පිරිමි නරක් වෙන්නේ ගැහැණුන්ගේ වැරදි නිසාමද?

Apr 20, 2020

රජයේ ආයතනයක ජෙෂ්ට මූල්ය කළමණාකරු වුන පියල් එලියට බැස්සේ හුලන් ටිකක් වැදීම පිණිසයි. අද කලින් වැඩ ඇරුනත් ගෙදර යන්නට ඔහුට පිරියක් නොවීය. තමාගේ ජීවිතය මුල සිට වැරදුන බව ඔහුට සිතේ. දැන් ප්රමාදය. ඔහුගේ කැම්පස් එකේ රූමා වුන තොශාන් හමුවී අඩියක් ගැසීමට ඔහුට වුවමනාය. තොශාන් සමග තමන්ගේ ජීවිතේ දුක කියා සැහැල්ලු වෙන්නට පුළුවන. හවස ඒ වෙනුවෙන් කතා කළ විට තොශාන් කීවේ කිසියම් දේකට ඔහු වැඩ ඇරී ගෙදරට යන බවත් කාර්යාලය සමීපයේ තිබෙන ඔහුගේ නිවසට ආවොත් දෙදෙනා සමගම මධුවිතක් තොල ගෑමට යා හැකි බවත්ය.

Continue Reading Below

එබැවින් ඔහු තොශාන්ගේ ගේ දෙසට වාහනය හැරවීය. තොශාන්ගේ බිරිඳ ඔහුගේද ඔහුගේ බිරිඳගේ ද මිතුරියකි. වාහනය වත්ත ඇතුලට දාන විටම ඔහුට උද්යානයේ තිබෙන මනාව කප්පාදු කළ තණකොළ සහ වැටවල් අගය නොකර සිටිය නොහැකි විය.

ගෘහ අංගනයෙන් එහා විසිත්ත කාමරය මනහරය. සෝෆා පිරිසිඳුය. පියල්ට සිතුනේ තොශාන් හරිම වාසනාවන්තයෙක් බවයි. තොශාන් ගේ බිරිඳ ඛේමා කොතරම් දක්ෂ ගැහැණියක්ද? තමාට නම් ඕනේ වෙලාවක මිතුරෙක්ට එන්න කියන්න පසුබිමක් ගෙදර නැත.

තොශාන්ගේ බිරිඳ පැමිණ ඔහු හා සුහදව කතා කර තේ අවශ්ය නැති බව දැන්නුවෙන් සැමියාට හාද්දක් දී පිටත් කළාය. පියල් නිහඩව වාහනේ එලොගෙන කනත්ත පාරට දමන විට තොශාන් හිනා වෙමින් ඔහු දෙස බැලුවේය.

“ උඹට කාලෙකට පස්සේ මාව හම්බ වෙන්න හිතුන එක හොඳයි බන් . වැඩ නිසා අපි දැන් සෙට් වෙන්නෙත් නැහැනේ” ඔහු කීවේ සුපුරුදු සැහැල්ලුවෙනි.

“ අපරාදේ උඹට තිබ්බේ වයිෆ්වත් එක්කන් එන්න.. අපිට ඛේමාත් එක්කන් යන්න තිබුනා එහනම්. පොඩි වුන් සෙට් එකම අපේ අම්මට දීල. එහා වත්තෙනේ බන් අපේ අම්ම ඉන්නේ “ තොශාන් නොනවත්වා කියවයි.

ඔවුන් දෙදෙනා අවන්හලට එන තුරුම පියල් කතා කළේ නැත. බීර බෝතල ඇනවුම් කරන තුරුම නිහඩව සිටි පියල් වේටරයා යන තුරු ඉවසීමෙන් සිට සිය මුව විවර කළේය.

“ මචන් තොශාන් ..උඹ හම්බ වෙන්න ඕනේ වුනේ මගේ හිතේ තියන දුක කියල මේකට විසඳුමක් ගන්න” කියමින් සෝ බරව මිතුරා දෙස බැලුවේය.

පියල් හොඳ වැටුපක් ගන්නා කෙනෙකි. ඔහුට දෙමාපියන්ගෙන් දායාද ලෙස නිවසක් ලැබුණි. දරුවන් තිදෙනෙක් සිටී. ඔහුගේ බිරිඳ යහපත් කාන්තාවකි. ඔහුට තිබෙන ගැටලුව කුමක්ද තොශාන් කල්පනා කළේය.

