අනිවාර්යෙන්ම නැරඹිය යුතු නවකතා ඇසුරෙන් නිපදවුණ සම්මානනීය චිත්‍රපට 25ක්

Jul 6, 2016

ජගත් සාහිත්‍ය කෘතීන් ඇසුරෙන් චිත්‍රපට නිෂ්පාදනය කිරීම එදා මෙදා තුර ලෝකයේ සුලබව සිදුවන දෙයක්. මෙය ඉතාම අභියෝගාත්මක කාර්යයක් වන්නේ පොතක් කියවූ පසු පාඨකයාගේ සිත තුල මැවෙන චිත්ත රූප වලට සාධාරණයක් ඉෂ්ට කිරීමට චිත්‍රපටය අසමත් වුවහොත් එය අසාර්ථක එකක් වීමට ඇති ඉඩ කඩ නිසායි.

Continue Reading Below

මෙය කියවන ඔබ පොත් ගුල්ලෙක් මෙන්ම සිනමා ලෝලියෙක්ද වන්නට ඇති. එසේ නම් මේ ඔබ විසින් නැරඹිය යුතුම චිත්‍රපට 50ක ලැයිස්තුවක්.

Forrest Gump (1994)

1986 වසරේදී වින්ස්ටන් ගෲම් විසින් රචනා කරන ලද ‘Forrest Gump’ කෘතිය ඇසුරෙන් නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ රොබර්ට් සෙමෙකිස් විසින්. බුද්ධි මට්ටමෙන් තරමක් අඩු එහෙත් ඉතා කාරුණික පුද්ගලයෙකු වටා ගෙතී ඇති මේ අපූරු චිත්‍රපටය IMDB දර්ශකයට අනුව ලොව හොඳම චිත්‍රපට අතරින් 20 වන ස්ථානයේ පසුවෙනවා. හොඳම නළුවා, ‍හොඳම අධ්‍යක්ෂණය ඇතුළු ඔස්කාර් සම්මාන 6ක් මෙම චිත්‍රපටයට හිමියි.

  • IMDB දර්ශක අගය – 8.8/10
  • නළු නිළියෝ : ටොම් හෑන්ක්ස්, රොබින් රිට්, ගැරී සිනිස්

Into the Wild (2007)

ජෝන් ක්‍රාකවුර් විසින් 1996 දී රචනා කරන ලද කෘතිය අනුසාරයෙන් මේ ෆිල්ම් එක නිෂ්පාදනය වී තිබෙනවා. මෙයට පාදක වී තිබෙන්නේ කඳු නගින්නෙකු හා ගවේශකයෙකු වන මැක්කැන්ඩ්ලස් ගේ උතුරු ඇමරිකානු චාරිකාවයි. අධ්‍යක්ෂණය කලේ ෂෝන් පෙන් විසින්. හොඳම සහය නළුවා ඇතුළු ඔස්කාර් සම්මාන තුනක් සඳහා මෙම චිත්‍රපටය නිර්දේශ වී තිබෙනවා. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකකින්ද පිදුම් ලබා තිබෙනවා.

  • IMDB දර්ශක අගය : 8.2/10
  • නළු නිළියෝ : එමිල් හර්ෂ්, වින්ස් වෝන්, කැතරින් කීනර්

Die Hard (1988)

මෙය ක්‍රියාදාම චිත්‍රපටයක්. රොඩ්රික් තෝප් ගේ ‘Nothing Lasts Forever’ කෘතිය පාදක කරගෙනයි නිර්මාණය වී තිබෙන්නේ. නත්තල් උත්සවයක් අතරතුරදී ජර්මානු ත්‍රස්තවාදියෙකු ගේ ප්‍රාණ ඇපයට අසුව සිටින තමන්ගේ බිරිඳ සහ තවත් පිරිසක් මුදාගැනීමට නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන ජෝන් මැක්ලේන් විසින් ගන්නා ක්‍රියාමාර්ග වටායි මෙම කතාව ගෙතී ඇත්තේ.

