දරුවාට අවුරුදු 13 පිරෙන්නට පෙර ඔබ ඔහුට අනිවාර්‍යයෙන්ම හුරු කළ යුතු දේවල් – 1 කොටස

Aug 13, 2018

දරුවෙකුගේ වයස අවුරුදු 9ත් - 13ත් අතර කාලය හඳුන්වන්නේ සංක්‍රාන්ති සමයක් ලෙසයි. ඉතින් දරුවාට නිදහස්ව සහ ශක්තිමත්ව වැඩෙන්නට නම්, මව්පියන් දරුවාට ඒ සඳහා ඉඩ දිය යුතුයි. මව්පියන්ගේ සැබෑ ආදරය කියන්නේ දරුවාව කිසිත් කර ගැනීමට නොහැකි බෝනික්කෙකු ලෙස ඇති දැඩි කිරීම නොවේ. ඉතින් දරුවාගේ හැම දේම කරලා දෙන මවක් හෝ පියෙක් නොවී, දරුවාගේ වැඩ ඔහුට හුරු කළ යුතුයි. ඉතින් ඔබ ඔබේ දරුවාට මේ දේවල් 10 නම් අනිවාර්යෙන්ම හුරු කළ යුතුයි.

Continue Reading Below


මුදල් භාවිතා කරන ආකාරය

දරුවාව කඩේට එක්කගෙන ගිහිල්ලා ඕනේ කියන හැම දේම මිලදී ගෙන දෙනවා නම්, දරුවාට මුදල් ගැන වටිනාකම හඳුනා ගන්න බැරි වෙනවා. නොමිලේ ලැබෙන දෙයක අගයක් වැඩිහිටියෙක් වුවත් දකින්නේ නැහැ. මේ වයස වන විට දරුවා තමාට වියදම් කිරීමට ලැබෙන මුදලින් ඉතිරි කිරීමට (දිනකට රුපියලක් හෝ) පුරුදු වී සිටිය යුතුයි. දරුවාට පුංචි කැටයක් මිලදීගෙන දෙන්න. දරුවා ක්‍රෙඩිට් කාර්ඩ් සහ ඩෙබිට් කාර්ඩ් වල වෙනස හඳුනාගෙන සිටිය යුතුයි. තමන්ට ලැබෙන මුදලෙන් තමා මිලදී ගත යුත්තේ මොනවාද යන්න ගැන තීරණය කිරීමේ අයිතිය දරුවාට ලබා දෙන්න.


නිවසේ සාමාන්‍ය වැඩ කටයුතු

අද කාලයේ ඉන්න බහුතරයක් දරුවන් තමන් කිරි එක බීපු කොප්පයවත් හෝදන්නේ නැහැ. මෙයට හේතුව මව්පියන් දරුවන්ට එය හුරු කර නොතිබීමයි. එය වැරදියි. මේ නිසා ඔබේ දරුවාව පවුලේ වැඩ කටයුතු සඳහා එක් කර ගන්න. කෝප්ප සහ පිඟන් සේදීමට, අතු ගෑමට, කුස්සිය පිරිසිඳු කිරීමට, ඇඳ රෙදි මාරු කිරීමට, උදෑසන ඇඳ අස් කිරීමට හුරු කිරීම අදම අරඹන්න.


පුංචි කෑමක් සකසා ගැනීම

කෑම සැදීම ගෙදර අම්මටම විතරක් පැවරුණු කාර්යයක් බව සිතන්නට දරුවාට ඉඩ දෙන්න එපා. සැන්ඩ්විච් එකක් හදා ගන්න, බිත්තරයක් තම්බා ගන්න, මැගී හෝ පැස්ටා එකක් හදා ගන්න වගේම සුප් සහ සලාද වර්ග වැනි සරළ ආහාර කීපයක් සකසා ගන්නත් මේ වයස වෙද්දී දරුවාට පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මේ දේවල් කිරීමේදී ආරක්ෂා විය යුතු ආකාරයත් ඔබ දරුවාට කියා දෙන්න


නිවසට අවශ්‍ය බඩු තේරීමට

ඔබ බඩු මිලදී ගන්න යනකොට දරුවාවත් එක්කගෙන යන්න. බඩු තෝරා ගැනීමට දරුවාගේත් උදව්ව ලබා ගන්න. මිලදී ගත යුතු දේවල් මොනවාද කියලා දරුවත් එක්ක කතා කරන්න. ඔබ දරුවා සමඟ එකතු වී යම් අතුරුපසක් සෑදීමට තීරණය කර, ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට යාමේදී දරුවාවත් සහභාගී කර යන්න. නමුත් සීමාවකින් තොරව බදු මිලදී ගැනීමට දරුවාට ඉඩ දෙන්න එපා. මුලින් මුදල් වල වටිනාකම ඒත්තු ගන්වා සිටීමෙන් මෙවැනි කරදර ඇති නොවනු ඇත.


සනීපාරක්ෂක පුරුදු

සමහර දෙමව්පියෝ දරුවාව නාවන්න, දත් මද්දන්න ලොකු වෙහෙසක් ගන්නවා. එහෙම නැතුව තමන්ගේ ශරීරය පිරිසිඳු කර ගැනීමට මුල සිටම දරුවාව හුරු කරවන්න. නිසි ලෙස පිරිසිඳු නොවීමෙන් ඇති විය හැකි ලෙඩ රෝග ගැන දරුවාව දැනුවත් කර, පිරිසිඳු වීමට පොළඹවන්න. තනිවම ස්නානය කිරීමට, දත් මැද ගැනීමට, රැවුල කැපීමට, ඇඳුම් මාරු කිරීමට මේ වයස වන විට දරුවාට හැකි විය යුතුයි. තමාගේ සිරුර ගැන අවබෝධ කර ගැනීමට දරුවාට උපකාර කරන්න.


මූලික ප්‍රතිකාර ක්‍රම

පුංචි තුලායක් වුණාම අඬාගෙන ඔබ වෙතට දුවගෙන එන දරුවෙක් වෙනුවට, තනියම ප්ලාස්ටරයක් දාගෙන හිනා වේවි ඔබ වෙත එන දරුවෙක්ව බිහි කිරීමේ වගකීමත් ඔබ සතුයි. කවුරුවත් ළඟ නැති වෙලාවක දරුවාට අනතුරක් වුණොත් එයට මුහුණ දීමට හැකි වන සේ ඔහුව ගොඩ නගන්න. හදිසි වෛද්‍ය උපකාරක අංක මතක තබා ගැනීමට ඔවුන්ට පුරුදු කරවන්න.


මෙම ලිපියෙ දෙවන කොටස සදහා පිවිසෙන්න –

 

දරුවාට අවුරුදු 13 පිරෙන්නට පෙර ඔබ ඔහුට අනිවාර්‍යයෙන්ම හුරු කළ යුතු දේවල් – 2 කොටස


Share Now

Related Article