“ උඹ වාසනාවන්තයි… මම එහෙම වාසනාවන්ත නැහැ” පියල් කීවේ කතාවට ආරම්භයක් ලෙසිනි.

“ උඹට තියන ප්රශ්නේ මොකද්ද කියපන් “ තොශාන් ගේ ඉවසීම හිදී ගොස්ය.

“ උඹට කියන්න…. දැන් බලපන් අද එද්දී උඹේ ගෙදර කොයි තරම් ලස්සනද? ඛේමා ගේ දොර ලස්සනට තියාගෙන පිළිවෙලට ඇඳලා හිටියා. අපේ දිහා යන්න නෙවේ හිතෙන්නේ. මම දැන් රෑ වෙනකම් වැඩ කරලා රෑ මැද ගිහින් නිදා ගන්නවා. ගේ දොර අපායවල් වගේ. කසුනි උදේ ඇඳගත් නයිටිය පිටින් රෑටත් ඉන්නේ. ලඟ ගඳයි බන්. ඒ මදිවට මම එද්දී කඩාගෙන පනිනවා. මම දැන් කවුරුත් ගෙදරට ගෙන්වන්නේ නැහැ. මහන්සි වෙලා ගෙදර එද්දී මෙහෙම ජීවත් වෙන්න පුළුවන් කාටද බන්? වෙලාවකට රට වත් යන්න හිතෙනවා. දරුවෝ නැත්නම් මම මේ වෙද්දීත් ඩිවෝස් එකකට ගිහින්”

“සෑහෙන ප්රශ්නයක් නේද බන්?” තොශාන් ඇහුවේ අවංක කම්පාවෙනි.

“ ඔවු බන්…. දැනටම මායි කසුනියි කතා කරන්නේ ළමයිගේ වැඩකට විතරයි. ගොඩක් වෙලාවට කසුනි බුම්මන් ඉන්නවා. අඩුම ගානේ හේතුවක් කියන්නේ නැහැ. ඇහුවොත් මුකුත් නැහැ කියල කියනවා. මම නිදියන්නේ පහල තට්ටුවේ කාමරේ දොර වහගෙන . එයා ළමයි එක්ක උඩ. ගෙදර කියල සැනසිල්ලක් ඇත්තෙම නැහැ බන් “ ඔහු කීවේ හැඬුම් බරවය.

ඔහුට ඔහුගේ බිරිඳ කෙරෙහි ඇතිවූයේ නොමද කෝපයකි. විවාහ වෙලා වසර කීපයක් ගතකළ තොශාන් කල්පනාවට වැටුණේය.

“ දැන් උඹ ඔෆිස් එකේ ඉද්දි කසුනිට කෝල් කරනවද?” තොශාන් ඇසුවේය.

“ කොහෙද බන් මේ වැඩ අස්සේ කද්දීත් 4 වෙනවා. මේ ගෑනුන්ට ගෙදර ඉඳල සැපට අපේ මහන්සිය තේරෙන්නේ නැහැ. ඉතින් දවසම කෝල් කර කරා අහනවා කොහෙද ඉන්නේ කියල. වැඩ අස්සේ මට මල පනිනවා” පියල් කීවේ කෝපයෙනි.

“ උඹල දෙන්න කවදද අන්තිම වතාවට ආදරෙයි කියල කිවුවේ?” තොශාන් දෙවෙනි ප්රශ්නය අසයි.

“ උඹට පිස්සුද බන්? බැඳලා දැන් ළමයි තුන් දෙනෙක් වෙලා. ආදරේ ගැන කතා කරන කාලයක්ද මේක?” හිනාවෙමින් පියල් කීවේ තම මිතුරාගේ ඔලුව අවුල් වේගෙන එනවාදෝ සිතමිනි.

ඔහු දෙස බලාගෙන සිටි තොශාන් කතාව පටන් ගත්තේය.

“මචන් අපි හැම වෙලේම කියනවා ගෑනු කසාදෙන් පස්සේ වෙනස් වෙලා කියල. හැබැයි අපිට තේරෙන්නේ නැහැ අපි කොච්චර නම් ඒ වෙනසට දායක වෙනවද කියල. ඒ වගේම අපේ හැසිරීමත් දැන් කොයි තරම් වෙනස්ද කියල. දැන් බලපන් උඹ ඉස්සර කසුනිට කැම්පස් එකේ ලෙක්චර්ස් වලට් ආව ගමන් කෝල් එකක් දීල කියනවා. ඒකිට පරිස්සමෙන් යන්න කියනවා. දැන් ඒ උඹම එහෙම දේවල් කරනවද ? නැහැනේ?