  • IMDB දර්ශක අගය : 8.2/10
  • නළු නිළියෝ : බෲස් විලිස්, ඇලන් රික්මන්, බොනී බෙඩේලියා

The Thing (1982)

ජෝන් කාපෙන්ටර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටයට පදනම් වී තිබෙන්නේ ජෝන් කැම්බල් (Jr) විසින් රචිත ‘Who Goes There’ කෘතියයි. ඇමරිකානු පර්යේෂණ ආයතනයක් තුලට කඩා වදින පිටසක්වල ජීවින් පිරිසකගෙන් සිය ජීවිත බේරාගැනීමට එහි විද්‍යාඥයන් උත්සාහ දරණ අයුරු මෙයින් කියවෙනවා.

  • IMDB දර්ශක අගය : 8.2/10
  • ප්‍රධාන නළු නිළියන් : කර්ට් රසල්, විලෆර්ඩ් බ්‍රිම්ලි, කීත් ඩේවිඩ්

Requiem for a Dream (1999)

මෙම චිත්‍රපටය සඳහා පාදක කරගෙන තිබෙන්නේ හර්බට් සෙල්බි (Jr)ගේ ‘Requiem for a Dream’ නවකතාවයි. එක්තරා මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම නිසා පුද්ගලයන් තුල සිදුවන මානසික විපර්යාස පිලිබඳ කියැවෙන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ ඩැරන් ඇරනොෆ්ස්කි විසින්.

  • IMDB දර්ශක අගය : 8.4/10
  • නළු නිළියන් : එලන් බර්ස්ටින්, ජෙරාඩ් ලෙටෝ, ජෙනිෆර් කොනෙලි, මාර්ලන් වයනස්

මෙහි රඟපෑම වෙනුවෙන් ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම්මානය සඳහා එලන් බර්ස්ටින් නිර්දේශ වූවා.


A Clockwork Orange (1972)

ස්ටැන්ලි කර්බික් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙයට පාදක වූවේ 1962 වසරේදී ඇන්තනි බර්ගස් විසින් රචිත මෙම නමම රැගත් කෘතියයි.

  • IMDB දර්ශක අගය : 8.4/10
  • නළු නිළියන් : මැල්කම් මැක්ඩොවල්, ඒඩ්‍රියන් කොරී, මිරියාම් කාර්ලින්

Cool Hand Luke (1967)

ඩොන් පියර්ස් විසින් රචනා කරන ලද ‘Cool Hand Lake’ කෘතිය ඇසුරෙන් නිර්මාණය වුණ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ස්ටුවර්ට් රෝසන්බර්ග් විසින්. සිර දඬුවම් විඳින, එහෙත් සිර කඳවුරේ නීති රීතිවලට අනුගත නොවී එයින් පලායන හා නැවත හසුවන මැර කල්ලියක සාමාජිකයෙකුගේ චරිතය වට මෙම කතාව ගෙතී තිබෙනවා.

  • IMDB දර්ශක අගය : 8.2/10
  • නළු නිළියන් : පෝල් නිව්මන්, ජෝර්ජ් කෙනඩි

මෙහි රඟපෑම වෙනුවෙන් ජෝර්ජ් කෙනඩි ඔස්කාර් සම්මානයෙම්න් පිදුම් ලැබුවා.


The Color Purple (1985)

ඇලිස් වෝකර්ගේ ‘The Color Purple’ කෘතිය ඇසුරෙන් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සම්මානනීය අධ්‍යක්ෂකැ ස්ටීවන් ස්පිල්බර්ග් විසිනුයි. නව යොවුන් වියේ පසුවන අප්‍රිකානු -ඇමරිකානු සම්භයක් ඇති දැරියක් මුහුණ දෙන අභාග්‍ය සම්පන්න සිද්ධි මාලාවක් පිළිබඳයි මෙයින් කියැවෙන්නේ.

