සැමියා අධිකව සැක කිරීම මානසික රෝගයක්ද ?

Feb 12, 2020

ඕනෙම ලිංගිකත්වය පදනම් කරගත් සම්බන්ධයකදී ඊර්ශයාව කියන දේ ටිකක් හරි ගෑවිලා තියනවා කියන එක අපි දන්නවා. ඇත්තම කියනවා නම් විවාහයක් වගේ සම්බන්ධයකදී ආදරය නිසාම එවැනි දෙයක් වීම ස්වාභාවිකයි කියල ඔබ හිතන්න පුළුවනි. නමුත් මේ සැකය ජීවිතය ගෙන යා නොහැකි තරමට ඔබව අවුල් කරනවා නම් ඒ ගැන දැනුමත් වෙන්න ඕනේ. අද Goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා අපි ඔබව දැනුමත් කරන්න තීරණය කලේ මේ තත්වය ගැනයි.

Continue Reading Below

අඹු සැමි දෙදෙනාගේ සම්බන්ධයේ පදනම විශ්වාසයයි

දෙදෙනෙක් විවාහ වෙලා පවුලක් වශයෙන් බැඳිලා ඉද්දි ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි විශ්වාසවන්ත වීම අපේක්ෂා කරනවා. වෙනත් ගැහැණු හෝ පිරිමි පාර්ශවයක් සමග අනවශ්‍ය විදිහේ කතා, ගමන් බිමන්, ඇසුරක් පවත්වනවා නම් එය ඉතාම වැරදි වැඩක්. නමුත් අප සමග කතා කරන බොහෝ භාර්යාවෝ වගේම ස්වාමියෝ කියන්නේ සාමාන්‍ය ජීවිතේට හිරිහැරයක් වෙන විදිහට මේ අනිසි සැකය දුර යන අවස්තාවන් තිබෙන බවයි. මේ තත්වය Morbid Jealousy යනුවෙන් මනෝ විද්යාවේදී හඳුන්වනවා.

මොනවද මේ ව්යාධිමය ලිංගික ඉරිසියාවේ ලක්ෂණ ?
  • 1) සහකරුවා තව කෙනෙක් විසින් අයිති කර ගනීවි කියා නිතරම ඇතිවෙන අනිසි බිය

    සාමන්යයෙන් අනියම් සම්බන්ධතා වල පැටලීම සිදුවෙන්නේ කලාතුරකින්. නමුත් අදාළ රෝගය ඇති කෙනා නිතර දෙවේලේ හිතේ පීඩනයෙන් ඉන්නේ තමන්ගේ සහකරුවා වෙන කෙනෙක් සමග සම්බන්ධයක් ඇති කර ගනීවි කියල. මේ රෝගය වැළඳුන එක කාන්තාවක් සැමියාට රූපවාහිනිය බැලීම පවා තහනම් කළා, එහි සිටින ගැහැනුන් කෙරෙහි ඔහුගේ සිතේ ආකර්ෂණයක් ඇති වේවි කියල. මේ හැසිරීමට කිසිම හේතුවක් අවශ්ය නැහැ. ඒ කියන්නේ සහකරුවා අතින් වරදක් වෙන්න ඕනේ නැහැ. නිකන්ම රෝගියා බයෙන් තමා ඉන්නේ.

  • 2) සහකරුවාගේ ජංගම දුරකථන/ සමාජ ජාල ගිණුම් වගේ දේවල් පරීක්ෂා කිරීම

    තමන්ගේ සහකරුට වෙනත් සම්බන්ධතා ඇති බව මනෝමය වශයෙන් සිතන නිසා මොවුන් නිතරම ඉන්නේ සෙවිල්ලෙන්. සහකරුගේ ෆෝන් එක නිතර පරීක්ෂා කරනවා වගේම ෆේස් බුක් වගේ සමාජ ජාල වල ඔහු කාටද ලයික් දාන්නේ, ඔහුගේ ඒවාට කමෙන්ට් කරන්නේ කවුද වගේ ඔත්තු බලමින් සිටීමත් දකින්න පුළුවන්.

    ඇතැම් රෝගීන් සැමියාගේ/ බිරිඳගේ කාර්යාලයේ සිටින අයට පවා කෝල් කරලා බනින වෙලාවල් තිබෙනවා. සරලවම හේතුව සැමියාගේ ෆොටෝ එකකට ලයික් එකක් දැමීම හෝ කමෙන්ට් එකක් කිරීම විය හැකියි.

