මම මගේ දියණියට වෛර කළෙමි

Jun 1, 2020

ඒ කතාව කොතනින් පටන් ගත යුතුද මම නොදනිමි. එය පටන් ගත්තේ මා ඔහු හමු වෙන්නටත් පෙරය. මා රැකියාවට යන්න පටන් ගත්තේ අපේ පවුලේ ආර්ථික බරෙන් ස්වල්පයක් හෝ නිදහස් වීමටයි. තාත්තාගේ රැකියාව නැතිවීම සමග මට බාල නංගිලා දෙදෙනාට වියදම් දැරීම අසීරු නිසා අධ්යාපනය අතර මග නවතා මම පුද්ගලික ආයතනයක ලේඛම් වරියක් ලෙස සේවයට ගියෙමි. ඒ වන විටද මට සම වයසක පෙම්වතෙක් සිටියේය. ඔහුද අප මෙන්ම ඉතා දුප්පත් අන්ත අඩියක සිටි නමුත් අපි දෙදෙනා එකිනෙකාට බෙහෙවින්ම ආදරේ කෙරුවෙමු.

Continue Reading Below

මේ අතර මා වැඩට ගිය ස්ථානයේ මගේ ප්රධානියා මට වඩා වයස අවුරුදු 12ක් පමණ වැඩිමල් අවිවාහක නිලධාරියෙක් විය. ඔහු ඉහළ පවුලකින් පැවත එන , උගත්, ධනවතෙක් විය. ටික දිනක් ඔහු යටතේ වැඩ කරන විට මට ඔහුගෙන් විවාහ යෝජනාවක් පැමිණි අතර ඔහු මගේ ගෙදර ආර්ථික තත්වය හොඳින් දැන සිටියෙක් විය. මගේ හිතේ ඔහු ගැන ආදරයක් හටගත්තේ නැති.

නමුත් ඔහු කරන උදවු උපකාර අපේ පවුලට නැතුවම බැරි විය. කමල් ධන්සංඛ යනු කාරුණික යහපත් මිනිහෙක් වුනත් මට ඔහු ගැන ආදරයක් නම් ඇති නොවීය. රැකියාව රැකගැනීම සහ ඔහුගෙන් ලැබෙන ආධාර උපකාර නිසා අකමැත්තෙන් හෝ ඔහුව ඇසුරු කරන්නට මම හිත හදාගත්තේ ඔහුගේ බලපෑමක් නිසා නොව අම්මාගේ බලපෑම නිසාය.

“ ඔය හිඟන්නා මත්තේ නහින්නේ නැතුව කමල් සර්ට කැමති වෙයන් . නංගිලාවයි අපේ පවුලයි ගොඩ දාන්න ඉන්නේ උඹ “ අම්මා එවකට නිතර කියයි.

“ අම්මේ ඒ මිනිහා මට වඩා වයසයි. කැතයි. මට කිසිම ආසාවක් නැහැ “ මම කියමි.

“ යකෝ පෙනුම කන්නද? සැපක් විඳින්න පිනක් නැතිකම. අම්ම තාත්තා ගැන ආදරයක් නැති කම “ කියමින් අම්මා නිතරම මා හට සාප කළාය.

පවුලට කමල්ගෙන් ලැබෙන උදවු උපකාර නිසාම මම රාජකාරි වලට පිට යන අතරතුර ඔහු සමග කායික සම්බන්ධකම් පැවැත්වූයේ ඔහුට නැවත ගෙවීමක් ලෙසිනි. ඔහු නම් අවංක හිතෙන්ම මට ආදරය කළේය. ඔහුගේ කලින් බිරිඳ ලියුකීමියාව හැදීම නිසා මිය ගොස් තිබුණි.

මාස කීපයකට පසු අම්මාගේ දැඩි සතුටට හේතුවක් වෙමින් මම විවාහ වීමට පෙරම කමල්ගෙන් ගර්භනී වීමි. අකමැත්තෙන් නමුත් ඔහු හා විවාහ වීම හැර වෙන පිලියමක් මට නොවුන අතර විවාහය රෙජිස්ටර් කර අප දෙදෙනා ඔහුගේ කොළඹ පැවතී දෙමහල් නිවසේ පදිංචියට ගියෙමු. වැඩට සේවකයන් සමග ඔහු මගේ ජීවිතය ඉතා සැපවත් කළේය. මගේ පවුලේ නංගිලා මල්ලිලාට ඉගැන්නුවේය. වෙන එකක් තබා තාත්තා එවකට මත්පැන් ගන්නා නිසා හවසට අරක්කු බාගය පවා ඔහුට යැවීමට තරම් කමල් කාරුණික විය. අපේ ගෙදර හැමෝටම කමල් ඉටු දෙවියා වුන අතර කමල්ගේ ජීවිතය පිරී තිබුනේ මා ගැන ආදරයෙනි. මම ඔහුට ඇති නොකැමැත්ත පසෙකට තබා ඔහුට යුතුකම් ඉටු කිරීම කරගෙන ගියෙමි.

