ආහාර ගැනීමේ ආචාර ධර්ම – Dining Etiquette – 1 කොටස

May 22, 2017

සාදයකදී නිසි ලෙස ආහාර ගැනීම කියන්නේ ඔබේ පෞර්ෂයට ගොඩක් වැදගත් දෙයක්. ඔබේ රාජකාරී භෝජන සංග්‍රහ, උසස් සාද ආදියට ඔබට ආරාධනාවක් ලැබුනහම කොහොමද හැසිරෙන්නේ කියන එක ඉගෙන ගැනීම ගොඩක් වැදගත් වෙනවා. මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න.

Continue Reading Below

01) ආරාධනාවට ප්‍රතිචාර දැක්වීම

ඔබ පළමුවෙන්ම කළ යුත්තේ ආරාධනාව කළ පාර්ෂවයට ප්‍රතිචාරයක් දැක්වීමයි. ඔබගේ පැමිණීම වෙනුවෙන් ඔවුන්ට කටයුතු සැලසුම් කිරීම සඳහා ඔබේ ප්‍රතිචාරය උපකාරයක් වෙනවා. අපි හිතමු ආරාධනාව ලැබුනේ ඔබටයි සැමියටයි විතරක් කියලා. එහෙමනම්, “අපිට තව කට්ටිය එක්ක එන්න පුළුවන්ද?” කියලා කිසිදා අහන්න එපා. හැබැයි, ආරාධනාවේ සඳහන් වෙන්නේ ඔබේ “පවුලට” කියා නම්, “අපි දරුවනුත් එක්ක ආවට කමක් නැද්ද?” කියලා ඔබට අසන්නට පුළුවන්.


02) ත්‍යාග රැගෙන යාම

ඔබට රාත්‍රී ආහාරයට ආරාධනාව ලැබුණේ ඔබේ මිතුරියකගෙන් නම්, ඇයට දීමට තෑග්ගක් ගැනීම හොඳ අදහසක්. අපි හිතමු ඔබ වයින් බෝතලයක් ගත්තා කියලා. හැබැයි ඔවුන් රාත්‍රී ආහාරය ගැනීමේදී ඔබේ වයින් බෝතලය භාවිතා කළ යුතුමයි කියා සිතන්න එපා. රාත්‍රී ආහාර සාදයකදී සැලසුම් කළ ආහාර මෙනුවක් තමයි තියෙන්නේ. ඉතින්, ඔබ ගෙනියන තෑග්ග ඒ මෙනුවට නොගැලපෙන දෙයක් වෙන්න පුලුවන්නේ.


03) සූදානම් වීම

ඔබ සහභාගී වෙන්නේ “ඉහල පැලැන්තියේ” රාත්‍රී ආහාර සාදයකට නම්, ආරාධිත අමුත්තන් වෙනුවෙන් නම් සඳහන් කළ ආසන වෙන්කරලයි තියෙන්නේ. එසේ නැතිනම් ඔබට අහන්න පුළුවන් ඔබේ ආසනය කුමක්ද කියලා. මතකයේ තියා ගන්න, ඔබට ආරාධනාව කළ මිතුරිය ඇගේ අසුනේ හිඳගත් පසුවයි ඔබ ඉඳගන්නේ. සමහර සංස්කෘතීන්හි පළමුව ආශිර්වාදයක් නැතිනම් දෙවියන්ට ස්තූතිකිරීමක් කරනවා. ඔබ ඒවා විශ්වාස නොකලත් ඊට ගරුත්වයක් දක්වා නිශ්ශබ්දව සිටින්න.


04) සවුදිය පිරීම

සාදවල පිරිස් තම බීම වීදුරු (විශේෂයෙන්ම වයින් වීදුරුව) “චීයර්ස්” කියා හිමිහිට ගාවගන්නවා ඔබ දැක ඇති නේද? ඔබට ආරාධානව කළ මිතුරිය එසේ කළ විට ඔබ අතේ ඇති වීදුරුව එසවීම පමණක් සෑහේ. හැමවිටම වීදුරු එකට ගාවන්නම අවශ්‍ය නෑ.


