පාසල් වලට ලිංගික අධ්‍යාපනය එපාද ?

Mar 5, 2020

පාසල් වල ලිංගික අධ්‍යාපනය ලබා දෙනවාට බොහෝ පිරිස් විරුද්ධ වෙන හැටි පහු ගිය ටිකේම දැක්කා.ඒ කරුණු ඉදිරිපත්කිරීමේ විලාශය ගැන සම්පුර්ණයෙන් එකඟ නොවුනත් ලිංගික අධ්‍යාපනය කියන්නේ නම් ඔය කියන තරම් හංගන්න ඕන රහසක් වත් මැජික් එකක් වත් නෙමෙයි. පසු ගිය කාලය පුරාවටම අහිංසක අසරණ ගැහැණු ළමයි ම්ලේච්ඡ විදිහට දුෂණය කරල, සමුහ දුෂණය කරලා ,මරපු අවස්ථා අපි ඇස් වලින් දැක්කා , ඒ වේදනාවන් අපි දෙමව්පියෝ විදිහට , මනුස්සයෝ විදිහට හිත් වලින් විඳේව්වා.

“ඒ දුෂකයෝ කව්රුත් සාමාන්‍ය ජීවිතේදී ඇඳුම් ගලවගෙන දුෂණය කරන්න දරුවෝ හෝ කාන්තාවෝ හොයා හොයා ඇවිද ඇවිද හිටියේ නැහැ .ඒ බහුතර දුෂකයෝ මේ අපි වගේම පිටතින්, සමාජේ ඉස්සරහ හොඳ මූන පෙන්නගෙන හිටපු මිනිස්සු”

Continue Reading Below

අපි ජීවත්වෙන මේ සමාජේ තව කොයි තරම් ඔය වගේ කිළුටු පිරිච්ච් දුෂිත සිතුවිලි පිරිච්ච් මිනිස්සු ඉන්නවා ඇත්ද ? අපේ ගෙවල් අවට, අපේ පවුල්වල පවා ඇති .මොකද ඔය වගේ අපරාධ කරපු බොහෝ මිනිස්සු දරුවෝ, ගෑනු ඉන්න සාමාන්ය ජීවිත ගත කරපු අය.

ලංකාව ඉන්දියාව වගේ තුන්වෙනි ලෝකේ රටවල් sex කියන වචනේ ප්‍රසිද්ධියේ කතා කරන්න පුදුම බයක් තියෙන්නේ, ලිංගික අධ්‍යාපනය දරුවොන්ට උගන්නන එක මහා අපරාධයක් විදිහටයි සලකන්නේ. එක නිසා දරුවෝ තරුණ වයසට එනකොට ඔලුවට වැටෙන්නේ sex කියන්නේ කතා කල යුතු නැති අමුම අමු රහසක් කියල.

ඉතින් තරුණ දරුවන්ට sex ගැන අමුතු කුතුහලයක් ඇතිවෙනවා, හෝමෝන වල ඇති වන වෙනස්කමුත් එක්ක ශරීරයෙනුත් එකට හොඳ තල්ලුවක් දෙනවා, ඉතින් තරුණ දරුවෝ පිස්සුවෙන් වගේ මේ කුතුහලයෙන් යුතු ලිංගිකත්වය ගැන හොයන්න පටන් ගන්නවා. යාළුවොත් එක්ක කතා කරනවා, අන්තර්ජාලයේ පිස්සුවෙන් හොයන්න ගන්නවා.

ග්‍රාමීය වෙන්න වෙන්න රහසේ රස වැඩි වෙලා ඒ ගැන හොයන එක වැඩිවෙන්න ගන්නවා .ඒකේ ප්‍රථිපල විදිහට ස්ත්‍රී දුෂණ, ලිංගික අපචාර නගරෙට සාපේක්ෂව ගම් පලාත්වල වැඩියි .මොකද ඒක මහා ලොකු මැජික් එකක් කියල තමයි නොදියුණු පලාත්වල මිනිස්සු හිතන් ඉන්නේ.

ලිංගිකත්වය එහෙමත් නැත්තම් sex කියන්නේ මොකක්ද කියල අපේ දරුවන්ටත් පාසල් වල උගන්නන්න තිබ්බේ ගොඩක් කලින්. පහුවෙලා හරි මේ දේවල් උගන්නන්න තීරණය කරපු කර ඉතාම වැදගත්. එහෙම ඉගැන්නුවත් නැතත් දෙමව්පියෝ විදිහට අපේ දරුවන් අපරාධකාරයෝ නොකරන්න සහ අපරධ වලට ගොදුරු වීම වළක්වාගන්න ඔවුන්ට නිසි වයසේදී ලිංගිකත්වය මුලික අවබෝධයක් ලබා දිය යුතුයි. ඒ අවබෝධය මගින් දරුවන් අතින් අනාගතයේ අපරාධ ඇතිවීම සහ දරුවන් අපරාධ වල ගොදුරු බවට වීම අඩු වෙනවා.

