අපව අත්අඩංගුවට ගන්න.!

Oct 6, 2020

ඒ් වන විට ඌෂා නාරායන් උන්නේ අලුත් ජීවිතයක් අරඹන්නට සූදානමිනි. හෝටල් පරිපාලන ඩිප්ලෝමාවක්ද හදාරා සුලු රැකියාවක් කරමින් උන් ඇයට පන්ජාබයේ තරු පන්තියේ හෝටලයක විධායක ශ්රේණියේ රැකියාවක් ලැබී තිබිණ. එය ඇයට මහත් වරප්රසාදයක් විය. තමා ජීවත්වුණු භූමියෙන් පමණක් නොව, අයිතිව උන් සමාජ පන්තියෙන්ද වෙන්ව යන්නට ලැබුණු වරමක් විය. ඒ වන විට ඌෂාගේ වයස අවුරුදු විසිපහකි.

Continue Reading Below

ඇය උපන් පරිසරයේ ඇගේ වටාපිටාවේ උන් අනෙක් හැම කෙනෙකුම වාගේ ඌෂා නාරායන්ද “දාලිත් කුලයේ” කෙනෙකි. ඉන්දීය සමාජයේ පහත්ම යැයි සම්මත කුලයේ අයෙකි. ඇය ජීවත්වුණු කස්තුර්බා නගර් හි කාන්තාවන් අතර පාසැල් ගිය හෝ අකුරු උගත් කාන්තාවන් සිටියේ අල්පයකි. කස්තුර්බා නගර්, නාග්පුර් නගරය සමීපයේ ඇති මුඩුක්කු පරිසරයකි. ඌෂා නාරායන් හැදුනේ වැඩුණේ මේ මුඩුක්කුවේය. එහෙත් ඌෂා මුඩුක්කු පරිසරය, කුලය හා දුප්පත්කම නම් බාධා මැදම හොදින් ඉගෙන ගත්තාය. ඇය යම් දිනෙක ඉහල තැනකට යනු ඇතැයි ඇගේ දුප්පත් නෑයෝ බලාපොරොත්තුව උන්හ.

එහෙත්.. ඇයට ඒ තැනට යන්නට ලැබුණේ නැත. එකම එක කවුළුවක්වත් නැති, තනි කාමර කෑල්ලේ මුඩුක්කු නිවාසය තුල නතර වෙන්නට ඇයට සිදුවිය. ඒද නිකම්ම නොවේ. මිනීමැරුමක සැකකාරියක් බවට පත්වෙමිනි.

ඇය වරදකාරිය ලෙස චෝදනා ලැබුවේ “අක්කු යාදව්” නැමැත්තාගේ මරණයටය.

අක්කු යාදව්ගේ මරණය සිදුවන්නේ 2004 අගෝස්තු 13 වනදාය. ඒ කාන්තාවන් 200 දෙනෙකු එක්ව, ගල්වලින්, මිරිස්කුඩු වලින් හා අතින් පයින් පහරදීමෙන් පසුවය. ඒ කාන්තාවෝ ඔහුගේ මුහුණට මිරිස් කුඩු විසි කර, ඔහුට ගල් වලින් පහර දී, එයින් පසුව අතින් පයින්ද, එළවලු කපන පිහි වලින්ද පහර දුන්හ. විනාඩි පහලොවක් පමණ මෙසේ පහර කෑමෙන් පසු අක්කු යාදව් මිය යන්නේ සිරුරේ පිහි ඇනුම් තුවාල හැත්තෑවකට අධික ප්රමාණයක්ද ඇතිවය.

අක්කු යාදව් ව මෙසේ මරා දැමෙන්නේ අදුරු හුදෙකලා පාරකදීවත්, රහසිගත තැනකදීවත් නොවේ. නාග්පූර් දිස්ත්රික් අධිකරණයේ දිළිසෙන කිරිගරුඩ පොළව මතදීය. විනිසුරුවරයා, නීත්යඥවරුන්, පොලිස් නිලධාරීන් සහ දෙනෝදාහක් ජනතාව බලා සිටියදීය.

මෙය ඉන්දියානු චිත්රපටයක කතාවක් නොවේ. නාග්පූර්හි කස්තුර්බා නගර් ප්රදේශයේ සිදුවුණු සත්ය කතාවකි.

