ඉංග්රීසි ඉගෙන ගැනීම එක පන්තියකට පමණක් සීමා විය යුතු බව සිතුව නෝනා කෙනෙක්ගේ කතාව

Dec 6, 2019

“කාටද ඒ ඉංගිරිසියෙන් බඩ යන්නේ ?” සමරසේකර නෝනා ඇහුවේ කට එක අතකින් වහගෙන.

ඒක ඇහුන ගමන් අසල්වැසි ළමයි තුන් දෙනාම සාමල්ට හිනා වුනා.

“හූ… හූ..ඉංග්රීසියෙන් බඩ යනවා”

Continue Reading Below

සාමල් ලජ්ජාවෙන් අහක බලාගත්තා. සමරසේකර නෝනගේ මුනුබුරා ගජිඳු විතරක් මේ හිනාවට එකතු වුනේ නැහැ. මොකද ඔහුට හිතාගන්න බැරි වුනා තමන් ඉංග්රීසියෙන් කතා කිරීම ගැන ආඩම්බර වෙන ආච්චි අම්මා නමුත් ඇයි සාමෙල්ට හිනා වුනේ කියල.

පැන්ෂන් ගිහින් අවුරුදු 3 ක් වුනත් සමරසේකර නෝනා තාම නිරෝගියි. ප්රියමනාපයි. එයාගේ මහත්තයා වත්තක හිටපු සුපිරින්ටන් කෙනෙක්. ඔවුන් පරම්පරා ගානක් කොළඹ හිටපු මුල් පදිංචි කාරයෝ. ගුරු අභ්යාස විද්යාලයට ගිහින් පත්වීම අරගෙන කෝච්චියෙන් එද්දී තමා අහම්බෙන් තරුණ සමරසේකර නෝනට මහත්තයා හම්බ වුනේ. ඉතින් ඈත ගමක උපන් තමාට ගුරු වුර්තියෙන් පස්සේ කොළඹ ලොකු පවුලක මහත්තයෙක් බඳින්න ලැබුන එක ගැන එයා ගොඩක් ආඩම්බර වුණා. දැන් නම් ඉතින් සමරසේකර මහත්තයා මිය පරලොව ගිහිල්ලත් අවුරුදු ගානක්. තමන් ගමක උපන් කෙනෙක් කියා ඇය කාටවත් කීවේ නැහැ. එහෙම කියන්න ඕනේ නැහැනේ. ඇය දැන් කොලබ පෙළපතකට අයිති වැදගත් නෝනා කෙනෙක්.

ඇගේ ළමයි දෙන්නගෙන් එක්කෙනක් රට. එකම දුව ඉන්නේ ලංකාවේ. දුවට ඉන්න මුණුබුරෝ දෙන්නා තමා සමරසේකර නෝනගේ එකම සතුට. ඔවුන් දෙන්නා බොහෝ විට හිටියේ ආච්චිගේ ලොකු ගෙදර වත්තේ දුව පනිමින්. මේ දරුවෝ දෙන්නා එක්ක ගැවසෙන එක හැර ඇය කරේ පන්සලේ කුලඟන සමිතියේ සාමාජිකත්වය දැරීමයි.

“ දැන් ඉතින් යන තැනකට වැඩක් කරගන්න ඕනේ” ඇය නිතරම කීවා

සමරසේකර නෝනගේ මුනුබුරා සහ මිනිබිරී එක්ක සෙල්ලම් කරන්න අහල පහල ගෙවල්වල දරුවෝ කීප දෙනෙක් එනවා. මේ දරුවෝ තරමක් දුප්පත් පවුල් වල දරුවෝ. සමරසේකර නෝනගේ මුණුබුරෝ ගියේ ජාත්යන්තර පාසලකට. නමුත් මේ දරුවෝ ගියේ ගමේම තිබ්බ පොඩි ඉස්කෝලෙට. සමරසේකර නෝනට ඉඳල හිටලා වැඩ පලක් කරලා දෙන මේ දරුවන්ගේ අම්මලා හදිස්සියට අතමාරුවට රුපියල් 500ක් ඉල්ලුවොත් නොපැකිලව දෙන්න තරම් සමරසේකර නෝනා කරුණාවන්තයි.