දෙමව්පියෝ SEX කියන්නේ මේකයි කියල දරුවන්ට නිසි වයසේදී කියල නොදී නොදී හැංගුවා කියල දරුවෝ මේ දේවල් ඉගන නොගෙන ඉන්නේ නැහැ, මොකද ලිංගිකත්වය කියන්නේ ස්වාභාවදහමේම කොටසක් සහ මූලික මිනිස් අවශ්ෂ්‍යතාවයක්.
ලිංගිකත්වය එහෙමත් නැත්තම් SEX කියන්නේ දරුවන්ගෙන් හංගල සීල් කරල වහල තියන්න තරම් රහසක් නෙමෙයි.

SEX කියන්නෙත් බඩගින්න, නිදිමත, මෙන්ම තවත් එක මුලික අවශ්ෂ්‍යතාවයක් පමණක් බවත් ඒ අත්දැකීම් සඳහා නියමිත වයසක්, පිළිවෙලක්, තියන බවත් අමුතුවෙන් හොයා හොයා මනසින් රසවිඳින්න තරමේ රහක් හෝ සුවිශේෂිත්වයක් ඒ තුල නොමැති බවත් තරුණ දරුවන්ට වැදගත් විදිහට කියල දෙන එක දෙමව්පියන්ගේ යුතුකමක්.

මෙවැනි දේ දරුවන් සමග කතාකිරීම සදාචාර විරෝදී කියල කුමන හෝ දෙමව්පියෙකුට හිතුනද දරුවෝ ඒ ඒ කාලවලදී ඒ දේවල් හොයන්න පෙළඹෙන එක නවත්තන්න දෙමව්පියන්ට බැහැ, ඔවුන් සමාජෙන්, යාලුවන්ගෙන්, තාක්ෂණික මෙවලම් මගින් හෝ අන්තර්ජාලයෙන් හෝ මේ දේවල් සෙවීම අසාමාන්ය දෙයක් නෙමෙයි, එනිසා දෙමව්පියෝ ගෙදරදී මුලින්ම හරි කොටස තෝරලා බේරලා කියල නොදුන්නොත් වෙන්නේ හරි කොටසයි වැරදි කොටසයි දෙකම දරුවෝ සමජෙන්ම ඉගන ගන්න එකයි. එන්න එතැනදී තමන්ගේ සීමාව නොදැන දරුවෝ අමාරුවේ වැටෙනවා.

ඒ රහට අනවශ්ය විදිහට ඇබ්බහි උනාම, හෝ සමාජේ ගොදුරක් උනොත් දරුවෝ පසුකාලීනව දෙමව්පියන්ට ඒ සිද්ධීන් කියන්න පවා බය වෙනවා මොකද ඒ වගේ මාතෘකා වලදී දෙමව්පියන් දරුවන් හා විවුර්ථ නොවීම් නිසා .අවසානයේ දුෂකයෝ පාඩුවේ තමන්ගේ ගොදුර ඩෑහැ ගන්න එකයි වෙන්නේ.

ගැහැණු දරුවනට ,පිරිමි හෝ ගැහැණු හෝ දෙමව්පියන් නොවන ඔනෙම අයෙක් පිටස්තරයෙක් පමණක් බවත් , ඒ ඕනෑම අයෙකු සමග සම්බන්දතා , පැවැත්විය යුතු සීමාව සහ ඒ වගේ නොගැලපෙන යෝජනාවකදී හැසිරිය යුතු ආකාරය කියා දෙන එක , නිතරම තමන්ගේ දරුවන් ගැන අවදානයෙන් ඉන්න එක දෙමව්පියෝ කල යුතුම දෙයක්.

අනේ ඒ මල්ලි අපේ යාලුවෙක් එයා එහෙම නැහැ, ඒ ළමය අපි හොඳට දන්නා යාලුවෙක් එයා අපේ දරුවන්ට අපි වගේම ආදරෙයි කියා සිතමින් දරුවන්ගේ ජීවිත පිට කිසිවෙකු ළඟ උගසට තැබීම ඉතා අවදානම් , බොහෝ ස්ත්‍රී දුෂකයෝ ලිංගික ආරාධකාරයෝ පවුල් ලඟම හිටපු හුඟක් විශ්වාසවන්තයෝ, ඒ නිසා තමයි කතාවටත් කියන්නේ කියන්නේ ඉනෙනේ පහලට නෑදෑකම් යාළුකම් නැහැ කියල.

පුත්තු ඉන්න දෙමව්පියෝ අතේ තමා අනාගත ස්ත්‍රී දුෂණ ගැන වැඩිම වගකීම තියෙන්නේ.පොඩි කාලේ ඉඳල අනුන්ට හිංසාවක්, අනුන් පීඩාවට පත් නොකර සතුටු වෙන විදිහ දරුවන්ට කියල දීල ගැහැණු කියන ජීවීන් ගැන ඉතා සුන්දර ගෞරවනීය චිත්‍රයක් අඳින්න පුළුවන් දරුවන්ගේ දෙමව්පියන්ට තමයි.

