පැය බාගයයි.. රසයි.. ගුණයි…. One Pot Meal – එක බඳුනේ ආහාරය

Mar 2, 2020

One Pot Meal සංකල්පය දැන් ලෝකයට ගොඩක් අලුත් දෙයක් නම් නෙවෙයි. අතීතයේ පටන් මේවා විවිධ ආහාර රටාවන් මගින් අතහදා බලල තිබුණා. නමුත් ලංකාවේ ආහාර වේල සමන්විත වෙන්නේ බත් සහ තව කරි අවම වශයෙන් තුනක් එක්කයි. නිසි පෝෂණය ලබන අතරේ ගෙදර ඉදෙන ආහාරයක රස බලද්දී කාලයත් ඉතුරු වෙනවා නම් කවුද අකමැති නේද? Goodhousekeeping.lk වලින් අපි අද කතා කරමු මෙන්න මේ One Pot Meal ගැන.

Continue Reading Below

වර්තමාන ගෘහණියන්ගේ ජීවන රටාව

අද අපේ මවුවරු ගොඩක් කාර්ය බහුලයි. රැකියා එක්ක විතරක් නෙවේ දරුවන්ගේ අධ්යාපනය සහ ගමන් බිමන් එක්ක හැමෝම කාර්යබහුල වෙලා. ඒ වුනත් ආහාර නියාමනයක් නැති ලංකාව වගේ රටක කඩෙන් කන එක හානිදායකයි වගේම වියදමත් වැඩියි. පවුලේ අයට අවශ්ය පෝෂණය ලේසියෙන් පහසුවෙන් දෙන්න කැමතිනෙ අම්මලා හැමෝම.

භාජන ගොඩක උයල , වලන් හෝදලා ඉවර වෙද්දී හොඳ පන ගිහින්. මස් මාළු වගේ ප්රෝටීන් ලබාදෙන ආහාරයක් පිසින්නත් ඕනේ. එළවලු වගේ විටමින් සහිත ආහාර ගන්නත් ඕනේ. කොළ වර්ග ආහාරයට එකතු වෙන්න ඕනේ. මේ සේරටම ගැලපෙන කෑමක් හදිස්සි වෙලාවකට හදන්න අපි අද කියල දෙන්නම්.

අවශ්‍ය ද්‍රව්‍ය :

● කුඩා කැබලි වලට කපාගත් චිකන් ග්රෑම් 500 යි.

● සහල් ග්රෑම් 500 යි.

● සිහින්ව කපා ගත් එළවලු. ( කැරට්, ලීක්ස් , බෝංචි, දඹල ගෙදර තිබෙන එළවලු වර්ග අරගන්න)

● සිහින්ව කපා ගත් ලොකු ළූණු ගෙඩියක්.

● අඹරා ගත් සුදුලූනු තේ හැඳි 1 යි / ඉඟුරු තේ හැඳි 1 යි.

● කුරුඳු කැබැල්ලක්, කරන්දමුන්ගු 2 , කරාම්බුනැටි 2

● කරපිංචා ඉති 1 යි.

● අබ ස්වල්පයක්.

● තෙල් ටිකක්.

සාදාගන්නා ක්රමය :

තෙල් ටික ලිප තබා අබ ස්වල්පය පුපුරවා ඒ මතට සීන්ව කපාගත් ලොකු ළූණු ටික දමා විනාඩි කීපයක් හැඳි ගාමින් බැද ගන්න. එයට කුරුඳු , කරපිංචා , කරඳමුංගු, කරාඹුනැටි දමා හොඳින් මුසු කරන්න. විනාඩි කීපයකින් කුඩා චිකන් කැබලි දමා බැදෙන්න දෙන්න. පියන වසා බැද ගන්න. විනාඩි 5 කින් පමණ සෝදා ගත් සහල් එකතු කර වතුර දමා ලුණු පදමට දමා පියන වසා බත ඉදෙන්නට තබන්න.

බත ඉදීමට ආසන්නයේ කුඩාවට කපාගත් එළවලු කැබලි බතට දමා හැඳිගා වෝම් එකේ විනාඩි 10 ක් පමණ තබන්න. වැඩිය තම්බීමෙන් එළවලු වල ඇති විටමීන විනාශ වේ. විනාඩි 10 කට පසු රස ගුණ සපිරි ආහාරයක් ඔබට ලැබේ. උනුවෙන්ම ආහාරයට ගත හැක. පෝෂණීය කොටස් අඩුවක් නැති පහසු ආහාරයකි.

සලාද කොළ ටිකක් හොඳින් සෝදා චට්නි ටිකක් එක්ක ආහාරයට ගැනීමෙන් වැඩි ගුණයක් සහ රැසක් එකතු වේ.

දාන දේවල් වෙනස් කරන්න…

මේකට එක දවසක ඉස්සෝ, බැදපු මාළු, පරිප්පු, බඩඉරිඟු , ඕනෙම එළවළුවක් එකතු කිරීමෙන් රසය වෙනස් කර ගත හැක.

Share Now

Related Article