ඔබත් නිතරම කෝප වී දරුවාට බනින මවක්ද ?

Jul 6, 2020

මා තරුණ කාලයේ මත්ද්රව්ය පානයට දැඩිව ඇබ්බැහි වී සිටියෙමි

මා පරිවාසයට භාර පැමිණෙන්නේ අවුරුදු 15 දීය. ගංජා නමැති මත්ද්රව්යය ළඟ තබා ගැනීම මත මා පරිවාසයට ගිය බව අසන ඔබ මා වැරදි කරුවෙක් බව සිතනු ඇත. ඔබේ වරදක් නැත. මගේ පියා විදුහල් පති වරයෙකි. මව ගුරුවරියකි. එවන් යහපත් පරිසරයක හැදුන වැඩුන මා මෙවැනි තත්වයකට පත් වීම ඔබට සිතා ගැනීමට හෝ නොහැකි වනු ඇත.

Continue Reading Below

එය පටන් ගත්තේ කොතනින්ද ?

මට මතක ඇති කාලයේ සිට අපේ ළමා කාලය ගෙවුන පවුල ආර්ථිකව කරදර නැතත් රණ්ඩු, දබර, බැනීම් වලින් ගහන නිවසකි. මට අම්මා මුලින්ම කෝපයෙන් කෑ ගසනු මතක ඇත්තේ වයස අවුරුදු 5 දී පමණය. මට වැඩිමල් අයියාට ඇය ඊටත් කුඩා කල සිට බනිනු සහ ගසනු මට මතකය. එදා මම අම්මා පරක්කු නිසා පාසලෙන් දුන් ගෙදර වැඩ තනිවම කළෙමි. අවාසනාවට එම පිටුව මකන්න යාමෙන් මා අතින් පුංචි තැනක් ඉරී ගියේය. එදා අම්මා මගේ කොන්දට හොඳට රිදෙන්නට ගැසුවේ කෑ ගසමිනි. මගේ අකුරු අපිළිවෙල බවත් මා උපන් කාලකන්නියෙක් බවත් කියමින් අම්මා බැන වැදුනාය.

අපේ ගෙදර පරිසරයට අනුව සාමන්ය දෙයක් වුනත් එය කොතරම් බිහිසුණු කෑ ගැසීමක් විනිද? මම බහෙවින්ම බය වීමි.

කුඩා අප අම්මාට බය වූවාක් මෙන්ම කොයි වෙලේ ගැටුමක් ඇති වේද , කොයි වෙලේ ගුටි කන්නට වෙතිද යන බයෙන් පාසල ඇරී ගෙදර පැමිණි වෙලේ සිටම කල් ගත කළා මතකය.

තවත් දවසක පාසලේ තරමක් සැර පරුෂ ළමයෙක් විසින් මගේ පොත් ඉරා දමා මට ගැසුවේය. එදා අම්මා මා ආරක්ෂා කරනු වෙනුවට මට හිංසා කළ ළමයා වෙනුවෙන් කතා කළාය. ඔහුගේ වැඩ මගේ වැඩට වඩා ගොඩක් හොඳ බවත් මම වැනි මෝඩයෙක් ගුටි කෑම පුදුමයක් නොවන බවත් පැවසුවාය. ඇයට මා අමතන්නට නොයෙක් නම් තිබුණි. මෝඩයා, ගොනා, කාලකන්නියා වැනි නම් සාමාන්යයෙන් භාවිතා වුනත් මම එවකට ඒවගේ තේරුම් නොදත්තෙමි.

තව දවසක් පාසල් වෑන් රථය මට මගහැරුනේ ඔවුන් වේලාසනින් පැමිණිය නිසාය. පාසලට උමතුවෙන් මෙන් පැමිණි අම්මා හැමෝම ඉදිරියේ මට හොඳටම ගැසුව අතර පහුවෙනිදා වෑන් එකේ හිමිකරු සමගද සියලු ළමයි ඉදිරියේ පැය බාගයක් මා තබාගෙන මට බැන වැදුනාය. මේවා සිදුවීම් කීපයක් පමණකි. අම්මාට අපහට බනින්නට හෝ අපහාස කරන්නට නියත හේතුවක් නොවීය. ඕනෙම වෙලාවක ඕනෙම දෙයක් වරදක් වුන අතර මම වනාහි කිසිම වැඩකට නැති වැරදි පමණක් ඇති මනුස්සයෙක් බවත් මා ඉපදීම අභාග්යයක් බවත් මට කෙමෙන් , කෙමෙන් ප්රත්යක්ෂ විය.

ඉන් පසු මම යාළුවන් සමග එකතු වී මත්ද්රව්ය ගැනීමට පෙළඹෙන විට මගේ වයස අවුරුදු 13 කි. ඒ මිතුරු පිරිසෙන් මට පවුලක් ලැබුනාක් මෙන් විය. අවසානයේ මා පරිවාසයට වැටෙන විට වයස 15 කි. ගමේ සියලුම දෙනා එවන් යහපත් දෙමාපියන්ට උපන් කාලකන්නි ලෙස අයියා සහ මා වර්ග කළහ. ඒ වසරේ අවසාන භාගයේ විවාහක ගැහැනියක් සමග සම්බන්ධයක් ඇතිකරගත් 21 හැවිරිදි මගේ අයියා වස පානය කර සියදිවි නසාගෙන තිබුණි. මේ සේරටම වරදකරුවා මා බව මම ඒ වන විට තීරණය කරගෙන සිටියෙමි.

