කරදරකාර පිටිමකුණා ස්වභාවිකව මට්ටු කරමු.

Nov 10, 2016

වත්ත වනසන අලුත්ම හතුරා ………………

මීට වසර දෙකකට පමණ ඉහතදී අපගේ බෝග ප්‍රභේදවලට මෙන්ම ස්‌වභාවික පැළෑටි, ගස්‌වර්ග රැසකටම මහත් ව්‍යසනයක්‌ අත්කර දුන් පිටි මකුණාගේ හානිය අපට තාමත් මතකය. විශේෂයෙන්ම පැපොල් වගාව බරපතළ ලෙස පිටි මකුණාට ගොදුරු වූ අතර, මේ නිසා වගා භූමි පිටින්ම වනසා දමන්නට සිදුවූ අවස්‌ථාද විය. ගෙවත්තේ මිරිස්‌, බටු, බණ්‌ඩක්‌කා, බෝංචි, මෑ, දඹල වගාවන්හි පටන්, වද, කතුරුමුරුංගා, රඹුටන්, කරපිංචා, අඹ වැනි නොයෙකුත් ශාකවර්ග, රැසක්‌ මේ ආක්‍රමනික ජීව කාණ්‌ඩයට ගොදුරු වූයේ, වගාකරුවන් මෙන්ම එවන් බෝග පරිහරණය කරන ලද පාරිභෝගිකයාද දැඩි අපහසුතාවකට පත් කරලමිනි.

එකවර කඩාවැටුණු මේ මහත් විනාශයට කලින් හඳුනාගත් රෝග මර්දන ක්‍රමයක්‌ නොවූ බැවින් වගාවන් විනාශය සිදුවූ අතර, කෘෂිකාර්මික සේවාවද මහත් දුෂ්කරතාවකට පත් වූහ. එවන් පර්යේෂණ අංශ වහ වහා පිටි මකුණා මර්දනයට ක්‍රමවේදයක්‌ සොයා පර්යේෂණවලට යොමු විය.

Continue Reading Below

∗ පිටි මකුණට වැස්ස අගුණයි………….

ඒ අනුව විවිධ අත්බෙහෙත් හා කෘමිනාශක හඳුන්වා දුන්නද ඒවායෙන් ප්‍රතිඵල ලැබුණේ සෙමිනි. කෙසේ හෝ වර්ෂාව නිසා පිටිමකුණා පාලනය විය. මෙම පිටි මකුණු හානිය බරපතළ ලෙස ව්‍යාප්ත වන්නට හේතු වූයේ ඒ ආශ්‍රිතව දිවිගෙවන කුහුඹු විශේෂයක්‌ නිසාය. එනම් පිටිමකුණාගෙන් වෑහෙන සීනි වැනි ද්‍රdවණයකට ලොල් වූ මෙම කුහුඹුවන් පිටිමකුණන් යන යන තැන හඹා ගොස්‌ එම සීනි ස්‍රාවය ආහාර ලෙස ගත් අතර, එම නිසාම රෝග වාහකයා ද ඉතා ඉක්‌මනින් කුහුඹුවන් සමග පැතිර ගියේය.
වාසනාවකට මෙන් දැන් මෙරට ‘පිටි මකුණාගේ’ හානිය අවම වී ඇත. එහෙත් උන්ට ලැබෙන කෙටි හිතකර අවස්‌ථාවකදී යළිත් පෙර පරිදි ව්‍යසනයක්‌ මෙන් පැතිරී යා හැකිය. මේ වනවිට නම් කෘෂිකර්ම අංශ පිටි මකුණා මර්දනයට යම් යම් කෘමිනාශක ද්‍රව්‍ය හඳුන්වා දී තිබෙන්නට ඉඩ ඇත. එහෙත් කාබනික කෘෂිකර්මාන්තයේදී රසායනික ද්‍රව්‍ය භාවිත නොවන බැවින් හුදෙක්‌ භාවිත වන්නේ අත් බෙහෙත් සහ පාරම්පරික කෘමි මර්දන ක්‍රමවේදයි,


∗ මෙන්න පිටි මකුණට මැලේසියාවේ බෙහෙත ………….