හොඳම චිත්‍රපටය, හොඳම නිළිය, හොඳම සහාය නිළිය ඇතුළු ඔස්කාර් සම්මාන 11ක් සඳහා මෙම චිත්‍රපටය නිර්දේශ වී තිබෙනවා.

  • IMDB දර්ශක අගය : 7.8/10
  • නළු නිළියන් : ඩැනි ග්ලෝවර්, ඇඩොල්ෆ් සීසර්, මාගරට් ඇවරි, වූපී ගොල්ඩ්බර්ග්

Misery (1990)

ලෝක ප්‍රසිද්ධ ලේඛක ස්ටීවන් කින්ග්ගේ ‘Misery’ නවකතාව අනුසාරයෙන් නිපදවුණ මෙය රොබ් රේනර්ගේ අධ්‍යක්ෂණයක්. ජනප්‍රිය ලේඛකයෙකු සිර කරගෙන තමන්ට අවශ්‍ය කතාන්දර ඔහු ලවා ලියවාගන්නා රසිකයෙකු පිලිබඳ මෙයින් කියැවෙනවා.

  • IMDB දර්ශක අගය :
  • නළු නිලියෝ : ජේම්ස් කාන්, කැති බේට්ස්, ලෝරන් බාකෝල්, රිචර්ඩ් ෆ්‍රාන්ස්වර්ත්

මෙහි රඟපෑම වෙනුවෙන් කැතී බේට්ස් හට හොඳම නිළිය සඳහා වන ඔස්කාර් සම්මානය පිරිනැමුණා.


Out Of Sight (1998)

එල්මෝ ලේනාර්ඩ්ගේ ‘Out of Sight’ කෘතිය ඇසුරෙන් මෙය නිර්මාණය වී තිබෙනවා. ස්ටීවන් සෝඩබර්ග් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙයින් කියැවෙන්නේ සිර ගෙයින් පලා යන බැංකු හොරෙකු ඔහු විසින් පැහැර ගන්නා ලද ෆෙඩරල් මාර්ෂල්වරියක හා පෙමින් බැඳෙන කතාවකුයි.

  • IMDB දර්ශක අගය : 7/10
  • නළු නිළියෝ : ජෙනිෆර් ලෝපේස්, ජෝර්ජ් ක්ලූනි

හොඳම අනුවර්තිත තිරරචනය (Adopted Screenplay) හා හොඳම සංස්කරණය උදෙසා පිරිනැමෙන ඔස්කාර් සම්මාන සඳහා මෙය නිර්දේශ වුණා.


Drive (2012)

මෙය නිර්මාණය වුණේ ජේම්ස් සාලිස් විසින් රචිත මෙම නමම රැගත් කෘතිය අනුසාරයෙන්. අධ්‍යක්ෂණය කර තිබෙන්නේ නිකොලස් වින්ඩින් විසින්. භයානක අමතර රැකියාවක නිරතවන රියදුරෙකු අසල්වැසි කාන්තාවකට උපකාර කිරීමට ගොස් අනවශ්‍ය කරදරයක වැටෙන අයුරු මෙයින් කියැවෙනවා.

  • IMDB දර්ශක අගය : 7.8/10
  • නළු නිළියන් : රයන් ගොස්ලින්, කැරී මුලිගන්, බ්‍රයන් ක්‍රාන්ස්ටන්

Carrie (1976)

මෙයත් නිර්මාණය වී තිබෙන්නේ ස්ටීවන් කින්ග් ගේ මෙම නමම රැගත් කෘතිය ඇසුරෙන්. පන්ති සගයන්ගේ නින්දා අපහාසවලට ගොදුරුවීමෙන් පසු ඔවුන්ගෙන් පළිගන්නට යන අධිමානසික හැකියාවක් ඇති ගැහැණු ළමයෙකුගේ කතාවක් මෙයින් කියැවෙනවා. අධ්‍යක්ෂණය කර තිබෙන්නේ බ්‍රයන් ඩි පල්මා විසින්.

