ඔබේ ගෙවත්තටත් සරුසාර, සුන්දර ඕකිඩ් වගාවක්

Aug 22, 2016

ඕකිඩ්, එහෙමත් නැත්නම් උඩවැඩියා කියන්නේ ඕන කෙනෙකුගේ සිත් ඇද බැඳ ගන්න තරමේ සුන්දරත්වයකින් යුතු අපූරු මලක්. විශේෂයෙන්ම ඕකිඩ් සඳහා වෙළෙඳ පොලේ ඇත්තේ ඉතාම ඉහල ඉල්ලුමක්. වාණිජ අරමුණුවලින් නොවුනත් ගෙවත්තක ඕකිඩ් මල් පිපිලා තියෙනවා කියන්නේ ඒ ගෙවත්තටම අමුතුම සුදරත්වයක් එකතු කරන දෙයක්. හැබැයි ආවට ගියාට ඕකිඩ් වවන්නත් බෑ. අන්න ඒ නිසයි ලස්සනට, පිළිවෙලට ඕකිඩ් වගාවක් ඔබේ ගෙවත්තටත් හිමි කරගන්නේ කොහොමද කියන එක ගැන මේ ලිපියෙන් කතා කරන්න අපි තීරණය කළේ.

Continue Reading Below

දේශගුණික තත්වය

වගාව සඳහා තෝරා ගන්නා ශාක වර්ගය අනුව සුදුසු වන දේශගුණික තත්ත්වය ලබා දීම ඕකිඩ් වගාවේ සාර්ථකත්වයට අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක්. අපේ රටේ මේ සඳහා හඳුනාගත් ප්‍රදේශ ලෙස පහතරට තෙත් කලාපය, මධ්‍ය කඳුකර ප්‍රදේශ, අතරමැදි කලාපීය ප්‍රදේශ නම් කරන්න පුළුවන්.

මේ දේශගුණික සාධක අතර උෂ්ණත්වය පිළිබඳව සලකා බැලීමේ දී ශාකයේ වර්ගය අනුව වෙනස්‌ වන උෂ්ණත්ව තත්ත්වයන්ද තිබෙනවා. දහවල මෙන්ම රාත්‍රී උෂ්ණත්වය ද ශාක වර්ධනය කෙරෙහි බලපාන බව අමතක නො කළ යුතුයි . වර්ධනය කෙරෙහි පමණක්‌ නො ව මල් හට ගැනීමට ද උෂ්ණත්වය බලපානවා.

ආර්ද්‍රතාව කියන්නේ ඕකිඩ් ශාකයේ වර්ධනය, මල් හට ගැනීම, හට ගන්නා මල් කිනිති ප්‍රමාණය, මල්වල වර්ණය ආදී සියලු ම දේ කෙරෙහි බලපාන සාධකයක්. මේ නිසා වාතයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි.

ඒ වගේම හිරු එළිය ද ශාකවල සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හේතු වෙන ඔබ දන්නවා ඇති. ඕකිඩ් ශාකය උදෑසන හිරුඑළිය ප්‍රිය කරන ශාකයක්. ඒ නිසා ඕකිඩ් පැළවලට සෘජුව ම උදෑසන හිරුඑළිය ලැබීමට සැලැස්‌වීම කල යුතුයි. එමෙන්ම දවසේ වැඩි කාලයක්‌ හිරුඑළිය ලැබීම ශාකයට හිතකරයි. එහෙත් දිවා කාලයේ හිරු එළිය ශාකයට සෘජුව ම ලැබුණ හොත් ශාකය පිළිස්‌සී යනවා. ඒ නිසා පාලනයකින් යුතු ව ශාකයට හිරු එළිය පතිත වෙන්නයි ඕන.


සෙවණ ගෘහ ඉදිකරගැනීම

පොළොව මට්‌ටමේ සිට අඩි 10-12ක උසකින් දැල සකස්‌ කර ගත යුතුයි. මේ දැල රැඳවීම සඳහා ජී.අයි.බට, එල් අයන් කොන්ක්‍රීට්‌ කණු යොදා ගැනීම කාලයක්‌ පැවතීමට හේතු වෙනවා. දැව කණු යොදා ගන්නේ නම් ඒවා ශක්‌තිමත් විය යුතුයි.

පැළ ගෘහ තුළ තබා ගැනීම සඳහා මේස සකස්‌ කළ යුතුයි. පොළොව මට්‌ටමේ සිට අඩි 2 1/2ක පමණ උසකින් පැළ රඳවා ගැනීම වඩාත් ම පහසුයි. පැළ රඳවන විට වැඩි ජලය බැස යන ලෙසත්, මුල්වලට වාතාශ්‍රය ලැබෙන ලෙසත් ඒවා තැන්පත් කිරීම අවශ්‍ය වෙනවා. උඩවැඩියා ශාකවල මුල් නිදහසේ එල්ලා වැටෙන ආකාරයට පැළ රැඳවීමත් කල යුතුයි.


පැල තෝරාගැනීම

වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ඇති සාමූහික බඳුන් “කොම්පොසිට්‌” ලෙස හඳුන්වයි. මේ බඳුනක පැළ 25-30 පමණ බොහෝ විට පවතී. විශ්වාසී ස්‌ථානයකින් පැළ ලබා ගැනීම ඉතා වැදගත් ය. ලාභයට ලබා දෙන පැළවලින් ගැටලු මතු විය හැකි ය. මූලික වශයෙන් යොදන අධික වියදමෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නම් මනා වර්ධනයකින් යුතු නිරෝගී, වැඩි ආදායමක්‌ ලැබෙන, පරිසරයට ගැළපෙන වර්ග තෝරා ගත යුතු ම ය. සාමාන්‍යයෙන් අඟල් 2-3 අතර උසකට වැඩුණු පැළ තනි බඳුනක වගා කිරීම සුදුසු ය.

මේ සඳහා යොදාගනු ලබන විශේෂිත බඳුන් ඇත. බහුලව භාවිත කරන්නේ මැටි බඳුන් ය. පැතිවල සහ පතුලේ සිදුරු සහිත උඩවැඩියා වගාවට යොදා ගන්නා බඳුන් වෙළෙඳපොළේ තිබේ. ලී පටිවලින් සැකසූ බඳුන් ද මිල දී ගත හැකි ය. වැන්ඩා වර්ගය දික්‌ වූ මුල් සහිත ය. ඒ වර්ග සඳහා මේ ලී පටිවලින් සැකසූ බඳුන් යොදා ගනු ලබයි.

Tags

HK 2

Share Now

Related Article