දෙවියන් දුන් ත්‍යාගය

Sep 7, 2020

නිශාන්ති වැඩ ඇරිලා බස් එකට නැග්ගේ බොහොම අමාරුවෙන්. පොල් පටවලා වගේ මිනිස්සු එකෙක්ට එකෙක් පේන්නේ නැති තරමට තද වෙලා. අමාරුවෙන් ජනේලයේ පොල්ලක් අල්ලාගෙන පැත්තකට වුනේ අතේ තිබ්බ කෑම බෑග් එක බිම නොවැටෙන්න තදින් අල්ලාගෙන මයි. ඇගේ සාරියේ කොනක් ෆුඩ් බෝර්ඩ් එකේදී පෑගිලා තිබුනේ. ඒක ඉරිලා වත්ද කියල නිශාන්තිට බය හිතුණා.

Continue Reading Below

“මේ කරුම රස්සාව දාල යන්න විදිහක් නැහැනේ” ඇය කල්පනා කළේ සුසුමක් හෙලමින්. එදා ඔෆිස් එකේ ප්රශ්නයක් ඇති වෙලා තිබ්බේ. රජයේ දෙපාර්තමේන්තුවක ලිපිකාරිණියක් වුන නිශාන්තිගේ ජීවිතේ තරමක් කටුක වුණා. ඇයට තිබෙන කරදර අතර ලොකුම කරදරේ වුනේ ඇගේ ප්රධානියා වුන කාන්ති මැඩම්. වයසක ඇයව නිශාන්තිට රුස්සන්නේ නැහැ. නිශාන්ති කොහොමත් කැමති ගෙදරට වෙලා සුවෙන් ඉන්න. නමුත් වෙඩින් එකට ගත්තු ලෝන් එකක් ගෙවන්න තියන නිසා රැකියාවට එක කරන්නම ඕනේ.

ඇය ගෙදරට ලඟා වෙද්දී හවස හයයි හතලිස් පහ වගේ වෙලා තිබුණා. නිශාන්තිගේ දරුවා බලාගන්න ඇගේ අම්මා සතුටට පත් වුණා. මොකද කොලු පැටියා එක්ක දවසම ඔට්ටු වෙලා ආත්තම්මට හොඳටම මහන්සියි. නිශාන්ති ඇඟ සෝදාගන්න කලින් දරුවා සේදුවා. සෝදලා පැත්තකින් තිබ්බා. තියල ඇය නාන කාමරයට ගියේ ටිකක් නිදහසේ ඇඟ පත හෝදා ගන්න.

ඇයට සීතල දිය දහර හා ගැටෙද්දී සුරන්ජිත් මතක් වුණා. ඔහු තාමත් කාර්යාලේ ඉන්න එක ගැන නොරිස්සුමක් ඇති වුණේ. මේ ටිකේම ඔහු රෑ වැඩ. වෙඩින් එකට ගත්තු ණය වාරිකේ නිසා ඔවුන්ගේ වියදම් ටිකක් සැරයි. ණය ගෙවෙන්නත් තව අවුරුදු 3 ක් තියනවා. ඊයෙ සුරන්ජිත් ටිකක් වේලාසනින් ආවේ. ඔෆිස් එකෙන් කන්න දුන්න කොත්තුවත් ඔතාගෙන ඔහු ඇවිත් තිබ්බේ නිශාන්ති එක්ක බෙදාගෙන කන්න. ඔහුව දැක්ක ගමන් කෝප වුන නිශාන්ති

“ඇයි අදත් වේලාසනින් ආවේ. වෙනදා වගේම එහෙටම වෙලා ඉන්න තිබ්බනේ ?” කිවුවේ කෝපය නිසාමයි.

“මහා ලොකුවට මම බෑ කියද්දී රටට පේන්න වෙඩින් ගන්න ඕනේ කියල මැරෙන්න හැදුවා . දැන් ණය ගෙවන්න තමුසේ මට කියන්නේ බැංකුවක් කඩන්නද? සුරන්ජිතුත් මහන්සිය නිසාම බැන වැදුනා.

අන්තිමේ රණ්ඩුව දුර දිග ගිහින් ඔහු නිදාගන්න අනික් කාමරේට ගියා. අද දවසටම ඔහු ඇයට කතා කරේ නැහැ. නිශාන්තිත් ආඩම්බරේ නිසාම ඔහුට කතා කරන්න හිතුවේ නැහැ. හැබැයි හැම මොහොතකම ඔහුගෙන් ඇමතුමක් ලැබේවි කියල ඇය බලාපොරොත්තු වුණා.

ඇයට දැනුණේ ලොකු දුකක්. සමහරවිට සුරන්ජිත් ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක යාලු වෙලාද දන්නේ නැහැ. එහෙම වෙන්න බැරි බව ඇය හොඳින්ම දැන සිටියා. නාන කාමරෙන් එලියට එද්දී පොඩ්ඩා ඇඳ උඩ වාඩි වෙලා හොරා වගේ ඉන්නවා. ඇය හිතුවේ අම්මා දරුවා බලා ගනීවි කියලයි. නමුත් අම්මා මහන්සියට කුස්සියට ගිහින් තේ එකක් හදාගෙන බොමින් සිටියා.

