටු බිඳ දැමුවත් නුඹට මා පරාජය කළ නොහැකි විය...!“

සාමන්‍යයෙන් අප්‍රේල් මාසය කොළඹ උෂ්ණය අධික වන මාසයකි. රොෂාන් ගජනායක රැජින පාරේ තිබුන සිය නිවස්නයෙන් එලියට බැස්සේ ෆෝර්ඩ් වර්ගයේ රථයෙනි. ඔහුගේ හිත කෝපයෙන් බර විය. තුන් මුල්ල හරහා ගාලු පාරට වේගයෙන් ඇදුන රිය ගල්කිස්ස මහා හෝටලය කරා යාමට ගත වූයේ විනාඩි දහයකි. කොළඹ නගරයේ දැඩි උණුසුම සමග කැටි වූ වේදනාව අරින ලද රියේ වීදුරු අතරින් ඇතුලට එන අවුව නිසා තවත් දැඩි විය

Continue Reading Below

රථය නවතා හෙතෙම මහා හෝටලය වෙත ගොස් බීර බෝතලයක් ඇනවුම් කළේය. හෝටලය ඇතුලත සිසිල්ය. ඔහු අද ගෙදරින් ආවේ තීරණයක් අරගෙනම පිට වීමට අදිටන් කරගෙනය. දොරටුපාලයාට මෙහායින් වූ විසල් ඔරලෝසුවේ පහේ කණිසම වැදීම සමග පසෙක වූ කවුන්ටරයේ දිනය සටහන් පුවරුව දෙස බැලුවේය.

27th April 1978 යනුවෙන් දිනය සටහන් වූ අතර වෙලාව තවමත් නද දේ. ඔහු ඔරලෝසුවට රවා නැවතත් සිගරට් අළු ගොඩ දෙස බලා සුසුමක් හෙලුවේය. එහා අසුනක බර වී සිටියේ වටිනා සාරියකින් සැරසුන රූමත් කතක් සහ ඇගේ සැමියා යයි කිව හැකි මහත්මයෙකි. තවත් අසුනක සුදු ජාතික කාන්තාවන් දෙදෙනක් වාඩි වී මුහුද දෙස බලාගෙන හයියෙන් සිනාසෙමින් සිටියහ.

අදට එහෙනම් අවුරුදු 38 ක් පහු කළා නේද රොෂාන් ගජනායක? ඔහු ඔහුටම මිමිණුවේය. ඔහුගේ ජීවිතය මතුපිටින් බලන කළ අතිශය සාර්ථකය. හේ ප්‍රමාණවත් දේපොලක් හිමි රටේ වංශවත් පවුල් කිහිපයකින් එකක එකම හිමිකරුවාය. ඔහුගේ දෙමාපියන් ප්‍රමාණික දේපොලක් හිමි වංශවතුන් වුන අතර ඔහු උසස් අධ්‍යාපන විදේශ ගත වීමෙන් පසු ලංකාවට පැමිණ කෘෂි යන්තෝපකරණ ගෙන්වන සහ එකලස් කරන ව්‍යාපාරයකට අලුතින් අත ගසා තිබුණි. පියාගෙන් සහ මවගෙන් ලැබුණ වතු පිටි වලට තනි හිමිකම ලැබුනේ එකම අක්කා රෙජිනා ජනාධිපති JR ජයවර්ධනගේ පවුලට ඥාති වන රදලයකු සහ විවාහ වීමෙන් අනතුරුවය.

එංගලන්තයට අධ්‍යාපනය යාමට පෙර ඔහු වයස 18 වන වියේදී අග නුවර ගැවසෙන ලංසි ප්‍රජාව හා මිත්‍රකම් පැවැත්වීය. සැබවින්ම සිදු වූයේ අක්කා රෙජිනාට උගන්වන්නට ආ ඩොරීන් මහත්මියගේ දුව වුන වැනේසා සමග ඔහු කෙලි දෙලෙන් ගත කිරීමයි. තම නිවසේ පවතින පීඩාකාරී, දැඩි පරිසරයට වඩා හෙතෙම නිතැතින්ම වැනේසා සමග ඇගේ ප්‍රීතිමත් ජීවිතය බෙදා ගත්තේය.

