කලුපාට ගැහැණු ළමයෙක්ගේ කතාවක්

Feb 21, 2020

“ මල්ලිකා අක්කට කලුම කලු කෙල්ලෙක් ඉපදිලා “

පවුලේ හැමෝම කතාවට වැටුනේ මේ ගැනයි. මල්ලිකා හමේ පාටින් සුදු කෙනෙක් ඇගේ සැමියා යසරත්න මුදලාලි ඊටත් වඩා සුදු කෙනෙක්. ගමේ හැමෝටම කතා කරන්න තිබුන ලොකුම මාතෘකාව වුනේ මේ ළමයාගේ හමේ වර්ණය. මල්ලිකා ළමයා හම්බ වෙන්න ඉද්දිත් බෝධියට භාර වුනේ තමන්ට සුදු , ලස්සන කොලු පැටියෙක් ලැබෙන්න කියලයි. මොකද කලින් උපන් දුව නිර්මාලා සුදු පාටයි. ඔවුන්ගේ ව්යාපාර කරන්න කොල්ලෙක් ඕනේ කියන අදහස යසරත්නගේ හිතේ මුල් බැහැල තිබ්බේ.

Continue Reading Below

“කඩේ වැඩ කොරාපු උක්කුවා නේ උදේ හවස දැක්කේ. කොල්ලෙක් වුනා නම් තව කළුව කමක් නැහැ. කෙල්ලක් නේ…. මේ ළමයා. දීගෙක වත් දෙන්නේ කොහොමද ? “

කියමින් ඕවිටේ අත්තම්මා දැරිය නාවන්නේ නැතුව ආපහු ගියා. ඒ ගියේ හරියට මහා විනාසයක් වෙලා වගේ හඬමින්. මේක දැකපු මල්ලිකා ගොඩක් මානසිකව වැටුණා. දවසක් යසරත්න ගෙදර එද්දී මහා වැස්සේ පොඩි එකා පිල් කඩින් තියල මල්ලිකා දොර වහගෙන. මාසයක් වත් වයස නැති බිලිඳා හයියෙන් අඬනවා. බිරිඳ එක්ක කෝපයෙන් යසරත්න ළමයා අතට ගත්තා.

අතට ගනිද්දිම උණුසුම නිසා ඇය තාත්තාගේ කමිසයට තුරුල් වෙලා කිරි හෙවුවා. කිරි දීලත් නැහැ වගේ. බිරිඳ හොයාගෙන ගෙට යද්දී ඇය අල්මාරියේ දොරත් ඇරගෙන හැංගිලා ඉන්නවා ඇතුලේ.

බිරිඳට මානසික ලෙඩක් කියල ඔහුට වැටහුනේ එතකොට. ඔහු වහාම තමන්ගේ අම්මට එන්න කියල දරුවෝ බාර දීල බිරිඳත් අරගෙන රෝහලට ගියා. පසු ප්රසව විශාදය ගැන අහල වත් නැති කාලෙක ඇය මාස 6 ක් රෝහල් ගත කරලා බෙහෙත් කළා.

“ අර කලු ළමයා හරිම අවාසනාවන්තයි. උපන් දවස් වලම අම්මට පිස්සු හැදුනා. ඒකෙන් කිරි පොදක් බොන්න පිනක් නැති වුණා “ හැමෝම පුංචි නෙහාරාට කීවේ එහෙමයි.

නෙහාරාගේ සමේ වර්ණය ලැබුනේ යසරත්නගේ පියා එහෙම නැත්නම් ඇගේ සීයාගෙන්. මේ සමේ වර්ණය ගැන හැමෝම කතා කිරීම සහ හෙලා තලා බැනීම නිසා තමයි මල්ලිකාට ලෙඩ වුනේ කියල ඔවුන් දැනගෙන හිටියේ නැහැ. එකම දේ පුංචි නෙහාරා වෙතට ඔවුන්ගේ නපුරු වචන නිතරම එල්ල වුණා.

යසරත්නගේ අම්මා සහ යසරත්න පුංචි දුව වෙනුවෙන් පෙනී සිටියා. ඇය නිරන්තරවම මල්ලිකාගේ තරහට බඳුන් වුනේ හැමෝගෙම අවමානයට තමා ලක් කළ කෙනා ලෙස හිතේ මුල් බැසගෙන තිබුන නිසයි.

