ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීම නිසා පළිගත් තරුණයාගේ ඉරණම

Apr 8, 2020

“ඕකිගේ ලොකු සීන් එක නිසා මට බෑ කිවුවා. බලමුකෝ වෙන එකෙක්ව බඳින හැටි” සාරංග යහළුවන් එක්ක වහසි දොඩවන්න ගත්තේ මත් පැනින් තරමක් සප්පායම් වුනාට පස්සේ.

Continue Reading Below

ඔහුගේ යහළුවන්ට ඔහුව ලොකු විහිළුවක් වුනා. ඔවුන් නිතරම ඔහුව අවුස්සලා ඔහු ලවා මෝඩ වැඩක් කරවලා ඒකට හිනා වුන උදවිය.

සාරංග කොළඹ නගරයේ මුඩුක්කු පරිසරේක උපන් කෙනෙක්. විධිමත් අධ්යාපනයක් නොලබා ආයතනයක පියන්වරයෙක් ලෙස සේවය කරද්දී එක මහත්මයෙක්ගේ කාරුණික කම නිසා ඔහුට අධ්යාපනය වැඩි දියුණු කරගන්න ඉඩක් ලැබුණා. ඔහුගේ උදවුවෙන්ම වැදගත් කාර්යාලයක දොර සාරංගට ඇරුනා.

උඩින් ඔහුව පිළිගත් ඔහුගේ මිත්රයෝ යටි හිතෙන් සතුටු වුනේ නැහැ සාරංග වගේ පසුබිමක කෙනෙක් තමන් එක්ක එකට පෑහෙන්න යනවට. ඒ නිසා ඔහු මෝඩ වැඩ කරන්න අනුබල දීම මේ මිතුරු කැලේ ලොකුම විනෝදාංශය වුණා. ඒ අතරේ කාර්යාලයට එනවා අවුරුදු 21 ක හිරිමල් වියේ ගැහැණු ළමයෙක්. ඇය සුන්දර කෙල්ලක්. අධ්යාපන කටයුතු කරන්න ජීවිතේ පටන් ගත්තා විතරයි. ඉතින් යාළුවො උගන්වනවා මේ ගැහැණු ළමයා ග්රාමීය පලාතක නිසා සාරංගට කැමති වේවි කියල.

ඇත්තටම ඇය තමාට වඩා වයස අවුරුදු 10 ක් වැඩිමහල් සාරංගගේ පෞර්ෂයට කැමති වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතේ යාන්තම් පටන් ගත්තු මුල සම්බන්ධයක පැටලෙන්න මීෂා කැමති වුනේ නැහැ. නමුත් කාරුණික ඇය හැමෝගෙන්ම බයිට් වෙන සාරංග කෙරෙහි අනුකම්පා කරනවා. ඒ නිසා හමු වෙන වෙලාවට සහෝදරයෙක් වගේ සාරංගට දිරිමත් වෙන්න වචන කියනවා. අද්යාපන කටයුතු වෙනුවෙන් උපකාර කරනවා. නමුත් ඔහුගේ මිතුරු කල්ලියට ඕනේ වෙනවා සුන්දර මීෂා සහ සාරංග අතර ප්රශ්නයක් ඇතිකරවන්න. එයින් ඔවුන්ට ලැබෙන දෙයක් නැති වුනත් සැහෙන්න කාලයක් ෆන් එකක් ගන්න පුළුවන් වැඩක් නිසා සාරන්ගාව පොළඹවනවා ඇයට ආදරේ කරන්න.

එක දවසක සාරංග බොහොම උනන්දුවෙන් මීෂා ගෙන් අහනවා තමන්ගේ බිරිඳ වෙන්න කැමතිද කියල.

එවෙලේ පුදුම වෙන මීෂා “ සාරංග අයියේ ඔයා මට සහෝදරයෙක් වගේ. ආයෙත් ඕවා කීවොත් මම කතා කරන්නෙත් නැහැ “ කියනවා.

නමුත් මේ බැහැ කිවීම සාරංග පිළිගන්නේ නැහැ. ඔහු මුලින්ම හිතනවා ඇයට කොල්ලෙක් ඉන්නවා කියල. දෙවනුව ඔහුගේ පවුල් පසුබිම නිසා ඔහුට කැමති වුනේ නැහැ කියල වෛර බඳිනවා.

ලංකාවේ බහුතරක් පිරිමි හිතන්නේ මෙහෙමයි. ගෑනියෙක් වුනාම අහන පිරිමියාට හා ..කිවිය යුතුයි. නැතහොත් ඇය ඔහුගේ ජන්මාන්තර හතුරෙක් වෙනවා.

මේ විදිහට එක දවසින් මීෂා සාරංගගේ ජන්ම හතුරෙක් වෙනවා.

ඔහු යහළුවන්ට සපත කරවනවා තමා මීෂට කිසිම හොඳ කොල්ලෙක් එක්ක යාලු වෙන්න දෙන්නේ නැහැ කියල. ඒ වගේම මීෂට පේන්න දවසක ඔහු ලොකු තැනකින් කසාද බඳිනවා කියලත් ඔහු කියනවා.

කාර්යාලයේ මීෂට ඉන්න එක අප්රසන්න වෙන තරමට සාරංග ප්රශ්න ඇති කරවනවා. වරෙක ඇය ගැන Interest එකක් තිබෙන සම වයස්ක තරුණයෙක්ට සාරංග පුද්ගලිකව හමු වෙලා කියනවා “මීශාගේ චරිතේ හොඳ නැහැ …මල්ලි ඒ නිසා උඹ ඕක සිරාවට කරන්න එපා “ කියල. සාරංගට ඕනේ වෙන්නේ මීෂා ජීවිතේ විනාස කරගන්නවා දකින්න. ඔහු දුරකථන ඇමතුම් අරගෙන ඇගේ මිතුරියන්ට , ඇයට කැමති වෙන පිරිමි ළමයිට හැමෝටම නිර්නාමිකව මීශාගේ වැරදි කියනවා.