දෙදෙනාගේ හිතවත්කම ගැන දැනගැනීමෙන් අම්මා වැලිපැන්න වලවුවුවේ මහා කුමාරිගේ පරම්පරාවෙන් පැවත එන හෙයින් මහත් සේ වේදනාවට පත් වූවාය. ඔහු රට යැවීම ඉක්මන් කරවන්නට එයද හේතු විය. නමුත් පියා ගජනායක මුදලි තුමා එය ගණන් ගත්තේ නැත. භාර්යාවට අමතරව ඔහුට තැන නොතැන සම්බන්ධකම් පැවතුන අතර ඕවා කමක් නැහැ කියන ලිහිල් ප්‍රතිපත්තිය ඔහුට විය.

එංගලන්තයට අධ්‍යාපනය ගිය රොෂාන් ගජනායක ආර්ථික විද්‍යාව උපාධිය ගෞරව සාමාර්ථ ඇතිව උගත් අතර විදේශීය කාන්තාවන් කීප දෙනෙක්ම සමග ප්‍රේමයෙන්ද බැඳුණි. නමුත් ඔහුගේ සිතේ මහා හිස් තැනක් පිරී තිබුණි. වැනේසා ඒ සරල රූමත් වැනේසා ඔහුගේ හදවතේ කොටසක් මෙන් ඔහුට දැනුණි. ඔහු ඇයට වඩා රූමත්, ධනවත් කවුරු ඇසුරු කරත් වැනේසා ගේ තැන ඔහුගේ හදවතේ හිස්තැනක් මෙන් ඉතුරු වී වේදනා දෙමින් පැවතුනි. ඇතැම් මධ්‍යම රාත්රීන් වල ඔහු වැනේසා සිහිනෙන් දකිමින් නැගිට්ටේය.

වසර 4 කින් ලංකාවට පැමිණ ඔහු දින දෙකකින් ගෙදරට සොරෙන් වැනේසා සොයා ඩොරීන් මහත්මියගේ වැල්ලවත්තේ නිවස්නයට ගිය නමුත් එහිදී ඔහු ආදරෙන් පිළිගත් නමුත් නරක පුවතක් කන වැකුණි. එනම් ඔහු විදේශ ගත වීමෙන් වසර දෙකකට පසු වැනේසා හමුදාවේ ඉහල නිලයක් දැරූ කන්දප්පා නමැති නිලධාරියෙක් සමග විවහා වී තිබුණි. දැන් ඇය Mrs. Wanessa Kandappa ය. ඔවුන් හොඳින් සිටින බව ඇසූ ඔහුගේ හිතට නැගුනේ දුක සතුට දෙකම මුසු හැගීමකි.

“ඔයා එයාට එනකම් ඉන්න කියල පොරොන්දු වෙලා නෙවේනේ ගියේ? මුලින් රොෂාන් එවපු ලිවුම් එයා තියාගෙන බලාගෙන හිටියා. නමුත් පසුව අපිට වැටහුනා කවදාවත් රොෂාන්ගේ පවුල අපි වගේ මිනිස්සු එක්ක විවාහ වෙන්න කැමති වෙන්නේ නැහැ කියල“

ඩොරීන් මහත්මිය සුපුරුසු ආචාරශීලී එහෙත් තියුණු ඉංග්රීසි බසින් තෙපලාය. ඔවුන්ගේ කුඩා නිවාස අලංකාරය. ඉස්තරම්ම වර්ගයේ ලස්සන ඇඳුම්, මේස රෙදි, පිඟන් කෝප්ප සහිත ලස්සන ජන කොටසකි ලංකාවේ ලංසි ප්‍රජාව.

“රොමාරියෝ කෝ?” ඔහු ඇසුවේ වැනේසා ගේ බාල සොයුරා ගැනය.