  • IMDB දර්ශක අගය : 7.4/10
  • නළු නිළියන් : සිසී ස්පාසෙක්, ඇමී අයිවින්

Field Of Dreams (1989)

W.P කින්සෙලා විසින් රචිත ‘Shoeless Joe’ කෘතිය ඇසුරෙන් මෙය නිර්මාණය වී තිබෙනවා. ෆිල් රොබින්සන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙයින් කියැවෙන්නේ අද්භූත කටහඬවල් ඇසීම හේතුවෙන් සිය ගොවිපලේ බේස්බෝල් පිටියක් සාදන ගොවියෙකු පිළිබඳවයි.

  • IMDB දර්ශක අගය : 7.5/10
  • නළු නිළියන් : කෙවින් කොස්ට්නර්, ජේම්ස් අර්ල් ජෝන්ස්, රේ ලියෝටා

හොඳම චිත්‍රපටය, හොඳම අනුවර්තිත තිරරචනය ඇතුළු ඔස්කාර් සම්මාන 3ක් සඳහා මෙය නිර්දේශ වුණා.


Casino Royale (2006)

ඉයන් ෆ්ලෙමින් ගේ Casino Royale නවකතාව ඇසුරෙන් නිර්මාණය වී ඇති මෙය ඉතා ජනප්‍රිය ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක්. මාටින් කැම්බල් විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

  • IMDB දර්ශක අගය : 8/10
  • නළු නිලියෝ : ඩැනියෙල් ක්‍රෙග්, ඊවා ග්‍රීන්

No Country For Old Men (2007)

ජූල් කොඑන් හා එතල් කොඑන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය කෝර්මැක් මැකාර්තිගේ මෙම නමම රැගත් කෘතිය ඇසුරෙන් නිර්මාණය වී තිබෙනවා.

  • IMBD දර්ශක අගය : 8.1/10
  • නළු නිළියෝ : ටොමී ලී ජෝන්ස්, ජෝෂ් බ්‍රොලින්, ජේවියර් බාර්ඩම්

හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක ඇතුළු ඔස්කාර් සම්මාන හතරක් දිනා ගැනීමට මෙය සමත් වුණා.


The Talented Mr. Ripley (1999)

ඇන්තනි මිගෙලාගේ අධ්‍යක්ෂණයක් වන මෙය නිර්මාණය කෙරුණේ පැට්‍රිසියා හයිස්මිත්ගේ මෙම නමම රැගත් කෘතිය ඇසුරෙන්. එතරම් දක්ෂතා නොදක්වන තරුණයෙකු නොමග ගිය ධනවත් පුද්ගලයෙකුගේ සහයට ඉතාලියට යාම හා ඉන් පසුව සිදුවන දෑ පිලිබඳ මෙයින් කියැවෙනවා.

  • IMDB දර්ශක අගය : 7.3/10
  • නළු නිළියෝ : මැට් ඩේමන්, ජූඩ් ලෝ

හොඳම සහය නළුවා, හොඳම අනුවර්තිත තිරරචනය ඇතුළු ඔස්කාර් සම්මාන 5ක් උදෙසා මෙය නිර්දේශ වූවා.


Harry Potter And The Deathly Hallows (2010-2011)

R.K රෝලින් ගේ අතිශය ජනප්‍රිය වූ හැරී පොටර් පොත් පෙලේ අවසන් කෘතිය අසුරෙනුයි මෙය නිර්මාණය වී තිබෙන්නේ. කතාව දිගු වීම නිසා කොටස් දෙකකින් යුතුවයි ඉදිරිපත් කෙරුණේ. ඩේවිඩ් යේට්ස් විසින් කොටස් දෙකම අධ්‍යක්ෂණය කරනු ලැබුවා.