යලි ගොඩනැගීම

පරිවාසයෙන් මා මනෝ වෛද්ය ප්රතිකාර කරා යොමු කරන ලදී. බෙහෙත් සහ උපදේශන ප්රතිකාර සමග මම නැවත අධ්යාපන කටයුතු පටන් ගත්තෙමි. එයින් වසර 15 ක් ගොස් ඇතත් මම අදත් ප්රතිකාර සහ උපදේශන ලබමි. එදිනෙදා ජීවිතය මට ඉතා අසීරුය. හැම මොහොතකම මා වනාහි අම්මා කුඩා කල කියූ අයුරින් , මා විස්වාස කළ අයුරින් මා වැඩකට නැති මිනිහෙක් නොවන බව මටම ඒත්තු ගැන්වීමට උත්සහ දරමි. වැටෙමි . නැගිටිමි. නොයෙක් වර සිය දිවි නසා ගැනීමට සිතුන නමුත් එසේ නොකලෙමි. ඒ මා වෛද්ය ප්රතිකාර වලට යොමු වුන නිසාය.

මෙසේ වීම මගේ වරදක් නොවන බව මම දැන් දනිමි. මම මගේ අම්මාට ආදරය කලෙමි. ඇය අප වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළාය. නමුත් ඒ කැපකිරීම් නොකර අප හට බැන වැදී , පහර දී අපව බිඳුන මිනිසුන් නොකර සිටියා නම් මැනවි යයි මම සිතමි. අප දරුවන් ලෙස බිඳුන අතර ඒ අවාසනාව අපගේ ජීවිතය පුරාම අප හඹා පැමිණේ.

ඔබේ දරුවන් සමග ගනුදෙනු කිරීමේදී ඔබත් පාලනයෙන් තොරව කටයුතු කරනවා නම් ඒ ගැන හිතන්න. මට වුන දෙය තවත් එක දරුවෙක්ට හෝ වීම වලක්වා ගැනීමට මම මේ කතාව ඔබට හෙළි කලෙමි.

Goodhousekeeping.lk වෙබ් අඩවියේ සටහන :

● මේ කතාව ඉතාම දුක්බර ළමා හිංසනය පිලිබඳ කතාවකි. මුල් කාලයේම අදාළ මව සහ දරුවන් ප්රතිකාර වලට යොමු කළා නම් ජීවිත දෙකක් මේ මට්ටමට විනාස වීම වලක්වන්නට තිබුණි.

● මේ මව ඇගේ තරහ සහ බලාපොරොත්තු බිඳ වැටීම් කායික හිංසා සහ මානසික හිංසනය මගින් පෙන්වූ අතර මේ පුතාගේ හැසිරීමේ වරදක් නිසා එම තරහ හට නොගත්තේය. අම්මාගේ නරක හැසිරීම මගින් දරුවා වෙත එල්ල කරන පීඩනය සමනය කිරීමට කිසිඳු පිලියමක් මුල් කාලයේ සිටම නොයෙදුන අතර දරුවා වරද කරුවෙක් කිරීම සමාජය මගින්ද සිදු කරන ලදී. ලංකාව වැනි රටක දෙමාපියන් අතින් හිංසනයට ලක් වන දරුවා බොහෝ විට සමාජයෙන්ද හිංසාවට ලක් වේ.

● දෙමාපියන් යනු දරුවන්ගේ පළමු ගුරුවරු වන අතර ධනාත්මක හැසිරීම් ඔවුන්ට පහුණු කල යුත්තේ දෙමාපියන් විසිනි. දරුවාට ආදරණීය , ආරක්ෂිත , ස්ථාවර පරිසරයක් හදන දෙමාපියන් නිසා දරුවන්ගේ අනාගත ජීවිත වඩා සාර්ථක සහ සතුටු දායක වේ. පහර දීම කිසිසේත්ම දරුවන්ට සුදුසු නැත. එමගින් දරුවන්ගේ ආත්ම අභිමානය පලුදු වන අතර අනාගතයේ මානසික රෝග වලට සහ මත්ද්රව්ය භාවිතාව වැනි අනාරක්ෂිත හැසිරීම් වලට හේතු වේ.

කෝපය ඇතිවීම දරුවා නිසා සිදුවන්නක් නොවේ ඔබගේ ගැටළු නිසා සිදුවන්නකි. එමෙන්ම කුඩා දරුවෙක්ගෙන් බලාපොරොත්තු විය හැකි සාමාන්ය හැසිරීම් වලට දැඩි දඬුවම් පැමිණවීම දෙමාපියන් ලෙස ඔබේ වරදකි. උදාහරණයකට දෑත් හරියට කුඩා නොවැඩුනු දරුවෙක්ගෙන් බත් හැලීම වැලක්වීමට බැනීම , දඬුවම් කිරීම උචිත නැත. මන්ද එය ඒ වයසේ දරුවෙක්ට අපහසු ක්රියාවකි. දැඟලීම, ගේ දොර ඇවිස්සීම වැනි ළමා වර්ධක ක්රියාකාරකම් වලට කෝප වී පහර දෙනවා නම් එය දරුවාගේ වරදක් නොව ඔබේ ගැටළුවක් බව මතක තබා ගන්න. දෙමාපියන් ලෙස ඉවසීම කළ නොහැකි නම් හැකි ඉක්මනින් වෛද්ය උපදෙස් ගන්න. එය මගින් අනාගතයේ සිදු වන මහා ව්යවසන වලින් වැලකීමට ඉඩක් ලැබේ.

(මෙවැනි තවත් කතා කියවීමට කැමති නම් පහළ ඇති Tags වචනයට යටින් ඇති Motivational Story මත ක්ලික් කරන්න. එවැනි කතා සියල්ල ඔබට දැකිය හැකිය.)

Share Now

Related Article