මල්ලිකා හැම වෙලේම ආදරය කලේ නිල්මාලාට. නෙහාරා ට අම්මගෙන් බැනුම්, ගුටි සහ ටොකු හැර වෙන කිසිවක් ලැබුනේ නැහැ. නෑදෑයන් හැම විටම “ ආ ..කළු කෙල්ල…කළු දුවේ… “ වගේ නම් වලින් නෙහාරා ආමන්ත්රණය කළා. හත වසරේදී ඇයව ඉස්කෝලේ බෑන්ඩ් එකෙන් අයින් කරා. ඇය තරම් දක්ෂ නැති ළමයෙක් ඉස්සරහ පේලියට වැටුණා. මේ ගැන අහන්න පාසලට ගිය යසරත්න දිහා බලපු ගුරුතුමිය කීවේ…

“ ප්ලේ කරන්න පුළුවන් වෙලාම බැහැනේ. බෑන්ඩ් එකට ගන්නේ හමේ පාට හොඳ ළමයි “

කියලයි. එදා ඉඳන් නෙහාරා එක දෙයක් ත්රුම් ගත්තා තමන් කොච්චර දක්ෂ වුනත් දක්ෂ කමට වඩා ඔවුන් සලකන්නේ වෙනත් දෙයක් කියලයි. ඇය ඇගේ කළු සමට වෛර කළා. නමුත් නෙහාරා ඉගෙනේ ගන්න ගොඩක් දක්ෂයි. අම්මගේ වෙනස්කම් නිසාම නිල්මාලා හිටියේ ගොඩක් ආඩම්බරෙන්. නංගිට වඩා තමන් ලස්සන බව සහ උසස් බව සිතපු ඇය නංගිට හොදින් සැලකුවේ නැහැ.

එක වරක් රට ඉන්න නැන්දා කෙනෙක් ඔවුන් දෙන්නටම ලස්සන ගවුම් දෙකක් ගෙනත් තිබ්බා. තමන්ගේ ගවුම විතරක් නෙවේ නංගිගේ ගවුමත් උදුරා ගන්න නිල්මාලා පාවිච්චි කළේ නංගිගේ සමේ වර්ණය කියන තුරුම්පුවයි.

“ මෙයා කළු නිසා මෙයාට රෝස පාට ගැලපෙන්නේ නැහැ අම්මි. රෝස හරියන්නේ මට. මෙයා කළු නිසා කළු එක කොහොමත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මට මේ ගවුම් දෙකම ඕනේ “ නිල්මාලා කියපු වචනේ අහපු මල්ලිකා ගවුම උදුරලා දුන්නා. මේ වෙලේ නෙහාරාගේ පුංචි හිත ගොඩක් බිඳුනා.

යන්තම් ලොකු වෙද්දී නෙහාරා උත්සහ කරේ සුදු වෙන්න. නොයෙක් ක්‍රීම් වර්ග ගෙනත් ආලේප කිරීම ඇය පටන් ගත්තේ එතකොට වත් තමන්ට සමාජයෙන් වෙනස් සැලකුම් නැති වෙයි කියන බලාපොරොත්තුවෙන්. එක වරෙක සැලුන් එකේ අක්කා කෙනෙක් ඇයට හදල දුන්නා බ්ලීචින් ක්‍රීම් එකකින් ටිකක් සහ නිකන් ක්‍රීම් එකකින් ටිකක් මුසු කරලා අලුත්ම ක්‍රීම් එකක්. මේ ක්‍රීම් එකේ වියදම රුපියල් සීයක් වත් නොගියට මෙය නෙහාරාට අලෙවි කලේ රුපියල් 5,000 ක් වගේ මුදලකට. මේක ගාන්න ගනිද්දී නෙහාරගේ මූණ දවසින් දවස සුදු වුණා. මාසෙකට පස්සේ ඇගේ මූනේ ගෙඩි , සැර්ව බිබිලි හැදිලා රෝහල් ගත කරන්නත් වුණා. වෛද්‍යවරයා කීවේ මේ ක්‍රීම් වල තියන රසදිය සිරුරේ තැම්පත් වෙලා ලෙඩ රෝග රැසකට ලක් විය හැකි බවයි.

හැමදාම ඇය කල්පනා කලාමේ කළුපාටින් නිදහස් වෙන ක්‍රමයක්.

මේ හැමදේම මැද ඇය අධ්‍යාපනයෙන් ඉහළට ගියා. විශ්ව විද්‍යාලයේදී ඇය එක්ක කුළුඳුල් ප්‍රේමයෙන් බැඳුනේ ගොඩක් දක්ෂ ශිෂ්‍යයෙක් වගේම සමේ පැහැයෙන් ඇයට වඩා ගොඩක් පැහැපත් කවිඳු. කවිඳු ඇයට ආදරේ ප්‍රකාශ කරලා පස්සෙන් එද්දී නෙහාරා මගහැර ගියේ බයවෙලා. තමා වගේ කෙනෙක්ට ආදරේ කරන්නේ කවුද කියන ගැටලුව ඇගේ හිතේ තිබුණා. ඒ වෙද්දී බොහොම ලස්සන සිරුරක් සහ ලස්සන මුහුණක් තිබුන ඒ වගේම විශ්ව විද්‍යාලයේ නිවේදන , සංවිධානය කිරීම්, නැටුම් වගේ බාහිර වැඩ හැම එකටම ඉන්න නෙහාරා ගැන පිරිමි ළමයි පුදුම උනන්දුවක් දැක්කුවේ. ඇය සමස්ත ලංකා ප්‍රථම ස්ථානයට පවා පත් වුන දක්ෂ නර්තන ශිල්පිනියක් වීම හැමෝගෙම ප්‍රසාදය දිනාගන්න හේතු වුණා.

පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් හිමිකරගත් නෙහාරා උත්සවයක් අරගෙන විවාහ වෙන්න පවා බය වුණා. එයට හේතු වුනේ කවිඳුගේ අම්ම දැකපු ගමන් “ මේ කළු කෙල්ල කොහෙන්ද හොයාගත්තේ පුතේ? “ කියල අහපු නිසා බව පසු කාලෙක නෙහාරා හෙළි කළා.

උත්සවයක් නොගෙන විවාහ වුන නෙහාරා සහ කවිඳු ඇමරිකාවේ පර්යේෂණ ආයතනයක සේවයට බැඳුණා. ඔවුන් එහෙම පදිංචි වුණා. අද ඇය විශ්ව විද්‍යාල මහාචාර්ය වරියක්. ඒ වගේම කවිඳු අමතන හැම දෙනාම “ ඔබේ බිරිඳ හරිම ලස්සනයි. ඔබ හරිම වාසනාවන්තයි” කියන වචනය කියනවා.

නංගිට සමේ වර්ණය නිසා නිතරම නොයෙක් දේවල් කියපු නිල්මාලා සාමාන්‍ය ලෙස මේ රටේ ජීවත් වෙනවා. නිල්මාලාගේ දරුවන් නංගිගේ උදවුවෙන් ඇමරිකාවට යවන්න නිල්මාලා හීන දකිනවා. අම්මා ගේ මානසික මට්ටම වෙනස් වුනේ ඇයි කියල තේරුම් ගත්තු නෙහාරා ඇයට සමාව දුන්නා වගේම අනුකම්පා කළා. මල්ලිකා මිය ගියේ දරුවන්ගේ සැලකුම් ලද වාසනාවන්ත මවක් ලෙසයි. අවසාන කාලයේ ඇය කුඩාකල නෙහාරාට කළ වැරදි සිහි වී ගොඩක් දුක් වුණා. නමුත් ඒ වෙද්දී ගොඩක් පරක්කුයි. වුන දේ ආපහු ගන්න බැහැ.

ලංකාවේ අවලස්සන අවාසනාවන්ත ලෙස සැලකුණ කලු සම ඒ රටේ ඉහලම පිළිගැනීමට ලක් වෙනවා. ආසියාතික රටවල සුදු වර්ණය ලස්සනයි කියන මිත්‍යා මතය හැදුවේ ව්‍යාපාරිකයන්. අධිරාජ්‍යවාදී මානසික මට්ටමත් මේ මිත්‍යාව වපුරන්න පහසුවක් කළා. සමේ වර්ණය අවලස්සනයි කියල ඔබේ මානසික මට්ටම බින්දුවට දාල එයින් වාසි ගන්න පිරිසක් ඉන්නවා. ඒ තමා සුදුවෙන නිෂ්පාදන කියල රසායන ද්‍රව්‍ය ඔබේ සිරුරට ඇතුල් කරලා මුදල් උපයන උදවිය. ඔවුන් ජීවිකාව උපයා ගන්නේ ඔබේ මානසික මට්ටම පහලටම ඇද දාල. සුදුවෙන එන්නත්, බ්ලීචින් ක්‍රීම්, පෙතිවර්ග ලංකාවෙත් හොර පාරෙන් විකුණනවා. මේවාට විරුද්ධව නීතිමය පියවර ගැනීම රජයන් මගින් සිදු නොකරන නිසා ඔබ මේවා පාවිච්චි කරලා රෝගී නොවෙන්න තරම් බුද්ධිමත් වෙන්න ඕනේ.

ගැහැණියකගේ ආකර්ශනීය බව තීරණය වෙන්නේ සමේ වර්ණයෙන් නෙවෙයි. ඔබේ හැකියා, දක්ෂතා වගේම පැහැදිලි සුන්දර දේහයක්, සමක් වගේ කාරණා වලින් ඔබේ සුන්දරත්වය සහ ආකර්ශනීයත්වය තීරණය වෙනවා. ඒ වගේම කෙනෙක්ගේ සමේ වර්ණය ගැන දැක්ක ගමන් නම් පටබඳින්න, කියන්න කලින් මතක තියා ගන්න ඒ නිසා ඒ පුද්ගලයාගේ මානසිකතත්වයට කුමක්ද වෙන්නේ කියල.

“ කළු අක්කා…කළු නංගි… කෙල්ල ලස්සන වුනාට කලුයි… ඒ වගේම නොයෙක් නම් සමේ වර්ණය අරභයා පටබදිද්දී ඔබ දෙවරක් හිතන්න. ඔබේ වචන වලින් තව කෙනෙක්ට මානසිකව ඇතිවෙන තුවාලය ඔබ හිතනවට වඩා ගැඹුරු වෙන්න පුළුවන්. ජීවිත ගොඩක් ඔබේ වචන නිසා වෙනස් වෙන්න පුළුවන්.

Share Now

Related Article