යාලුවාගේ විවාහය බිඳෙන තුරු බලා සිටි තරුණියන්ගේ කතාවක්

Nov 29, 2019

“ටානි මේ මාර නිවුස් එකක් තියනවා. පස්සේ කියන්නම්” කියල මැසේජ් එකක් යැවුවේ නවෝදා. මේක අහපු වෙලේ ඉඳල ලන්ච් ගන්න යන ටාන්යාට ඉවසිල්ලක් නැහැ. ඔවුන්ගේ සෙට් එකේ සුදාරි එදා ලොකු වැඩක පැටලිලා නිසා තුන් දෙනාම කන්න යද්දී තුනටත් කිට්ටුයි.

Continue Reading Below

නවෝදා කන්න කලින් පරිස්සමෙන් වොෂ් රූම් එකට ගිහින් නළලේ තිබ්බ පාර යාලුවන්ට නොපෙනෙන්න මේකප් ටිකක් වැඩියෙන් දා ගත්තා. කලින් දවසේ රෑ යාලුවෙක් එක්ක බොන්න ගිහින් ගෙදර එද්දී රෑ වෙලා. අවාසනාව කියන්නේ හබී එදා නොකියම ගෙදර ඇවිත්. ඒ නිසා ඇතිවුන රණ්ඩුව කෙලවර වුනේ පාරක් දෙකක් වැදිලා. ඔහුගේ පහර වැදෙන්න කලින් ඇය දෙතුන් වරක් ඔහුට පහර දීලයි තිබ්බේ.

නවෝදා කියන්නේ ගොඩක් ලස්සන හොඳ පොෂ් කෙල්ලෙක්. එයාට හොඳ රැකියාවක් තිබ්බා. වැටුපක් තිබ්බා. ගොඩක් තරුණයෝ ඇසුරු කරත් ඇය විවාහ වෙන්න තදින්ම බැලුවේ කොළඹ ඉහළ පැලන්තියක තරුණයෙක්. ඉතින් අන්තිමේදී ආදරය වගේ දේවල් වලට වඩා වෙන දේවල් ගැන සලකලා හරි ඔවුන් විවාහ වුනත් ඇගේ පුරුදු සමාජ ශීලී පැවැත්ම ඇය පවත්වාගෙන ගියා. එයට හේතු වුනෙත් ඉතින් සැමියා ගෙවපු ජීවිතේම තමයි කියල කියන්නත් පුළුවනි. කොහොම වුනත් ලොකු විවාහයක් මිලියන ගානක් වියදම් කරලා ගත්තු නිසා සහ ඇගේ වත් පොහොසත් කම් නිසා හැමෝම හිතුවේ ඇය හරිම වාසනාවන්තයි කියලයි.

නවොදාගේ ඔෆිස් එකේ එයාට යාළුවො තුන් දෙනෙක් හිටියා. තුන් දෙනාම එකිනෙකා ඇසුරු කරේ කාර්යාලයේ ඕපදූප බෙදා හරින තුන් කට්ටුව ලෙසයි. ඇත්තටම වැඩම විතරක් මදිනේ..සතුටු වෙන්න නම් ඕපදූප වගේ මිහිරි දේවල් තියෙන්නම ඕනේ කියන මතයට තුන් දෙනාම එකාවන්ව පිළිඅරගෙන හිටියේ. එක්කෙනක් දෙයක් දැන ගත්තොත් තුන් දෙනා එක්කම නොවලහා බෙදා ගත්තා. හමුවෙන හැමෝටම කීවා. ඒවගේම ඔෆිස් එකේ ඕපයක් දැනගන්න ඕනේ නම් ඉතින් මේ තුන් දෙනාගෙන් කෙනක් හමු වුනාම හොඳටම ඇති.

“මේ ටානි ඔයා කීවා නේද ගිය සතියේ තරුෂිලා සතුටින් ඉන්නවා කියල ?” නවෝදා අනික් දෙදෙනාගෙන් ඇහුවේ කෑම කටේ දා ගන්න ගමන්.

