අම්මෙක්ට වුන අසාධාරණය ගැන කතාවක්

Dec 13, 2019

දානේ ගෙදරට රැස් වෙලා හිටපු හැමෝම බලාගෙන හිටියේ සුමිත්රා ඈත තියා විලාප දීගෙන එන හැටි ගැනයි. ඇය වයස අවුරුදු හැටක පමණ කාන්තාවක්. දරුවෝ හතර දෙනෙක් ඉන්න අම්මෙක්. මුනුබුරු මිනිබිරියන් 20 කට වඩා හිටියත් දරුවෝ ඈත පදිංචි වෙලා නිසා ඒ දරුවෝ එක්ක ඉන්න ඇයට ඉඩක් ලැබුනේ නැහැ.

Continue Reading Below

අවුවේම ආව ඇය වාඩි වුනේ හැමෝටම පේන විදිහට.

“ ඇයි මේ මහා දවාලේ අඬන්නේ ?” හැමෝම ඇගෙන් ඇහුවා.

“ නැහැ ..දෙයියනේ මම මේ ලෙඩා දුකා . මට මෙහෙම සලකන එක කොයි තරම් වැරදිද ?” ඇය ඉකිගහන්න ගත්තා.

“ අපිට මේ දිග පළලක් තේරෙන්නේ නැහැ සුමිත්රෝ. මොකද්ද වුනේ කියල පොඩ්ඩක් අඬන එක නවත්තලා කීවා නම් “ එහෙම කීවේ ඇගේ ඥාති සොයුරියක් වුන කරලිනා අක්කා.

“ අර අපේ සමීර කොල්ලගේ ගෑනි. අර ඇතුමලේ දිහාවෙන් ගෙනාව සක්කර වට්ටම අද මාව දෙකේ කොලේටම දැම්මා. ඔහොම කරන්න වටිනවද මම අහන්නේ බුදු අක්කේ ? “ ඇය නැවත හයියෙන් වැළපෙන්න ගත්තා.

“ ආ ..ඔවු ඔවු.. නෙහාර ළමයට දරුවා ලැබිලා දැන් සති දෙකක්නේ. යන්නත් බැරි වුනා. කෝල් කළාම කීවේ දැන්ම එන්න හදිස්සියක් නැහැ කියල. ඒ ගමන මාත් ගියේ නැහැ” සුමන අක්කත් කතාවට එකතු වුණා.

“දැන් මොකෝ වුනේ සුමිත්රෝ ? “ කර්ලිනා නැවත ඇහුවේ සුමිත්රාගෙන් වචනයක් ගන්න හිතාගෙන.

හරි බැරි ගැහිලා සුමිත්රා කතාව පටන් ගත්තේ අයිස්ක්රීම් කෝප්පයක් අතට අරගෙනයි. ඇයට දැන් මහන්සියි.

මම ඉතින් අනේ සමීර කොලුවා අපේ අක්කගේ එකම කොලුවා නිසා මනුස්සකමට ගියා මුණුපුරා බලන්න. යද්දී ගෙදර කාත් කවුරුත් නැහැ. ළමයා නිදි. නෙහාරා ෆෝන් එකට ඇඟිල්ල ගහගෙන ඉස්සරහට වෙලා ඉන්නවා සනීපෙට නාලා එහෙම. මම යද්දීම මට කීවේ.

“ඇයි නැන්දේ කෝල් එකක් නොදුන්නේ එන්න ඉස්සර ? මේ දවස් වල මම කාටවත් මෙහෙ එන්න දෙන්නේ නැහැනේ “ කියලයි. මොකෝ මේවා උන්ගේ දෑවැද්දට ගෙනාපුවායැ අක්කේ. මොකෝ අපේ තැන් වලට යන්න මට ඔය පිට ගෑනුන්ගේ අවසර? මම එයාගේ වගක් නැතුව කෙලින්ම ගියේ දරු පැටියා ඉන්න කාමරේට . යද්දී රෝස මල වගේ නිදි. මම ඇඳේ වාඩි වෙලා දරුවාව අතට ගත්තා.

