සමහර මිනිස්සු නිතරම අනුන්ට අපහාස කරන්නේ ඇයි?

Mar 19, 2020

සමහර මිනිස්සු නිතරම අනුන්ට අපහාස කරන්නේ ඇයි?

නදීමා උසස් පෙළ පන්තියේ පුතෙක් ඉන්න අම්මෙක්. නමුත් ඉඩක් ලැබෙන හැම වතාවකම තමන්ගේ වයස ගැන වත් නොතකා කා හරි එක්ක දබර කිරීම සහ ඒ රණ්ඩු වෙන කෙනාට බොරු කියමින් පන්න පන්නා අපහාස කිරීම, බොරු පැමිණිලි දැමීම කොටින්ම කීවොත් කොයිම ආකාරයකින් හෝ ඒ අදාළ තැනැත්තිය විනාශ කිරීම ඇගේ ගතියයි. සාමන්යයෙන් ජීවත් වෙද්දී කාලෙකට එක ගානෙ කාට හෝ වෛර නොකර ජීවත් වෙන්න ඇයට බැහැ. ඈ සාමන්යයෙන් වෛරයෙන් බැඳෙන්න හේතුවක් නැත්නම් හොයා ගන්නවා.

Continue Reading Below

ඇයට පේන්නම බැරි දේ තමයි කෙනෙක් සමාජයේ ගරු බුහුමන් ලබනවා නම්. ඒවගේ අයට ද්වේශයෙන් කටකතා කියනවා. පිරිස එක්ක එකතු වෙලා හිනා වෙනවා. මේ වගේ දේවල් හරිද වැරදිද නොසොයා ඈ සමග සම්බන්ධ වෙලා කාව හෝ ගොදුරට ගන්නා පිරිසකුත් ඇයට ඉන්නවා.

කෙනෙක් වැදගත් ලෙස ජීවත් වෙනවා නම් ඇය බොහොම උපහාසයෙන් හිනා වෙනවා.

“ ආ එයාද ඔය පත්තිනි අම්මා වගේ හිටියට ඉස්සර තාත්තා පාන් පෙට්ටිය උස්සන් ගම පුරා ගියා. අපේ ගෙවල් වලට ආවේ පස්සේ දොරෙන් “

මේ විදිහට තමන්ට වඩා කෙනෙක් මොන අංශයෙන් හරි ඉහලට ගියොත් ඒ කෙනාව අපහාසයට ලක් කරන කම් ඇයට නින්ද යන්නේ නැහැ. ඇගේ සැමියා මේ කටයුතු ගැන ගොඩක් අපහසුවට ලක් වෙලා හිටියේ. නමුත් ඔහු නාමිකව බිරිඳ තබාගෙන සිටියා මිස ඇය සමග විවහා ජීවිතය ගත කළේ හරි පිළිකුලෙන්. ඒ නිසා ඇයව වෙනස් කරන අදහසක් ඔහුට මුල් කාලේ තිබුනත් පසුව ඒ අදහස ඔහු අතහැරියා.

වෛද්ය වරුන් විසින් පර්යේෂණ කරා සමාජයේ මිනිසුන්ට හානි කරන මේ වගේ චරිත හටගන්නා හේතුව මොකද්ද කියල. දීර්ඝ පර්යේෂණ වල ප්රතිපලයක් ලෙස ඔවුන් සොයා ගත්තා මේ අනුන්ට හිංසා කරලා සතුටු වෙන පිරිස එහෙම කරන්න හේතු මොනවද කියල. අපි දැන් නදීමා ගේ චරිතය ඇසුරින් ඒ හේතු මොනවද කියල.

1) මානසික පීඩනය

අනුන්ට අපහාස කරන උදවිය බොහෝ විට ඉන්නේ අධික මානසික පීඩාවකින්. අහංකාරය නිසා සඟවාගෙන හිටියත් ඔවුන් ඒ අභ්යන්තරයේ දැවෙමින් ඉන්න වේදනාව තමා මේ විදිහට අනුන්ට හිංසා කිරීමෙන් එලියට ගන්නේ. නදීමා ගේ කල්ක්රියා නිසා ඇගේ සැමියා ගොඩ කාලෙකට පෙර ඇගෙන් විවාහයේ බැඳීම් ඉවත් කර ගත්තේ.

ඔවුන් දෙදෙනා එලියට පේන්න සතුටින් හිටියත් ඔහුට වෙනත් ආදරය කිරීමට තෝරා ගත් පෙම්වතියක් සිටියා. කොන්ත්රාත් කරන දක්ෂ මේසන් බාස් කෙනෙක් ලෙස ජීවිතේ පටන් ගත් ඔහු නිවාස හදන ව්යාපාරයක් ගෙනියන ධනවත් පුද්ගලයෙක්. නදීමා මුල් කාලයේ සිටම පෙන්වපු ඇතැම් ගති වගේම ඇගේ දැඩි නපුරු කම නිසා ඔහුගේ අම්මව ගෙයින් එලියට දැමීම වගේ දේවල් නිසා ඔහු ඈ සමග දැඩි කලකිරීමක් හිතේ තබාගෙන තමාගේ පාඩුවේ ජීවත් වුන කෙනෙක්. සැමියාගේ නොලැබෙන ආදරය නිසා ලෝකෙට මොන පරකාස පෙන්නගෙන හිටියත් නදීමා හිටියේ බුර බුරා නැගෙන වේදනාවෙන්. ඇය කීප වරක් සියදිවි නසා ගන්න පවා උත්සහ කරා. ඒ වේදනාව පිට දමන්න තමයි ඇය දකින දකින හැම දෙනාටම අපහාස කිරීමෙන්, කළහ කිරීමෙන් උත්සහ කරේ.