එදා අත පුරා ගෙන ආ වටිනා ත්‍යාග ඩොරීන්ට දී ඔහු පිට වුනේ වැනේසා ගේ නිවහනේ ලිපිනයද ඇතුවය. නිකන් ගිහින් තෑගී දීල බලල එනවා ඔහු කල්පනා කළේය. ඔහුට මේ ගැන කල්පනා නොවුන හැටි. තමන් විදේශ ගත වුන අතරතුර වැනේසා විවාහ වෙතියි ඔහු කීයටවත් නොසිතුවේය.

“මගෙන් වුන වරද. වැනේසා මා වෙනුවෙන් බලා ඉන්න මම ඇයට විවාහ වෙන්න පොරොන්දු දීල තිබ්බේ නැහැනේ. මට ඒ ගැන හිතන්න තිබුණා. ඔහු කල්පනා කළේය”

නොයෙක් වැඩ නිසා සති කීපයක් පහු වුනත් ඔහු වැනේසා හමු වීමට යන දිනයේ දෛවෝපගතව ඇගේ සැමියා විදේශ ගත වී සිටි දවසකි. ඔහු නැති හුදෙකලාව මෙන්ම විවාහ ජීවිතේ ඇතිවෙන සුළු අමනාපයක් නිසා වැනේසා වේදනාවෙන් සිටි දවසකි. ගේට්ටුවට ගොස් හමුදා ඇඳුම් ඇඳගත් මුරකරුට හෙතෙම නෝනා දකින්නට ඥාති කෙනෙක් පැමිණ ඇති බව සැල කළේය.

ඔහුගේ නම ඇසුව සැනින් “මහත්තයට වාඩි වෙන්න කියපන්“ කියා සේවිකාව පිටත් කොට වහා ඇඳුම් ඇඳ ගත්තීය. මුහුණේ පුයරද දමා සැරසුන ඇය කණ්ණාඩියෙන් පෙනෙන ලොකු උදරයක් සහිත තමාව පැරණි පෙම්වතා විසින් කෙසේ පිළිගනීවිද යන දෙගිඩියාවට වැටුණි.

හෙමින් හෙමින් පැමිණි ඇය “රොෂාන්” කියා අසල පුටුවක ඉඳ ගන්නා විට රොෂාන්ගේ දෙනෙත හිතාගන්නට බැරි හේතුවකින් තෙත් වී ගියේය. ඇය තව දුරටත් වසර 4 කට පෙර හැර දමා ගිය කෙට්ටු , සුදුමැලි කෙල්ල නොවේ. එකල බැඳ දමා තිබුන කෙස් වැටිය කැරලි ගැසී හිස වටා එතෙමින් බඳ දක්වා එල්ලෙමින් තිබුණි. තරමක් හයියෙන් හෙලන සුසුම් සහ ඇගේ ඇඳුම් ආයිත්තම් වල සුවඳින් ඔහු වශී වී ගියේය. පහුගිය වසර හතර පුරා තම ජීවිතය වෙලා ගත් අඩු පාඩුව කුමක්ද යන්න ඔහුට වැටහිණි.

අපමණ දයායෙන් ගෙන ආ තෑගී පසෙක තැබූ පෙම්වතුන් යුවල විවාහක බව පවා අමතක කරමින් එකිනෙකාගේ අත අල්ලාගෙන බොහෝ වේලා ගත කළහ. ඉර බැස යන බව පවා ඔවුනට නොදැනුණි. වෙන මිනිසෙකුගෙන් ගැබිණි වී ලොකු උදරයක් දරාගෙන සිටි ඇයට ඔහු කවදාටත් වඩා ප්රේම කළේය.