  • 3) යට ඇඳුම් / ඇඳුම් පරීක්ෂා කිරීම

    මොවුන් සහකරුවා ගැන නිතරම සැකෙන් ඉන්න නිසා ලිංගික හැසිරීමක සලකුණු දකින්න සහකරුවාගේ ඇඳුම් සහ යට ඇඳුම් පරීක්ෂා කරනවා. කුණු පැල්ලමක් තිබ්බොත් ඒ ගැන පවා ප්රශ්න කරනවා.

  • 4) සහකරු සමග වෙනත් කෙනෙක් සම්බන්ධ කරමින් ප්රශ්න කිරීම

    මෙම රෝගය ඇති පුද්ගලයන් නිතරම සිතන්නේ හැම පිරිමියාම/ ගැහැනියම තමන්ගේ සහකරු වෙත බැලුම් හෙලනවා කියලයි. සහෝදරයෙක් වුනත් කතා බහ කරොත් “ උඹට මොනවද ඌ එක්ක ඔච්චර කතා කරන්න තිබ්බේ? “ වගේ ද්වේශ සහගත ආකාරයෙන් රණ්ඩු කරනවා. ඇතැම් විට කායිකව පවා හිංසා පීඩා කරනවා.

  • 5) යන හැම තැනකම දූතයන් මාර්ගයෙන් විස්තර නැවත තහවුරු කර ගැනීම.

    තමාගේ බිරිඳ/ සැමියා යන තැන පරීක්ෂා කිරීම් කරන්න මොවුන් නිතරම දුරකතනයෙන් අමතමින් ප්රශ්න කරනවා. උදාහරණයකට බස් එකක ඉන්නවා කීවොත් “එහෙනම් ඇයි සද්දේ ඇහෙන්නේ නැත්තේ ?” වගේ විමසමින් සැක කරනවා. සැක කිරීම එදිනෙදා ජීවිතයේම කොටසක්.

    ඒ වගේම කාර්යාලයේ ඉන්න වෙනත් සේවකයන්, ඉගෙන ගන්නා තැනකට යනවා නම් එහි සිටින වෙනත් සිසුන් වගේ අය සම්බන්ධ කරගෙන සහකරු ගැන සියලුම දේ හොයනවා. ඔහු/ ඇය කියන දේ සත්යද කියල නැවත තහවුරු කරනවා.

  • 6) සහකරුගේ සමාජ සම්බන්ධතා සියල්ලම අහිමි කිරීම

    මෙවැනි රෝගියෙක් සමග විවාහ වෙන ගැහැණිය හෝ පිරිමියා අනිවාර්යයෙන්ම සමාජයෙන් ඈත් වෙනවා. යාළුවන් , මිතුරන් ඇසුරු නොකර සිටින්නට සිදු වෙනවා. පවුලේ සාමාජිකයන්ගෙන් පවා සෑහෙන්න දුරකට වෙන් කරනවා. මෙවැනි පවුල් වල සාමාන්යයෙන් ඉන්නේ ඔවුන් දෙදෙනා පමණයි. බාහිර සමාජයෙන් සහකරු වෙන් කරවනවා. කාර්යාලයක සාදයක් , උත්සවයක් වගේ දේකට වත් තමා නැතුව යන්න දෙන්නේ නැහැ. ගියත් කිසිම කෙනෙක් සමග හිතවත් වෙන්න ඉඩක් ලබන්නේ නැහැ.

මෙවැනි පුද්ගලයෙක් සමග විවාහ වෙලා ඉන්නවා නම් ඔබේ ජීවිතය අපායක් බව අමුතුවෙන් කියන්න අවශ්ය නැහැනේ. ජීවිතය හොඳින් ගත කරන්න මේ රෝගීන්ට අනිවාර්යයෙන්ම මානසික ප්රතිකාර සහ උපදේශනය අවශ්ය වෙනවා. ඉතින් ඔබේ ආදරනීයයා මෙවැනි අවාසනාවන්ත තත්වයකින් පීඩා විඳිනවා නම් බුධ්ධිමත්කම තමයි ඔහු/ ඇය ලඟම තිබෙන රෝහලේ මනෝ වෛද්ය සායනයට රැගෙන යාම.

Share Now

Related Article