තවත් කුඩම්මා කෙනෙක්

Oct 5, 2020

මාගේ දියණිය අද දින විවහා වී ගෙදරින් ගිය පසු මාත් සැමියාත් ජීවිතේ ප්රථම වතාවට කිව නොහැකි තරම් තනි වීමු. ඒ තනිකම කොතෙක්ද යතොත් මගේ දෙනෙතින් නොනවත්වා කඳුළු ගලන්නට විය. සැබවින්ම සාමන්ය අඹු සැමියෝ නම් දරුවන් විවහා වී ගිය පසු මදක් නිදහස් වන බවත් ඔවුන් දෙදෙනා මුල් සමයේ මෙන් තනිව ජීවිතය විඳින බවත් මා අසා ඇත්තෙමි. නමුත් කනගාටුවට කරුණ නම් මගේ දුව විවාහයේ සිටම, නැතහොත් විවාහයට පෙර සිටම මගේ ජීවිතයේ කොටසක් වීමයි. එය තරමක් අස්වාභාවික කතාවකි.

Continue Reading Below

මගේ සැමියා අතිශය යහපත් මිනිසෙකි. මමද ඔහුට ආදරය කළෙමි. නමුත් දියණිය නැති නිවසින් පලක් නැති බව මට සිතේ. එසේ වීම අස්වාභාවිකය. මට වරෙක සිතෙන්නේ මේ විවාහය මා ගත කළේ දියණිය වෙනුවෙන් කියාය. මේ කතාව වසර 25ක් පමණ අතීතයට දිව යන්නකි.

විශ්ව විද්යාලයෙන් ඉවත් වුන විගසම මට ගුරු පත්වීම් ලැබුණු අතර මගේ විශ්ව විද්යාලීය පෙම්වතා මා හා විවහාපත් විය. ඔහුගේ නම අද රටේ නමගිය නමකි. ඔවු අර පේරාදෙණිය විශ්ව විද්යාලයේ නමගිය මහාචාර්ය වරයෙක් වන ඔහු මගේ පළමු සැමියා බව කියන්නේ හද පිරි පිළිකුලෙනි. ඔහුත් මාත් විවහා වී වසර දෙකක් ගත වූයේ දරු හුරතලයක් නොලබාය. මුලින් ආදරෙන් සිටි ඔහු ක්රමයෙන් වෙනස් විය. ඔහු වැනි උගත් මිනිසෙක්ට නොගැලපෙන නිහීන හැසිරීම් පෙන්වන්නට පටන් ගත්තේය. අප නොයෙක් වෛද්ය ප්රතිකාර ලැබීමට පෙළඹුනේ දරුවෙක් විසින් මේ සියලු ගැටුම් සමනය කරවනු ඇතියි සිතමිනි.

නමුත් එක අවාසනාවන්ත දවසක රාත්රියේ නිල නිවසට යොවුන් ගැහැනියක් කැඳවාගෙන ආ ඔහු මගේ දෙනෙත් ඉදිරිපිටම ඇය ඔහුගේ පෙම්වතිය බව කීවේය. මේ කරුණට දබර කරන මා මහා වැස්සේ ඔහු විසින් පහර දී එලියට ඇද දමන ලද්දේ

“ තෝ වඳ බැල්ලි….. මේ ගෙට අඩියක් තියන්න එපා “ යයි ගොරවමිනි.

ඔහුගේ නව පෙම්බරියද තවත් ගැහැණියක වුවද උපහාසයෙන් සිනා සෙමින් සිටියා මිස නමට මගේ සැමියා වූ තිරිසනා හට වචනයක් වත් කීවේ නැත. මා ලැජ්ජාව නිසා නැවත එහි නොගියෙමි. දික්කසාද නඩුවට පවා ඔබු පැමිණියේ නැත. එවකට දික්කසාදයක් යනු මහා ව්යවසනයක් ලෙස සැලකු නිසා දෙමාපියෝ මා තනිව නිවසට එනවාට එතරම් මනාපයක් නැති බව මට වැටහුණි.

