මටත් පවුලක් තිබුණා

Sep 22, 2020

2007 පෙබරවාරි 24.. එදා ඉරිදාවකි. එහෙත් මා උන්නේ වැඩ කරමිනි. සති අන්තයේ නිවාඩු ගන්නට මට පුළුවන් කමක් නැත. දරු දෙදෙනෙකුව ජීවත් කරවන්නට මා වැඩ කළ යුතුව තිබේ.

Continue Reading Below

පුංචිම කාලේ පටන් මගේ ජීවිතය එතරම් සුව පහසු එකක් වූයේ නැත. ආර්ථික අතින් මෙන්ම මානසිකවද මා එතරම් ස්ථාවර මට්ටමක උන්නේ නැත. එනිසාම වයස අවුරුදු දාහත වන විටම මම මත්ද්රව්ය වලට ඇබ්බැහි වී උන්නෙමි. එහෙත් කාලයක් ගත වන විට ඒ ඇබ්බැහියෙන් මිදෙන්නට මම සෑහෙන උත්සාහයක් දැරුවෙමි. වරින් වර ඒ උත්සාහය සාර්ථක නොවුණේද නොවේ. මා උසස් විද්යාලයේ සියළු විභාග වලින් ගෞරව සාමාර්ථද ඇතිව සමත් වී ටෙනෙසි විශ්ව විද්යාලයට තේරුණේද එබැවින් විය යුතුය. මම ටෙනෙසි විශ්ව විද්යාලයේ මානව පරිසර විද්යාව හදාරන සිසුවියකව සිටියදී, ජීවිතය වෙනස් අතකට හැරිණ. විශ්ව විද්යාලයේදී ඇතිවුණු ප්රේම සම්බන්ධයකින් මම ගැබ්ගෙන උන්නෙමි.

ලැබෙන්නට සිටින දරුවා නිසා මම බෙහෙවින් සතුටු වුණෙමි. වෙනස් වෙන්නට තීරණය කළෙමි. දැන් මගේ ජීවිතයට අරමුණක් ඇත.

ඉතින් 1993 ඔක්තෝබර් මාසයේ මගේ පළමු ආදරයේ, පළමු දරුවා “පැරිස්” උපන්නේය. ඇත්තෙන්ම ඔහු අපූරු සුන්දර දරුවෙකි.

ඒ වන විටත් “පැරිස්” ගේ තාත්තා සහ මා විවාහ වී උන්නේ නැත. ඔහු පැරිස්ව මුල් වරට බලන්නට ආවේ පැරිස්ට වයස මාස දාසයකුත් වූ පසුවය. ඒ වන විට ඔහුගේ හැසිරීම බෙහෙවින් වෙනස් වී තිබිණ. මගේ පෙම්වතාට මොකක් හෝ ලොකු ප්රශ්නයක් ඇති බව තේරුම් ගත් මම ඔහුව වෛද්ය ප්රතිකාර වලට යොමු කළෙමි. මට වෛද්යවරුන් කීවේ ඔහු දරුණු හීන්නෝන්මාද තත්වයකින් පෙලෙන බවය.

මා සිටි තත්වය අනුව එවන් මානසික රෝගියෙකු සමගින්, තනිව දරුවෙකු බලාගෙන ජීවත් වෙන්නට මට හැකියාවක් තිබුණේ නැත. දරුවාගේ යහපත වෙනුවෙන් මම ඔහුගෙන් ඈත් වුණෙමි.

මම විශ්ව විද්යාල අධ්යාපනය ලබන අතරතුරම සුළු සුළු රැකියා කළෙමි. මගේ දෙමාපියන්ද යම් පමණකින් මට මුදල් හදල් වලින් උපකාර කළ නමුත් මගේ දරුවා ඔවුන්ට බරක් කරන්නට මා කැමති වූයේ නැත. එනිසා මගේ අම්මා ලග දරුවා තබා මම රාත්රියටත් රැකියාවන් කළෙමි. එය බෙහෙවින් දුෂ්කර කාලයක් විය.