අක්කු යාදව් මැරයෙකි. බලපුලුවන්කාර මැරයෙකි. යාදව් හා ඔහුගේ මැර කල්ලිය දශක ගණනාවක් තිස්සේ කස්තුර්බා නගර් මුඩුක්කුවේ උන් පවුල් තුන්සීයකට අධික මිනිසුන්ව බියවද්දාගෙන උන්හ. වරින් වර ඔවුන්ගෙන් කප්පම් එකතු කළහ. නිරතුරුවම ඒ මුඩුක්කුවේ උන් දුප්පත් අහිංසකයින්ට අඩන්තේට්ටම් කළහ. තමන්ට කප්පම් ගෙවීම පැහැර හරින, යන්තමින් හෝ තමන්ට විරුද්ධ වන කෙනෙක් වේ නම් ඔහුව මරා, මළ සිරුර කස්තුර්බා මුඩුක්කුව ආසන්නයේ ඇති රේල්පාරට දමා තබන්නට යාදව්ගේ නායකත්වයෙන් යුතු මැර පිරිස පැකිලුණේ නැත.

මේ සියල්ලටම වැඩියෙන් යාදව් ප්රසිද්ධව උන්නේ වෙනත් දෙයකටය. ඒ ස්ත්රී දූෂණ වලටය. පලාතේ කොතැනක හෝ රුවැති දැරියක උන්නේ නම් ඇය යාදව්ගේ බිල්ලක් බවට පත්වීම වැලැක්විය නොහැකිය. ඇහැට කණට පෙනෙන දැරියක යාදව්ගේ ඇසට අසුවුණහොත් එය ඇගේ අවාසනාවය. පසුදාම ඇයව යාදව්ගේ තිප්පොලකට ගෙන එන්නට යාදව්ගේ සහචරයින්ට ඔහුගෙන් අණ ලැබෙයි. යාදව් විසින් දූෂණය කරනු ලබන දැරියව ඉන්පසු ඔහුගේ ගෝලබාලයින්ට සිත් සේ පරිහරණය කරන්නට ලබා දෙයි. කස්තුර්බා නගර්හි යාදව්ගේ අඩන්තේට්ටම් වලට ලක්නොවූ කාන්තාවන් උන්නේ අල්ප වශයෙනි.

ඉතින් මෙතරම් අකටයුතුකම් වෙද්දී නීතිය කුමක් කළාදැයි ඔබ අසනු ඇත.

ඔව්. අක්කු යාදව්ගේ බලපුලුවන්කාරකම් හා ධනවත්කම් ඉදිරියේ නීතිය අසරණවී තිබිණ. පලාතේ පොලිස් නිලධාරීහු යාදව්ගෙන් ලැබෙන මුදල් හා මත්පැන්ද, වෙනත් වාසිද හේතුවෙන් ඔහුගේ යටහත්පහත් අතවැසියෝ බවට පත්ව උන්හ.

යාදව්ගේ අඩන්තේට්ටම් වලට ලක්වුණු, විශේෂයෙන්ම ඔහුගෙන් දූෂණයට ලක්වුුනු කාන්තාවන් මේ ගැන පොලිසියට පැමිණිලි නොකර උන්නේ නැත. පොලිසිය ඒ පැමිණිලි ගැන නිසි පියවර නොගත්තා පමණක් නොවේ. ඔහුට එරෙහිව පැමිණිලි කළේ කවුදැයි යන්න පවා වහාම යාදව්ට වාර්තා කළහ. පොලිසියෙන් තොරතුර ලද වහාම පැමිණිලි කළ කෙනා සොයා ගොස් පෙරට වඩා දරුණු ලෙස ඇයට හෝ ඔහුට හිංසා කරන්නට යාදව් පසුබට වූයේ නැත. පොලිසියේත් දේශපාලඥයින්ගේත් රැකවරණය ලබන අක්කු යාදව්ට බය වෙන්නට දෙයක් තිබුණේ නැත.

22 හැවිරිදි ඌෂා නාරායන්ව, අක්කු යාදව්ගේ කල්ලිය විසින් සමූහ දූෂණයට ලක් කරන ලද්දේ තත්වය මෙසේ තිබියදීය.

ඌෂා තම සොහොයුරා සමගින් ගොස් මේ ගැන පොලිසියට පැමිණිළි කළාය.

“මෙයාට යාදව් එක්ක සම්බන්ධයක් තිබිලා.. ඊට පස්සෙ යාදව් මෙයාව අත්ඇරලා..” පැමිණිල්ල කියන තෙක් අසා සිටි පැමිණිලි ලියන පොලිස් නිලධාරියා අනිත් පොලිස් නිලධාරින්ට කියමින් කොක්හඩලා සිනාසුණේය.

“තමුසෙ පිස්සු ගෑනියෙක්නෙ.. ඒක හින්දා තමයි යාදව් තමුසෙව දූෂණය කරලා අත් ඇරලා තියෙන්නෙ..” මුළු පොලිසියම ඌෂාට සිනාසුනහ.

