පණපිටින් මිහිදන්ව

Jul 30, 2020

ඒ 1937 අවුුරුද්දේ සැප්තැම්බර් පළවෙනිදාය.

Continue Reading Below

දහනව වියැති ඇන්ජෙලෝ තම මෝටර් සයිකලයට නැගගත්තේ විනෝදයට රවුමක් යන්නටය. මේ විනෝද ගමන තමන්ගේ ජීවිතයේ බිහිසුණුම, ජීවිතයම වෙනස් කරන ගමනක් වේ යැයි ඇන්ජෙලෝ සිහිනෙකින්වත් සිතුවේ නැත.

ඇන්ජෙලෝ හේයිස් නම් ඒ ප්‍රංශ ජාතික තරුණයාගේ විනෝදාංශය වූයේ ඔහුගේ මෝටර් සයිකලයේ නැගී පවනට බදු වේගයෙන් ගමන් යාමය. එහෙත් එදා නම් ඒ විනෝදාංශය විනෝදයක්ම වූයේ නැත. ඇන්ජෙලෝ වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටියදී විසල් ට්‍රක් රථයක් ඔහුගේ ඉදිරියට එමින් තිබිණ. ඇන්ජෙලෝට තිරිංග ක්‍රියාත්මක කරගන්නට හැකි වූයේ නැත. කොතරම් වේගයකින් ගමන් කරමින් උන්නේද කිවහොත් ඔහුට වේගය පාලනය කරගන්නටත් බැරි විය. ඔහුගේ පාලනයෙන් ගිලිහුණු මෝටර් සයිකලය පාරෙන් ඉවතට ලිස්සා ගියේය. මෝටර් සයිකලයත් ඇන්ජෙලෝත් එකටම පාර අයිනේ තිබුණු තාප්පයක වැදුණි.

කෙලින්ම තාප්පයේ වැදුණේ ඇන්ජෙලෝගේ හිසේ ඉදිරි කොටසය. ආරක්ෂිත හිස් වැසුමක් පැළදගෙන උන්නද ඔහුගේ මුහුණත් හිස් කබලේ ඉදිරි කොටසත් තාප්පයේ වැදී පොඩි පට්ටම් විය.

අවට උන් අය අනතුරට ලක් වූ මේ තරුණයාව රෝහලට රැගෙන ගියහ.

“මං හිතන්නෙ දැනටමත් පරක්කු වැඩියි වගේ..” ඔහුව රෝහලට ගෙන යන අතරතුර අයෙකු කීවේය.

තරුණයාව රෝහලට බාරගත් වෛද්‍යවරු අර කී කතාව සනාථ කළහ.

ඔහුගේ හුස්ම වැටීමක් දැනුණේම නැත. හදවතේ ගැස්මද නොදැනිණ. නාඩි වැටෙන්නේද නැත.

“පරක්කු වැඩියි. රෝහලට ගේනකොටම නැතිවෙලා.” වෛද්‍යවරුද කීහ.

ඇන්ජෙලෝගේ මුහුණ අනතුරෙන් හොදටෝම තුවාලව තිබිණ. ඒ නිසා ඔහුගේ සිරුර කිසිවෙකුට පෙන්වන්නටත් ඔහුගේ දෙමාපියන් කැමති වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ඔහුව මිහිදන් කිරීම හැකිතාක් ඉක්මන් වීමය. ඉක්මනින් මිහිදන් කෙරෙන නිසාම ඇන්ජෙලෝගේ සිරුර එම්බාම් කිරීමක් ගැනද ඔවුන් සිතුවේ නැත.

ඇන්ජෙලෝගේ අවමංගල්‍යයේ කටයුතු නිම විය.

කතාව ඇරඹුණේ ඉන් පසුවය.

