ඔබ අදම ආශ්‍රයෙන් ඉවත් කල යුතු මිනිසුන් වර්ග 10ක් – 1 කොටස

Feb 18, 2019

ඔබේ නිවසේ අපද්‍රව්‍ය ඔබ බැහැර කරනවා වගේම, ඔබේ ජිවිතයෙනුත් බැහැර කල යුතු මිනිසුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔබ මේ වර්ග වල මිනිසුන්ව දිගින් දිගටම ආශ්‍රය කරනවා නම් ඔබ‍ට අනිවාර්යයෙන්ම මානසික ආතතීන්ට ගොදුරු වීමට, සෘණාත්මක සිතුවිලි වලින් මනස පුරවා ගන්නට සහ ආත්ම විශ්වාසය බිඳ වැටීමට හේතු වනු ඇත. ඉතින් අද අපි තීරණය කළා අපේ goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

Continue Reading Below

1 ඔබේ කාලය අනවශ්‍ය ලෙස සොරා ගන්නන්

තවකෙකු වෙනුවෙන් ඔබේ කාලය වෙන් කිරීම හොඳ දෙයක්. නමුත් සමහර මිනිසුන් ඉන්නවා ඔබේ යහපත් බවින් ප්‍රයෝජන ගන්න. ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඔබේ කාලය කැප කරන්නට ඔවුන් ඔබව පොළඹවනවා. එවිට ඔබේ වැඩ රාජකාරි කර ගැනීමට ඔබට කාලය හිඟ වෙනවා.

ඔබේ කාලය කා දමන තවත් පිරිසක් ඉන්නවා. ඔවුන්ට කිරීමට විශේෂ රාජකාරියක් නැහැ. ඉතින් ඔවුන් ඔවුන්ගේ කාලය ගෙවා ගන්නට හදන්නේ ඔබ සමඟ නිෂ්ඵල කතා බහේ යෙදෙමිනුයි. එය ඔවුන්ට පාඩුවක් නොවුවත්, ඔබේ අරමුණු වලට බාධා ඇති වී ඔබට අවාසි ඇති කරවනවා.

2 පුරුද්දක් ලෙස ඔබව විවේචනය කරන්නන්

ඔබ ගන්නා තීරණ වල හොඳ නරක පෙන්වා දෙන යහපත් මිතුරන් සිටිනවා. නමුත් කවදාවත් ඔබේ හොඳක් නොදකින, ඔබේ අඩුපාඩුම පවසන මිනිසුන් ඇසුරු කිරීම ඔබේ මනසට හොඳ නැහැ. ඔබ අඳින ඇඳුම, ඔබ දමන හිස කෙස් විලාසිතාව වැනි කුඩා තීරණ වල පටන් ඔබ විවාහය සඳහා තෝරා ගන්නා සහකරුගේ පවා අඩුපාඩු දැකීම මේ මිනිසුන්ගේ ලක්ෂණයක්. ඇත්තෙන්ම එවැනි මිනිසුන්ගේ විවේචන වලින් පැය 24ම ඔබේ සවන් පුරවා ගන්නේ කුමකටද?

ඔවුන්ගේ විවේචනාත්මක හැසිරීමට ඔබ අකමැති බව ඔවුන්ට කෙලින්ම පවසන්න. එයින් පසුවත් ඔවුන්ගේ හැසිරීමේ වෙනසක් සිදු නොවුයේ නම්, එම මිනිසුන්ගේ ඇසුරෙන් ඉවත් වන්න.