සමරසේකර නෝනා ඉස්සර ඉගැන්නුවේ සිංහල මාධ්යයෙන් උගන්වන අගනුවර ලොකු පාසලක වුනත් ඇගේ දරුවෝ ගෙදර කතා කළේ ඉංග්රීසි. ඒ ඇගේ සැමියාගේ පවුල් පසුබිම නිසා. මේ අතරේ ගමේ ඉස්කෝලෙට තරුණ ගුරුවරයෙක් ආවා. ඔහුගේ පෙම්වතිය නැති වීම නිසා ජීවිතේ එපා වුන ඉලන්දාරියෙක් කියල තමයි හැමෝටම ආරංචි වුනේ. නමුත් ඔහු වැදගත් පවුලක කියල ආරංචි වුන නිසා මුල් කාලේ සමරසේකර නෝනා සැහෙන්න මහන්සි වුනා මේ ඉලන්දාරියා ගෙදර ගෙන්වාගෙන කන්න දේකින් සංග්රහ කරන්න. නමුත් ඉස්කෝලෙටම වෙලා මේ ගමේ චූටි දරු පැටවුන් ජීවිතේ කරගත්තු ඔහුට මේ ගැන උනන්දුවක් නැති වුණා.

ටික කාලෙකින් ගමේ ළමයි හැමෝම ඉංග්රීසියෙන් කතා කරන්න ගත්තා. මේකට හේතුව වුනේ අලුතින් ආව ගුරුවරයාගේ නොපසුබට උත්සාහය. ඔහු පන්ති දාල ඉංග්රීසි නොමිලේ උගන්වනවා කියද්දී සමරසේකර නෝනා කීවේ

“ තව කී දවසකටද? මේ ගම් වල ළමයිට මේවා උගන්නලා මොකෝ උන් ඒරොප්පේ යන්නද ?” කියලයි.

ඇගේ මූණ අපහාසාත්මක හිනාවකින් වක් වුණා.

නමුත් අලුතින් ආව ගුරු ඉලන්දාරියා සැලෙන පාටක් නැහැ. ගමේ දුප්පත් මිනිස්සුත් මේ ගුරුතුමාට පුදුම ලෙන්ගතු කමක් පෙන්නුවේ තමන්ගේ දරුවෝ මේ තමන් වැටුන වලෙන් ගොඩ ඒවි කියන සතුට නිසාමයි. සමරසේකර නෝනාගේ බලවත් අමනාපයට හේතු වෙන්න මේ ඉංග්රීසි පන්තිය මාස ගානක් හොඳින් ගියා.

“මුන්ට ඉංග්රීසියෙන් කතා කරන්න උගන්වන්න පුළුවන් නම්, අර ඉපනැල්ලේ ඉන්න මීහරක් ටිකටත් ගණිතය පාස් කරවන්න ලැබේවි. බොරු වැඩනේ. ඒ ළමය ලොකු පවුලක ළමයෙක් වෙලත් නිකන් කාලේ කනවා “ඇය හම්බ වෙන හැමෝටම කීවා.

ගමේ තරමක් වත් පොහොසත්කම් ඇති උදවිය හැමෝම මුලදී මේ ආකල්පය දැරුවත් පස්සෙන් පහු වෙද්දී මේක ලොකු වෛරයකට පවා හැරුණා. ළමයි හැමෝම ඉංග්රීසි කියන්නේ තව එක භාෂාවක් විතරයි කියන මානසිකත්වය හැදුවහම ඉංග්රීසියෙන් කතා කරන්න පටන් ගත්තා. ගුරුතුමා මේ වෙනුවෙන් ඔහුගේම වියදමින් කොම්පියුටරයක් පවා ගෙනාව බව ආරංචි වුනා.

ඊට පස්සේ සමරසේකර නෝනා ප්රමුඛ ගමේ ඇති හැකි පිරිස උත්සහ කරේ ඉංග්රීසි ඉගෙන ගන්නා ළමයි අපහාසයට පත් කරන්න. දකින තැන ඉංග්රීසියෙන් කතා කරන , රේඩියෝ අහන ළමයෙක් දැක්කොත් ඔවුන් ඒ ළමයට හිනා වුණා.

මේ වගේ දවසක තමයි ගජිඳු එක්ක සෙල්ලම් කරන්න ආව සාමෙල් ඉංග්රීසියෙන් භාෂාව හසුරවනවා ඉස්තෝප්පුවේ උන්න සමරසේකර නෝනට ඇහුනේ. ඒ ගමන ඇය වහාම එලියට ඇවිත් “මෙයාට ඉංග්රීසි බඩ යනවා “ කියමින් හයියෙන් හිනා වුණා.

සමරසේකර නෝනා කීප දවසක්ම සාමෙල්ගේ අම්ම හම්බ වෙලා ඔය ඉස්කෝලේ හවස ඉංග්රීසි පන්තියට යවන්න එපා කියල අවවාද පවා කළා.

