අඩි උස පාවහන් පැළඳීම නිසා රෝගාබාධ ඇතිවන්නේ මෙහෙමයි

Jul 8, 2016

විලාසිතා කිරීම මගින් සිත් ඇද බැඳ ගන්නා අයුරෙන් සිටීමට ඕනෑම කාන්තාවක් කැමතියි. ඔය කියන විලාසිතා අතරින් පාවහන්වලට හිමිවන්නේ ප්‍රමුඛ පෙලේ ස්ථානයක්.

කතාවක් තියෙනවනේ 'උසස් පාවහන් ඔබව උසස් ස්ථානවලට රැගෙන යයි' කියල. ඉතින් ඒ නිසාද මන්දා කොහොමහරි පාවහන් තෝරාගැනීමේදී ඒවා ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න කාන්තාවන් පුරුදුව සිටිනවා.

Continue Reading Below


සපත්තු කඩේ රාක්ක අතරේ ඇවිද ඇවිද සපත්තු හොයනකොට අඩි උස සපත්තු ළඟ අපේ කාන්තාවන්ගේ ඇස් නවතින්නේ එයාලටත් නොදැනීමයි. ඒ අඩි උස සපත්තු නිසා තමන්ට අමුතුම ආකර්ෂණීය බවක් වගේම අමුතුම ලාලිත්‍යයකුත් ලැබෙනවා කියල දන්න නිසා. හැබැයි ඉතින් ලස්සන වුණාට අඩි උස සපත්තු දාගෙන ඇවිදින එක නම් ලේසි වැඩක් නෙවෙයි. ඒත් ඉතින් ලස්සනට ඉන්න ටිකක් දුක් විඳින්නත් වෙනවනේ කියල හිතෙන අය හැමදාම මේවා පළඳින එක පුරුද්දක් කරගන්නවා. ප්‍රශ්න එන්නේ අන්න එතකොටයි.

දිනපතාම අඩි උස සපත්තු දාන්නට පුරුදු වුණොත් කල් යාමේදී ඔබේ ශරීරයේ නොයෙක් ආබාධ ඇතිවෙන්නට හැකියාව තිබෙන බව මීට කලින් අහල තිබුණද? අහල තිබුණත් ගණන් නොගෙන හිටියද? එසේනම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි.

දිගු කලක් අඩි උස පාවහන් පැලඳීම නිසා කොන්දේ වේදනා ඇතිවීමටත් දණහිස්, වළලුකර, කෙණ්ඩ ප්‍රදේශයේ මාංසපේශිවල වේදනා සහ යටි පතුල් ආබාධයට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේම ශ්‍රෝණි කුහරයේ සහ උදර කුහරයේ ඇති සමහර අවයවවල පිහිටීම වෙනස් වන්නට පුළුවන් වීම තමයි මෙතන තියෙන ලොකුම අවදානම වෙන්නේ. ඔය මොන දේ වුණත් අන්තිමට වෙන්නේ දුක් විඳින්න වෙන නිසා ඊට කලින් මේවා දැනගෙන ඉන්න එක හොඳයි.


පාදයේ හැඩය

පාදයේ පතුල වක්‍රාකාරයි. මේ හැඩය නිසා අපි සිටගෙන සිටින විට හෝ ඇවිදින විට ශරීරයේ බර සමානුපාතිකව පාද කරා අවතීර්ණ වෙනවා. ඉතින් අසමතුලිත පෘෂ්ඨයක් මත ඇවිදීමේදීත් දුවන පනින අවස්ථාවලදීත් මෙම වක්‍ර බොහෝ ප්‍රයෝජනවත්. එවැනි අවස්ථාවල දී ඇතිවන කම්පන අවශෝෂණය කරගනිමින් සිරුර ආරක්ෂා කරන්නේ මෙම වක්‍රයි.


අඩි උස පාවහන් පැළඳීමේදී පාදවලට වන බලපෑම

අඩි උස සපත්තු දානකොට විළුඹ තරමක් උසින් පිහිටන නිසා ශරීරයේ බර ගමන් කරන්නේ පාදයේ ඉදිරිපසට හා ඇඟිලිවලටයි. මෙහිදී වැඩි පීඩනයක් ඇති වන්නේ මහපට ඇඟිල්ල මුලටයි. මෙවිට ශරීරයේ සමතුලිතාව බිඳී සිරුර මඳක් ඉදිරිපසට ඇලවෙනවා. එවැනි අවස්ථාවකදී ඒ සපත්තු දාගෙන ඉන්න කෙනාට සිද්ද වෙන්නේ උඩුකය ටිකක් පසුපසට ඇලකරලා ශරීරයේ සමතුලිත බව රැක ගන්නයි.

ඒ වගේම මෙතැනදී කොඳුඇටපෙළේ යට කොටසේ ඇති කටී වක්‍රය ස්වාභාවිකව පිහිටා ඇති ප්‍රමාණයට වඩා විශාල වෙනවා. ඉතින් සපත්තු දාගෙන ඉන්න මොහොතෙදි ශරීරයට කැපී පෙනෙන හැඩයක් ලැබෙනවා.

තවද වළලුකර සන්ධියේ පිටුපස පිහිටා ඇති ඛණ්ඩරා කෙටිවී කෙණ්ඩ ප්‍රදේශයේ මාංස පේශි සංකෝචනය වෙලා වගෙයි මේ සපත්තු දාගෙන ඉන්න වෙලාවෙදි සිදුවන්නේ.


දිගුකාලීන බලපෑම

රුධිර සංසරණයට වැදගත් මෙහෙයක් සලසන කෙණ්ඩ ප්‍රදේශයේ මාංසපේශි බොහෝ වේලා සංකෝචනය වී තදවී තිබීම නිසා රුධිර ගමනාගමනය නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. මේ නිසා නිතර අඩි උස පාවහන් පලඳින කාන්තාවන්ට නහර ගැට ගැසීමේ තත්ත්වය ඇතිවීමට පුළුවනි. තවද සිරුරේ බර නිසි පරිදි පාදවලට ව්‍යාප්ත නොවී පාදයේ ඉදිරි කොටසට පීඩාකාරී ලෙස බලපෑම නිසා පාද වේදනාව හා ස්නායු තෙරපීමෙන් හිරි ගතියක් පවා ඇති වෙනවා.

දීර්ඝකාලීනව පවතින කොන්දේ වේදනාව හා දණහිස් ආබාධ මෙහි තවත් ප්‍රතිඵලයක් තමයි.

අඩි උස සපත්තු දාගෙන හිටගෙන ඉන්න කොට මහපට ඇඟිල්ලට වැඩි පීඩනයක් ඇතිවීමෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ වේදනා ඇතිවෙනවා. ඒ වගේම ඇඟිලි පාවහන් තුළ හිරවීම නිසා මහපට ඇඟිල්ල ඇතුළට ඇදවී පසුකාලීනව ඇවිදීමේ අපහසුතා ඇති වෙන්නටත් ඕනෑවටත් වඩා ඉඩ තිබෙනවා.


ගැළපෙනම අඩි උස සපත්තු

වෛද්‍යවරුන් පවසන්නේ අඟල් 2ක් පමණ උස ඇති පාවහන් පැළඳීම සුදුසුයි කියායි. කොහොම නමුත් අඩි උස පාවහන් දවසකට පැය 4-5 කට වඩා දාගෙන ඉන්න එපා කියලයි ඔවුන් කියන්නේ. කොහොමත් සතියකට දෙතුන් පාරකට වඩා දාන එක කොහෙත්ම හොඳ නැතිලු.

Share Now

Related Article