“ ඒක ඔයාගේ කරුමේ ..ළමයෙක් නැති නිසයි මේ සේරම. මට බය මේ නිසා ගම්මු කතා හදයි කියල. එහෙම වුනොත් පොඩි කෙල්ලව වත් හරි හමන් දීගෙක දෙන්න වෙන්නේ නැහැ” අම්මා වටින් ගොඩින් නිතර මෙවැනි කතා කීවාය. ඔවුනට අනුව මම ජීවිතය වැරදුන මහා අවාසනාවන්ත ගැහැණියකි.

මම ඉල්ලා ඈත පළාතකට මාරුවක් හදා ගතිමි. උසස් පෙළ පන්ති වලට උගන්වන මා ප්රාතමික අංශයේ ගුරු අඩුවක් තිබුන දිනයක තාවකාලිකව අනියුක්ත කර තිබුණි. ඒ දෛවෝපගත දිනය මට අද මෙන් මතකය. තුන වසරේ උගන්වන කාන්ති ටීචර් නිවාඩු නිසා උදේ වරුවට එහි ගිය මට ලැබුනේ අපූරු කුඩා වුන් රැසකි. මනාව පිළිවෙලට අන්දවා සිටි එක දැරියක් පන්තියේ මුල්ලක කිසිවක් හට සහභාගී නොවෙමින් සිටියාය. මම ඇය ගැන හාරා අවුස්සන විට අම්මා නැති බව දැනගන්නට ලැබුණි.

කොරා සහ අන්ධයා මෙන් අප දෙදෙනා ප්රේමයෙන් බැඳෙන්නට වැඩි කලක් ගියේ නැති. මා ඇය වෙත ආහාර ආදිය ගෙන යාමට පටන් ගත් අතර ඇය නිතරඟයෙන් මට අම්මා තැන දී තිබුණි. ගුරු දෙගුරු රැස්වීමකදී මට ඇගේ පියා හමු විය. පාසලෙන් එහා තිබෙන සංචාරක හෝටලයක් කරන මහත්මයෙක් වුන ඔහු මා හට එහි එන මෙන් ආරාධනා කළ අතර මේ නන්නාදුනන පළාතේ මට හිතවතුන් නොසිටියෙන් මමද සතුටින් ඒ ආරාධනාව භාර ගතිමි.

ඔය අයුරින් කාලය ගෙවුණු අතර මා ඔහු සමග විවහා වී දියණියට මවක් වන මෙන් ඔහු වරෙක මට ආරාධනා කළේය. මේ මිනිසා කෙරෙහි ඇති කැමැත්තකට වඩා සඳුනි අයිතිකර ගැනීමේ චේතනාවෙන් මම එක පයින්ම කැමති වීමි. අපේ දෙමාපියෝ මේ විවාහයට අකමැති වූයේ ඔහුගේ කුල ප්රශ්නයක් නිසාය. ඒ අනුව මම ඔවුන්ට නොදන්වාම විවහා වීමි. නැවත වෙන මිනිහෙක් එක්ක ගියත් පළමු අත්දැකීම මෙන්ම මට ගෙදර එන්න සිදු වනු ඇති බව මගේ විශ්වාසය විය.

එතැන් සිට සඳුනි හදා වඩා ගැනීමට කාලය වෙන් කිරීමට මම යුහුසුළු වීමි. සඳුනි බෙහෙවින්ම සතුටු වුන අතර මගේ ආගමනය හුදෙකලාව සිටි ඇගේ පියාට මහත් සහනයක් විය. අප විවහා වී 4 වන දිනයේ මා එලියට යන විට තව ටිකෙන් බිම නිදා සිටි සඳුනි පෑගෙන්න තිබුණි. මුළු රාත්රියම ඈ නිදා සිටියේ අපගේ යුගල කාමරයේ දොර අසලය. එදා ඈ වඩාගෙන කාමරයට ගෙනගිය මම දෙවෙනි දින ඇය නිදි කර පැමිණ පැයකින් පමණ ගිහින් බලන්නට සිතුනි. මගේ පුදුමයට එදාද ඇය අපගේ කාමරයේ දොර අසල වැතිරී සිටියාය. මේ හැසිරීමට හේතුව කුමක්ද යන්න මට සිතා ගත නොහැකි අතර ඇය අප කාමරයේ කරන දේ අසන්නට එතනට එනවා සිතු පියා සඳුනිට සැර කිරීමට සූදානම් වුවත් මම එය වලක්වා ගත්තෙමි.