  • IMDB දර්ශක අගය : ප්‍රථම කොටස – 7.7/10, දෙවන කොටස – 8.1/10
  • නළු නිළියෝ : ඩැනියෙල් රැඩ්ක්ලිෆ්, එමා වොට්සන්, රූපට් ග්‍රයින්ට්

The Wolf Of Wall Street (2013)

සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ තවත් එක් මතකයේ රැඳෙන රංගනයක් රැගත් මෙය ජෝර්ඩන් බෙල්ෆෝර්ට්ගේ මෙම නමම රැගත් කෘතිය ඇසුරෙන් නිර්මාණය වූවක්. ඩිකැප්‍රියෝ පණ පොවනු ලබන්නේ බෙල්ෆෝර්ට්ගේ චරිතයටයි. අධ්‍යක්ෂණය කලේ මාර්ටින් ස්කෝසිසී විසින්. කොටස් වෙළෙඳපොල තැරව්කරුවෙකුගේ ජීවිතය වටා දිවෙන සිද්ධි සමුදායක් සහ වර්තමානයේ ඔහු සිටින තත්වය පිලිබඳ මෙයින් කියැවෙනවා.

  • IMDB දර්ශක අගය : 8.2/10
  • නළු නිළියෝ : ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ජොනා හිල්, මාග්‍රට් රොබී

හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන 5ක් සඳහා මෙය නිර්දේශ වුණා.


Stand By Me (1986)

මෙයත් ස්ටීවන් කින්ග් විසින් රචිත කෘතිය ඇසුරෙන් නිර්මාණය කරනු ලැබූවක්. කුඩා නගරයක ජීවත් වන මිතුරන් සිව් දෙනෙකු අතුරුදහන් වූ දරුවෙකුගේ මළ සිරුර සොයා යන ගමන පිලිබඳ මෙයින් කියැවෙනවා. අධ්‍යක්ෂණය කළේ රොබ් රේනර් විසින්.

  • IMDB දර්ශක අගය : 8.1/10
  • නළු නිළියෝ : විල් හීටන්, රිවර් ෆීනික්ස්, කොරේ ෆෙල්ඩ්මන්,

හොඳම අනුවර්තිත තිරරචනය සඳහා වූ ඔස්කාර් සම්මානය වෙනුවෙන් මෙය නිර්දේශ වූවා.


Sense And Sensibility (1995)

ප්‍රකට ලේඛිකා ජේන් ඔස්ටින්ගේ මෙම නමම රැගත් කෘතියෙන් කියැවෙන්නේ පියා මියගිය පසු දේපල උරුමය අහිමි වීම නිසා විවාහයෙන් මූල්‍යමය සුරක්ෂිතතාව සොයන සොයුරියන් කිහිප දෙනෙකු පිළිබඳවයි. අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ඇන්ග් ලී විසින්

  • IMDB අගය : 7.7/10
  • නළු නිළියෝ : කේට් වින්ස්ලට්, එමා තොම්සන්, ජේම්ස් ෆ්ලීට්

හොඳම අනුවර්තිත තිරරචනය වෙනුවෙන් වූ ඔස්කාර් සම්මානය හිමි වූ මෙය ඊට අමතරව තවත් ඔස්කාර් සම්මාන 6ක් සඳහා නිර්දේශ විය.


The Pianist (2002)

දෙවන ලෝක යුධ සමයේ නාසි අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටීම සඳහා සැඟවී සිටින පෝලන්ත යුදෙව් පියානෝ වාදයෙකු සංගීතඥයෙකු ගේ කතාවක් මෙයින් නිරූපණය වෙයි. ව්ලැඩිස්ලාව් ස්පිල්මන්ගේ කෘතියකි. රොමාන් පොලන්ස්කි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙය හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම අනුවර්තිත තිරරචනය වෙනුවෙන් ඔස්කාර් සම්මාන දිනා ගත අතර තවත් සම්මාන හතරක් සඳහා නිර්දේශ විය.

