උදරය නෙරා ඒම අඩු කරගැනීමට කළ හැකි දෑ 4ක්

Jun 11, 2016

උදරය ඉදිරියට නෙරා ඒම බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නයක්. ඕනෑම කෙනෙක්ගේ උදරය වටා යම් තෙල් තට්ටුවක් තිබීම සාමාන්‍ය තත්වයක්. ගැටළු සහගත තත්ත්වයක් මතුවන්නේ උදරය වටා අනවශ්‍ය ප්‍රමාණයට තෙල් තැන්පත් වීමත් සමගයි.

Continue Reading Below


සමට ඉතා ආසන්නයෙන් සම යට ඇති තෙල් තට්ටුව පමණක් නොව අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගේ මේද අනවශ්‍ය මට්ටමකින් තැන්පත් වීම සිදු විය හැකියි. එසේ සිදුවීම නම් සෞඛ්‍යයට එතරම් හොඳ නැහැ. උදාහරණයක් ලෙස හදවතේ, පෙනහළු, අක්මාව ආදිය සඳහන් කල හැකියි. අධි රුධිර පීඩනය, පිළිකා මෙන්ම හෘදයාබාධ ද ඇති වීමට බලපාන්නේ මේ තත්වයනුයි.

මේද තට්ටු නිසා ඉදිරියට නෙරා එන උදරය අඩු කිරීමට කළ හැකි දේ කිහිපයක් පහත දැක්වෙනවා.


ව්‍යායාම

හොඳින් ව්‍යායාම කරන විට උදරය අවට ඇති මේද තට්ටු වගේම අභ්‍යන්තර අවයව වල ඇති මේද තට්ටුත් කෙමෙන් කෙමෙන් දියවී යාම ඇරඹෙනවා. අවම වශයෙන් සතියට දින 5ක් වත් විනාඩි 30ක් බැගින් වත් ක්‍රියාශීලී ව්‍යායාම සිදු කල යුතුයි. ව්‍යායාම කිරීම ඇරඹීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට බඳුන් වී ඔබේ ශරීරය ව්‍යායාම පෙළක් කිරීමට සුදුසු මට්ටමක වේද යන්න වෛද්‍යවරයාගෙන් උපදෙස් ගැනීම සුදුසුයි. ඔබේ ව්‍යායාමය හදවතේ ක්‍රියාකාරීත්වය වැඩි කරන එකක් විය යුතු අතර එම ව්‍යායාම නිසා නාඩි වැටීමේ වේගය වැඩි වී, වේගයෙන් හුස්ම ඉහල පහල දමන තත්වයට පැමිණිය යුතුයි

ඉහත කී සියලු දේ කරන අතරම, තමන්ගේ නිවසේ ඇති පිරිසිදු කිරීම්, මල් පාත්ති සැකසීම්, වගාවක් පවත්වාගෙන යාම ආදිය කිරීමෙන් ඔබේ “බඩ අඩු කර ගැනීමේ” ව්‍යාපෘතිය තවත් සාර්ථක වන බව කිව යුතුයි.


සමබල ආහාරවේලක් ලබා ගැනීම

බොහෝ දෙනෙක් උදරය නෙරා ඒම අඩු කර ගැනීමට කරන්නේ දරුණු ලෙස ආහාර පාලනය කිරීමයි. එය නිෂ්ඵල ක්‍රියාවක්. ඔබ කල යුත්තේ පෝෂණ ගුණය වැඩි ආහාර වැඩිපුර ගෙන පෝෂණ ගුණය අඩු ආහාර වගේම අනවශ්‍ය ලෙස තෙල්, සීනි, ලුණු ආදිය ඇති ආහාර අඩු කර ගැනීමයි.


සුව නින්දක් ලබා ගැනීම

ඕනෑම පුද්ගලයකුගේ ශරීරයට නින්ද සහ ගිමන් නිවා ගැනීම ඉතා අවශ්‍ය දෙයක්. හොඳ ශරීර සෞඛ්‍ය තත්වයක් උදා කර ගන්න නම් ඔබ පැය 6ක අවමයකට යටත්ව දළ වශයෙන් පැය 7ක්වත් නිදා ගත යුතුයි. නමුත් නින්ද පැය 5කට අඩු වීමත්, පැය 8 ඉක්මවීමත් නුසුදුසු බවයි කියවෙන්නේ. නිසි ලෙස නින්ද නොලැබෙන විට ශරීරය වැඩි වැඩියෙන් තෙල් තට්ටු තැන්පත් කර ගන්නා අතර, බඩ පිරුණත් බඩගිනි ලෙස හඟවා වැඩි වැඩියෙන් ඔබව කෑමට යොමු කරවනවා.


මානසික සුවතාව

මේ සඳහා ඔබ කැමති විනෝදාංශයක යෙදීම, පවුලේ අය හෝ මිතුරු මිතුරියන් සමග සතුටු සාමිචියේ යෙදීම භාවනාව, ආගමික වතාවත්, ශාරීරික ව්‍යායාම ආදිය ඉතා වැදගත්. ඒ සමගම ඔබේ වැඩ කටයුතු මනා ලෙස සැලසුම් කිරීමෙන් එකවර වැඩ ගොඩ ගැසී ඔබව අධික පීඩනයකට ලක් කිරීමෙන් වලක්වාගන්න ඔබට පුළුවන්.

Share Now

Related Article