මානව පරිසර විද්යාව පිළිබද උපාධියක් රැගෙන අධ්යාපනය හමාර කළ පසුව මට තවත් තැනක රැකියාවක් ලැබිණ. මගේ දෙවන දරුවා “එලා” ගේ පියා හෙවත් මගේ දෙවන පෙම්වතා මට මුණ ගැසෙන්නේ එතැනදීය. ඒ ආදරයේ ප්රතිඵලයක් ලෙස “එලා” හෙවත් මගේ පුංචි දියණිය මා වෙතට ආවාය.

එලා මගේත් පැරිස්ගේත් ජීවිත වලට ආලෝකයක් ගෙන ආවාය. මා මෙන්ම පැරිස්ද ඇයට දැඩිව ආදරය කළේය. එහෙත් ඉදහිට පැරිස්ගේ හැසිරීම අමුතු වෙන්නට පටන් ගත්තේය. ඒ සමගම පෙර නොතිබුණු දඩබ්බර කම් ඔහු වෙතින් ඉස්මතු වෙන්නට විය. ඒ තරමටම එලා දිනෙන් දින සුරතල් දැරියක වූවාය.

එදා මා වැඩට යන්නට සූදානම් වන විට එලා උන්නේ නාන කාමරයේය.

“අම්මේ මට හාදුවක් දෙන්නකෝ..” ඇය නාන බේසමේ සිටම මට ඇවිටිලි කළාය. මම ඇගේ තෙත කම්මුලක් සිපගතිමි. “අනේ අම්මේ.. තව එකක්.. තව එකක්..” එලා මට සෑහෙන වෙලාවකට එලියට බසින්නට ඉඩක් දුන්නේ නැත.

මම අමාරුවෙන් ඇගෙන් මිදී එලියට බැස්සෙමි.

එදා පැරිස් උන්නේ මා සමග හිත අමනාපයෙනි. මා ඔහුට දුන් මුදල් සියල්ලම ඔහු ටීෂර්ට් හා සපත්තු මිලදී ගන්නට වියදම් කොට තිබිණ. මම ඒ ගැන පෙරදින රැයේ ඔහුට තදින් දොස් පැවරුවෙමි. තවමත් දහ තුන් වැනි වියේ පසුවන ඔහුට එතරම් අරුමෝසම් උවමනා නැති බව කීවෙමි. ඔහුට අරපිරිමැස්ම ගැන කියා දෙන්නට මට උවමනා වීය.

එදා උදේ මා වැඩට යන්නට සූදානම් වී පැරිස්ට හාදුවක් දෙද්දී ඔහු උන්නේ බුම්මාගෙනය.

“ඔයාට දැන් මාව පේන්න බෑ නේද අම්මේ..? හරි අපි ඒක බලාගමුකො..”

ඉතින් මම එදිනත් වැඩට ගියෙමි. ගතවූයේ පැය දෙක තුනක් පමණකි. මා සේවය කළ Buffalo Wild Wings ආයතනයට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එනු පෙනිණ. ඔවුහු ආයතනයේ කලමනාකාර වරයා සමග කතා කරන්නට පටන් ගත්හ. තවත් මොහොතකින් ඒ තිදෙනාම මා වෙතට පැමිණියහ.

“ඔයාගෙ දුව “එලා” ට කරදරයක්..” පොලිස් නිලධාරියා සන්සුන් හඩින් කියන්නට පටන් ගත්තේය. මට ඉවසුම් නැති විය.
“අනේ එයාට මොකද වෙලා තියෙන්නෙ..? මට එයා ලගට යන්න ඕන.. එයා හොදින් නේද..?” මම හඩන්නට පටන් ගත්තෙමි.

“නෑ එයා හොදින් නෙවෙයි..” ඔහු කීවේය. “එයාව මරලා දාලා..”

මම සිහිසුන් වූයෙමි. නැවතත් සිහි ලද විගස මා ඇසුවේ මගේ පුතු පැරිස් ගැනය. “අනේ මගේ පුතා කෝ..? එයාට කරදරයක් නෑ නේද..?”

“එයාට කරදරයක් නම් නෑ.. ඒත්.. ප්රශ්නයක් තියෙනවා.. එයා තමයිි එලාව මරලා දාලා තියෙන්නේ..”