අපි යාලු වෙලා ඉන්න කාලේ කෙල්ලට තෑගී බෝග දෙනවා. ආදරේ කියනවා. කසාද බැන්ද ගමන් පිරිමි බකමූනෝ වගේ වෙනවා. ෆෝන් එකයි , TV එකයි ඉස්සරහ තමා ගොඩක් පිරිමින්ට ගෙදර ගිහාම ජීවිතේ තියෙන්නේ. නිකමට උඹ හෙට ටිකක් වේලාසනින් ගෙදර පලයන්. යද්දී ළමයිට කන්න දෙයක් ගෙනියනවනේ. වෙනම පොඩි දෙයක් කසුනිට හන්ගන් පලයන්. ගිහින් ඒක වෙනම දීපන්. මම මේ ඔයාටමයි ගෙනාවේ කියල. මේ පිරිමි අපි වගේ නෙවේ ගෑණුන්ට උන් ආදරේ කරන මිනිහාගෙන් සෑහෙන්න අවධානයක් ඕනේ.

දැන් අපේ ඛේමා ඔය ගානෙන් තියාගන්න මම සෑහෙන්න ගේමක් දෙනවා. ගෙදරින් යන්න කලිනුයි , ගිහින් ආව ගමනුයි මම ඛේමට ඉස්සෙල්ලම කිස් එකක් දෙනවා. එයා හරිම ආසයි. බැඳලා අවුරුදු දැන් 12ක් ගියත් ඛේමා මම ඉස්සරහ තාම පොඩි කෙල්ලෙක් වගේ බොළඳ වැඩ කරන්න තමා බලන්නේ. මගේ තේ එකෙන් ටිකක් ඛේමා ඉල්ලන් බොනවා.

අනික මචන් අපේ පොඩි එවුන් දෙන්න දැන් ලොකුනේ. ඒ නිසා අවුලක් නැහැ. පොඩි එවුන් චූටි කාලේ අපේ ගෙදර මේ වගේ පිළිවෙල නැහැ. සමහරදාට ඛේමා බලාගෙන ඉන්නේ මම එනකම් පොඩි එවුන් මගේ ඇඟට දාලා විවේක ගන්න. එක දවසක් ගෙට වෙලා උදේ ඉඳල ළමයෙක් බලාගනින්. විස්වාස කරපන් මචන් අපේ වයිෆ්ලා කරන දේ හරිම අමාරුයි. අපිට හිතෙන්නේ ගෙදර නිකන් ඉන්නවා කියලනේ. පොඩි එකෙක් එක්ක ඔට්ටු වෙනකොට ගෑනු ඉබේම ස්ට්රෙස් වෙනවා. උඹ සෙනසුරාදට වත් පොඩි එවුන් බලාගෙන කසුනිව ටිකක් නිදහස් කරපන්.

පියල් සිය මිතුරාගේ කතාව සාවධානව අසා සිටී.

“ උඹ කියන්නේ දැන් මේ සේරම මගේ වැරදි කියලද?” ඔහු තොශාන් ගෙන් අසයි.

නැහැ බන්..අපි කවුරුත් හරි නැහැ . නමුත් පවුල් ජීවිතේ කියන්නේ එකිනෙකාට බැනගන්න එක නෙවේ. සහයෝගෙන් ගහන ගේමක්. දැන් උඹ පිරිමියෙක් වෙලා කරන්න ඕනේ හම්බ කරන එක විතරක් නෙවේ. ගෑනියෙක් මිනිහෙක් ගන්නේ කන්න හොයාගන්න නෙවේ බන්. ගෑනියෙක් මිනිහෙක් එක්ක දීග එන්නේ ආදරේ හොයාගෙන. ගෑනුන්ට ආදරේ දැනෙන්න දෙන්න ඕනේ.

කසුනි ලොකු ළමයි දෙන්නගේ වැඩයි පොඩි එකා බලාගන්න එකයි එක්ක පුදුම විදිහට දුක් විඳිනවා ඇති. ඒකයි කසුනිට තරහා යන්නේ. අපේ ඛේම වුනත් බබාලා පොඩි කාලේ මම එද්දී බාගෙට මැරිලා හිටියේ. නයිටිය පිටින් ඉන්නවා නම් උඹ කරන්න ඕනේ එදා රෑට උඹ කෑමක් උයල , ගේ අතුගාල දීල , කසුනිට නිදහස් කරන එක නේද? නැතුව ඔෆිස් එකට වෙලා යක්කු ගස් යන වෙලාවට ගෙදර යන එක වත් තැන තැන බිබී ඉන්න එකවත් නෙවේ මචන්.