වාසනාවකට හෝ අවාසනාවකට, ඇන්ජෙලෝගේ මරණයට දින කීපයකට පෙර, ඇන්ජෙලෝගේ පියා ඔහු වෙනුවෙන් ජීවිත රක්ෂණයක් ගෙන තිබිණ. එයද ලේසි පාසු රක්ෂණයක් නොවේ. ඩොලර් ලක්ෂ දෙකක් වටිනා ජීවිත රක්ෂණ ඔප්පුවකි. ඉතින් මේ ජීවිත රක්ෂණ ඔප්පුව පරිදි ඇන්ජෙලෝගේ මරණයෙන් පසුව ඔහුගේ පවුලේ අයට හිමි වන රක්ෂණ මුදල ගැන කටයුතු කරන්නට රක්ෂණ සමාගමට ඉල්ලීමක් කෙරිණ.

ඒ ඉල්ලීමට කටයුතු කරනු වස් රක්ෂණ සමාගම විසින් ඇන්ජෙලෝගේ මරණය ගැන සොයාබැලීම් කරන්නට විය. ඇන්ජෙලෝ මිය යන්නට දවස් දෙකකට කලින් ඔහුගේ පියා ඔහු වෙනුවෙන් මෙතරම් මුදලක ජීවිත රක්ෂණයක් ගෙන තිබීම ඔවුන්ට ගැටළුවක් විය.

“මේක හරිම සැක සහිත දෙයක්.. මේ තරුණයා වෙනුවෙන් ජීවිත රක්ෂණය අරගෙන තියෙන්නෙ ඔහු මැරෙන්න දවස් දෙක තුනකට කලින්.. මේක හදිසි අනතුරකින් වෙච්ච මරණයක්ද නැත්තම් රක්ෂණ මුදල ගන්නම කරපු මිනීමැරුමක්ද කියලා අපිට සැකයි. ඒ නිසා අපිට මේ ගැන මුල සිට පරික්ෂණයක් කරන්න ඕන..”

රක්ෂණ සමාගම විසින් කෙරුණු ඒ ඉල්ලීම නිසා ඇන්ජෙලෝ හේස් ගේ සිරුර යලි ගොඩ ගන්නට අධිකරණයෙන් අවසර ලැබිණ. සිරුර යලි ගොඩගන්නට තීරණය කළ බව ඇන්ජෙලෝගේ දෙමාපියන්ට දැනුම් දුන් කල ඔවුන් පොලිසියෙන් ඉල්ලා සිටියේ තම පුතාගේ මළ සිරුරට පාඩුවේ මිහිදන්ව තිබෙන්නට ඉඩ දෙන ලෙසයි. ඉතින් ඇන්ජෙලෝගේ දෙමාපියන් කෙරේ වූ සැකය තවත් තීව්‍ර විය. ඒ නිසාම මළ සිරුර ගොඩගැනීම ඉක්මන් කෙරිණ.

ඇන්ජෙලෝගේ මරණයට තමන්ව සැක කෙරෙන බව සැලවුණු විට ඇන්ජෙලෝගේ පියා කෝපයටත් ශෝකයටත් පත් වූයේය.

“මේ මොන විකාර කතාවක්ද.? අපේ දරුවා නැති වෙලා අපි කණගාටුවෙන් ඉන්නවා. මේ මිනිස්සු නොකළ වරදකට අපිව පටලවා ගන්න හදනවා..” ඔහු දොස් කීවේය. එහෙත් ඔහුගේ ඒ කෝපයත් ශෝකයත්, මහත් අස්වැසිල්ලකට හා සතුටකට පෙරලෙන මොහොතක් නුදුරේදීම උදා වන බව ඔහු දැන උන්නේ නැත.

ඇන්ජෙලෝ හේස්ගේ අවමංගල්‍යයෙන් දින දෙකකට පසුව එළැඹි දිනයේදී මළ සිරුර ගොඩ ගැනිණ. මිනී පෙට්ටියෙන් ඉවතට ගත් ඇන්ජෙලෝගේ සිරුර පරික්ෂා කරන්නට ගිය අධිකරණ වෛද්‍ය නිලධාරීහු විස්මයට පත් වූහ. ඇන්ජෙලෝගේ සිරුර තවමත් උණුසුම්ය. හදගැස්ම යාන්තමින් ඇසෙයි. ඔව්. ඇන්ජෙලෝ තවමත් ජීවතුන් අතරය.

අධිකරණ වෛද්‍යවරුන්ගේ තීරණය ලැබිණ.