යාදව්ගෙන් දූෂණයට ලක්ව, පොලිසියේ නින්දා අපහාස වලටත් ලක්වන අනෙක් කාන්තාවන් කළේ තමාට වූ අසාධාරණය විදගෙන නිහඩ වීමය. එහෙත් ඌෂා එසේ කළේ නැත. ඇය උගත් තරුණියකි. ඇගේ මස්සිනා නීත්යඥයෙකි. මෙතරම් දෙයක් වී තිබියදීත් ඇය නිහඩ වෙන්නේ ඇයි.?

නගරයේ පොලිසිය පැමිණිල්ල බාර නොගන්නා නිසා ඌෂා නාරායන් තම නීත්යඥ මස්සිනාත් සමග මේ ගැටළුව නියෝජ්ය පොලිස් කොමසාරිස් වෙත ගෙන ගියාය. අවසානයේදී අක්කු යාදව්ට එරෙහිව නඩු පවරන්නට ඇයට හැකිවිය.

මීට පෙරද දෙතුන් වතාවක්ම අක්කු යාදව්ට කිහිප වතාවක්ම නඩු පැවරී තිබුණු අතර ඒ සියල්ල අවසන් වූයේ ඔහු ඇප පිට නිදහස් වෙමිනි. ඔහුට එරෙහිව සාක්ෂි දෙන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවීමත්, පොලිසිය නිරන්තරව ඔහුගේ පැත්ත ගැනීමත් නිසා මේ සියලු තැන් වලින් නිදහස් වීම යාදව්ට අපහසු වූයේ නැත. එහෙත් මෙවර අක්කු යාදව්ගෙන් අසාධාරණයට ලක් වුණු, දූෂණයට පත් වුණු කස්තුර්බා නගර්හි අනෙක් වැසියන්ද ඒකරාශී කරගන්නට ඌෂා නාරායන්ට හැකිවිය.

කස්තුර්බා වැසියන් ප්රකෝප වී සිටින හෙයින් යාදව් හා ඔහුගේ සහචරයින් කිහිප දෙනෙක් ගොස් පොලිසියට බාර වූයේ තමන්ගේම ආරක්ෂාව පිණිසය. ඒ අතරතුර අගෝස්තු 06 වෙනිදා කෝපයට පත් කස්තුර්බා වැසියන් විසින්, හිස්ව තිබුණු යාදව්ගේ නිවස කඩා බිද පොළවට සමතලා කොට දැමූහ.

ඒ අතර කස්තුර්බා වැසිියන් සාකච්ඡා කලේ යාදව්ට කෙසේ හෝ පාඩමක් ඉගැන්විිය යුතු බවය.

“ඒත් මේ සැරෙත් එයාට ඇප ලැබෙන තත්වයක් තිියෙන්නෙ.. ආයෙමත් ආවාම තත්වය මීටත් වඩා දරුණු වෙයි. අපිට මෙහේ ඉන්නම බැරිවෙයි..” ඇතැම්හු කීහ. එය විය නොහැක්කක්ද නොවේ.

“මේ සැරේ නම් ඒක වෙන්න දෙන්න බෑ. එයාව හිරේ දාන්න බැරිනම් අපි හිරේ යමු..” කස්තුර්බා කාන්තාවෝ එක තීරණයකට පැමිණියහ.

නඩුව ඇසෙන දිනයේදී කස්තුර්බා නගර්හි කාන්තාවන් තුන්හාරසීයක් පමණ එළවලු කපන පිහිිත්, මිරිස් කුඩුත් රැගෙන උසාවි භූමියට රැස්ව සිටියහ. යාදව් උසාවි භූමියට පැමිණෙන විට ඔහුගේ හෙංචයියන් අතරින් කිහිප දෙනෙකු ඔහු අතට පිහි ලබා දෙන්නට උත්සාහ කළහ. කලබල වුණු කස්තුර්බා වැසියන්ගේ විරෝධය හමුවේ ඔහුවත් අත්අඩංගුවට ගන්නටත්. යාදව්ව නැවතත් උසාවියට කැදවාගෙන එන්නටත් පොලිසියට සිදුවිය.

යාදව් උසාවි භූමියට ආවේ ආරක්ෂාවට යෙදූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුද සමගය. මෙතැන්දීද තමාට යලිත් නිදහස ලැබෙන බව හොදින්ම දන්නා නිසා යාදව් උන්නේ වෙනදා වගේම නොදැමුණු මාන්නයකින් යුතුවය. උසාවි ගොඩනැගිල්ලට ඇතුළු වෙන අතරේ ඔහු රැස්ව සිටි සෙනග දෙස බැලුවේය. ඔහුගෙන් අතවරයට ලක් වුණු කාන්තාවක් ඔහුට පෙනෙන මානයේම සිටින බව ඔහු දුටුවේය.