“ නෑ.. මම කියන්නේ කාන්තියෝ උඹලගේ හොඳට. ඔය ඉංගිරිස් පන්තියට ගිහින් ඔය කොල්ල හොන්දටම නරක් වෙනවා. හවසට උගන්නපන් ඔය කුඹුරේ වැඩක්. උගේ අනාගතේට හරි හොඳයි”

“ අනේ හාමිනේ ..අපේ කොලුවා මම එපා කීවට අහන්නේ නැහැ. ආව ගමන් බත් ටික ගිලලා දුවනවා” ඇය උත්තර දුන්නේ හිත යට තරහක් තියාගෙන. නමුත් සල්ලි බාගෙන් , කන බොන දෙයින් උපකාර කරන සමරසේකර නෝනට තරහෙන් උත්තර දෙන්න ශක්තියක් ඇයට තිබ්බේ නැහැ.

ඔය විදිහට කාලෙත් ගෙවුණා. ඉංග්රීසි පන්ති යන හැම දරුවාටම ගමේ මිනිස්සු පුළුවන් විදිහට කොන් කරා, අපහාස කරා. නමුත් ඔවුන් ගුරුවරයාට ඇති ආදරය නිසා දිගටම සතුටින් ඉගෙන ගත්තා. අලුත් ගුරුතුමාගේ ආගමනය එක්ක ළමයිගේ ක්රීඩා හා අනික් ක්රියාකාරකම් පවා වර්ධනය වුණා.

එදා ගමේ නෝනලාගේ දායක සභාවේ කුලඟන සමිතිය තිබ්බේ සමරසේකර නෝනලාගේ ගෙදරයි. සාරෙට කන්න බොන්න දේවල් එහෙම ලැහැස්ති කරා. සමිතියේ වැඩ කතා කරලා ඉවර වෙලා මේ නෝනලා සූදානම් වුනේ ලබන මාසයේ අනාත මඩමකට දානයක් දෙන්න. එයින් මහත් පල ලැබෙන බව ඔවුන් කතා වුණා.

ඕකෙන් මේකෙන් කතාව දිගට ගියේ ගිය සතියට කලින් සතියේ සමස්ත ලංකා elocution තරඟයකින් කාන්තිගේ පුතා සාමෙල් දිනලා කියන පුවත වෙතටයි. වැඩ කර කරා සිටි කාන්ති වෙතටත් ඇතැම් විට ඔවුන්ගේ අප්රසාදය පල වුණා. මේ වෙලේ සමරසේකර නෝනගේ මිනිබිරී නෙතුලි “Diary of a Wimpy kid” පොතක් බලමින් සාලේ මුල්ලක බොකු ගැහුණ හාන්සි පුටුවක ගුලි වෙලා හිටියේ. ගජිඳු ගේම් එකක් ගහමින් සිටියේ.

“ අනේ දෙවියනේ ..මේ රටට ගිය කලක් ..අපේ මවු බස හෙට අනිද්දට මෙහෙම ගියොත් මල බසක් වෙනවා. “ සමරසේකර නෝනා කීවේ හයියෙන්.

“ ඔවු. හැම ලමයටම පොඩි පන්තියේ ඉඳල ඉංග්රීසි උගන්වන්න ගියොත් තව වැඩි කලක් යන්නේ නැහැ මේ පෝසත් ලස්සන භාෂාව නැත්තටම නැති වෙලා යනවා” කුලඟන සමිතියේ ලේඛම් බාලගේ නෝනත් කතාවට හවුල් වුණා.

“ මේ අපේ රටේ තමා ඉංගිරිසිය ලොකු කරගෙන ඉන්නේ. දැන් බලන්න ජපනා, ඉංග්රීසි බැහැ. හැබැයි ලෝකේ ඉස්සරහ පෙරටම යනවා. ඒකට අපේ රටවල්..ඔය පර භාෂා , පර සංස්කෘති කරට අරගෙන විනාස වෙනවා” එහෙම කීවේ මුදලාලි නෝනා. ඇගේ දරුවොත් ඉගෙන ගන්නේ කොළඹ ලොකුම ඉස්කෝල වල ඉංග්රීසි මාධ්යයෙන්. “ දැන් හැම එකාම උස්සහ කරන්නේ දොස්තරු වෙන්නයි, ඉංජිනේරු වෙන්නයි… මෙහෙම ගියොත් මේසන් වැඩට, ගහක් නගින්න බෙහෙතකට වත් මිනිහෙක් නැති වෙනවා. අනේ රටකට යන කලක්..” සමරසේකර නෝනා කම්පිත වුණා.

මේ වෙලේ තේ බන්දේසියක් අරගෙන ආව කාන්ති දැක්ක ඇය කාන්තිට මෙහෙම කීවා.