ශ්‍රී ලංකාවේ ගොවීන් අතරද මෙවන් අත් බෙහෙත් භාවිතයට ගත්තත් මැලේසියාවේ ගොවීන් ද අත් බෙහෙත් මගින් පිටි මකුණා මර්දනය කරන පිළිවෙත් ඇති බව අප හඳුනා ගත්තේ පසුගිය දිනෙක මැලේසියාවේ පිනෑන් පළාතේ අප කල සංචාරයකදී එක්‌වූ කාබනික ගොවිතැන පිළිබඳ විශේෂ වැඩමුළුවකදීය. මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණේ “කැප්” CAP – Consumer Association of Penang නම් සංවිධානය මගිනි. ඔවුන් නිරතුරුව මැලේසියාවේ ජනතාව කෘෂි රසායනික ඇතුළු රසායනික ආහාර ද්‍රව්‍යවලින් ආරක්‍ෂා කර ගනිමින් ස්‌වාභාවික ආහාර පුරුදුවලට යොමු කරන සංවිධානයකි. ඔවුන් කාබනික බෝග වගාව සහ වගාවෙන් ස්‌වභාවික ක්‍රමවේද යටතේ කෘමීන් පළවා හැරීම සඳහා වන ඉහත වැඩමුළුව අප වෙත පවත්වන ලද්දේ සියලු දැටම රසායනික විසඳුම් අනවශ්‍ය බව ප්‍රකට කිරීම සඳහාය. එසේම, පහසුවෙන් හා ලෙහෙසියෙන් මෙන්ම විෂ කාරක නොවන ස්‌වාභාවික ද්‍රව්‍යවලින්ම මෙවන් කෘමි පළවා හැරීම් කළ හැකි බව ගොවි ප්‍රජාවට උගැන්වීම සඳහාය.


∗ පිටි මකුණු මර්දනය…………………

පිටි මකුණන් මර්දනය සඳහා ඔවුන් මෙහිදී භාවිත කරන ලද්දේ අමුද්‍රව්‍ය තුනක්‌ පමණි.
එනම්,
ඉඟුරු, සුදුලූනු, අමු හෝ ඉදුණු මිරිස්‌ ය.
2:2:1 ට අනුපාතය ලෙස ගෙන, එනම් ඉඟුරු හා සුදුලූනු ග්‍රෑම් 100 බැගින් ගන්නේ නම්, ඊට අමු හෝ ඉදුණු මිරිස්‌ ග්‍රෑම් 50ක්‌ ද කළවම් කර හොඳින් අඹරා පෙරාගත් දියරය මිලිමීටර් 300 ක්‌ ජලය ලීටර් 10 කට මිශ්‍ර කර ඉසීමයි. මෙම දියර මිශ්‍රණය පිටි මකුණන් යහමින් ගැවසෙන බෝගවල පත්‍ර යටි පැත්තට දැවටෙන සේ දින පහෙන් පහට ස්‌ප්‍රේ කිරීමෙන් පහසුවෙන් පිටි මකුණා මර්දනය වන බව “කැප්” ආයතනය සඳහන් කළේ අදාළ මිශ්‍රණය නිෂ්පාදන කරමින් අපට ද ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවය.
මැලේසියාව ද ශ්‍රී ලංකාව මෙන්ම නිවර්තන කලාපීය රටකි. එකම දේශගුණික සාධක ඇති නිසා ශ්‍රී ලංකාවේ මෙන්ම එකම රෝග හා රෝග වාහකයන් ක්‍රියාත්මක වේ. පිටිමකුණු හානිය ද එසේමය. ඔවුන්ටද පැහැදිල කෘමිනාශක ක්‍රමවේදයක්‌ තිබී නැති අතර, කාබනික ගොවියා කොහොමත් මෙවන් අත්බෙහෙත් තම වගා බිම්හි කෘමීන් පළවා හැරීම සඳහා භාවිතයට ගනිති.

Tags

HK 2

Share Now

Related Article