තරබාරු වදයෙන් මිදීමට නිසියාකාරව ව්‍යායාම කරන හැටි ඉගෙන ගනිමු

Jul 11, 2016

තරබාරු බව කියන්නේ අද වන විට කුඩාම දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා මේ හැමෝම එක ලෙස පීඩා විඳින තත්වයක්. තමන්ගේ රුව ගැන හොඳටම සැලකිලිමත් වන කාන්තාවන්ට මෙය විශේෂයෙන්ම හිරිහැරයක් වගේම මානසික වදයකුත් වෙනවා.

Continue Reading Below

ඉතින් මේ තත්වයට පිලියමක් ලෙස බොහෝ දෙනා සිදු කරන්නේ ආහාර පාලනය කිරීමයි. ඒත් තරබාරු බැවින් මිදෙන්නට ආහාර පාලනය විතරක් මදි. සහනයක් ලැබෙන්න නම් සිරුරට නිසියාකාරව ව්‍යායාම ලැබෙන්නත් ඕන. නැත්නම් වෙන්නේ ආහාර මදකම නිසා සිරුර බලා ඉද්දි වැහැරී යන එක. එහෙම වෙනවට කවුරුත්ම කැමති වෙන එකක් ඇතිය කියල අපි නම් හිතන්නේ නැහැ. ඒ නිසා තරබාරු බව දුරලන්න හරියට ව්‍යායාම කරන්නේ කොහොමද කියල මේ ලිපියෙන් විමසා බලමු.


ව්‍යායාම කිරීමේ වැදගත් කම

ව්‍යායාමයක නිරත වීමේ දී සිරුරේ ශක්තිය වැය වෙනවා. ඊට ශක්තිය සපයන්නේ සිරු‍රේ තැන්පත් වී ඇති තෙල් දහනය වීමෙන්. ව්‍යායාමයේ දී තරබාරු බවට හේතු වන තෙල් බර අඩු වෙනවා. ඒ වගේ ම ව්‍යායාමයේ දී සි‍රුරේ පේශීන් වර්ධනය වෙනවා. එහිදී ශරීරයේ ශක්තියත්, නම්‍යතාවයත් වැඩි වී ක්‍රියාශිලීබව හා උද්‍යෝගි බව වැඩි වෙනවා.


සිරුරේ බර අඩු කිරීමට සුදුසුම ව්‍යායාම

හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කරමින් කරන ව්‍යායාම ‘සවායුක ව්‍යායාම’ (Aerobic Exercises) ලෙස හැඳින්වෙනවා. ඊට ප්‍රතිවිරුද්ධව එනම් හුස්ම ගැනීමේ වේගයට ඔරොත්තු නොදෙන තරමේ වේගයෙන් තටමමින් කරන ව්‍යායාම ‘නිර්වායුක ව්‍යායාම’ (Anaerobic Exercises) ලෙසත් හඳුන්වනවා. බර ඉසිලීම, කෙටි දුර වේගයෙන් දිවීම වැනි ව්‍යායාම ඊට උදාහරණයි.

සිරුරේ බර අඩු කර ගැනීමේ දී වඩාත් සුදුසු සවායුක ව්‍යායාමයයි. වේගයෙන් ඇවිදීම, ලණුව කරකවමින් උඩ පැනීම (skipping) බයිසිකල් පැදීම, සෙමින් දුර දිවීම, පිහිනීම සහ සංගීතයට අනුව රිද්මයකට නැටීම ආදිය මේ වර්ගයට අයත් ව්‍යායාමයන්. මෙම ව්‍යායාම මඟින් කලව, අත්වල පේශි, කෙණ්ඩ, පිට, බෙල්ල ආදී ස්ථාන ව්‍යායාමයට ලක්වෙනවා.


දිනපතා ව්‍යායාමවල නිරත වීම අවශ්‍යයද?

දිනපතා ව්‍යායාම නොකළත් බර අඩු කර ගැනීමට නම් අඩු තරමින් සතියකට දින 3 ක් හෝ ව්‍යායාම කළ යුතුයි. අඩු තරමින් එක දිගට විනාඩි 30 ක් හෝ හොඳින් දහදිය වැටෙන තෙක් ව්‍යායාම කළ යුතුයි. එක ව්‍යායාමයකදී අඩු තරමින් කැලරි 300 ක් හෝ වැය නොවුණේ නම් ඒ ව්‍යායාම කිරීමෙන් ප්‍රයෝජනයක් නෑ.


බර මැනීම

ව්‍යායාම කරන අතරේ සතියකට වරක්වත් බර මැනීම ද කළ යුතුයි. වෛද්‍ය උපදෙස් නැතිව සතියකට රාත්තල් 2කට (කිලෝ ග්‍රෑම් 1කට) වඩා බර අඩු කරගැනීම ද සුදුසු නොවේ.

ඒ නිසා සෑම සතියකම දවසේ එකම වේලාවක එකම තරාදියෙන් බර කිරා ගැනීමට අමතක නොකළ යුතුයි.


ව්‍යායාම කරන අතරතුර ජලය පානය කිරීම

ව්‍යායාමයේ දී දහදිය ලෙස සිරුරෙන් විශාල ලෙස ජලය පිටවෙනවා. ඒ නිසා සිරුරේ ජලය අඩු වී ඇඟ විජලනයට පත් වෙනවා. එය සිරුරේ ක්‍රියාකාරීත්වයට (පරිවෘත්තියට) සුදුසු තත්ත්වයක් නොවේ. ඒ නිසා වතුර බී සිරුර හොඳින් සජලනය වී තිබීම අත්‍යවශ්‍යයයි. ව්‍යායාමයට පෙර එකවර වතුර වීදුරු කිහිපයකින් කුස පුරවා ගත්තේ නම් ව්‍යායාමයේ දී යම් අපහසුවක් ඇතිවිය හැකියි. ව්‍යායාමයට පෙර සහ නිරතවන අතර ටික ටික වතුර පානය කිරීම වැදගත්. එවිට සිරුරට දැනෙන තෙහෙට්ටුව ද මඟහරවා ගත හැකියි.


සැලකිලිමත් විය යුතු වෙනත් දෑ

ඔබ යම් රෝගාබාධයකින් පෙළෙනවා නම් ව්‍යායාම නුසුදුසු විය හැකියි. විශේෂයෙන් හෘදයාබාධයකින් හෝ දියවැඩියාවෙන් පෙළේ නම් ඔබට සුදුසු ව්‍යායාමයක් පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

Share Now

Related Article