“ මේ ගෑනි මගෙන් උදවුවක් ඉල්ලන්නේ නැහැ බන්… කියනවා නම් කරන්න බැරිද?” පියල් කියයි.

උඹ කියෝලා තියෙනවද ගෑනුන්ගේ ඔලුව වැඩ කරන හැටි? පිරිමි අපිට නම් උදවුවක් ඕනේ වෙලාවට කියන්න ඕනෙනේ. නමුත් ගෑනු එහෙම නැහැ. උන් හිතන්නේ අපි හිතල කරන්න ඕනේ කියල. ඉතින් උඹ ගෙදර වැඩ නොදැක්ක වගේ ෆෝන් එකේ ඉද්දි කසුනි උඹ එක්ක තරහා වෙනවා. කසුනි හිතන්නේ උඹ එයාට ආදරේ නැහැ කියල.

“ අනික බන් ළමයි එක්ක ඔට්ටු වෙලා රෑට මැරෙන්න මහන්සි අස්සේ මිනිහ එක්ක සතුටු වෙන්න තරම් ඇඟට ෆිට් එකක් ගොඩක් ගෑනුන්ට නැහැ බන්. ඒ නිසයි පිරීමි අපි ගෑනිගේ වැඩ කොටසක් කරන්න උදවු දීල ඒ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ. අපේ ශරීරෙ වගේ ගෑනුන්ගේ ශරීර ඕවට එවරෙඩි නැහැ බන්. උන්ට ආදරේ කරද්දී තමයි උන්ට ඕවා වුනත් ඕනේ වෙන්නේ.” තොශාන් කියාගෙන යයි.

“මම කියනවට උඹ අද ඉඳල ටිකක් වෙනස් වෙයන්. වෙලාවට ගෙදර ගිහින් දරුවන්ගේ සහ ගෙදර වැඩ කොටසක් පවරා ගනින්. දවසම දරුවෝ එක්ක ඔට්ටු වෙලා ඉන්න ගෑනි එක්ක පොඩ්ඩක් චැටක් දාපන්, කකුලක් කොන්දක් රිදෙනවාද අහල තෙල් ටිකක් ගාල අතගාපන්. දැන් උඹල දෙන්න ඉන්නේ තරහෙන් නිසා මුලින්ම හැම දේම බැරි වෙයි. පටන් ගනින් කසුනිට මොනවා හරි ගිහින්දීල.

ඊට පස්සේ හෙමින් හෙමින් ගේම ගහපන්. ගෑනු කියන්නේ මල් පැල වගේ කොටසක්. අපි ආදරේ කියන පොහොර වක්කරන තරමට තමා උන් අපිට මල් දෙන්නේ. “ A woman is the reflection of her man “ කියන්නේ කට කහනවට නෙවේනේ බන්. ගෑනියෙක් සතුටින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ ගෑනිගේ මිනිහට ලොකු රෝල් එකක් එතන තියනවා. ගෑනි අසතුටින්, දුකෙන් , තරහෙන් ඉන්නවා නම් එතන මිනිහා හැටියට උඹෙත් වගකීමක් තියනවා.

“දැන් පරක්කු නොවී ගෙදර පලයන්. තව සතියකින් මට කෝල් කරලා ප්රතිපල කියපන්. “ කියමින් තොශාන් බිල ගෙනෙන මෙන් වේටරයාට සන් කළේය.

සතියකට පසු කෝල් කළ පියල් කීවේ දැන් දෙදෙනා අතර ඇති ගැටලුව යම් තාක් දුරකට විසඳුන බවය. ඉන් තවත් සතියකට පසු පියල් කීවේ ඔහු විසින් ගෙදර වැඩට ගැහැනියක් ගෙන දීමට තීරණය කළ බවයි. ගෙදර වැඩ වල අමාරුව ඔහුට වැටහී තිබුණි. මාස 6 කට පසු ඛේමා සහ තොශාන් පියල්ගේ ගෙදර යන විට ඔවුන්ගේ නිවාස සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණි. ඔවුන් දෙදෙනා දික්කසාද වීමට තව දුරටත් බලාපොරොත්තුවක් නැතිබව කියවිණි.

Share Now

Related Article