3 තමන්ගේ වරද අනුන් පිට පටවන්නන්

කොයිම මොහොතකවත් තමන්ගේ වරද පිලි නොගැනීම මොවුන්ගේ ලක්ෂණයක්. ඔවුන් බොහොම උපක්‍රමශීලිව තමන්ගේ වරද අනුන් පිට පටවනවා. ඔවුන් අතින් වුනු වරද පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් “මට මේ දේ කරන්න සිද්ධ වුනේ අරයා නිසා.” කියලා තව කෙනෙක්ව ඒ වරදට පටලවා ගන්නවා. තමන් කරන දෙයෙහි වගකීම ගන්නට බැරි මිනිසුන් ඇසුරු කිරීම භයානකයි. එයට හේතුව වන්නේ ඔවුන් ඔබේ පිටත් යම් වරදක් පටවා, ඔබව අනතුරේ හෙලීමට ඉඩ පවතින නිසයි.

4 සෘණාත්මක සිතුවිලි වපුරන්නන්

තවත් මිනිසුන් කොටසක් ඉන්නවා සෘණාත්මක සිතිවිලි පතුරන. ඔවුන්ට නිතරම පැවසීමට ඇත්තේ ඔවුන්ට නැති දේවල්, සමාජයේ වැරදි, අනිත් පුද්ගලයන්ගේ අඩුපාඩු ආදියයි. කෙනෙකුගේ දුක කියන විට අසාගෙන සිටීම හොඳ ගතිගුණයක්. නමුත් ඉහත ගනයේ මිනිසුන් දුක පැවසීම සහ නැති දේ ගැන පැමිණිලි කිරීම කිසි දින නවත්වන්නේ නැහැ. ඔවුන්ගේ දුක අහගෙන ඉඳලා ඔබ යම් විසඳුමක් දුන්නත් ඔවුන් කවදාවත් ඒ විසඳුම ක්‍රියාවට නංවන්නේ නැහැ. තමන්ගේ දුකෙන් මිදෙන්න ඔවුන්ට අවශ්‍ය නැහැ. ඔවුන් කැමති දුකේ වැටීගෙන සිටිමින් දුක ගැනම කියවන්නටයි.

උදා: මුදල් නොමැති බව කෙනෙක් නිතරම පවසන කෙනෙක් ගැන උපකල්පනය කරන්න. ඔබ ඔවුන්ට රැකියාවක් ලබා දුන්නත් ඔවුන් එම රැකියාවට යෑමට කැමති වන්නේ නැහැ. එම රැකියාවේ වරදක් හෝ එහි වැඩ කරන සෙසු මිනිසුන්ගේ වරදක් ගැන පවසමින් එහි අගුණ කියවීමත්, මුදල් නැති බව දිගින් දිගටම පැමිණිලි කිරීමත් ඔවුන්ගේ පුරුද්දයි.

සෘණාත්මක සිතිවිලි නිතරම අසාගෙන සිටීමෙන් ඔබේ සිත තුලත් ඉබේම සෘණාත්මක සිතිවිලි පහල වෙනවා. ඔබට සෞඛ්‍ය සම්පන්නව දිගු කාලයක් ජිවත් වීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ එවැනි මිනිසුන්ගෙන් මිදීමයි.

5 කුඩා දේටත් කෝප වන්නන්

හදිසි කෝපය පාලනය කර ගැනීමට නොහැකි වීම ඔවුන්ගේ දුර්වලතාවයක්. ඉතින් ඔබ ඔවුන්ගේ දුර්වලතාවයේ ගොදුරක් වන්නේ කුමටද? කුඩා දෙයටත් ඔබ සමඟ හෝ වෙනත් පුද්ගලයන් සමඟ කෝප ගන්නන් ඇසුරු කිරීමෙන් ඔබේ මනසට හානි සිදු වෙනවා. තවකෙකු නිසා ඔබේ සිත තුල ඇති සාමකාමීභාවය නැති වීමට ඉඩ දෙන්න එපා. ඔවුන් පසුව ඔබෙන් සමාව ඉල්ලුවත්, වරින් වර ඔබේ මනසට ඔවුන් නිසා ඇති වන හානිය නැවත සුව කර ගැනීම අපහසුයි.

 

දෙවන කොටස සඳහා පිවිසෙන්න

Share Now

Related Article