තරුෂි කියන්නේ මේ ආයතනයේ කලින් වැඩ කළ ගැහැණු ළමයෙක්. ඔවුන්ට සම වයස වුන තරුෂි වැදගත් කෙනෙක් එක්ක විවාහ වෙලා රැකියාවෙන් ඉවත් වුනා. ඇත්තටම ඔවුන් තුන් දෙනාම තරුශිට වඩා පොෂ් සහ ෆොර්වර්ඩ් නිසා ඔවුන් තුන් දෙනාටම මේ යහපත් ලෙස සිදුවුණ විවාහය එතරම් ඇල්ලුවේ නැහැ. ඇය විවහා වෙද්දී රැකියාවෙන් අයින් වෙලා පවුලට කැප වෙනවා කියද්දී ඔවුන් තුන් දෙනාම උපහාසයෙන් හිනා වුණා.

“ඔය රැස් බහින්න වැඩිම යන්නේ අවුරුද්දයි. හුලන් බහිනකම් ඉමු “

කියමින් නවෝදා මහා හයියෙන් හිනා වුණා. එහෙම කරේ තරුෂි විවාහ ඇරයුම්පත්ර දීල විවාහයට ආරාධනා කරලා ගියාට පස්සෙයි. ඇය රියදුරෙක් එක්ක ඇවිත් සිටිනවා දැකල තුන් දෙනාටම ඇති වුනේ දැඩි නොරිස්සුමක්.

“ඒ අයියල වැදගත් මිනිස්සු. පිනක් පල දීලද කොහෙද ? හැබයි ඔය වගේ ගොඩේ පවුලකින් බැන්දහම ඒ මිනිස්සුන්ට එපා වෙයි“ එහෙම කීවේ සුදාරි.

එදා ඉඳල මේ තුන් දෙනා තරුශිව මගුල් තුලා වලදී හම්බ වුනාම කපන්න බැරි අත ඉඹිනවා වගේ බොහොම සුහදව කතා කළත් ඇය ගැන බොහොම විමසිල්ලෙන් හිටියේ. තරුෂිගේ වගේම සැමියාගේ FB එකට නොයෙක් වර ගිහින් අද මගුල කැඩෙයි..හෙට කැඩෙයි කියල ඔවුන් සාක්කි පවා හෙවුවා. තරුෂි වැඩිපුර දේවල් ෆේස් බුක් එකේ නොදාන නිසා ඔවුන්ට යමක් හොයා ගන්නත් බැරි වුණා. අවුරුදු 3 ක් මෙහෙම ගෙවුනත් පවුල කැඩෙන පාටක් නම් තිබ්බේ නැහැ.

“මොකද්ද අලුතින්ම ආව නිවුස් එක ?” ටානියා ඇහුවේ කලබලෙන්.

“මේ උදේ මට වැඩකට කතා කරන්න වුනා ..තරුෂිගේ හස්බන්ඩ්ට. මිනිහා කීවා මිනිහා තව සති 3 කින් අප්‍රිකාවට ට්රිප් එකක් යනවා කියල. මම ඇහුවා එහෙනම් තරුශිත් යනවා ඇති නේද කියල“

“ඉතින්…” සුදාරි ඇහුවේ නොයිවසිල්ලෙන්.

“ බලද්දී මිනිහා තනියම යන්නේ. තරුෂි ලංකාවේ ඉන්නවා කීවා. වැඩි දෙයක් නොකියා මිනිහා කතාව මගහැරියා. මොකක් හරි තියනවා. “ නවෝදා කීවේ මොහොතකට තව කටක් කටේ දා ගන්නා ගමන්.

“ ළමයි නැතුව දැන් අවුරුදු තුනක්..ෂුවර් එකට මිනිහට එපා වෙලා ඇති “ එහෙම කීවේ සුදාරි.

වෙන්න යන දේ ගැන තුන් දෙනාටම හරිම සතුටුයි. “අනික මතකනේ අර මාර්කටින් එකේ වෙඩින් එක දවසේ. අම්මෝ තරුෂි කොච්චර කැත වෙලාද ? මාර මහතයි. ඒ මදිවට කොන්ඩේ කොටටම කපල දාල. මම හිතුවේ ළමයෙක් හම්බ වෙන්න වත්දෝ කියල”

“ඇහුවහම කීවේ නම් එයාට ළමයි හම්බ නොවෙන ලෙඩක් තියනවලු. ඒ නිසාලු ඔහොම මහත් වෙන්නේ“

“මේක මාරම නිවුස් එක ටානි. දැන් ලොකුවට ෂෝ එක දාගෙන ලෝකේ වටේ යයා හිටියේ. මම හිතුවා ඔය ගමන් වලට වැඩි ආයුෂ නැහැ කියල.“ නවෝදා කියන්න ගත්තා.