  • IMDB අගය : 8.5/10
  • නළු නිළියෝ : ඒඩ්‍රියන් බ්‍රෝඩි (ප්‍රධාන චරිතය)

Casino (1995)

සූදු පිටියේ ආධිපත්‍යය රැකගැනීම උදෙසා වූ කෑදරකමින් මිතුරන් දෙදෙනෙකු අතර ඇතිවන ගැටුම නිරූපණය කරන මෙය මාර්ටින් ස්කෝසිසීගේ අධ්‍යක්ෂණයකි. නිකොලස් පිලෙගිගේ කෘතිය ඇසුරෙන් නිර්මාණය වී ඇත.

  • IMDB දර්ශක අගය : 8.2/10
  • නළු නිළියෝ : රොබට් ඩි නීරෝ, ශැරෝන් ස්ටෝන්

හොඳම නිළිය සඳහා වූ ඔස්කාර් සම්මානයට ශැරෝන් ස්ටෝන් නිර්දේශ විය.


The Graduate (1967)

චාල්ස් වෙබ් ගේ කෘතිය ඇසුරෙන් නිර්මාණය වූ මෙහි අධ්‍යක්ෂණය මයික් නිකොලස්ගෙනි. සිය දියණිය සහ පෙම්වතිය වෙත බැඳී පෙම අතර දෝලනය වන උපාධිධාරියෙකුගේ කතාවක් මෙයින් කියවෙයි.

  • IMDB දර්ශක අගය : 8/10
  • නළු නිළියෝ : ඩස්ටින් හොෆ්මන්, ඈන් බැන්ක්‍රොෆ්ට්, කැතරින් රොස්

Full Metal Jacket (1987)

යුධ චිත්‍රපට ශානරයට (genre) අයත් වන මෙය ගුස්ටාෆ් හැස්ෆර්ඩ්ගේ ‘The Short-Timers’ කෘතිය ඇසුරෙන් නිර්මාණය වූවක්. අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ස්ටැන්ලි කබ්‍රික් විසින්. ඇමරිකානු මැරීන් භටයන් ප්ලැටූනයක් යුධ පුහුණුව ලබන ආකාරය සහ වියට්නාම යුද්ධයේ ටෙට් ක්‍රියාන්විතය අවස්ථාවේ ඔවුන් අතරින් දෙදෙනකු ලද අත් දැකීම් මෙහි අඩංගු වෙනවා.

  • IMDB දර්ශක අගය : 8.3/10
  • නළු නිළියෝ : මැතිව් මෝඩින්, ඇඩම් බෝල්ඩ්වින්

හොඳම අනුවර්තිත තිරරචනය උදෙසා වූ ඔස්කාර් සම්මානයට මෙය නිරේදේශ වුණා.


Midnight Express (1978)

බිලී හෙයාස් සහ විලියම් හොපර් සුසංයෝගයෙන් ලියවුණ මෙම නමම රැගත් කෘතිය ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ඇලන් පාකර් විසින්. සත්‍ය කතාවක් පාදක කරගෙන රචනා වී ඇති මෙය මත්ද්‍රව්‍ය ජාවාරමට වැරදිකරුවෙකු වීම නිසා සිර ගත කෙරුණ ශිෂ්‍යයෙකු පිලිබඳ කියවෙන කතාවක්.

  • IMDB දර්ශක අගය : 7.7/10
  • නළු නිළියෝ : බ්‍රැඩ් ඩේවිස්, අයිරින් මිරකල්, බෝ හොප්කින්ස්

හොඳම සංගීතය සඳහා ඔස්කාර් සම්මනයෙක් පිදුම් ලැබූ මෙය හොඳම සහය නළුවා වෙනුවෙන් පිදෙන ඔස්කාර් සම්මානය උදෙසා නිර්දේශ වුණා.

Share Now

Related Article