ඇන්ජෙලෝ හේස් මියගියේ නැත. අනතුරෙන් දරුණු තුවාල ලැබූ ඔහු, හිස තදින් වැදීම නිසා කෝමා තත්වයකට පත්ව උන්නේය. ඔහු මිය ගියා යැයි වැරදි තීන්දුව දුන්නේ වෛද්‍යවරුන් විසිනි. ඒ නිසා ඔහු මිහිදන්ව සිටියදී මිය ගියා නම් මිනීමරුවන් වනුයේ නොසැලකිලිමත්ව තීන්දුව දුන් වෛද්‍යවරුන්ය. එහෙත් හොද වෙලාවට ඇන්ජෙලෝ මිය ගියේ නැත. දින දෙකක් මිනීපෙට්ටියක, පොළව යට මිහිදන්ව උන් ඇන්ජෙලෝ මිය නොගියේ ඇයි.? කෝමා තත්වයට පත්ව උන් ඔහුට අවශ්‍යව තිබුණේ නිරෝගී පුද්ගලයෙකුට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණයට වඩා සැලකිය යුතු තරමින් අඩු ඔක්සිජන් ප්‍රමාණයක් පමණකි. ඒ නිසා දින දෙකක් පොළව යටදී නොමැරී ජීවත් වෙන්නට ඔහුට මිනී පෙට්ටිය තුළ ඉතිරිව තිබුණු ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් විය.

ඇන්ජෙලෝව වහාම රෝහල්ගත කෙරුණි. බරපතල සැත්කම් කිහිපයකට හා මාස කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසුව ඔහුට පූර්ණ සුවය ලැබිණ.

මරණීය අනතුරක්, මිය නොගොස්ම අවමංගල්‍යයක්, දින දෙකක මිහිදන් කාලයක් හා විස්මිත පණ බේරාගැනීමක් පසු කර ඇන්ජෙලෝ හේස් නැවතත් රෝහලෙන් පිටතට එන විට ඔහු ප්‍රංශයේ තරුවක් බවට පත්ව උන්නේය.

කෙසේ වෙතත් ඇන්ජෙලෝ හේස් තමන්ට සිදුවුණේ දේවල් සුලු කොට සිතා අමතක කර දැමුවේ නැත. ඔහු ඒ ගැන කල්පනා කළේය.

තවත් කාට හරි මේ දේම වුණොත්..?

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා කාට හරි කෙනෙකුට පණපිටින් මිහිදන් වෙන්න සිද්ධ වුණොත්..?

ඔව්. එය යලිත් සිදුවෙන්නට බැරි කමක් නැත. එවන් විටෙක මිනිසෙකුට දිවි ගලවා ගන්නට හැකි ක්‍රමයක් නිර්මාණය කරන්නට ඇන්ජෙලෝට උවමනා විය.

 

ඉතින් ඔහු ඒ වෙනුවෙන් අපූරු නිපැයුමක් සොයා ගත්තේය.

එය මිනී පෙට්ටියකි. සුවිශේෂී මිනී පෙට්ටියකි.

ඒ මිනී පෙට්ටියේ විශේෂයෙන් සවිකළ ඔක්සිජන් සැපයුමක් වෙයි. දිනකට සරිලන වතුර බෝතලයක්, කෑම ලොකරයක්, රසායනික වැසිකිළියක්, රේඩියෝ තරංග සම්ප්‍රේෂකයක් හා අනතුරු ඇගවීම් සීනුවක්ද මේ විශේෂිත මිනී පෙට්ටියේ අඩංගුය. එපමණක් නොව, කවුරුන් හෝ තමන්ව බේරාගන්නට එන තුරු, පණපිටින් මිහිදන් වුණු පුද්ගලයාට පොතක් පතක් කියවමින් කාලය ගෙවාගන්නට හැකි වන සේ කුඩා පුස්තකාලයක්ද ඒ මිනී පෙට්ටිය තුළ වෙයි.

එවන් මිනී පෙට්ටියක් තිබෙනවා නම් දවසකට දෙකකට පණ පිටින් මිහිදන් වීමත් ඒ හැටි නරක අත්දැකීමක් නොවනු ඇත.

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS4

Share Now

Related Article