මෙන්න මේ ගමන නෙහාරගේ මූනේ අබ දැම්ම වගේ පිපිරෙන්න ගත්තා. එයාගේ ෆෝන් එකේ එක එකා එක්ක ෆේස් බුක් එකෙන් මුකුළු කරන එක නැවතුන තරහට මයේ හිතේ. අපේ කොල්ල රැවටුනා අක්කේ.

නෙහාරගේ කොලුපැටියා අපේ සමන්ගේ කොල්ලගේ ලඟින් තියන්න බැහැ. ලේන් පැටියා වගේ. මම ඉතින් ඒක කීවා. මොකෝ මම පොට්ට වෙලාය. මේ වෙලේම පොඩි එකා නැගිට්ටා. ඒ ගමන නෙහාරා මුණු මුණු ගගා කිරි දෙන්න ගත්තා. ඒත් දරුවා නැලවුනේ නැහැ. ඒ ගමන මම කීවා ඔය දරුවා අඬන්නේ කිරි නැති කමට කියල. මම නම් ඒ කාලේ කරේ දරුවාව පලවෙනි මාස 6 ම තුරුල් කරගෙන ඉන්න එකයි. ළමයට ආදරේ නැති වෙද්දී හරියට කිරි එරෙන්නේ නැහැ. මේ සේරම මම නෙහාරට කන් දෙකේ ඇඟිලි ගහගන්න කීවා.

මෙච්චර වෙලා මම හිටියා නිකමට බත් ටිකක් කමුද නැන්දේ කියල මගෙන් ඇහුවේ නැහැ. ඊට පස්සේ මෙයා ගියා ලැට් එකට. පැය ගානක් පැලවුනා හරියට මගේ මූනට දමල ගහන්නා වගේ.

ඊට පස්සේ එයා එද්දී මමත් යන්න ලැහැස්ති වුණා. ඒ වෙලේම මට මේ කැස්ස හැදුනා. ඕක ඉතින් වකුගඩු ලෙඩාට ඇරයන්නේ නැති කැස්සක්. පපුව බොල් බොල් ගානවා. ඇය ඒ විදිහටම හැමෝටම කැහැල පෙන්නුවා. ඊට පස්සේ මම අන්තිම වතාවට දරුවා අරගෙන ඉඹින්න හදද්දී මෙන්න මේ නෙහාර එක පාරට මගේ ඇඟට කඩා පැන්නා.

“ නැන්දේ ලමයව නම් ගන්න එපා. කොහෙත්ම ඉඹින්න එපා. විසබීජ . ලමයට මාස 3 වෙනකම් මෙහෙ එන්න එපා . දැන් අපි එලියට යමු.” කියල කියවන්න ගත්තා. මොකෝ මම ළමයි හදල නැද්ද? නැත්නම් විසබීජ තියෙන්න මොකෝ මම කුණු ගොඩක්ද?

“අනේ මම ලෙඩා දුකා..මගේ වයස ගැන වත් නොසලකා මේ ගෑනි මාව එලියට දැම්මා” නැවත නැවත හඬන්න පටන් ගත්තා. ඒ ගමන දානේ ගෙදර හිටපු හැමෝම මේ සිදුකල අසාධාරණය නිසා දුක හිතිලා නෙහාරට හොඳටම බැන්නා. පැත්තකින් හිටපු උඩහ ගෙදර නර්සින් කරන ශාමිලා ඒ වෙතට ආවේ මේ වෙලාවෙයි.

“දැන් හැමෝම නෙහාරා අක්කට බනිනවා. හැබැයි නෙහාරා අක්ක කරේ මොකද්ද කියල කාටවත් වැටහීමක් නැහැ” ඇය කීවා.