ගෙදර තාත්ත අම්මට ගරු කරන විදිහ, අම්ම අනිත් ගැහැනුන්ට ගරු කරන විදිහ, ගැහැණු ආරක්ෂා කිරීමේ ආදරය කිරීමේදී පිරිමි සතු වගකීම, සහ පිරිමියෙක් සහ පුතෙක් යනු කිසිම විටක ගැහැණියෙක් අකමැත්තෙන් කිසිම කාන්තාවකගේ ශරීරයට අත තියන්න ඕන නැති තරමේ පෞරුෂවත් මිනිස් කොට්ටාශයක් බව පුතාලට කියල දෙන්න.

එතකොට වර්තමානේ කෙසේ වෙතත්, අපේ දරුවෝ ලොකු වෙන කාලෙක වත් තමන්ට අයිති නැති, තමන්ට අකමැති ගැහැනියෙක්ගෙන් තමාගේ හැගිමක් ඉෂ්ට කරගන්න යන්න තරම් අමානුෂික, ලජ්ජාසහගත පව්කාර තරුණ පරම්පරාවක් බිහිවෙන එකක් නැහැ.

මොකද මේ යන රටාවත් එක්ක දරුවන්ට ජංගම දුරකථන ලබාදීම නතර කිරීම, අන්තරජාල පහසුකම් ලබා නොදීම ප්රයෝගික නැහැ. මුළු ලෝකෙම එකම විශ්ව ගම්මානයක් වෙලා තියන තාක්ෂනික යුගයක ගෙදරින් දුන්නේ නැත්ත් යාලුවෙක්ගෙ පොන් එකකින් හරි ඔවුන් තමනට අවශ්‍ය දේ හොයන්න පෙළඹෙනවා. ඒ නිසා වියයුත්තේ දරුවන් තරුණ අවදියට එනකොටම ඔවුන්ගේ ආකල්පවල වෙනසක් ඇති කරන එක තමයි.

දෙමව්පියෝ පුල පුලා කියනකොට, සහ දරුවන් ඉස්සරහ වැදගත් විදිහට හැසිරෙනකොට, ලිංගිකත්වය කියන්නේ පට්ට රහසක්වත්, මැජික් එකක්වත් නෙමෙයි කියල තේරෙනකොට, දරුවෝ අපරාධ වලට යොමුවෙනෙක සහ ගොදුරු වෙන එක ඉබේම අඩු වෙනවා.

ඒ නිසා හණමිටි අදහස් ඔලුවෙන් අයින්කරලා ,තමාගේ දුවට කියා දෙන්න කාගෙවත් වුවමනා එපා කම් වල ගොදුරක් නොවී ජීවත් වෙන හැටි ,පුතාට උගන්නන්න පිරිමි ගැහැනුන්ට රිද්දල බලහත්කාරෙන් , අකමැත්තෙන් හිනාවක් වත් බලාපොරොත්තු නොවිය යුතු ගෞරවනීය ජාතියක් බව.

එතකොට අනාගතේ වත් මෙවැනි ස්ත්‍රී දුෂකයෝ, ලිංගික අපරධකාරයෝ අඩු වෙයි.මොකද දරුවෝ මේ ලෝකෙට බිහිකරලා, කන්න අඳින්න දීල, උගන්නල,සමාජෙට කරදරයක් නැති මිනිස්සු විදිහට සමාජ ගත කරනකම්ම දරුවා ගැන වගකීම තියෙන්නේ දෙමව්පියො අතේ.

මෙන්න මේ දේවල් පිළිවෙලකට කියල දෙන එකාට තමා ලිංගික අධ්‍යාපනය කියන්නේ, නැතුව පාසල්වල මේවා කරන විදිහ ප්රයෝගිකව උගන්වන්නේ නෑ. 🙅🏻♀️

ලිංගික අධ්‍යාපනය කියන්නේ වැරදි දෙයක් නෙමෙයි, දරුවෝ අපරාධවල ගොදුරු බවට පත් නොකරන්න නම් දරුවන්ට ඉගැන්විය යුතුම කොටසක්.

අනිශා ජයකොඩි

සිංගපූරුවේ සේවය කරන අනිෂා ජයකොඩි මහත්මිය ප්‍රවීණ සමාජ මාධ්ය ලේඛිකාවකි. ගීත රචකාවියකි. ඇගේ මෙම සටහන නොමිලේ Goodhousekeeping.lk වෙබ් අඩවිය වෙත ලබා දුන් බව ස්තුතිපූර්වකව මතක් කර සිටිමු)

Share Now

Related Article