05) නැප්කිනය (අතපිසිනය)

මෙය ඉතා වැදගත් ශිෂ්ඨ රීතියක්. ඔබ හිඳගත් පසුව, ඔබට ආරාධනාව කළ මිතුරිය දෙසට හැරී ඇය ලබාගන්නා ආරම්භය ගැන අවධානය යොමුකරන්න. ඇය තමාගේ නැප්කිනය දිගහැරීම ඇරඹීමෙන් පසුවයි ඔබ මේසය හෝ පිඟාන මත ඇති ඔබේ නැප්කිනය ගෙන උකුල මත තියාගන්නේ. ආහාර ගැනීම අරඹන විට නැප්කිනය ඔබේ උකුල මත තිබිය යුතුමයි.

ඔබ ආහාර ගෙන අවසන් වෙනකම්ම නැප්කිනය ඔබේ උකුල මත තියාගන්න. අපි හිතමු ඔබට ආහාර ගන්නා විට නැගිට යාමට අවශ්‍යවෙනවා කියලා. එවිට නැප්කිනය ගෙන ඔබේ පිඟානේ දෙපස ඕනෑම පැත්තකින් තියන්න පුළුවන්. ආහාර ගැනීමෙන් පසුව නම් ඔබේ නැප්කිනය මේසය මත පිඟානේ වම් පැත්තේ තියන්න.


06) ආහාර ගැනීම පටන්ගැනීම

මෙහිදීත් මතකයේ තියාගන්න දේවල් කීපයක් තියෙනවා. මේසය මත සිටින සෑම කෙනෙකුටම ආහාර බෙදීම අවසන්වීමෙන් පසුවයි ඔබ ගෑරැප්පුව අතට ගන්න ඕනේ. ඔබ පුද්ගලික රාත්‍රී ආහාර සාදයක නම් සහභාගීව ඉන්නේ, ඔබට ආරාධානාව කළ මිතුරිය ඇගේ ගෑරැප්පුව අතට ගත් පසුව ඔබ අරඹන්න. ඔබ සහභාගීව සිටින්නේ තම තමන් ආහාර බෙදා ගත යුතු සාදයක නම් (Buffet,) අනිත් පිරිස අසුන්ගත් පසුව ඔබට ආහර ගැනීම පටන්ගන්න පුළුවන්.


07) හැඳි, ගෑරැප්පු හා පිහි කට්ටල

මෙතන තමයි හැමෝටම පැටලෙන තැන. රාත්‍රී ආහාරය කොටස් තුනට බෙදෙනවානේ. ඒ ඒ කොටසට අනුව තමයි ඔබ මේ දේවල් තෝරගන්න ඕනේ. මෙහි ඇති ශිෂ්ඨ රීතිය නම්, ඔබේ පිඟානට ඈතින්ම ඇති කට්ටලය තමයි ඔබ පළමුව භාවිතයට ගත යුත්තේ. එම පිළිවෙලින් රාත්‍රී ආහාරයේ කොටස් වලට අනුකූල කට්ටලය ඔබ ගන්න ඕනේ. ඔබට ආරාධනාව කළ මිතුරිය වෙනස් දෙයක් කරනවා නම්, ඔබට ඇයව අනුගමය කරන්න පුළුවන්.


08) ආහාර

මේසයක් මත ආහාර බෙදාදෙන රාත්‍රී සාදයක මේසයේදී එකිනෙකාට පිඟන් හුවමාරු කෙරෙන්නේ ඔරලෝසුව කැරකෙන පැත්තට විරුද්ධ පැත්තටයි. ඔබට විරුද්ධ පැත්තේ ඇති කිසිවක් නැගිට හෝ අත දිගුකර ගන්න යන්න එපා. ඔබට අවශ්‍ය දෙයට ලඟම සිටින කෙනාට එය ඔබට ලබාදෙන්න කියා ඉල්ලීමක් කරන්න පුළුවන්. ලුණු හා ගම්මිරිස් ඒකිනෙකාට හුවමාරු කෙරෙනවා. ඔබේ හැන්ඳෙන් හෝ ගෑරැප්පුවෙන් කිසිම කෑමක් බෙදාගන්නේ නෑ. ඒ සඳහා ඇති හැඳි තමයි ඔබ භාවිතා කළ යුත්තේ.


මෙම ලිපියේ දෙවන කොටස සදහා පිවිසෙන්න :-
ආහාර ගැනීමේ ආචාර ධර්ම – Dining Etiquette – 2 කොටස

Tags

HK 8

Share Now

Related Article