“සිංහල භාෂාව රකින්න නම් අපි සිංහල කතා කරන්න අපේ දරුවෝ යොමු කරන්න ඕනේ. උඹල හැමෝම ළමයි බොරු ඉන්ග්රීසියක් පස්සේ පන්නලා මේ රටේ තව අවුරුදු 50 කින් අපේ භාෂාව මළ භාෂාවක් කරවනවා “

මේ වෙලේම සමරසේකර නෝනගේ දුව යශෝදරා එතනට ආවේ වැඩට ඇඳගෙන ගිය ඇඳුම් පිටින්මයි.

“ Oh..Darling . You are little early today. Aren’t you? I will come soon “ කියල සමරසේකර නෝනා ආදරණීය දුව වෙත බැල්මක් හෙලුවා.

“ නැහැ ..අම්මා මම මේ එලියට ආවේ අම්මලාගේ සිංහල පමණයි කතාව අහලයි. අම්ම අපි එක්ක ගෙදරදී කතා කරන්නේ ඉංග්රීසියෙන් හැබැයි අම්මගේ මවු බස රැකගන්න ඕනේ නිසා රටේ ඉන්න අනික් ළමයි සිංහලෙන් කතා කරන්න ඕනේ” කියල කීවේ හිනා වෙමින්.

“ අම්ම දන්නවද කැම්පස් ගිහාම තමයි අපිට තේරුනේ අපි පොඩි කාලේ ඉඳල ඉංග්රීසියෙන් කතා කරපු එක අපිට කොච්චර වාසියක් වුනාද කියල. මට වඩා ගොඩක් හොඳට උසස් පෙළ පාස් වුන, මට වඩා දක්ෂ ගම්වල ළමයි ගොඩ දෙනෙක් රස්සා වලින් හැලුනා. මොකද එයාලගේ ඉංග්රීසි දැනුම මදිකම නිසා.”

“ඔයා ඔය විශ්ව විද්යාලේ ගියේ ඔයාගේ හිතු මනාපෙට. තාත්තා රට යන්න කියද්දී “ අසරණ වුන සමරසේකට නෝනා කොහේටවත් නැති කතාවක් කීවා.

“ අපේ රටේ එක කොටසක් ඉන්නවා තමන් ලබන වරප්රසාද අනික් මිනිස්සුන්ට ලැබෙනවට අකමැති. එහෙම වුනොත්නේ හැමදාම ඒ මිනිස්සු බැලමෙහෙවර කරන්න තියාගන්න ලැබෙන්නේ. “ යශෝදරා එහෙම කීවේ කොන්ද නමාගෙන ට්රේ ටික එකතු කරමින් හිටි කාන්ති දිහා නෙත් කොනින් බලමින්.

“ ඔය ඉංග්රීසි පන්තියේ උගන්වන මල්ලි අපේ කැම්පස් එකේ අපිට පහල ඉගෙන ගත්තු කෙනෙක් . ගමේම මිනිස්සු ඒ ඉංග්රීසි ඉගෙන ගන්න ළමයිට හිනා වෙන නිසා ඒ දරුවෝ මුලින් මානසිකව ගොඩක් වැටුනලු. ඒ මල්ලි ඒ නිසාලු මෙයාලව elacution exam වලට එයාගේ සල්ලිම වියදම් කරගෙන දාල තියෙන්නේ”

“ අපේ රටේ මිනිස්සුන්ගේ කුහක පටු ආකල්ප නිසා තමයි මේ රට හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ. වෙනස්වෙන ලෝකයේ අපි ඉස්සරහට නෙවේ පස්සට යන්න හදනවා. ඒ මදිවට තමන්ගේ පන්තියට විතරක් විශේෂ වරප්රසාදයක් විදිහට භාෂාව හසුරවන්න හදනවා. ඔය මිනිස්සු තමයි සාමාන්ය මිනිස්සු ඉංග්රීසි කතා කරද්දී ඒකට හිනා වෙන්න බොරු කතා හැදුවේ. පස්සේ මේ ගැටේට අහුවුණ මිනිස්සු ඉංග්රීසි සම්පූර්ණයෙන් පිටු දැක්කා. අර ඉංග්රීසියට හිනා වෙලා , මවුබස කරපින්නාගෙන හිටපු හැමෝම තමන්ගේ ළමයිට හොඳට ඉංග්රීසි ඉගැන්නුවා.”

කුලඟන සමිතියේ හැමෝම ගෙදර ගියේ ගොඩක් හිතේ වේදනාවෙන්. සමරසේකර නෝනත් කාමරේට ගිහින් දොර වහ ගත්තා. එදා ඉඳල ගමේ ඉංග්රීසි පන්තිය ගැන කවුරුත් කතා කරේ නැහැ. කාන්තිට කවුරුත් සාමෙල් පන්තියෙන් අයින් කරන්න කියල බලපෑමක් කරෙත් නැහැ.

Share Now

Related Article