ලං වෙලා බලද්දී නිශාන්තිගේ ගිය මාසේ ගත්ත රෝස පවුඩර් එක අරගෙන පොඩි එකා ඇඟ පුරා ගාගෙන. ඒක රුපියක් 650 ක හොඳ එකක්. ඒ මදිවට මැද රවුම් පවුඩර් කැබලි කඩලා අරගෙන හැම තැනම විසිරිලා. තමන් නොකල්පනාවෙන් පවුඩර් එක කණ්ණාඩි මේසේ උඩ තියපු බව නිශාන්තිට මතක් වුණා.

ඇය කෝපය නිසා අවුරුදු 3 ක් වයස කලිඳුගේ අතින් ඇදලා ගත්තා. පොඩි එකා අම්මගේ මූණ බැලුවේ බය වෙලා. ඔහු හිතුවේ පවුඩර් ගාගෙන තමා ලස්සන වෙලා බවයි.

අතින් ඇදලා බිමට ගත්තු නිශාන්ති කලිඳුට පිට මැදට පාරවල් තුන හතරක් ගැහුවා.

“ ආයේ අල්ලනවද අම්මගේ බඩු?” කියල තව පාරවල් දෙකක් දීල නිශාන්තිගේ අතටත් රිදෙනවා. පොඩි එකා කෑගහන සද්දෙට දුවගෙන ආව අම්මා දරුවා වඩා ගත්තා.

“ ගෙදර ඉන්න වෙලාවක් ආවොත් දරුවට ගහනවා “ ඇය හෙමින් මිමිණුවේ නිශාන්තිගෙන් බැනුම් අහන්න වෙන නිසයි.

“ දැන්ම හදාගන්න ඕනේ ගහල හරි..අපරාදේ මගේ පවුඩර් එක .. මේකා නම් මහා යකෙක්…එක්කෝ දඟලනවා කෙළවරක් නැහැ…අම්ම තමා හුරතල් කරන්නේ “ ඇය අම්මටත් බැන වැදුනා.

කළිඳු වයසට ටිකක් දඟකාර පොඩ්ඩෙක්. අම්මයි තාත්තයි වැඩට යන නිසා ආච්චම්මා එක්ක හැදෙන කළිඳු වැටෙයි කියල බයට ගොඩක් විට ගේ ඇතුලේ තමා දොරවල් වහල තියාගෙන ඉන්නේ.

ආච්චම්මගේ අතේ ඉකි බිඳ බිඳ හිටපු කළිඳු එහෙම්ම නිදාගෙන. නැගිට්ටවල කවන්න හැදුවත් ඔහු කෑවේ නැහැ. නිශාන්තිත් එහෙම්ම නින්දට වැටුණා.

රෑ මැද ඇය නැගිට්ටේ ලොකු එළියක් පෙනිලා. ඇය ඇස් ඇරලා බැලුවේ මොකද්ද ඒ එලිය කියල. එලිය හෙමින් අඩු වෙලා පහන් එළියක් වගේ වෙද්දී හෙමින් හෙමින් රැස් විහිදුවන පිළිමයක් මතු වුණා.

දරුවා ඔබේ ජීවිතේ ප්රශ්න වලින් පිරිලා නේද ? ඒ සේරම මැද්දේ මේ දරුවා නිතර දඟ කරන එකත් ඔබට ගැටළුවක් නේද?
“ අනේ ඔවු දෙවියනේ ..මේ ළමයා අහුවෙන හැම දේම අදිනවා. දුවනවා. වැටෙනවා ..එක විනාඩියක් පාඩුවේ ඉන්නේ නැහැ… මට සෙනසුරාදා ඉරිදා දවසට උන වගේ කිසිම විවේකයක් නැහැ දෙවියනේ. ඔෆිස් එකේ කරදර මදිවට මේ ළමයා දඟලනවා “

ඇයට මේ කරදරයෙන් ගැලවෙන්න ක්රමයක් වැටහුනේම නැහැ. බොහෝ වෙලාවට නිශාන්ති කරේ ඔෆිස් එකේ, සැමියාගේ ගැටළු හිතේ දරාගෙන පොඩ්ඩ බැරි වෙද්දී කලිඳුට පහර පිට පහර ගහන එකයි. ගහන්න ගහන්න වත් කලිඳුගේ දැඟලිල්ල අඩුවක් වුනේ නැහැ. තව වැඩි වුනා මිසක.