“ආ.. උඹත් ආවාද මට විරුද්ධව සාක්කි දෙන්න..? බලමුකෝ එහෙනම්..” ඒ කාන්තාවට තර්ජනය කළ ඔහු නැවතත් ඔහු සමීපයේ උන් පොලිස් නිලධාරියා දෙසට හැරුණේය.

“මේ ගෑනි ගණිකාවක්.. මේ නඩුව ඉවර වෙලා මං ආයෙත් මේ ගෑනි ගාවට යනවා..”
පොලිස් නිලධාරියෝ මහ හඩින් සිනාසුණහ.

අර කාන්තාව කෝපයට පත් වූවාය. පැලද සිටි සෙරෙප්පුව ගලවා යාදව් උන් දෙසට දමා ගැසුවාය.

“මේ පොලව උඩ ජීවත් වෙන්න පුලුවන් අපි දෙන්නගෙන් එක්කෙනෙකුට විතරයි. එක්කෝ උඹ.. නැත්තං මම.. උඹ වරෙන්. මං උඹව මරාදානවා..”

කාන්තාව මහ හඩින් බැණ වැදුණාය. ඒ බැණ වැදීමත් සමගම මහා කලබැගෑනියක් ඇරඹිණ. හැම අතින්ම සෙරෙප්පු හා ගල් යාදව් දෙසට විසි වෙන්නට විය. එතැන එකම ගාලගෝට්ටියක් බවට පත් විය. රැස්ව උන් ගැහැණුන් කෝපයෙන් ඉදිරියට දිව එන්නට වූයේ ඔවුන් අත හංගාගෙන උන් එළවලු කපන පිහිද එළියට ගනිමිනි. ඇතැම් කාන්තාවෝ යාදව්ගේ මුහුණට මිරිස්කුඩු වලින් දමා ගසන්නට වූහ.

වියරු රැල්ලක් මෙන් හඹා එන කාන්තාවන් දුටු යාදව්ගේ ආරක්ෂකයෝ වහා එතැනින් පලා දිවූහ. යාදව් දෙසීයකට අධික කාන්තාවන්ට මැදිවිය. විනාඩි පහලොවක් ගත වෙන්නට ඇත. අධිකරණ ගොඩනැගිල්ලේ සුදුපැහැ කිරිගරුඩ පොලව මත යාදව් මැරී උන්නේය.
ඒ වන විටත් පොලිස් කණ්ඩායම් එතැනට පැමිණෙමින් සිටියද කාන්තාවන් පලා දිව්වේ නැත.

එතැනට පැමිණි පොලිසිය එතැන උන් කාන්තාවන් කිහිප දෙනෙකුවම අත්අඩංගුවට ගත්හ. යාදව්ව මරාදැමීමට කුමන්ත්රණය කලේ යැයි පවසමින් ඌෂා නාරායන්වද අත් අඩංගුවට ගැනිණ.

එහෙත් මෙවර කස්තුර්බා නගර් මුඩුක්කුවේ කාන්තාවන් අනෙක් අයට තනි වෙන්නට ඉඩ දුන්නේ නැත.

“අපි පොලිසියට කිව්වා. උසාවියට කිව්වා. අපිට සාධාරණයක් ලැබුණෙ නෑ.. අපි වෙනුවෙන් අපිම යුක්තිය ඉෂ්ඨ කරගත්තා.. මේ මිනීමැරුමට සම්බන්ධ වුණේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. අපි හැමෝම.. දැන් අපි හැමෝමව අත්අඩංගුවට ගන්න.. හැබැයි මේක මිනීමැරුමක් නෙවෙයි. මේක මේ ලෝකයට කරපු යහපතක්..” ඔවුහු කීහ.

2012 වසරේදී ඌෂා නාරායන් හා අත්අඩංගුවට පත් අනෙක් කාන්තාවෝ මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබිණ. මේ වන විට ඌෂා මුඩුක්කු වැසියන්ට වඩා යහපත් ජීවන තත්වයක් ගොඩනැගීීම සදහා කැපවීී ක්රියාකරන සමාජ ක්රියාකාරිණියකව හිදින්නීය.

නිම්මි මුදිතා හේරත්

ප්‍රවීන ලේඛිකා නිම්මි මුදිතා හේරත් මහත්මිය සති අග අරුණ පුවත්පතට සැපයු ලිපියක් ඇගේ අවසර ඇතිව උපුටා ගන්නා ලදී.

Tags

LS 4

Share Now

Related Article