“ ඕක මම ඇදලා අතහැරියේ මල්ලි. ඕකේ ගන්න දෙයක් නැහැ. කරන දෙයක් කරගෙන අයින් වෙයන් බන් “ ඔහු මේ විදිහට හැම තැනම කතා කියනවා.

කාර්යාලයේ දක්ෂ සේවිකාවක් වුනත් තමන්ගේ නම කැත කරගෙන නොසිටි මීෂා කෙරෙහි ඉරිසියා කරන හැමෝම වගේ මේවා ගල් පැලෙන අසත්ය බව දැනගෙන වුනත් තැන තැන කතා හදනවා. මීශාට හින්ට් ගහනවා. සාරංග මේ දේවල් වලින් දැඩිව පළිගැනීමේ සතුට විඳිනවා.

මේ විදිහට වසර දෙකක් විතර යනවා. මීෂා ආයතනයෙන් ඉවත් වෙලා යනවා වෙනත් තැනකට. ටික කලකින් මීශාව අමතක වෙනවා. ඕපදූප හොයන සාරංග ඉඳහිට ඇය ගැන ආරංචි කරත් ලැබෙන්නේ නැතුව යනවා.

මේ අතරේ සාරංග විවාහය ප්රමාද වෙලා ඉන්න ඔහුට වඩා වයසින් වැඩි නීතිඥ වරියක් සමග යෝජනාවකින් විවාහ වෙනවා. මේ වෙලේ ඔහු දැඩි ආඩම්බරයට පත් වෙනවා මගේ බිරිඳ නීතිඥ වරියක් නේද කියලත්. ඒ එක්කම ඔහුට මීෂා මතක් වෙනවා.

මීෂා දැක්කා නම් අපූරුයි කියල ඔහු කල්පනා කරනවා. නමුත් මීෂා මේ වෙද්දී මොනවා කරනවා ඇතිද?

“ ඔය ගොඩිච්චි මොකෙක් හරි ගොඩයෙක් අතින් සල්ලම් වෙලා ඇති..ඕකිට කාවවත් බඳින්න මම ඉඩක් දුන්නේ නැහැනේ.” ඔහු තනියම හිතල සතුටු වෙනවා.

සාරංගගේ විවාහය දෙදරා යන්නේ බිරිඳ කපුවා විධායක නිලධාරියෙක් කියල විවාහ කර දුන්නට ඔහුගේ තනතුර ඇයට ගැලපෙන්නේ නැහැ කියලයි. ඒ වගේම ඔහුගේ මව එක්ක බිරිඳ නිතර ගැටෙනවා. වසර දෙකක් යන්න මත්තෙන් ඔවුන් දික්කසාද වෙනවා.

ඒ අතරේ දවසක ආයතනයේ අයිතිකාරයාගේ පුතාගේ විවාහය යෙදෙනවා. ඔවුන් හැමෝම යන්නේ තමන්ගේ ආයතනයේ ඊළඟ හිමිකාරයාට සුබ පතන්න. පුතාට පාලනය භාර දීල ලොකු බොස් විශ්රාම යන්න ඉන්න බව දැනගන්න ලැබෙනවා.

අවාසනාවක මහත ලෙස සාරංග දකිනවා මේ මනමාලි කවුරුත් නෙවේ අර මීෂා කියල. මීෂා හරියට දැක්ක සැනින් බොමින් හිටි වතුර වීදුරුව උගුරේ හිරවුණ ඔහුව නොසලකා ඇය ඉන්නවා. දෙදෙනා අමුත්තන්ට කතා කරන්න පැමිණි විට.

“ සාරංග අයියා..ඉස්සර මා එක්ක එකට වැඩ කළා “ කියල බොහොම නිරහංකාරව සැමියා සමග කියද්දී සාරංග ගල් වෙලා යනවා. දවසක ඇයගෙන් සමාව ගන්න හිතාගෙන ඔහු ඇගේ විශේෂ කාර්යාලයට යන්නේ මෙහෙම ගියොත් කොයි වෙලාවක හෝ ඇය මා අයින් කරාවි කියන බයෙන්.

“ මම ඒ අතීතේ අමතක කරලා ගොඩක් කල්…. හැබැයි ඒ කාලේ මට දුන්න දුක නම් ගොඩක් වැඩියි ඔයාල…දන්නවද මම ඉස්සර හැමදාම උදේ වැඩට ආවේ අඬලා… “

ඇය කියාගෙන යන විට අතීතය මතක් වීමෙන් ඇගේ මුහුණ ශෝකාකූල විය.

“ හැබැයි ඒ මට දුන්න ගින්දර ..කවදා හරි දවසක පොලියත් එක්ක ආපහු ඒවි ඔයාල හැමෝටම කියල මම විශ්වාස කරා. ආවද නැද්ද මම දන්නෙත් නැහැ. මට අදාලත් නැහැ “ ඇය කීවේ වේදනාවෙන්.

“ සාරංග දැන් යන්න ..බය වෙන්න එපා බොස් ඔයාව අයින් කරන්නේ නැහැ. මොකද මිනිහෙක්ට රස්සාව කොච්චර වැදගත්ද කියල මම හොඳට දන්නවා…..”

Share Now

Related Article