මාස කීපයකින් වැනේසා ගේ දරුවා උපත ලැබූ අතර ඔහුට ජුලියන් රොෂාන් කන්දප්පා ලෙස නම් තැබුණි. බ්‍රිගේඩියර් කන්දප්පා ගේ නිවසේ රොෂාන් ගජනායක නිත්ය සාමාජිකයෙක් වුන අතර ඔහු ඉතා වේගයෙන් හමුදා සේවයෙන් ඉහලට ගියේ රොෂාන් ගේ බලපෑම යටතේ බව කාටත් නොරහසක් විය. එවක් සිට දැන් වසර 16 ගෙවී ඇති බව රොෂාන් මෙනෙහි කළේ සංවේගයෙනි.

ජුලියන්ට පසුව ඩයනා යනුවෙන් තවත් දුවක්ට වැනේසා උපත ලබා දුන් අතර දොළොස් හැවිරිදි ඩයනා කොළඹ කාන්තා විද්යාලයේ අධ්‍යාපනය ලැබුවාය. බ්‍රිගේඩියර් කන්දප්පා සාමාන්‍ය වෘත්තිකයෙක් වුවත් වැනේසා සහ දරුවෝ ජීවත් වුනේ රොෂාන් ගජනායක මෙන් රදලයන් මෙනි. උසස්ම විදුහල් වලට ඔවුන් ගිය අතර වැනේසා රොෂාන් ගේ නිල නොලත් භාර්යාව බව කොළඹ ඉහළ සමාජයේ බොහෝ දෙනෙක් දැන සිටියහ. ඔවුන්ගේ තත්වය සාමාන්‍ය ජීවිතේදී නම් ලජ්ජා විය යුතු වුවත් ඔවුන් සියලු දෙනාම ඒ ගැන ආඩම්බර වෙන බව පෙනුණි.

මේ අතර රොෂාන් නියම පෙම්වතියන් කීප දෙනෙක්ම කාලයෙන් කාලයට ඇසුරු කළ අතර ඇතැමුන් දෙමාපියන් විසින් යෝජනා කල ඔහු වැනිම රදල තරුණියෝ වූහ. ඔහුගේ සහ වැනේසා ගේ සම්බන්ධය දැනගත් ඇතැමුන් රොෂාන් සමග විවහා වීම ප්‍රතික්ෂේප කළ අතර ඇතැමුන්ව ඔහුටම එපා විය.

විවාහය වැනි බැඳීමක හිර නොවී හැකි තරම් කල් නිදහස භුක්ති විඳිය යුතුය යන්න අරමුණු කරගෙන රොෂාන් ජීවත් වුනාක් වැන්න. ඔහු ලිංගික සේවනය වෙනුවෙන්, ආසාව වෙනුවෙන් කොතෙකුත් කතුන් ඇසුරු කළේය. වැනේසා සැමියා සමග පවුල් ජීවිතයක් ගෙවීමේ අමිහිරිකම වසා ගැනීමට මෙන් ඔහු එළිපිටම ඇයට දන්වා ගැහැනුන් ඇසුරු කළේය. නමුත් කොයි දේ කර ආවත් වැනේසා ගේ සමාගම තුල, ඇගේ ආදරය තුල, මිහිරි කටහඬ තුල ඔහු සෙවූ නිවන තිබුනේය. එය හරියට වෙහෙසී දවසම අවුවේ දාඩිය දාගෙන ගෙදර එන කෙනෙක්ට ඇඟ සෝදා සිය යහනේ වැතිර සිටීම වැනි මිහිරි සුවදායක හැගීමකි.

ඔහුට වැනේසා විවාහ කර ගැනීමට නොහැකි වුනේ ඔහුගේම වරදිනි. පියාගේ වචනයට පිටින් යාමට නොහැකි වීම නිසාවෙනි. පියා මියගියද මහලු මවු ගේ හිත රිදවා දැන් වැනේසා සමග විවාහ වීමට කල් වැඩිය.

“ඒක.. මොන මෝඩ වැඩක්ද?” ඔහු තමාටම සිනා සුනේය. සොෆාවේ හිස හේත්තු කරගෙන දෑතින් හිස බදා ගත්තේය.

Share Now

Related Article