මගේ වැඩිමල් දියණිය ගැනද මට ඇතිවූයේ මහත් තරහකි. මගේ අද්යාපනය , ජීවිතය ගැන ආදරණීය මගේම පවුලක් ගැන තිබුන හීන බිඳ වැටුනේ ලොකු දුව තායා නිසාය. නොයෙක් වර ඇය ගබ්සා වේවා පතමින් මම මුනින් අතට නිදා ගත්තෙමි. එසේ වුනොත් නැවත ළමයි නොහදා පවුල් බරෙන් නිදහස් වුන විගස කමල් හැර දමා රටකට යාම මගේ පැතුම විය.

නමුත් කරුමයට තායා ඉපදුණාය. උපන් දවසේ සිට මගේ සිතේ තායා ගැන හටගත්තේ මහත් වෛරයකි. ඒ වගේම කමල් හට පෙනෙන්නට දුවට කිසිම වෙනස් කමක් නොකිරීමට මම පරිස්සම් වුනෙමි. ඔහු අපගේ දියණියට මහත් සේ ඇලුම් කළේය. ඒ අතර කමල් මගේ අධ්යාපනයට උදවු කළේය. අපිට වසර දෙකකින් පුතෙක් උපන් අතර ජීවිතේ කිසිවෙක්ට නොදැනුන අන්දමේ ප්රේමයක් මට පුත්රයා ගැන හටගත්තේය. පුතු ගයාන් මගේ ජීවිතය ප්රීතියෙන් පුරවාලූයේය. ගැහැණු පමණක් පිරුන මගේ පවුලේ උදවියට ගයාන් යනු මැණිකක් විය. මමද කමල් සමග ජීවත් වීම් ඉරණම සමග සමාදාන වූයෙමි. ජීවිතයේ හටගත් හිස් බව ගයාන් සමග නැතිවී ගියේය.

මගේ ආදරය නැති තැන තායා තාත්තා හට වැඩි වැඩියෙන් ආදරය කලාය. එයත් මගේ දැඩි තරහට හේතුවක් විය.

“ මගේ දේවල් අරගන්න ආව හැතිරි “ කියමින් මම නොයෙක් වර තායාට තඩි බෑවෙමි. ඇගේ මුහුණ පවා මගේ උග්ර කෝපය නිසා සීරුවෙමි. මගේ කෝපය ඇවිලෙන්නේ තායා සමග පමණක් නිසා අවට සමාජයේ කිසිවෙක් මම එවැනි මවක් යයි යන්තමින් හෝ සැක කළේ නැත.

මා වනාහි සමාජය ඉදිරියේ හැමෝටම උපකාර කරන යමක් කමක් ඇති ගුණවත් ගැහැණියකි. තායා ඉගෙන ගන්නට දක්ෂ වූවාය. මගේ යටිහිත පැතුවේ ඇය වෙලාවක මිය යනු ඇති බවය. නැතහොත් මොකෙක් හෝ සමග පැන ගොස් ගණිකාවකගේ ජීවිතයක් ගෙවීම මගේ එකම පැතුම විය. තායාට හැමෝම ප්රසංසා කිරීම මගේ දැඩි අමනාපයට හේතු වුන අතර මම ඇගේ හිසකෙස් බලෙන්ම අඟලක් වත් දිග නැති වෙන්න කැප්පුවෙමි. කවුරු හෝ ඇහුවොත් මා කීවේ තායා තියන හිතුවක්කාරකම නිසා කොණ්ඩය හොරෙන් කපා ගන්නා බවය.

මම බොහෝ විට තායා හිතුවක්කාර බව කියමින් කමල් අතින් වැලපෙමි. මගේ කඳුළු දකින කමල් දුවට මා සමග බනින නමුත් කිසිම දෙයක් නොකරයි. ඔහු ඇතැම් විට ඇගේ හඳහන බලයි. පාසලට ගොස් ගුරුවරු සමග කතා කරයි. කිසිවෙක් හොඳ හැර ඇගේ වැරදි නොකිවීම මට මහත් දුකක් විය. මේ අයුරින් තායා ගේ ළමාවිය ගෙවී ගියේය.

ඇය යන්තම් ලොකු වන විටම පවුල හැර තනි දිවියක් පටන් ගත් අතර මා කෙරෙන් දුරටම දුරු වූයේ වසංගතයක් මෙන් ඈත් වීමෙනි. ඉන් වසරකට පසු රිය අනතුරකින් කමල් මිය ගියේය. මම තනි වුනෙමි. ගයාන් මගේ නොමදව ආදරය විදිමින් හැදී වැඩුනත් තායා මෙන් දක්ෂ නොවීය. මම මට අයත් සියලුම දේපොළ ගයාන්ට පැවරුවේ මා මලපසු ලියා නොතිබුනොත් තායාට අයිති වෙතියි බියෙනි. පවරා නැති දේපොළ දරුවන් දෙදෙනාට සමව බෙදේ.