සුමිත්රා නැන්දේ ඔයා වැඩිහිටියෙක්. ඔයාට වකුගඩු ලෙඩේ තියනවා. ඒ නිසා ඕනෙම වෙලාවක ක්ෂය රෝගය වුනත් හැදෙන්න අවධානමක ඔයා ඉන්නේ. ඔය දරුණු කැස්සක් තියනවා. ඒ මදිවට කහින කොට ඔයාට මුත්රා ඇඳුම් වල පිටවෙනවා කියල හැමෝම දන්නවා. ඉතින් නෙහාර අක්කගේ දරුවා සති දෙකක පොඩි එකෙක්. ඒ ළමයාගේ ඇඟේ ලෙඩ වලට ඔරොත්තු දෙන්න ප්රතිශක්තියක් නැහැ. ඔයාගේ ඇඳුම් වල තියන මුත්රා බින්දු එක්ක විසබීජ වර්ධනය වෙනවා තමා. ඔයා වගේ කෙනෙක් තියා සාමන්ය නිරෝගී කෙනෙක්වත් අලුත උපන් ළමයෙක්ගේ ඇඳේ වාඩි වෙන්න හොඳ නැහැ. අතට ගන්න කොහෙත්ම හොඳ නැහැ. ඉඹින්න ඕනෙම නැහැ.

“අනේ මම ළමයි හදල නැහැනේ” සුමිත්රා කීවේ කෝපයෙන්.

නැන්දේ ..නැන්ද ළමයි හැදුවේ මේ වගේ ලෙඩින් ඉන්න කාලෙක නෙවේ තරුණ කාලේ. අනික් එක ප්රතිශක්තිය නැති ළමයෙක් අල්ලන එක ලෙඩක් නැති කෙනෙක්වත් කරන්න හොඳ නැහැ. අපි නම් හොස්පිටල් එකේ වෙනම විසබීජ නාශක තියාගෙන ළමයෙක් අල්ලන හැම වෙලේම අත් දෙක පිරිසිඳු කර ගන්නවා. අපිවත් ළමයෙක් නිකන් අල්ලන්නේ නැහැ.

ඒ මදිවට නෙහාරා ටොයිලට් ගිය එකටත් බනිනවා. මේ වගේ වෙලාවක ගෙවල් වලට යන්න හොඳ නැති වෙන්න ඒකත් එක හේතුවක්. නෙහාරා අක්කටට විවේකේ ඕනේ. ඒ ළමයා ඉන්නේ ලේ බේරී බේරී. මැහුම් වත් තාම වේලිලා නැහැ. ඒ මදිවට ටොයිලට් යන්නේ නැහැ කියල අයියා ඊයෙත් මගෙන් සපොසිටරි ඉල්ලන් ගියා. ටොයිලට් යන්නේ නැන්ද ගිය නිසා නෙවේ. ඒ ළමයට අමාරු නිසා.

අනික ෆෝන් එකේ ඉන්නේ කාගේවත් එක්ක මුකුළු කරන්න නෙවේ. කොයි තරම් වැරදි කතාවක්ද නැන්දා කියන්නේ? දැන් කාලේ අම්මලා දැනුම ගන්නේ ෆෝන් එක හරහා ඉන්ටනෙට් වලින්. ළමයට කිරි එරෙන්න කරන දෙයක් ඒ වෙලේ කියව කියවා ඉන්න ඇත්තේ. නොදැන පද හදන්න එපා නැන්දේ.

අනික ළමයෙක් හම්බ වුන තැනකට ගිහින් කිරි නැහැ, ළමය පොඩියි වගේ දේවල් කියන්න එපා. අම්මා මානසිකව වැටෙන්න හේතුවක් ඒක. මේ වෙලේ උදවුවක් වෙන්න බැරි නම් කමක් නැහැ. අඩුම ගානේ ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න නැන්දේ.

“අපේ කාලේ දැන් ඉවරයි. අපේ ක්රම යල් පැනලා. අනික හෙට අනිද්දා මැරෙන්න ඉන්න අපි ගැන නෙවේ අලුත උපන් දරුවෝ ගැන හිතන්න ඕනේ සුමිත්රෝ” කර්ලිනා නැවත කීවේ සාන්තව.

හැමෝම දැන් එහෙනම් ඒ කෙල්ල හරි කියලද කියන්නේ ? සුමිත්රා නැගිට්ටේ විදුලි වේගෙන්. ආපහු පසු නොබලාම ඇය යන්න ගියා.

Share Now

Related Article