“මේ අපි ශේප් එකේ කෝල් එකක් දීල බලමුද ?“ වැඩිදුර තොරතුරු දැනගන්න ඕනේ නිසා සුදාරි කීවා. ගෘප් චැට් එකේ මේක බෙදා ගන්න තුරු ඉස්පාසුවක් තිබ්බේ නැහැ ඔවුන්ට.

ලන්ච් රූම් එකේ ඉඳල ස්පීකර් ෆෝන් දාල ඔවුන් තරුශිට කතා කරේ ඊළඟට එන බක්මහ උළෙලට එනවද අහන්න. කතාව අතරේ….

“ අනේ ඔයා අප්රිකාවේ යනවලු නේද ? “ කියල අහන්නත් ටාන්යා අමතක කරේ නැහැ.

ඔවුන්ට කතාවෙන් නම් මුකුත් අලුත් දෙයක් දැනගන්න ලැබුනේ නැහැ. තරුෂි කීවේ ඇය රට නොයන්නේ බිස්නස් වැඩක් නිසා කියලයි. මොකක් නමුත් කොස්සක් ඇති බව තුන් දෙනාටම තේරුණා.

ඒ නිසා තුන් දෙනා මේ ගැන සමීප උදවිය එක්ක කිවුවා. කිවුවේ කාලයක් බලාගෙන හිටපු ලොකු දිනුමක් ලැබුනා වගේ.

මේ අතරේ කාලය ගෙවුනා. මාස කීපයක්. නවෝදා ගේ විවාහය බිඳුනා. ඔවුන් දික්කසාද නඩු දැම්මා. ටාන්යාගේ පෙම්වතා ඇය අතහැරලා වෙන තරුණියක් එක්ක විවාහ වුණා. සුදාරි සාමාන්‍ය විදිහට තනිකඩව ජීවත් වුණා. ඇයට කොයි තරම් විවාහ කතා කරත් එකක් වත් හරි ගියේ නැහැ.

මාස කීපෙකට පස්සේ ඔවුන්ගේ ජිම් එකේදී තරුශිව අහම්බෙන් ඔවුන්ට හම්බ වුණා. ඇත්තටම තරුෂි ගොඩක් හිටියට වඩා මහත් වෙලා කියල කියන්න ටාන්යා කට ගත්තා විතරයි. තරුශිට කෝල් එකක් ආවා.

“අනේ බබා අඬනවද ? මම ඉක්මනින් එනවා. “තරුෂි පිළිතුරු දුන්නා. යාලුවෝ තුන් දෙනාම පුදුම වෙලා මූනට මූණ බැලුවා.

“ ඔයාට බබෙක් ඉන්නවා…”

“ඔවු අනේ. කාටවත් කියන්න බැරි වුණා. මම ලෙඩින් හිටිය නිසා විස්වාසයක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි දෙන්නා තීරණය කළා කාටවත් නොකියා ඉන්න. එතකොට මොනා හරි වුනත් කවුරුත් අහන්නේ නැති නිසා දුක අඩුයි නේ “ තරුෂි කීවේ සිනාසෙමින්.

“ ආ..එහෙනම් ඒකද හබී තනියම අප්‍රිකාවට ගියේ ?” සුදාරිගේ කටින් එකවරම පැන්නා.

“අනේ ඔවු. අපි දෙන්නම යන්න සල්ලි බැඳලා ඔක්කොම ලැහැස්ති කරලා ඉද්දි බබෙක් ලැබෙන්න කියල දැනගත්තේ…. ඒ ගමන මම නැවතුනා. එයත් නවතින්න හැදුවේ. ඒත් ඉතින් අපි දෙන්නම නොයනවට වඩා එක්කෙනක් යන එක වැඩිය හොඳයි නේ “ කියපු තරුෂි ඉක්මනින් පිට වුනේ ඔවුන්ට බබා බලන්න එන්න කියල අරාධනා කරලා.

තුන් දෙනාම වචනයක් නොකියා ආපහු ජිම් එක ඇතුලට ගියේ හිතේ ලොකු බරක් තියාගෙන. අනුන්ගේ පවුල් කැඩෙනකම් බලාගෙන උන්න ඔවුන් තුන් දෙනාගේම පවුල් වල තත්වය ගැන මතක් වෙන්නත් ඇති සමහර විට.

Share Now

Related Article