ඉන් පසු ගයාන්ගේ විවාහයෙන් පසු ගයාන්ගේ බිරිඳ මා හට වෙනස්කම් කරන්නට පටන් ගත්තාය. ගයාන් නොයෙක් වර කමල් මට තැම්පත් කළ මුදල් ඔහුගේ වුවමනා වලට ඉල්ලා ගත්තේය. අවසානයේ ඥාති ගෙදරක නැවතුන මට එහිත් වැඩි දිනක් ඉන්න බැරි නිසා ඔවුන් තායාට ගෙනියන මෙන් දන්වා තිබුණි.

අවසානයේ තායා පැමිණියාය. ඒ වන විට වුර්තියෙන් සහ ජීවිතයෙන් ඉහළ ගොස් දරුවන් ලබා සිටියද මට තායා කෙරෙහි හටගත්තේ පෙර තරහවය. ඇගේ නිවසේ සේවිකාවන් ඇයට එදිරිව උසිගැන්වීම මා විසින් කළෙමි. තායාගේ සැමියාට නොයෙක් කේලම් කියා බැලුවෙමි. මාස කීපයකට පසු තායා බලෙන්ම වගේ මාව රථයක දමාගෙන අංගොඩ මානසික සෞක්යය විද්යායතනයට රැගෙන ගිහින් නතර කළාය. මම ඇයට හැකි උපරිම වැර යොදා සාප කළෙමි. ඥාතීන් හමුවේ ඇයව පතුරු ගැසුවෙමි. නමුත් හිත දැඩි තායා කීවේ එකම දෙයකි.

“ තාත්තා බෙහෙතක් නොකළ නිසා මගේ මුළු ළමා කාලෙම විනාස වුණා. දැන් ඉතුරු වැඩිහිටි වයසත් විනාස වෙන්න මම දෙන්නේ නැහැ . මෙහේ නැවතිලා බෙහෙත් බීලා සනීප නොවුනොත් මම ආයේ ගෙට ගන්නේ නැහැ. මට හැමදාම මේ සාපෙ නිසා මගේ ජීවිතේ විනාස කරගන්න බැහැ “ කියාය.

සැබවින්ම මාස 4 ක් නේවාසික ප්රතිකාර ගැනීමෙන් පසු මගේ සිතුවිලි වෙනස් විය. මම අදටත් මසකට වරක් සායනයට ගොස් ප්රතිකාර ගනිමි. මට තිබුනේ මානසික ගැටලුවකි. නමුත් කමල් තරුණ කාලයේම මට ප්රතිකාර නොකෙරුවේ මට ඇති දැඩි ආදරය සහ නොදනුමත්කම නිසාය. මා අද ජීවත් වන්නේ තායා විසින් කුලියට අරගෙන දුන් වෙනම කාමරයක් තුළය. ඒ ක්රමයට මා කැමතිය. ගයාන් ඉඳහිට මා බලන්නට පැමිණේ. තායා මා සමග කුළුපග නැතත් මසකට වරක් මගේ බෙහෙත්, ආහාර සහ අනෙකුත් වියදම් සියල්ල කරයි.

මා වෙනස් වුන පමණින් විනාස වුන ඇගේ ළමා කාලය ඇයට යලිත් ලබා ගැනීමට හැකිද?

මා තායාට බනින විට හැමෝම ඉස්සර කීවේ ඇය මගේ සසර තරහ කාරයෙක් කියාය. නමුත් සත්යය මගේ මානසික රෝගය නිසා මට එසේ හැසිරීමට සිදු වුන බවයි. මම එයට සමාව ඉල්ලන්නේ නැත. මන්ද යත් සමාව දීමට නොහැකි වැරදි මේ ලොව ඇති බව මා දන්නා නිසාය.

ඔබත් ඔබටහෝ සමීප කෙනෙක්ට මානසිකව ගැටළුවක් ඇති නම් එයට පිළියම නිහඩතාවය නොවේ. මා හට සුදුසු ලෙස බෙහෙත් ප්රතිකාර කළා නම් තායා ගේ ජීවිතයේ බොහෝ දේ මීට වඩා වෙනස් වන්නට තිබුණි. ඇය අදටත් මානසික අවපීඩනයට බෙහෙත් පානය කරයි. එයට වරදකරුවා මා බව මම දනිමි. ඔබට යම් සැකයක් ඇතිනම් 1926 අංකය අමතා රහසිගතවම ප්රතිකාර සහ අවශ්යය උපදෙස් ලබා ගත හැක. අංගොඩ මානසික විද්යායතනය යනු බොහෝ මිනිසුන් නැවත ජීවිතය ලබන තිඹිරි ගෙයකි.

( මෙවැනි තවත් කතා කියවීමට කැමති නම් පහළ ඇති Tags වචනයට යටින් ඇති Motivational Story මත ක්ලික් කරන්න. එවැනි කතා සියල්ල ඔබට දැකිය හැකිය.)

Share Now

Related Article