රස ගුණ පිරි මුරුංගා කොළ වලින් වෑංජන සකස් කරමු

Apr 26, 2018

මුරුංගා කොළ කියන්නේ හරිම ගුණවත් පලා වර්ගයක්. මුරුංගා කොළ වල විටමින් A, විටමින් C, යකඩ සහ කැල්සියම් බහුලව අඩංගු වෙනවා. මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අස්ථි ශක්තිමත් වීම, රුධිරය පිරිසිඳු වීම, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වීම සහ සිරුරේ දුර්වලතා මඟ හැරී යාම වැනි වාසි රැසක් අත් කර ගන්න පුළුවන්. ඉතින් අද අපි තීරණය කළා goodhousekeeping.lk වෙබ් අඩවිය හරහා මුරුංගා කොළ සකසා ගත හැකි වෑංජන ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

Continue Reading Below

මුරුංගා කොළ වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • මුරුංගා කොළ මිටක්
  • අමු මිරිස් කරල් 2ක්
  • සිහින්ව කපා ගත් රතු ළුණු ගෙඩි 3ක්
  • තලාගත් සුදු ළුණු බික් 3ක්
  • කරපිංචා
  • රම්පෙ කැබැල්ලක්
  • පරිප්පු මිටක්
  • උම්බලකඩ කුඩු මේස හැන්දක්
  • අමු තුනපහ කුඩු තේ හැන්දක්
  • මිටි කිරි කෝප්ප භාගයක්
  • පොල් තෙල් ස්වල්පයක්
  • කහ කුඩු ස්වල්පයක්
  • ලුණු කුඩු අවශ්‍ය පමණ

සාදන ක්‍රමය :-

ඉති වලින් සූරා ගත් මුරුංගා කොළ සෝදා දිය බේරෙන්නට පසෙක තබන්න. අමු මිරිස්, රතු ළුණු, සුදු ළුණු, කරපිංචා සහ රම්පා තෙම්පරාදු කර ගන්න. ඉන්පසු පරිප්පු සහ අනෙකුත් සියල්ල දමා වතුර ස්වල්පයක් යොදා තැම්බෙන්නට හරින්න. පරිප්පු තැම්බුණු පසු මුරුංගා කොළ සහ මිටි කිරි එක කර කලවම් කර ගන්න. හොද්ද උතුරන තෙක් තබා ලිපෙන් බා ගන්න.


මුරුංගා කොළ මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • මුරුංගා කොළ අවශ්‍ය පමණ
  • රතු ළුණු
  • අමුමිරිස්
  • පොල් කුඩු
  • කහ කුඩු ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්
  • දෙහි යුෂ

සාදන ක්‍රමය :-

කපා ගත් මුරුංගා කොළ, සිහින්ව කපා ගත් රතු ළුණු සහ අමුමිරිස් බඳුනකට දමා ගන්න. එයටම ලුණු කුඩු දමා කලවම් කර ගන්න. ඉන් පසුව බඳුන ලිපේ තබා, රත් වන විට පොල් කුඩු, කහ කුඩු සහ දෙහි යුෂ කලවම් කරමින් මලවා ගන්න.

Share Now

Related Article