එදා හවස පාසල ඇරී ගෙදර නෑවිත් අපි වැව අසබඩට ගියෙමු. අයිස් පලම් කමින් අප වැවු ඉවුරේ ගසක් මුලක වාඩි වීමු.

“ ඇයි පුතේ රෑට ඔයා අම්මගේ කාමරේ ළඟ නිදියන්නේ ? “ මම ඇසීමි.

“ මට රෑට චූ ගිහාම කාමරේ ඇඳ තෙමෙනවනේ “ ඕ කීවාය

“ ඉතින් පුතා පොඩි කාලේ ඉඳල ඇඳේ චූ දැම්මේ නැහැනේ “ මම ඇසුවේ අපේ විවාහය දා ඇයට චූ ගිහින් තිබුණු නිසා මෙන්ම ඇඳේ මුත්රා කිරීමට තරම් ඇය වයසින් වැඩි නිසාය. නමුත් ජීවිතයේ හදිස්සි විපරියාසයක් හෝ දැඩි මානසික ආතතියක් දැනෙන විට දරුවන්ට එසේ සිදුවෙන බව මම දැන සිටියෙමි.

“ ඔයා බය වෙලාද ඉන්නේ පැටියෝ මම තාත්තව හොරා ගනීවි කියල ?” මගේ සැකය මම වචන වලට පෙරලීමි.

එවිට එක එල්ලේ මා ද එස බලා සිටි සඳුනි ගේ ලොකු දෙනෙත් වලින් කඳුළු ගුලි රූරා වැටෙන්නට විය.

“ නැහැ… අපේ අම්මා හැමදාම කීවේ තාත්තා එක්ක කිසිම ගෑනියෙක්ට ඉන්න බැහැ කියලයි. මට බයයි මගේ කලින් අම්මත් ගියා . එයා ගියෙත් මම දොයියගෙන ඉද්දි. මට බයයි දැන් අම්මිත් මාව දාල රෑ යයි කියල” ඇය කඳුළු සලමින් සිය සත්ය වේදනාව පල කළාය.

මා පැමිණියේ තාත්තා නිසා නොවන බවත් , ඇය නිසා බවත් කිසිම හේතුවකට ඇය දමා නොයන බවත් මම පොරොන්දු වීමි. ඉන් පසු ඇයට තනිව නිදන්නට නොතබා ඇගේ කුඩා යහන අපගේ කාමරයේ කොනකට දැමීමු. අප පවුලක් ලෙස ආදරෙන් ජීවත් වන විට ඇගේ බය තුනී වී ගිය අතර වසරකින් පමණ ඇය ඇගේ කාමරයට නැවත ගියාය.

කලින් භාර්යාව මගේ සැමියා හැර දමා වෙනකෙක් සමග පැන ගොස් තිබුනේ ඔහුගේ තිබුන ලිංගික ගැටළුවක් නිසාය. එයටත් අප වෛද්ය ප්රතිකාර ගැනීමෙන් පසු ඔහුට සුව විය. සඳුනි වෙනුවෙන් ඇගේ පියා සමග සතුටින් සිටීම අත්යවශ්ය බව මම මටම පසක් කලෙමි. අපගේ ජීවිතය එකට බැඳී හුය වූයේ සඳුනි මිස අප අතර ඇති ආදරයක් නොවීය. දැන් මා හට මගේ දියණිය නැතුව ජීවත් වීමට සිදුවේ. ජීවිතේ හැටි එබඳුය.

අනුන්ගේ බිජුවක් රැක පැටවුන් උපද්දවා හදා ගන්නා කිරිල්ලක මෙන් මම සඳුනිට ජීවිතය දුන්නෙමි. ඇය නිසා මම අලුතින් උපන්නෙමි. ඇය නොවන්නට මගේ ජීවිතය අද කොතනකද මම නොදනිමි. අවසානයේ ලෝක ධර්මතාවයට අනුව සඳුනි මගෙන් වියෝ වූවාය. මට ඇත්තේ සතුටකි. එමෙන්ම වේදනාවකි.

Share Now

Related Article