2) නපුරු හැසිරීම් වලින් ලැබෙන බලය

නදීමා කොච්චර වැරදි වුනත් ඇය එක්ක පැටලෙන්න කවුරුත් කැමැති නැහැ. මොකද මේ විදිහට කුණුහරප කියාගෙන මහා පාරවල් වල රණ්ඩු වෙන එක සාමන්ය නිරෝගී මනුස්සයෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවේ. ඇගේ මේ හැසිරීම් “ කෙලින් වැඩ කිරීම , බය නැති කම “ වශයෙන් නිර්වචනය කරලා ඇගෙන් වාසි ගන්න පිරිසක් හිටියා. ඇයගේ නපුරට උපකාර කරලා ඔවුන් ඇගෙන් මුදල් සහ නොයෙක් ප්රයෝජන ගත්තා. ඉතින් ඔවුන් අතර බලයක් හිමි වීම සැබෑ ජීවිතේ කාගෙන්වත් ගරු බුහුමන් නොලබන ඇයට ලොකු තෘප්තියක් වුණා.

3) අඩු පෞර්ෂය

ඇය කුඩා කාලේ සිටම තමන්ගේ පෙනුම ගැන ලොකු දුකකින් සිටි කෙනෙක්. හැමෝම ඇයගේ පෙනුමට නොයෙක් දේ කිවීම මෙයට හේතු වුනා. ඇය හිතුවේ සැමියා වෙන ගැහැණු ඇසුරු කරන්නෙත් තමන්ගේ පෙනුමේ අඩුපාඩු නිසා කියලයි. එම නිසා ඇය රූපය වෙනුවෙන් විශාල මුදලක් වැය කළා. සමේ වර්ණය වෙනස් කරගන්න එන්නත් කළා. තට්ටම් වැඩි බව පෙනෙන්න ප්ලාස්ටික් ශල්ය කර්මයක පවා යෙදුනා.

හැම වෙලේම ඇය හිතුවේ පෙනුම විතරයි ගෑනියකගේ සියල්ලම කියල. මෙහෙම කරලත් සැමියාට වෙනත් සම්බන්ධයක් තිබීම සහ තමන්ට වඩා ලස්සන නැති වෙනත් ගැහැනියක් කෙරෙහි ආදරෙන් බැඳීම නිසා ඇගේ ආත්ම විශ්වාසය තව අඩු වුණා. නමුත් අවාසනාව කියන්නේ පෙනුම පසෙක තියල ආදරෙන් කරුණාවෙන් ඔහුට සලකන්න කියන අවවාදය ඇයට දෙන්න කවුරුත් බය වුණා.

4) අඩු අධ්යාපනය

නදීමා කියන්නේ නිතරම ඉගෙන ගත් කෙනෙක් දැක්කොත් වෛරයෙන් පුපුරා හැලෙන කෙනෙක්. ඇය පාසලේදී ඉගෙනීමට දක්ෂ වුනේ නැහැ. මුඩුක්කු පරිසරේක හැදුන වැදුන ඇය යන්තම් වයස 18 වෙද්දී විවහා වෙලා 19 වෙද්දී දරුවෝ ලැබුවා. පසුව ඉංග්රීසි පන්තියකට ගිහින් ඉගෙන ගත් නිසා ඇය හැමෝටම කීවේ එක දෙයයි.

“ ගෑනු ඉගෙනගෙන මොනවා කරන්නද? මම වගේ සුදු නම් ලස්සන නම්, ඉංග්රීසි පුළුවන් නම් කෙල්ලෙක්ට හොඳ සල්ලි කාරයෙක් හොයාගන්න පුළුවන්…. අප්පෝ චමරී ගේ දුව මහා ලොකුවට කැම්පස් යවනවා. ඔය කෙල්ලට බතක් උයාගන්න වත් උගන්නලා නැහැ. මොනවද ඔච්චර ලොකුවට උගන්වනවාද? “

ඇය ඉගෙන ගන්නා දරුවෙක් දැක්කොත් හෙලා තලාම කතා කරා.

නවල් එකක් හැර වෙන පොත පතක් නොකියවූ ඇය හිතුවේ ඉගෙනීම ගෑනු කෙනෙක්ට අත්යවශ්ය නැහැ කියලයි. නමුත් තමා නූගත් කෙනෙක් නිසා ඇය තරමක් කම්පාවෙන් සිටියේ. නදීමලා ඕනේ තරම් අද සමාජයේ ඉන්නවා. ඔවුන් ඇත්තටම සමාජයේ ජීවත් වන මිනිසුන්ට කරන කරදර වල නිමක් නැහැ. ඇත්තටම ඔවුන් මානසිකව නිරෝගී උදවිය නෙවෙයි. ඔවුන්ගෙන් සමාජයට වෙන අයහපත සලකලා ඔවුන් මනෝ වෛද්ය ප්රතිකාර වෙත යොමු කිරීම තමයි සමීප ඥාතීන්ගේ වගකීම වෙන්නේ. ඔබේ ආදරණීයයත් මේ වගේ නිතරම රණ්ඩු කරමින් අනුන්ට හිංසා කරනවා නම් ඔවුන් අතහැර දමන්න එපා. එයින් ඔවුන් තව තවත් සමාජයට හිංසාකාරී පුද්ගලයන් වෙනවා වගේම එයින්ම ඔවුන් විසාල අනතුරු වල වැටෙන්න පුළුවන්. එම නිසා ඔවුන්ව හැකි උපක්රමයක් යොදලා මානසික වෛද්ය වරයෙක් වෙතට යොමු කරවන්න.

Share Now

Related Article