මාරාන්තික ගැබ්ගෙල පිළිකා හඳුනා ගන්නේ කෙසේදැයි ඔබ දන්නවාද?

Dec 14, 2015

පිළිකා අතරින් ශ්‍රී ලංකාවේ වැඩිම කාන්තාවන් පිරිසක් ගොදුරු වන්නේ පියයුරු පිළිකාවට වන අතර එහි දෙවන තැන ගන්නේ ගැබ්ගෙල පිළිකාවයි. මාරාන්තික විය හැකි ගැබ්ගෙල පිළිකාව කල්තබා හඳුනාගෙන ඊට නිසියාකාර ප්‍රතිකාර ලබා ගතහොත් එයින් සම්පූර්ණ සුවය ලැබීමට හැකියාව පවතිනවා.

Continue Reading Below


ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වන කාන්තාවන්ගෙන් 95% ක්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන HPV, එනම් ‘හියුමන් පැපිලෝමා’ (Human Papilloma Virus) නම් වෛරසය ආසාධිත වූවන් වනවා.

අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්ට, බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට, බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් සමග ලිංගිකව සම්බන්ධ වන කාන්තාවන්ට, අනාරක්ෂිත ලිංගික සබඳතා පවත්වන කාන්තාවන්ට මෙන්ම අක්‍රීයව හෝ සක්‍රීයව දුම් පානයේ යෙදෙන කාන්තාවන්ට හා විවිධ රෝග සඳහා ප්‍රතිශක්තීකරණය හීන කරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට ද ගැබ්ගෙල පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බව කිව යුතුයි.

පහත දැක්වෙන්නේ ගැබ්ගෙල පිළිකා අවදානමක් පවතීද යන්න කල් තබා හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක්. ඔබත් ඒවා අත්විඳී නම් වහාම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු හමුවීම නුවණට හුරු ක්‍රියාවක් වනවා.

යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස ශ්‍රාවයන් පිටවීම.

පිළිකාව ගැබ්ගෙල තුල වර්ධනය වන විට ගර්භාෂ බිත්තියේ සෛල බිඳීමකට ලක්වීම මෙයට හේතුවයි. මේ ශ්‍රාවයන් අධික දුර්ඝන්දයකින් යුතු වනවා.

අභ්‍යන්තරව හා බාහිරව ඇතිවන ඉන්නන්

ප්‍රකට ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක් වන රෝසා මරියා ලෙම් ට අනුව මෙසේ ඇතිවන ඉන්නන් ද ගැබ්ගෙල පිළිකා ඇතිවීම සම්බන්ධයෙන් වන අනතුරුදායක සංඥාවක් ලෙස සැලකිය හැකියි.

යෝනි මාර්ගය තුලින් සිදුවන අක්‍රමවත් රුධිර වහනය

පිළිකාව ගැබ්ගෙලේ බිත්ති මත වර්ධනය වන විට ඇති වන වියළීමේ ස්වභාවය හා පටක බිඳීම නිසා වේදනාවක් හා රුධිර වහනයක් සිදුවිය හැකියි. ඇතැම්විට ගුද මාර්ගයෙන් හෝ මුත්‍රා කරන විටද මෙය සිදු විය හැකියි. එම නිසා ඔසප් සමයෙන් බාහිරව රුධිර වහනයක් සිදුවන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

රක්තහීනතාවය

ආහාර පුරුදු එලෙසම තිබියදී වුවද තෙහෙට්ටුවක් දැනීම, ස්වල්ප වශයෙන් වෙහෙසීමකට පසු වුවද හෘද ස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස වැඩි වීම රක්තහීනතාවයේ ලක්ෂණ වනවා. ගැබ්ගෙල පිළිකාව වර්ධනය වනවිට සිදුවන අක්‍රමවත් රුධිර වහනය නිසා රක්තහීනතාවය ඇතිවිය හැකි බව මතකයේ තබා ගැනීම වැදගත්.

මුත්‍රා පිටකිරීමේදී ඇති වන ගැටළු

ගර්භාෂය ප්‍රසාරණය වීම නිසා මුත්‍රාශය හා වකුගඩු තෙරපීමකට ලක්වනවා. එවිට මුත්‍ර මාර්ගය අවහිර වීමකට ලක්වන අතර ඒ හේතුවෙන් නිසියාකාරව මුත්‍රා පිටකිරීමට නොහැකි වීම සහ මුත්‍ර පිට කරන විට දැඩි වේදනාවක් ඇති විය හැකියි.

දෙපා වල , උකුළු ප්‍රදේශයේ හා කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන නොනවතින වේදනාව

ගැබ්ගෙල ප්‍රසාරණය නිසා ඇති වන අභ්‍යන්තර අවයව තෙරපීම හේතුවෙන් රුධිර නාල අවහිර වීම සිදුවනවා. එම නිසා ඉහත දැක්වූ ලෙස වේදනාව ඇති වීම මෙන්ම දෙපා වල මෙන්ම ඇස්වටය ප්‍රදේශයද ඉදිමීමකට ලක්විය හැකියි.

බර අඩුවීම

පිළිකා නිසා සිදුවිය හැකි තවත් දෙයක් වන්නේ ආහාර රුචියක් නොමැති වීම හෝ ආහාර රුචිය අසාමාන්‍ය ලෙස අඩු වීමයි. ගැබ්ගෙල ප්‍රසාරණය වීම නිසා අමාශයේ සිදුවන තෙරපීම මෙයට එක් හේතුවක් විය හැකියි.

කෙසේ වෙතත් ඔබ විසින් වටහා ගත යුතු වැදගත්ම දෙය වන්නේ ඉහත ලක්ෂණ ඇතිවීම යනු ඔබට නියත වශයෙන්ම පිළිකාවක් වැළඳී ඇති බවට ලැබෙන සහතිකයක් නොවන බවයි. එය තීරණය කළ හැක්කේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුට පමණක් වනවා. ඔබ ගැබ්ගෙල පිළිකා අවදානමක සිටිනවාද නැද්ද යන්න පිලිබඳ පැප් පරීක්ෂාවකින් කල්තියා දැනගත හැකියි. මාසික ඔසප් වීම සිදු නොවන දිනයක රජයේ රෝහලකින්, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පවත්වන ‘සුවනාරී’ සායනයකින් හෝ පෞද්ගලික රෝහලකින් ඔබට මෙම වේදනා රහිත සරල පරීක්ෂණය සිදු කරගත හැකියි,

Share Now

Related Article