එහෙනම් මා ප්රාතිහාර්යයක් කරනවා..අපි දැන් යමු කලිඳුගේ ඇඳට දෙවියන් ඇයට නියෝග කරද්දී ඇය ඒ කාමරයට පිට වුණා. කාමරයට යද්දී කළිඳුගේ ඇඳ රෝහල් ඇඳක් බවට පත් වෙලා තිබුණා. රත්පැහැ එලිය කාමරේ පිරිලා තිබෙද්දී දෙවියන් අතේ තිබ්බ යෂ්ටියකින් කලිඳුට හෙමින් තට්ටු කළා. එක වරම කළිඳු ගිය අවුරුද්දේ දැක්ක නයෝමි මිස්ගේ මුනුබුරා විදිහටම වෙනස් වුණා. ඔහුගේ කටට බටයක් දාල තිබුණා.

නයෝමි මිස්ගේ රෝගී මුනුබුරා උපන් දවසේ ඉඳලම ස්නායු අබාධයකින් පෙලෙන දරුවෙක්. සාමන්ය දරුවෝ වගේ ඇවිදීම, පෙරලීම, කතා කිරීම ඒ මොකුත්ම ඒ දරුවා කරලා තිබ්බේ නැහැ. ඔහු ඇඳකට සීමා වෙලා හිටියා. ආහාර පවා දුන්නේ බටයකින්.

“ මගේ දරුවා නැගිටලා දුවනවා දකින දවස තමා මගේ ජීවිතේ ලොකුම සතුට “ නයෝමි මිස්ගේ දුව කඳුළු සලමින් කියනවා මතකයට ආවා.

“මේ මොකද මේ මගේ දරුවට කළේ දෙවියනේ ?” නිශාන්ති ඇහුවේ ආවේගයෙන්.

දෙවියෝ හයියෙන් හිනා වුණා. ඒ හිනාව නිකන් උමතුවක් වගේ දැඩි හිනාවක්.

“මම මේ කළේ ඔයාගේ දරුවා දඟ නැති කරපු එකයි” ඔහු හිනාව අතරින් උත්තර දුන්නා.

“ඇයි ඔයා හැමදාම මේ දරුවාගේ දඟය කරදරයක් කියල පැමිණිලි කරනවා නේද? ඒ වගේම අර දරුවාගේ අම්මා දරුවා නැගිටලා දුවන්න, පනින්න දෙන්න කියල මට යාඥා කරනවා.. ඉතින් හොඳම දේ මේ දරුවාට ඒ ලෙඩේ දීල අපි එයාව සුවපත් කරමු. එතකොට ඔයාට ලේසියි. කිසිම කරදරයක් නැහැ. දරුවා හෙලවෙන්නේ වත් නැහැ “ ඔහු කීවේ හිනා වෙමින්.

දෙවියන් හෙමින් හෙමින් මැකී ගියා.

“අනේ දෙවියනේ යන්න එපා. මට මගේ දරුවා ආපහු ඕනේ “ කියමින් දොර වෙතට නිශාන්ති දිවුවත් දෙවියන්ගේ සලකුණක් වත් තිබුනේ නැහැ.

“ ඇයි ..ඇයි බබා ? මොකද වුනේ ? “ සුරන්ජිත් බයවෙලා ඇඳේ වාඩි වුණා. කාමරේ අර රතු එලිය නැහැ. ඒ වෙනුවට සෙනසුරාදා දවසක් වුන එදා ඉර එලිය වැටෙමින් තිබ්බා.

“මම ඊයේ එද්දී රෑ වුණා. ඉතින් ඔයාව ඇහැරවන්නේ නැතුව නිදා ගත්තා එහෙම්ම “ සුරන්ජිත් කීවේ සැහැල්ලුවෙන්.

“අනේ අපි පුතා බලන්න යමු “ ඇය බිඳෙන ඉකිය ගිලිමින් ඇහුවා.

“ ඉන්නකෝ මම එයාව පෙන්වන්න” කියල සුරන්ජිත් ජනේලේ ලඟට ගියා. නිශාන්ති එතනට ගියේ දරුවා බලන්න. කුඩා කළිඳු මිදුලේ වතුර බේසමක් තියාගෙන ජබ ජබ ගාල වතුර වටේ ඉහිරවාගෙන දඟලනවා. වතුර වැටෙන වැටෙන වෙලාවට ඔහුගේ මුහුණේ මතු වුණේ හරිම සුන්දර හිනාවක්.

“අපි අද එලියට යමු..පොඩි එකාට සෙල්ලම් කරන්න පුළුවන් පාර්ක් එකකට..ගෙදරටම කොටු වෙලා එයාට එපා වෙලා ඇති “ නිශාන්ති කීවේ සුරන්ජිත් තමා වෙත තුරුළු කරගෙන. එතකොට ඇයට හිතුනා තමන්ට ලැබුන දේවල් එක්ක තමන් කොයි තරම් වාසනාවන්තද කියල. නයෝමි මිස්ගේ දුව එක පාරටම නිශාන්තිට මතක් වුණා.

Share Now

Related Article