මා ගොඩනැගූ ලෝකයම මගේ දෙපාමුළම බිදී වැටිණ.

“එයා එලාට දාහත් වතාවක් පිහියෙන් ඇනලා.. ඊට පස්සෙ එයාම තමයි 911 හදිසි ඇමතුම් අංකයට කතා කරලා පාපොච්චාරණය කරලා තියෙන්නෙත්..” පොලිස් නිලධාරියා කියනු මට සිහිනෙන් මෙන් ඇසිණ.

“ඇයි පැරිස්් එයාගෙම නංගිව මැරුවේ..? ඇයි එයා මට මෙහෙම කළේ..?” මම කෑගසා ඇසුවෙමි. එහෙත් ඒ ප්රශ්නයට මට

අද වෙනතුරුත් පිළිතුරක් ලැබුණේ නැත.

පිහි පාරවල් දාහතකින් සිදුරු වුණු එලාගේ පණසුන් පුංචි සිරුර මිහිදන් කළ පසුව, මම පැරිස්ව බලන්නට බන්ධනාගාරයට ගියෙමි.

ඔහු මා සමග කතා කළේ නැත.

එහෙත් ඒ මගේ පුතාය. මා ඔහු ගලවා ගත යුතුව තිබේ. මම ඔහුට එරෙහිව පැවරෙන නඩුව ගැන සොයා බැලුවෙමි. ඔහු බාල වයස්කරුවෙකු වුවත්, ඔහු කළ වරදේ බරපතල කම අනුව ඔහුට ලැබෙන්නේ වැඩිහිටි මිනීමරුවෙකුට ලැබෙන දඩුවමම බව මට අසන්නට ලැබිණ.

මගේ දියණිය මට නැතිවී හමාරය. දැන් පුතාවත් අහිමි කරගන්නට මට නොහැකිය. පුතාට මරණ දඩුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඩුවම ලැබෙනු වෙනුවට ඔහුට ලැබෙන දඩුවම ලිහිල් කරගන්නට මම උත්සාහ කළෙමි. ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස වූයෙමි.

ඒ වන විට මගේ දියණිය මරා දැමීම ගැන මා ඔහුට සමාව දී හමාරය. මිනීමරු මෝරෙකු මගේ එක් අතක් කඩා වෙන් කළ පසුව, ජීවිතයේ ඉතිරි අඩ මිනීමෝරුන්ට වෛර කරමින් ගෙවා දැමීමේ ඇති පලය කිමද.? ඉතින් මම පැරිස්ට සමාව දුන්නෙමි.

එහෙත් පැරිස්ව බේරා ගන්නට දැරූ ප්රයත්නයේදී මම අසමත් වූයෙමි. පැරිස්ට හතලිස් වසරක සිර දඩුවමක් නියම විය. මේ වන විට ඔහුු ඉන්නේ වැඩිහිටි බන්ධනාගාරයක ඒ හතලිස් අවුරුදු සිර දඩුවම ගෙවා නිමකරමිනි.

මගේ අසරණ පුංචි එලා වෙනුවෙන් මට යමක් කරන්නට උවමනා විය. මම ඇය වෙනුවෙන් “එලා පදනම” පිහිටවූයෙමි. එය අධ්යාපනය තුළින් මානව හිමිකම් රැකීම හා හිිංසනය වැලැක්වීම වෙනුවෙන් කටයුතු කරන, ලාභාපේක්ෂාවෙන් තොරව පවත්වාගෙන යන සහනසේවා සංවිධානයකි. ඒ සංවිධානය අද බොහෝ දෙනෙකුට යහපත සලසයි. එහෙත් මවක් ලෙසින් මගේ දරුවන්ගේ යහපත සලසන්නට මම අසමත් වූයෙමි. මට වැරදුණේ කොතනදැයි මම තවමත් සිතමි.

————–

“The Family I Had” නම් වූ සංවේදීී වාර්තා වැඩසටහනට පාදක වූ සත්ය කතාවයි.

Tags

LS4

Share Now

Related Article